Articles

දරුවන් මතට යොමු කරන බිග් මැච්

දෙමව්පියන් නොදැන දරුවන් මත්වන ක්‍රම සහ විදි
ගිය අවුරුද්දේ වැඩියෙන්ම පුනරුත්ථාපනය වෙන්න
ආවේ අවුරුදු 15-20 ළමයි
මත්ද්‍රව්‍යවලට කාන්තාවන්ගේ වැඩි නැඹුරුවක්‌
අග නගරයේ කැම්පස්‌ එකක සිසුවියෝ දැඩි ලෙස මතට ඇළෙති

මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ ඉතිහාසය වසර සිය ගණනකට එපිටය. ගංජා (මරිජුවානා) අබිං සහ අරක්‌කුවලින් පටන් ගත් මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගෙවී ගිය වසර විස්‌ස තුළදී ඉතා වේගයෙන් හෙරොයින්වලට මාරු විය. කුඩු නොමැති නගරයක්‌ සොයාගැනීමට අපහසු තරමට මෙරට හෙරොයින් ව්‍යාප්තිය වේගවත් විය. මතට තිත, මතින් නිදහස්‌ රටක්‌ විවිධ නම්වලින් මතට වැට බැඳීම පටන් ගත්තද මත්ද්‍රව්‍ය ඡාවාරම්කාරයන්ගේ ශක්‌තියෙන් වැට කඩුලු කඩා සුණුවිසුණු කර මත බෙදීම දිගටම කරගෙන යන්නාහ. කුඩු රජවරු කොතරම් කූඩු කර තැබූවද මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ කිසිදු අඩුවක්‌ නොපෙනේ. මොහොතකට හෝ සතුටු විය හැකි කරුණ වන්නේ හෙරොයින් ව්‍යාප්තිය වර්ධනය නොවී ස්‌ථාවර තත්ත්වයක පවතින බව වාර්තා වන නිසාය. එහෙත් මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් සිටින කාන්තාවන්ගේ විශාල වර්ධනයක්‌ පෙන්නුම් කරමින් තිබෙන බව දැනගැනීමත් සමඟ සිත තෝන්තු වී යන්නේය.

මෙරට වැඩිම විෂ මත්ද්‍රව්‍ය (හෙරොයින්) භාවිත කරන්නන් සිටින්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේය. නීතිය හෙරොයින් පිටුපස තදින් ලුහුබඳින හෙයින් කොළඹ සහ නගර ආශ්‍රිත ප්‍රදේශවල මත්ලෝලීහු වෙනත් මත්ද්‍රව්‍යවලට සීග්‍රයෙන් ඇලෙමින් සිටිති. විශේෂයෙන්ම විවිධාකාර මත් පෙතිවලට ඇබ්බැහි වන ප්‍රමාණය සීග්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. එමෙන්ම කේ.ජී., බාබුල් පාරිභෝජනය ඉහළ ගොස්‌ තිබේ. අරක්‌කු මිල ඉතා ඉහළ ප්‍රතිශතයකින් වැඩි වුවද ඊට සාපේක්‍ෂව බියර් මිල වැඩි වී නැති හෙයින් අරක්‌කුවලට ඇබ්බැහි වී සිටි මිනිස්‌සු විකල්පයක්‌ ලෙස බියර් තෝරාගනිමින් සිටිති. මේ වන විට බියර් පරිභෝජනය ඉතා ඉහළ මට්‌ටමක පවතී. සිගරැට්‌ මිල අධික මුදලකින් ඉහළ යැමත් සමඟ නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරැට්‌ සහ බීඩි පාරිභෝජනය ද ඉහළ ගොස්‌ ඇත. ගමේ කඩ පිලේ බීඩි උරන ගැමියන් දිනෙන් වැඩි වේ. මේ වන විට ‘හොර සිගරැට්‌ නැති නගරයක්‌ නැති තරම්ය. මෙරට සෑම අස්‌සක්‌ මුල්ලකම හොර සිගරැට්‌ විකිණීමට තිබේ. විශේෂයෙන්ම මුස්‌ලිම් ප්‍රජාව ගැවසෙන ප්‍රදේශවල නීතිවිරෝධීව ආනයනික සිගරැට්‌ බහුලව ව්‍යාප්ත වී තිබේ. කොළඹ රාත්‍රී සමාජශාලා, සුපිරි කැසිනෝ ශාලාවල බහුලව දැල් වෙන්නේ ආනයනික දුම්වැටිය. රාත්‍රී සමාජශාලා, කැසිනෝ ශාලාවලට එන නිශාචර විනෝදකාමීන් හොර සිගරැට්‌ නොව ඊට එහා ගිය හෙරොයින්වලින් නිෂ්පාදනය කළ දුම්වැටි බිව්ව ද අපට ගැටලුවක්‌ නැත. ඒ ඇති වෙන්න මුදල් හම්බ කර නැති වෙන්න යන මිනිසුන් නිසාය. අපට ගැටලුව වී ඇත්තේ ‘මතින් තොර නිදහස්‌ රටක්‌’ බිහි කිරීමට යන ගමනේදී පාසල් ළමයින්, තරුණ තරුණියන් මත් පෙතිවලට සීග්‍රයෙන් ඇබ්බැහි වෙමින් සිටින බව වාර්තා වන විටය.

මේ වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍යවලට ගොදුරු වී හමාරය. දැනගැනීමට ඇති ආකාරයට ඇතැම් ළමයින් දේශනවලට සහභාගි වන්නේ ද මත් පෙති පාවිච්චි කරය. එමෙන්ම මෙරට අග නගරයට ආසන්න විශ්වවිද්‍යාලයක ගැහැනු ළමයින් දැඩි සේ මත් පෙතිවලට ඇබ්බැහි වෙමින් සිටිති. ගස්‌ යට හොර රහසේ, ආපනශාලාවේ, නේවාසිකාගාර තුළදී පවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, බියර් පානය කරන සිසුවියන් සිටින බව දැනගැනීමට ලැබේ. ඔවුන් ඉලක්‌ක කරගෙන විවිධ ජාවාරම්කාරයන් එම විශ්විද්‍යාලය තුළට නිතර එන යන බව ද දැනගැනීමට ලැබේ. එමෙන්ම ජාත්‍යන්තර පාසල් සංස්‌කෘතිය තුළ මත් පෙති නැතුවම බැරි විලාසිතාවක්‌ වෙලාය. කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසල් තුළ මත්ද්‍රවය භාවිතය අද ඊයේ පටන් ගත්තක්‌ නොවේ, එහෙත් මේ වකවානුව වන විට මත්ද්‍රව්‍ය පාවිච්චිය පෙරට වඩා වර්ධනයක්‌ පෙන්නුම් කරමින් තිබේ. එමෙන්ම අමතර පන්ති බහුලව පැවැත්වෙන ගම්පහ, හොරණ, ගාල්ල, නුවර එකී නොකී ‘ටියුෂන් නගරවල’ ද මත්ද්‍රව්‍ය පරිභෝජනය ඉතාම ඉහළ මට්‌ටම පවතින බව වාර්තා වන්නාහ. එකී නගරවල ඇතැම් ෆාමසිවල ප්‍රසිද්ධියේම මත් පෙති විකුණන්නාහ. තවත් ෆාමසි රහසේ දොරටුවලින් හොර රහස්‌ පෙති විකිණීම කරන්නේය. උද්ගතව ඇති මත් පෙති උවදුර රටේ තාරුණ්‍යය මන්දබුද්ධික කරන විශාල ෙ€දවාචකයකි. ගැහැනු ළමයින්ට මාතෘත්වය පවා අහිමි කරන මහා භයානක ව්‍යසනයකි. සිංහල ජාතියේ හීන වී යැම තව, තවත් වේගවත් කරන මහා විනාශයකි. මිතුරු, මිතුරෝ සංසදයේ නිර්මාතෘ පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් පෙන්වා දෙන ආකාරයට පසුගිය අවුරුදුවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී විශෝධන ක්‍රියාවලියට පැමිණ ඇත්තේ අවුරුදු විසි පහට වැඩි වයස්‌ කාණ්‌ඩවල තරුණයන්ය. එහෙත් 2016 වර්ෂයේ සහ 2017 වර්ෂයේ ගෙවී ගිය මාස දෙක තුළ පැමිණ ඇති තරුණයන් බහුතරය වයස අවුරුදු 15, 17, 18 සහ 20 ඉක්‌ම නොගිය ළමයින්ය. එය අති භයානක තත්ත්වයකි.

එහෙයින් හෙරොයින් පරිභෝජනය වැඩි නොවී ස්‌ථාවර මට්‌ටම පවතින කාලයක සීග්‍රයෙන් හිස ඔසවමින් තිබෙන මත් පෙති ජාවාරම මැඬපැවැත්වීමට කඩිනමින් පිළියම් සෙවීම රජයේ වගකීමකි. විශේෂයෙන්ම මේ බිග් මැච් පැවැත්වෙන දිනයන්හිදී එකී ක්‍රීඩාංගන තුළ අලෙවි කරන බාබුල් ගොට්‌ටේ සිට මොළ කන සියලු මත්ද්‍රව්‍ය බෙදාහැරීම නතර කිරීමට වැඩපිළිවෙළක්‌ තිබිය යුතුය. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඩී. අයි. ජී. ගේ පුතාටත්, ඇමැතිගේ දුවටත්, නඩුකාරයාගේ මිණිපිරියටත් එකම විදිහට නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

බිග් මැච් පැවැත්වෙන කාලය එකී මැච් ක්‍රීඩා කරන පාසල්වල ළමයින්ට වසන්ත සමයකි. පාසල් ළමයින් රිසි සේ විනෝද වන කාලයයි. වාර්තා වන පරිදි මෙරට ප්‍රථම බිග් මැච් එක ක්‍රීඩා කර ඇත්තේ 1879 වර්ෂයේදීය. එදා මෙදා තුර මෙරට පාසල් විශාල සංඛ්‍යාවක්‌ බිග් මැච් ක්‍රීඩා කරති. ඒ අතර ප්‍රධාන බිග් මැච් විසි නවයක්‌ තිබේ. එම බිග් මැච් ප්‍රධාන යෑයි හඳුන්වන්නේ දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙන නිසාය. එසේ නොවන්න කිසිදු බිග් මැච් එකක්‌ අඩු ලංසුවකින් මැනිය නොහැකිය. මන්ද පාසල් දෙකක්‌ අතර තරග වදින සෑම බිග් මැච් එකක්‌ම එකී පාසල්වලට ප්‍රධාන වන බැවිනි. එමෙන්ම බිග් මැච් එකක්‌ යනු විශාල ශක්‌තීන් සමුදායකි. ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නෝ ද එම ශක්‌තියේ කොටස්‌කරුවෝය. ක්‍රීඩකයන් ශක්‌තිය මුදාහරින විට මැච් එක උණුසුම් වේ. නරඹන්නන් ඕනෑවට වඩා ශක්‌තිය මුදාහළ පසු ප්‍රේක්‍ෂකාගාර උණුසුම් වේ.

නරඹන්නන් උණුසුම් වන්නේ මත්පැන්වලිනි. බිග් මැච් එකක්‌ පැවැත්වෙන ක්‍රීඩා පිට්‌ටනියක්‌ ආසන්නයේ ඇති බාර් ඒ දිනවල පිරෙන්නේ බිග් මැච් නරඹන්නන්ගෙනි. මත් වතුරෙන් බරිත වී බඹරුන් සේ කෑ කෝ ගහන වැඩිහිටියන් අනුකරණය කරන පාසල් ළමයින් බහුලව මතට පෙළඹෙන්නේ බිග් මැච් කාලයේදීය. ඇතැම් බිග් මැච් අතරතුර පාසල් ළමයින් මත්පැන්වලට පෙළඹවීමක්‌ නොව පොළඹවා ගැනීමක්‌ ද සිදු වන්නේය. මන්ද ප්‍රසිද්ධ යෑයි කියන බිග් මැච් පැවැත්වෙන ක්‍රීඩාංගන තුළ ප්‍රසිද්ධියේ බියර් අලෙවි කෙරෙන නිසාය. ක්‍රීඩා පිටිය තුළ බියර් අලෙවි වන්නේ බිග් මැච් ක්‍රීඩා කරන පාසලෙහි විදුහල්පතිවරුන්ගේ ද අනුදැනුම පිටය. වාර්ත වන අන්දමට බිග් මැච් ක්‍රීඩා කරන ප්‍රසිද්ධ පාසල් පහක ආදි ශිෂ්‍ය සංගම් විසින් මෙවර බිග් මැච් පැවැත්වෙන දිනයන්හිදී ක්‍රීඩා පිටිය තුළ බියර් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසර පත්‍ර ඉල්ලුම් කර ඇත. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව එම අවසර පත්‍රය ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇත. එය හොඳ ප්‍රවණතාවකි. පෙර වැරැදි නිවැරැදි කරගෙන මෙවර බියර් අවසර පත්‍ර ලබා නොදී සිටීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුවට මල් මිටක්‌ පිළිගැන්විය යුතුය. එමෙන්ම යහපත් රටක පාසල් ක්‍රීඩා පිට්‌ටනියක්‌ තුළ ‘මත’ අලෙවි කිරීමට අවසර නැත. පිස්‌සු පෙති බොන පිස්‌සෝ සිටිය නොහැකිය. මත් දියෙන් දෝවනය වී ජල්ලි නටන ආදි ශිෂ්‍යයන් සිටිය නොහැකිය. එවැනි බිග් මැච් ගැහෙන්නේ ගෝත්‍රික සමාජවලදීය. ශිෂ්ටසම්පන්න ජාතියක්‌ සහිත සමාජයකදී ක්‍රීඩා තරගවල යහපත් විනයක්‌ සහිතව හැසිරිය යුතුය. ආදි ශිෂ්‍යයන් තම බාල සහෝදරයන්ට ලබාදිය යුතු ආදර්ශය එයයි.

එමෙන්ම දෙමවුපියන්ද තම දරුවන් ගැන පෙරට වඩා සැලකිලිමත් විය යුතුය. පාසල් නිම වී ගෙදරට එන, විශ්වවිද්‍යාලයේ, අමතර පන්තියේ සිට ගෙදරට පැමිණෙන දරුවා පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී හුදෙකලාවේ සිටීමට ප්‍රිය කරන්නේ නම්, තනියෙන් සිනා වෙන්නේ නම්, නිදි කිරා වැටෙන්නේ නම්, තොල කට නිතර වියෑළෙන්නේ නම්, ඔහු හෝ ඇය වේගයෙන් හුස්‌ම ගන්නේ නම්, ඇසේ දීප්තිය වෙනස්‌ වී ඇති නම්, මඳ සිහියෙන් පසු වන්නේ නම් මත් පෙති පානය කර ඇති බවට සාධකය. තම දරුවා හිටි හැටියේ ලෙඩ දුකක්‌ නැතිව දිරා පත් වන්නේ නම් එය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බවට ශරීර ලක්‍ෂණයකි. මත්පෙතිවලට ඇබ්බැහි වී සිටින්නේ වියපත් දැරිවියක්‌ නම් ඇගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වන්නේය. තම දරුවන්ගේ ශාරීරික සහ චර්යාත්මක වෙනස්‌කම් ගැන සැලකිලිමත් වීම දෙමවුපියන්ගේ වගකීමකි. එසේ නොවෙන්න මෙරට විශ්වවිද්‍යාලවලින් මෙන්ම පාසල්වලින් සමාජයට එකතු වන්නේ ‘පිස්‌සු බෙහෙත් බී’ මොළ විකාර වූ තරුණ, තරුණියන් පිරිසකි.

එමෙන්ම රටක මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ පාසල් ළමයින්ට ‘ආතල්’ ගැනීමට පාවිච්චි කිරීමට ඉඩ දී වගකිවයුත්තන්ට මන්දබුද්ධිකයන් සේ බලා සිටිය ද නොහැකිය. එහෙත් මෙරට පුරවැසියන් විදිහට කාලයක සිට අපි අත්විඳිමින් සිටින්නේ ඒ කාලකණ්‌ණි මන්දබුද්ධික ස්‌වභාවයමය. තේරුම්ගත යුතු යථාර්ථය නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කොතරම් නීතියේ රැහැනට කොටු කළ ද මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අඩු නොවන බවය. රටක්‌ වශයෙන් දැන් කළ යුතුව ඇත්තේ ජාවාරම්කාරයන්ට වැට බැඳීමත් සමඟ මත් උවදුර සම්බන්ධයෙන් සමාජය ආකල්පමය වශයෙන් විශෝධනය කිරීමය. එය පටන් ගැනීමට හොඳ කාලය මේ බිග් මැච් සමය බව අපි මතක්‌ කර සිටිමු.

මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ කෝපියාවත්තේ බෝධානන්ද හිමියන් සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරිනි.

Related posts

අඳුරේ අස් වසා පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විකුනයිද?

colombotoday

යහපාලන සංහිදියාවේ සළුපිළි ගැලවූ යාපනය සිසු ප්‍රහාරයෙන් මතුවන බෙදුම්වාදයේ ගිණි පුපුරු !

colombotoday

පූටින්ගෙන් ඇරඹී, ට්‍රම්ප් හරහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, පැරිසිය ඔස්සේ ආසියාව කළඹන මහ ජාතිකවාදී රැල්ලක් හමාඑයි !

colombotoday

මුස්ලිම්වරු – ඉස්ලාම්වාදීහු – ජිහාඩ්වාදීහු: තේරුම් ගත යුතු වෙනස්කම්! – ඉස්ලාම් ආගමෙන් ඉවත්වූ රිෂ්වින් ඉස්මත් ලියයි

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

පොලිසියේ කෙරුවාව නිසා පිරිහෙන රටේ ආණ්ඩුව

colombotoday