Colombo Today Local News

ගංජා සහ අන්තර්ජාලය නිසා ශ්‍රී ලංකාවේ මානසික රෝගීන් බහුල වෙලා

ශ්‍රී ලංකාවේ ද තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස “කැනබිස් ඉන්ඩ්යුස් සයිකොසිස්” (Cannabis Induced Psychosis) නමැති තත්ත්වය හඳුනාගෙන ඇති බව මානසික රෝග පිළිබඳ වෛද්‍යවරුන් පවසයි.
එසේම, වත්මන් තරුණ පරපුර සීමාව ඉක්මවා ඉන්ටර්නෙට් වෙත නැඹුරු වීම ද මානසික ගැටලු වැඩි වීමට හේතු‍වක් වී ඇති බව වවුනියාව රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි.
ඔහු ඒ බව සඳහන් කළේ, ‘වෙනස් වන ලෝකය තුළ තරුණ ප්‍රජාව හා මානසික සෞඛ්‍යය’ යන මැයෙන් 2018 වර්ෂයේ ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

මානසික සෞඛ්‍යය විෂයය සමාජය තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් 1992 වර්ෂයේ ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනයේදී ගනු ලැබූ තීරණයක් මත මානසික සෞඛ්‍ය දිනය ඔක්තෝබර් මස 10 වන දාට යොදා ගැනීමට තීරණය කෙරිණි. ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය 1994 වසරේ සිට යම්කිසි තේමාවක් යටතේ සිය වැඩසටහන් වාර්ෂිකව දියත් කරයි.

මෙවර තේමාවට වස්තු විෂය වී ඇත්තේ “ලෝකය පුරා තරුණ පිරිස් අතර මානසික සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතව පැවතීම” බව වෛද්‍ය සන්නසූරිය මහතා පවසයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ තරුණයන් වර්තමානය වන විට ගංජා, මත්කුඩු, මත්පෙති හා හෙරොයින් භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බවය.

එවැනි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මොළයට ඇති කරන අහිතකර බලපෑම් මත තරුණයන් දිනපතා මානසික රෝග වෙත ගොදුරු වී‍මේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මානසික රෝගවලට ගොදුරු වන තරුණයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළ තුළ දිනෙන් දින ඉහළ යමින් පවතින බව ද වෛද්‍ය සන්නසූරිය සදහන් කළේ ය.
මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව ඉන්ටර්නෙට් හා සමාජ ජාල වැරදි ලෙස භාවිතය තුළින් ද තරුණ පිරිස් වැඩි වශයෙන් මානසික රෝග වෙත ගොදුරු වීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ හේතුවෙන්,

• මානසික ආතතිය
• විශාදය
• කාංසාව
• භින්නෝන්මාදය
වැනි තත්ත්වයන්ද විශාල වශයෙන් වාර්තා වන බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු පවසන පරිදි තරුණයන් අතර මානසික රෝග හට ගැනීමේ ප්‍රවණතාව වැඩි වීම හේතුවෙන් පවුල සහ සමස්ත සමාජය ම දැඩි අවුල්කාරී තත්ත්වයකට පත්ව ඇති අතර ඒ තුළින් සමාජීය හා ආර්ථික ගැටලු රැසක් පැන නැගී තිබේ.
දෙමව්පියන් සහ තරුණ දරුවන් අතර සබඳතා දුරස්වීම, සම වයස් කණ්ඩායම්වල පෙළඹවීම, තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් සිදුවන විෂමාචාර ප්‍රචාරයන් සහ තරුණ කණ්ඩායම් තනි වීම වැනි කරුණු රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට වැඩි වශයෙන් බලපා තිබේ.
ලෝක මානසික සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මානසික ගැටලුවලින් 50% ක ප්‍රතිශතයක් ආරම්භ වන්නේ, වයස අවුරුදු 14 කාල සීමාවේදී ය.

• නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම.
• මානසික සෞඛ්‍ය සායන වෙත යොමු වීමට ඇති අකැමැත්ත.
• මානසික සෞඛ්‍ය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම.
• නොදැනුවත්කම
යන කරුණු හේතුවෙන් අදාළ රෝගී තත්ත්වයන් උත්සන්න වන බව වෛද්‍ය මයුර සන්නසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එසේම ඔහු පැවසුවේ,
“රටේ පවතින ආර්ථික ගැටලු, තරුණ විරැකියාව හා තරුණ කණ්ඩායම් අතර පවතින ‍නොයෙකුත් අපචාර ක්‍රියා හේතුවෙන් ද මානසික ගැටලු උද්ගත වී තරුණ කණ්ඩායම් ජීවිත අහිමි කර ගැනීමේ තත්ත්වයන්ට පවා පත්ව තිබෙන බවයි”.
“ තරුණ පිරිස් හෝ වෙනත් පිරිස් වෙත කිසියම් මානසික ගැටලුවක් පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම තුළින් මානසික රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාව ලැබෙන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Related posts

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday

අභාවයට යන රමණීය පිං බිම – ගලෙන්බිදුනුවැව වේරගල පුරාණ විහාරය

colombotoday

නකල්ස්‌ රක්‌ෂිතයේ ඉඩම් අක්‌කර විසිඑක්‌ දාහක්‌නෑදැ හිතවතුන්ට පවරාදීමට යනවා. – මන්ත්‍රී අයි. ජී. නිශාන්ත බණ්‌ඩාර

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

Admin

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday