Colombo Today Local News

අතේ පත්තුවූ සිංහරාජයේ ජාන කොල්ලය – ස්ලෝවැකියානුවන් පස්දෙනෙක් රිමාන්ඩ්

සමනලයන්, කුරුමිණියන්, කුහුඹුවන්, කංගන්, හැකරැල්ලන්, තණකොළපෙත්තන්, ගෝණුස්සන්, බත්කූරන්, සලබයන්ද, ඕකිඞ් ශාක වර්ගද, ශාක බීජ වර්ග රාශියක් රට පටවන්න හදලා

sinharajaya2
sinharajaya3
sinharajaya4

දැනට වසර කීපයක සිට යුනෙස්කෝ ලෝක උරුම සිංහරාජය වනාන්තරය ප‍්‍රවෘත්ති සපයන තෝතැන්නක් බවට පත්වී ඇත. එහි නවතම උණුසුම් ප‍්‍රවෘත්තිය වාර්තා වූයේ පසුගිය සතියේය. ඒ ස්ලෝවැකියානු ජාතික පංච පුද්ගල පිරිසක් ලෝක උරුම සිංහරාජ බිමෙන් එළිපිටම කරන ලද ජීව හා ශාකමය සොරකමක් සම්බන්ධයෙනි. ජනවාරි මාසයේ මැද භාගයේ ශ‍්‍රී ලංකාවට පැමිණි ස්ලෝවැකියානු ජාතික පිරිමි පිරිස පසුගිය මස 28 වැනි දින සිංහරාජය වෙත පැමිණ ලැගුම්හලක නවාතැන්ගෙන ඉතාමත් සූක්‍ෂ්මව හා රහසිගතව දුර්ලභ ගණයේ ජීවීන් රාශියක්ද, කෘමි සත්ත්වයන් රාශියක්ද, ඇතැම් ශාක වර්ගවල කොටස්ද එකතු කර තමන් සන්තකයේ තබාගෙන ඇත. නැවතුම්පළේ සිට රාත‍්‍රී කාලයේ වනාන්තර අභ්‍යන්තරය තරණය කරමින් මෙකී අතිශයින්ම දුර්ලභ ගණයේ සත්ත්ව හා ශාක කොටස් රැස්කර විදෙස්ගත කිරීමට සූදානම් කරගෙන ඇත.
 
 මේ මෙහෙයුම සාර්ථක ලෙස දියත් කළ වන රක්ෂණ නිලධාරි කණ්ඩායමේ නායක කලවාන අඩවි වන නිලධාරි කාර්යාලයේ ප‍්‍රධාන නිලධාරී ආර්.එම්.එල්. රත්නවීර මහතා ප‍්‍රකාශ කළේ වන සත්ත්ව සංරක්‍ෂණ ආඥා පනත යටතේ මොවුන් කර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක්. සමනලයන් වැනි ඇතැම් ජීවීන් සජීවීව සිටියා. කුරුල්ලන්ද ඒකදේශීය සතුන්. මා විශ‍්‍රාමාසන්නයේ සිටින නිලධාරියෙකු ලෙස මගේ දැනුමේ හැටියට මෙපමණ සතුන් හා ශාක කොටස් ශ‍්‍රී ලංකාව තුළ මීට පෙර අත්අඩංගුවට ගෙන නෑ. දින කීපයක්ම විශේෂයෙන් රාත‍්‍රී කාලය උපයෝ්ගී කරමින් කළ මේ කි‍්‍රයාවේ යෙදී සිටියවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා.
 
 කරන ලද සෝදිසියේ දී මොවුන්ගේ ගමන්මලූ හා වෑන් රථය තුළ තිබී වර්ණවත් සමනලයන්, කුරුමිණියන්, කුහුඹුවන්, කංගන්, හැකරැල්ලන්, තණකොළපෙත්තන්, ගෝණුස්සන්, බත්කූරන්, සලබයන්ද, ඕකිඞ් ශාක වර්ගද, ශාක බීජ වර්ග රාශියක්ද ඉතාමත් සූක්‍ෂම ලෙස ප්ලාස්ටික් භාජනවල අසුරා තිබී ඇත. අත්අඩංගුවට ගන්නා විට ඇතැම් සතුන් පණ පිටින් සිටිනු දක්නට ලැබී ඇත. රත්නවීර මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේ සැකකරුවන් සමීපයේ ඉතාමත් නවීන වර්ගයේ උපකරණ රාශියක්ද තිබූ බවයි. නයිට් විෂන්, කැමරා, ඩ්‍රෝන කැමරා සතුන් අල්ලා ගැනීමේ තාක්‍ෂණ මෙවලම්, ශාක කපා ගැනීමට අවශ්‍ය පිහි වර්ග, අධි ආලෝකය සහිත විදුලි පන්දම් සමග කෙටේරිද අත්අඩංගුවට ගෙන ඇත. සිංහරාජ වනයෙන් බැහැර කිරීමට තැත්කළ සත්ත්ව හා ශාක මිල කළ නොහැකි බවත්, ඇතැම් ඒවා සිංහරාජයට පමණක් සීමාවූ ඒවා බවත් වන සංරක්‍ෂණ නිලධාරීහු පැවසූහ. ඔවුන් පැමිණි වෑන් රථය රථවාහන කුලියට දෙන ස්ථානයකින් ලබාගෙන ඇති අතර එහි පැමිණි සැකකරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු වාහන පදවාගෙන විත් ඇත. සිංහරාජයට ඇතුළුවන ප‍්‍රධානම ප‍්‍රවේශ මාර්ගය වන කලවාන, වැද්දාගල කුඩව හරහා සිංහරාජයට ඇතුළු වී ඇත.
 
 පසුගිය 30 දින ප‍්‍රවේශ පත‍්‍ර කාර්යාලයට පැමිණ ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
 
 තමන්ට මඟ පෙන්වන්නකු අනවශ්‍ය බව ටිකට් කවුළුවේදී පවසමින් තර්ක කර ඇත. පසුව අකමැත්තෙන්ම මඟ පෙන්වන්නකුගේ සහාය ලබා නවාතැනට සේන්දුවී තිබේ. මොවුන් එදින රාති‍්‍රියත් පසුදා දිවා කාලයේත් හෝටලයේම ගතකර ඇත. පසුගිය 01 දා මේ සංචාරකයන් කණ්ඩායම වෙනත් ලැගුම්හලකට ගොස් පාටියක් පවත්වන බව වන සංරක්ෂණ නිලධාරීන්ට ආරංචි වී තිබේ. පසුව බලන විට ඔවුන් හොඳටම වෙරිවූ බවක් ප‍්‍රදර්ශනය කරමින් පැමිණි වාහනයට දොරගුළු දමා මුලින් සිටි ලැගුම්හලට පා ගමනින් ගොස් තිබේ. කෙසේ වුවද සිංහරාජ නිලධාරීන් මොවුන් ගැන දැඩි අවධානයෙන් පසුවූහ. පසුව සෆාරි ජීප් රථයකින් සිව්දෙනෙක් මුල් වෑන් රථය දමාගිය ස්ථානයට පැමිණ ඇත. එක් අයෙක් නොපැමිණියෙන් වන සංරක්‍ෂණ නිලධාරීන් ඒ තැනැත්තා ගැන සෝදිසියෙන් සිටින විට ඔහු විශාල ගමන් මල්ලක්ද සඟවාගෙන පා ගමනින් එනු දක්නට ලැබී ඇත. ඔහු පා ගමනින් යන්නේ ඇයි දැයි පැවසූ විට බස් රථයකින් යෑමට යන බව පවසා ඇත. මේ බෑගය ගැන සැක මතුවූයෙන් බෑගය පරීක්‍ෂා කිරීමේදී සමනලූන්, බත් කූරන්, කංගන් ආදී සතුන් සමග ශාක කොටස්ද සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇත. අනතුරුව වෑන් රථය පිරික්සීමේදීද එවැනිම ශාක කොටස් හා ජීවීන් සොයා ගැනීමට හැකි වූ බවයි. අනතුරුව ලෝක උරුම සිංහරාජයෙන් බැහැර කිරීමට සූදානම් කර තිබූ ඒ සියලූ සත්ත්ව හා ශාක කොටස්ද වෑන් රථයද සැකකාර ස්ලෝවැකියානු ජාතිකයන් පස් දෙනාද අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කිරීම සඳහා කලවාන අඩවි වන නිලධාරී ලක්‍ෂමන් රත්නවීර මහතා වෙත භාරදී ඇත.
 
අනතුරුව මේ පිිිරිස (02 දා) රත්නපුර වැඩබලන මහෙස්ත‍්‍රාත් පි‍්‍රයංකා ගුණවර්ණසූරිය මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව 06 දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙසත් එදින කලවාන සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරිය නියෝග කළාය.
 
 පසුගිය 06 වන දින මේ පිරිස වෑන් රථය හා නඩු භාණ්ඩද සමග කලවාන සංචාරක මහෙස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා වෙත ඉදිරිපත් කරන ලදී. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කලවාන අඩවි වන නිලධාරී ලක්‍ෂ්මන් රත්නවීර මහතා ඇතුළු නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් ඇප මත මුදාහැරීමට විරෝධය පළ කළහ. බී වාර්තාවක් මගින් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළේය. ස්ලෝවැකියානු ජාතිකයන් වන මිචාල් නවාර් (66), එඞ්වර්ඞ් සෙනානස්ති (58), මිචාල් රෙව්ටර් (39), ඉමාන් රෙව්ටර් (54), රැඩොස්ලාව් කොසෙකි (44) යන අයයි. සැකකරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් තරිඳු ඇරැව්වල, ප‍්‍රභාත් පේ‍්‍රමදාස, හේමන්ත කරුණාදාස, විජය තෙන්නකෝන් යන නීතිඥ මහත්වරු කරුණු ඉදිරිපත් කළහ. සියලූ තොරතුරු පිළිබඳව අවධානය දැක්වූ කලවාන මහෙස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා සැකකරුවන් ලබන මස 13 දින දක්වා යළි රිමාන්ඞ් බන්ධනාගාර ගත කළහ. ඔවුන් පැමිණි රථය නීතිරීති රාශියකට යටත්ව රුපියල් ලක්ෂ පනහක බැඳුම්කර ඇපයක් මත මුදාහැරීමටත් නියෝග කරන ලදී. පැමිණිලි පාර්ශ්වයේ ඉල්ලීම මත රසායනික වර්ග සම්බන්ධයෙන් රසායනික වාර්තාවක්ද ජීවීන් (සතුන්) පිළිබඳව සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තු වාර්තාවක්ද ශාක සම්බන්ධව උද්භිද දෙපාර්තමේන්තුවෙන්ද අවශේෂ සතුන් ගැන කෞතුකාගාර දෙපාර්තමේන්තු වාර්තා ගෙන්වා ගැනීීමට නියෝග නිකුත් කිරීමද අධිකරණය විසින් සිදු කරන ලදී. තානාපති කාර්යාලය තුළ ඇපදී සැකකරුවන් රඳවා තැබීමට කළ නීතිඥ ඉල්ලීමද ප‍්‍රතික්ෂේප විය. ශ‍්‍රී ලංකාවේ ස්ලෝවැකියානු තානාපති කාර්යාලයක් නොමැති බවත්, ඇති එකම ළඟ රට ඉන්දියාව බවත් අනාවරණය විය. අවසන් වශයෙන් මෙකී නඩුව යළි 13 බදාදා කලවාන අධිකරණයේ විනිශ්චය වීමට නියමිතය.
 
මා කලින්ද සටහන් කළ පරිදි ලෝක උරුම සිංහරාජය අද නිතර නිතර කරලියට එන මාතෘකාවකි. පසුගියදා මිනීමරු සිංහරාජ වන අලින්ගේ තර්ජන ගර්ජන සාකච්ඡා විය. මරණ 14 ක් පමණ සිදුකළැයි කියන අලි දෙදෙනා වරෙක අල්ලා ඉවත් කිරීමටත් පසුව කොටුකර ආහාරපාන ලබාදී ආරක්ෂා කිරීමටත් කථිකා විය. හිටපු වනජීවී අමාත්‍ය දෙපළම නිරීක්‍ෂණ චාරිකා සිදුකර විවිධ තීරණ ගත්තත් තවමත් හරි කි‍්‍රයාවක් දක්නට නැත. අද වනවිට යළි මේ මිනීමරු දැවැන්ත හස්ති රාජයන් දෙදෙනා රක්වාන – පොතුපිටිය මාර්ගයේ 3 – 4 කි.මී. කණු අතරත්, සිංහරාජයේ සිංහගල අසලත් වෙසෙන බව වනජීවී නිලධාරීහු කියති.
 
 පසුගියදා සිංහරාජ අභ්‍යන්තරයේ මාර්ග පද්ධතියක් ඉදිකරන බවට කතාබහ විය. එහෙත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එය ප‍්‍රතික්ෂේප කරයි. සූරියකන්ද මෙන්ම විවිධ සිංහරාජය අවට ගම්වල ජනතාව සිංහරාජ වනබිම් එළි කරන බවට වාර්තා විය. එසේම සිංහරාජය ආසන්නයේ කොස්ගුලන ප‍්‍රදේශයේ පරිසරය වනසමින් පුද්ගලික විදුලි බලාගාරයක් ගොඩනඟන බවට චෝදනා එල්ල විය. එහෙත් විදුලි බලාගාරය තවමත් ගොඩනඟමින් පවතී. වල්ලාපට්ටා හොරුන්ද සිංහරාජය ආක‍්‍රමණය කරන බවට පසුගිය කාලයේ ආරංචි පැවතුණි.
 
 විදේශිකයන්ට සිංහරාජ වනය නිධානයකි. සිංහරාජයේ සමනලූන්, කෘමීන් ඔවුන්ට අනගි වස්තූන්ය. එහෙත් අපේ පැත්තෙන් මීට අප දෙන පිළිතුර කුමක්ද සිංහරාජයේ ශාක හා ජීවීන් ගෙන යෑමට තමන් පැමිණි බව එක් සැකකරුවෙක් අධිකරණයේ ප‍්‍රකාශ කළ බවද වාර්තා විය. සැකකරුවන් සතුව තිබූ සතුන් ඔවුන්ගේ ඡායාරූප ගැනීමෙන් පසු වනයටම මුදාහරින ලෙස රත්නපුර වැඩබලන මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළ බවද සඳහන් කළ යුතුය.
 
 කෙසේ වුවද ලෝක උරුම සිංහරාජය අප සතුව පවතින දැවැන්ත සම්පතකි. මෙය ප‍්‍රාථමික වනාන්තරයකි. එනම් එදා මෙදාතුර මේ සිංහරාජ වනය තුළ කිසිදා මිනිස් වාසයක් සිදුව නැත. නොරටුන්ට මේ වනය සම්පතකි. ජීව විද්‍යාත්මක හා ශාක විද්‍යාත්මක පැත්තෙන් සරසවියකි. ලංකාවේ වනගහනය 28% කි. මේ අතරින් ලෝක උරුම යුනෙස්කෝ නාමධාරී සිංහරාජය අක්කර හෙක්ටයාර් 11,185 කි. මුහුදු මට්ටමින් අඩි 1170 ක් ඉහළින් පිහිටියේය. 1989 වර්ෂයේ දී එ.ජා. සංවිධානය (යුනෙස්කෝ) සිංහරාජය ලෝක උරුමයක් ලෙස පිළිගෙන ඇත. සිංහරාජයට ඇතුළුවීමට කලවාන, වැද්දාගල කුඩව ගම ඔස්සේද, දෙනියාය, පිටදෙනිය හරහා ද රක්වාන මෝනිංසයිඞ් හරහා ද ප‍්‍රවේශ මාර්ග 3 ක් ඇති අතර කලවාන – කුඩව මාර්ගය වඩා ජනපි‍්‍රයත්වයක් උසුලයි. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 3000 – 5500 දක්වා පවතී. රත්නපුර, ගාල්ල, මාතර, කළුතර දිස්ති‍්‍රක්ක ගණනාවකට සිංහරාජය නෑකම් කියයි. ජෛව විවිධත්වයෙන් හා වෘක්‍ෂලතා (ශාක) විවිධත්වයෙන් යුත් සිංහරාජ වන රජදහනේ ආවේණික ශාක වර්ග 192 ක්ද වඳවීමේ තර්ජනයට මුහුණදුන් ශාක 30 ක් ඇතුළු විවිධ ශාක වර්ග 338 ක්ද, සත්ත්ව විශේෂ 140 ට වැඩි ප‍්‍රමාණයක්ද, පක්ෂි විශේෂ 147 ක්ද, උභයජීවීන්, උරගයන්, ක්‍ෂීරපායින් දේශීය පක්ෂි විශේෂ රාශියක්ද වාර්තා වී ඇත. වේවැල්, උඩවැඩියා හා මීවන ශාක රාශියක්ද ඒ අතර වේ. දර්ශනීය දියඇලි 20 ට අධික සංඛ්‍යාවක් ඇති අතර මෙයින් ¥විලි ඇල්ල අතිශයින්ම චමත්කාරජනකය.
 
 ඇතැම් වෘක්‍ෂ මේ වනවිටත් හඳුනාගෙන නැති අතර ඖෂධීය ගුණයෙන් අනූන පැළෑටි අසීමිත සිංහරාජය ඔසු උයනකි. ලංකාවේ වාර්තා වන වේවැල් වර්ග 10 අතරින් 8 ක්ම සිංහරාජයේ ඇති අතර ඇතැම් වැල් වර්ග වඳවීමේ කඩඉමට සමීප වී ඇත. අතිශයින් දුර්ලභ උඩවැඩියා වර්ග බහුලව දර්ශනය වේ. වේවැල් ශාක දැවැන්ත වනස්පතීන් වැළඳගනිමින් ඉහළට ඇදී ගොස් අහස් කුස දක්වා විහිදේ. තෙත් කලාපීය වනාන්තරයක් වන මෙහි වෘක්‍ෂලතා වියන් දෙකක් හෙවත් ස්ථර දෙකක් ලෙස දක්නට ඇත. ජීව විද්‍යාඥයන්ට විද්‍යාගාර භෞතික විද්‍යාඥයන්ට කෝෂ්ඨාගාරයකි. වෛද්‍යවරුන්ට ඔසු මැණික් නිධානයකි. උයනකි.
 
 පරිසරවේදීන්ට සිංහරාජය මිහිබට සුරපුරකි. සිංහරාජය දෙස් විදෙස් සංචාරකයන්ට සංචාරක තෝතැන්නකි. මේ තොරතුරුවලින් අල්ප මාත‍්‍රයකි.
 
 මෙවන් අමිල සිංහරාජයේ කුරා කුහුඹුවන්, කංගන්, බත්කූරන් ස්ලෝවැකියානු සංචාරකයන්ට දුර්ලභ වටිනා සත්ත්ව විශේෂ වුණත් ශ‍්‍රී ලාංකිකයන් ලෙස ඒ සතුන් පිළිබඳ අපේ තත්ත්වය කුමක්ද? සත්ත්ව හා ශාක කොටස් ගෙන යෑමට චෞරයන් ලෙස ස්ලෝවැකියානුවන් ආවත් ඔවුන් අපට පණිවිඩයක් දී ඇත. ඒ සිංහරාජයේ වටිනාකමයි. ඔවුන් බත්කූරන් අල්ලද්දී අපි සිංහරාජ අලින් මායිම් කරන්නේ තුට්ටු දෙකටයි. අල්ලා ඉවත් කිරීමට සමහරු උද්ඝෝෂණ කරති. මේ සිද්ධියෙන් පසු සිංහරාජයේ අගය හා වටිනාකම පිළිබඳ බලධාරීන්ගේ හා පරිසරවේදීන්ගේ දෙනෙත් ඇරේවායි පතමින් මේ සටහනට තිත තබමි.
 
 කෙසේ වුවද මේ මෙහෙයුම දියත් කළ නිලදරුවන්ගේ නම් සඳහන් කරන්නේ කෘතවේදීත්වයෙනි. කලවාන අඩවි වන නිලධාරී ලක්‍ෂ්මන් රත්නවීර, සබරගමුව හා දකුණු පළාත භාර නියෝජ්‍ය වන සංරක්‍ෂක ජී.එච්.එස්. කුමාරසිරි, රත්නපුර අඩවි වන නිලධාරී ඞී. පී. ප‍්‍රසාද්, තිස්ස බණ්ඩාර, සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ සමග බීට්ටු නිලධාරීන් වන මංජුල, අනුර, මඟපෙන්වන්නන් වන සුනිල්, සුසන්ත යන මහත්වරුන් සමඟ කලවාන කුඩව සිංහරාජ පිවිසුම් කාර්යාල නිලධාරී මඬුල්ලටද ස්තූතිය පිරිනැමේ.

-Divaina –
 

Related posts

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

colombotoday

“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

colombotoday

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ භුමිදානය කරන්නේනම් එයට රාජපක්ෂ පවුලේ සුසාන භුමිය යොදා ගන්න.

colombotoday

මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී දෙමළ ජනතාව විශාල අනතුරක – ඩග්ලස් දේවානන්දා

colombotoday