Colombo Today Local News

හැඳුනුම්පත නැති නිසා තාප්පයෙන් පැන උසාවි ගිහිල්ලා! සැකකරු නමගිය හොරෙක්‌!!

රටේ වත්මන් වතාවරණය මත වෙනදාට වඩා වැඩි ආරක්ෂාවක් අධිකරණයට යොදා තිබෙන බවත්, එවන් තත්ත්වයක් මත ආරක්ෂක ඇසට වැලිගසා සැකකරු අධිකරණ භූමියටත්, එතැනින් අධිකරණයටත් ඇතුළු වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඇල්පිටිය කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූයේ යැයි උසාවි සාජන්වරයා විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ගොනුකරන ලෙස ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා පසුගියදා (07 දා) නියෝග කළේය.

සැකකරු අධිකරණයට ඇතුළු වූයේ කුමන හේතුවක් නිසාද යන්න තවදුරටත් විමර්ශනය කර ප‍්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, නඩුව 2019 අගෝස්තු 19 දින නැවත කැඳවන බවත් මහෙස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද රබර්වත්ත, කොටේගොඩ, අහංගම ලිපිනයේ පදිංචි දුරගේ නිමල් රවීන්ද්‍ර (32) නමැති සැකකරු මේ වනවිට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදාහැර තිබේ.

සැකකරු අධිකරණයේ පිවිසුම් දොරටුව හරහා අධිකරණ භූමියට ඇතුල් වීමට උත්සාහ දරා තිබෙන බවත්, හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් පිවිසුම් දොරටුවේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු ආපසු හරවා යවා තිබෙන බවත් ඇල්පිටිය පොලිසිය කියයි. ඊට පසුව සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණය තුළ සිටියදී උසාවි සැරයන් වන හරිශ්චන්ද්‍ර (7955) මහතා විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ආරක්ෂක අංශ නිලධාරීන් පිවිසුම් දොරටුවෙන් ඇතුල් වීමට අවසර ලබා නොදුන් විට පිටුපස තාප්පයෙන් පැන උසාවි භූමියට ඇතුළු වූ බවත්, පසුව අධිකරණය තුළට පැමිණි බවත් සැකකරු ඇල්පිටිය පොලිසියේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර තිබේ. සැකකරු නමගිය සොරෙකු බවත්, සැකකරුට එරෙහිව ඇල්පිටිය, බලපිටිය, ගාල්ල, බද්දේගම, මාතර ආදී අධිකරණවල නඩු විභාග වෙමින් තිබෙන බවත් ඇල්පිටිය පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය. සැකකරු අධිකරණ භූමියට ඇතුළු වූයේ කුමක් සඳහා ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරන බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

අය වැය ඡන්දයට ශ්‍රීලනිප සහය නෑ…

colombotoday

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය

colombotoday

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්

colombotoday