Colombo Today Local News

හිටපු ජනපති සහ අගමැති බුර්කාව ගැන දුන් උපදෙස පාස්කු කොමිසමේදී හෙළිවෙයි

ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රධානීන්, ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පවත්වන්නැයි ඉල්ලීම් කළත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව මත එවක එය සතිපතා රැස් නොවූ බව හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අද (24)දින අනාවරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා ලෙස 2015 සිට 2017 දක්වා ක්‍රියාකළ පී. බී. අබේකෝන් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසමේ දී සාක්ෂි ලබාදෙමින් මේ බව හෙළි කළේය.

කොමිසම ඔහුගෙන් විමසුවේ ජනපති ලේකම්ව සිටි අවදියේ ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වීම සිදුවූයේ කෙසේද? යන්නය.

එහිදී ඔහු පැවසුවේ මුලින් සතිපතා රැස්වුවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු නොතිබීම ගැන සළකා පසුව එම රැස්වීම සතිපතා නොපැවැත්වූ බවය.

ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රධානීන්, ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පවත්වන්නැයි ඉල්ලීම් කළත් හිටපු ජනාධිපතිවරයාගේ හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව මත එය සතිපතා රැස් නොවූ බව සාක්ෂිකරු කොමිසමට හෙළි කළේය.

සාක්ෂිකරු පැවසුවේ ආණ්ඩුව පත්වූ මුල් අවස්ථාවලදී එක් රැස්වීමක් අවසානයේ ඊළඟ රැස්වීම පැවැත්වෙන දිනය තීරණය කෙරුණ ද පසු අවස්ථාවලදී ආරක්ෂක කවුන්සිලය පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දිනයක් පවා ලබාගැනීමට සිදුවූ බවය.

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා හිත හොඳින් තොරව අවසන් වූ ආරක්ෂක කවුන්සිල රැස්වීම්ද පැවති බව අබේකෝන් මහතා පැවසීය.

ඔහු කියා සිටියේ බුර්කාව පැලඳීම තුළ ජාතික ආරක්ෂාවට බලපැම් ඇතිවිය හැකි බව බුද්ධි අංශ ආරක්ෂක කවුන්සිලයට දැනුම් දුන්නත් ඒවා නැවැත්වීමට පියවර නොගෙන ඒ පිළිබඳ සොයාබැලීමට පමණක් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන් බවය.

ඒවා නැවැත්වීමට දේශපාලන අධිකාරිය ඉඩ නොදුන් බව ද හිටපු ජනාධිපති ලේකම්වරයා පැවසීය.

යහපාලන මූලධර්මවලට සහ ආගමික හා ජාතික සංහිඳියාවට බාධාවක් නොවන සේ එම පරීක්ෂාකිරීම් කිරීමට එහිදී උපදෙස් ලබාදුන් බවත් හිටපු ජනපති ලේකම්වරයා පැවසීය.

මේ අතර සහරාන් හෂීම්ගේ ත්‍රස්‍ත කණ්ඩායමේ ප්‍රබලයෙකු වූ “ආමි මොහිදීන්” අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන අතරදී ඔහු සොයාගැනුණත් අත්අඩංගුවට නොගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු එම කොමිසමේ දී පිළිගත්තේය.

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත, සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වූ ආමි මොහිදීන් සොයා 2019 මාර්තු 07 වැනි දා පාසිකුඩා වෙත ගිය නිලධාරියා වන්නේ හිටපු පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතාය.

ඔහු කොමිසමට පැවසුවේ එදින පොලිස් සැරයන් නන්දලාල් ඇතුළු කණ්ඩායමක් සමග තමා පාසිකුඩා වෙත ගිය බවය.

එහිදී ” ආමි මොහිදීන් කියල කෙනෙක් පාසිකුඩා මුහුද ළඟ පොල් වත්තක කණ්ඩායම් පුහුණු කරමින් සිටිනවා. අවි පුහුණුවක්ද ලබාදෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න වරෙන්තුවකුත් තියෙනවා ” යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලධාරියෙකු දුරකථන පණිවුඩයක් ලබාදුන් බව සාක්ෂිකරු පැවසීය.

ඔහු ආමි මොහිදීන් සැඟව සිටින ස්ථානය ද පෙන්වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

තමන් එම ඉඩම වෙත ගියද ආමි මොහිදීන් එහි නොසිටි අතර මුස්ලිම් ජාතික වැඩිහිටි යුවළක් පමණක් එහි රැඳී සිටි බව සාක්ෂිකරු පැවසීය.

නමුත් ආමි මොහිදීන් එම නිවසේ රැඳී සිටි බව එම යුවලගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් දැනගත් පසු ඔවුන් ලවා ආමි මොහිදීන්ට දුරකථන ඇමතුමක් දී එහි කැඳවාගත් බව සාක්ෂිකරු කියා සිටියේය.

පසුව ආමි මොහිදීන්ගෙන් සහරාන් සමග ඇති සබඳතා පිළිබඳ ප්‍රශ්න කළ බව සාක්ෂිකරු පැවසීය.

මෙහිදී ජනාධිපති කොමිසම විමසුවේ එම අවස්ථාවේදී ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේද? යන්නයි.

ප්‍රශ්නකිරීම්වලින් හා නිවස අවට කළ සෝදිසිවලින් සැකකටයුතු කිසිවක් සොයාගත නොහැකි වූ බැවින් ඔහු අත්අඩංගුවට නොගත් බව එහිදී ඩයස් මහතා පිළිතුරු දුන්නේය.

කොමිසම යළිත් දැඩි ලෙස ප්‍රශ්න කළේ, සැකකරුවෙකු පළමුවර පරික්ෂා කළ පමණින් තොරතුරු සොයාගත නොහැකි වුවත් ඔහු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරිත නොවන්නේද? යන්නයි.

වෙනත් අවස්ථාවලදී එසේ කළ ද මෙම අවස්ථාවේ එවැන්නක් නොකළ බව සාක්ෂිකරු පැවසීය.

කාත්තන්කුඩි, ආලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමට අදාළව ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව තිබූ බව ඔබ දැන සිටියාදැයි කොමිසම විමසූ විට සාක්ෂිකරු සඳහන් කළේ, ” වරෙන්තුවක් තියෙනවා කියල දන්නවා. ඒත් අත්අඩංගුවට ගත්තේ නෑ. විමර්ශනයට අදාළව මට නම් සැකයක් ඇති වුණේ නෑ ” යනුවෙනි.

ආමි මොහිදීන් සොයාගත් බව අවම වශයෙන් කාත්තන්කුඩි පොලීසියට හෝ දැනුවත් නොකළේදැයි කොමිසම පෙරළා ප්‍රශ්න කළේය.

තමන් ඊටද අවධානයක් නොදුන් බව හිටපු පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

පසුව අධිකරණ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකිරීම නීතියට පටහැනි නොවේදැයි කොමිසම දැඩි ස්වරයකින් ඔහුගෙන් විමසා සිටියේය.

ඊට සාක්ෂිකරු පැවසුවේ, “මට ඒ වෙනකොටත් වැඩ වැඩි වෙලා තිබුණේ, ඒ නිසා වරෙන්තුව එතනට ගෙන්න ගන්නත් බැරි වුණා. මගේ විමර්ශනයට අදාළව මට සැක කරන්න පුළුවන් සාක්ෂියක් ලැබුණේ නැති නිසයි මං අත්අඩංගුවට නොගත්තේ ” ලෙසය.

එදින ආමි මොහිදීන් අත්අඩංගුවට ගෙන සහරාන් පිළිබඳ තොරතුරු අනාවරණ කරගත්තේ නම් මෙවැනි ප්‍රහාරයක් සිදුවනවාදැයි කොමිසම විමසූ විට සාක්ෂිකරු පැවසුවේ ” ඒහෙම දෙයක් මට හිතෙන්නේ නෑ. මම ඒ ගැන කියන්න දන්නේ නෑ” යනුවෙනි.

සේවයෙන් විශ්‍රාම යන්නට කාලය තිබියදී හදිසියේ විශ්‍රාම යාමට විශේෂ හේතුවක් ඇත්දැයි කොමිසම විමසූ විට ඔහු කියා සිටියේ ” මීටත් කලින් යන්න හිටියේ. මේ ගියෙත් ප්‍රමාද වෙලා” ලෙසය.

Related posts

ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම්

colombotoday

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් දෙපා නැමද නමස්කාරය කරන පිරිසක් – ඇමති සරත් වීරසේකර

colombotoday

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

දිවයින පුරා නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

colombotoday

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday