Colombo Today Local News

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ පවුලේ සාමාජිකයකු ඝාතනය කිරීමට සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයකු කටුනායක ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් මුළු රටම උණුසුම් වුණේය.

මෙවන් කුමන්ත‍්‍රණ පිළිබඳව අතීතයේදී ද නිතර අසන්නට ලැබිණි. එවැනි කුමන්ත‍්‍රණ පිළිබඳ ලැබුණු තොරතුරු සැලකිල්ලට නොගැනීම නිසා අපට අත්විඳින්නට සිදුවූ අමිහිරි සිදුවීම්ද අමතක කළ නොහැක.

ඒ නිසා කටුනායකදී අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයා කළ කුමන්ත‍්‍රණය නිකම්ම නිකන් කතාන්දරයක් කියා බැහැර කළ නොහැක.

යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. ය ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවස්ථා කීපයකදීම ඝාතනය කිරීමට උත්සාහ කළහ. කොල්ලූපිටිය පිත්තල හන්දියේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිවි ගලවා ගත්තේ රටේ වාසනාවටය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බවට නාමල් කුමාර නමැත්තෙකු විසින් පසුගියදා කරනු ලැබූ හෙළිදරව්වක් මගින් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියක් බවට පත්ව තිබුණේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමට මෙන්ම මෙරට පාතාලය මට්ටු කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ රටම අනුමත කළහ. මේ වැඩපිළිවෙළ නිසා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් මෙන්ම පාතාල අපරාධකරුවන්ද ගෝඨාභය මහතා කෙරෙහි පසුවන්නේ දැඩි වෛරයකින් යුතුවය.

ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වීම මුස්ලිම් අන්තවාදීන්ට, කොටි හිතවාදීන්ට, පාතාල අපරාධකාරයන්ට මෙන්ම ඇතැම් ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ට එල්ල වූ මරු පහරක් විය.

මෙවැනි සතුරු බලවේග ක‍්‍රියාත්මක වෙමින් තිබීම නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා විනාශ කර දැමීමට සංවිධානාත්මක පිරිස් උත්සාහ කරනු ඇතැයි යන සැකය කෙසේවත් බැහැර කළ නොහැක.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පවුලේ සාමාජිකයකු ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක කල්ලියක සාමාජිකයකු කළ කුමන්ත‍්‍රණයට අදාළ තොරතුරු කටුනායක පොලිසිය වෙත ලැබෙන්නේ අහම්බයකිනි.

පසුගිය 01 වැනිදා කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඉන්දික වෙත තොරතුරක් ලැබී තිබුණේය.

කටුනායක මාදුව ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මක වන කසිප්පු තිප්පළක් පිළිබඳව ලැබුණු තොරතුර අනුව එය වැටලීමට පොලිස් නිලධාරීන් සූදානම් වූහ.

උප පොලිස් පරීක්‍ෂක ඉන්දික ඇතුළු නිලධාරීන් සිව් දෙනෙක් කටුනායක මාදුව ප‍්‍රදේශය වෙත ගොස් කසිප්පු තිප්පළ වැටලූහ. එහෙත් පොලිසිය ප‍්‍රමාද වැඩිය. මේ වැටලීමට ටික වේලාවකට පෙර ජාවාරම්කාරයන් කසිප්පු අරගෙන පලාගොස් සිටියහ.

වැටලීම අසාර්ථක වීමෙන් පසු පොලිස් නිලධාරීන් හිස් අතින්ම ආපසු කටුනායක පොලිසිය වෙත එන්නට සූදානම් වූහ.

මෙම වැටලීම සිදුකළ මාදූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි එක්තරා දෙමළ ජාතිකයකු උප පොලිස් පරීක්‍ෂක ඉන්දික ඉදිරියේ පෙනී සිටියේ කිසියම් වැදගත් තොරතුරක් ලබාදීම සඳහාය.

‘සර්… මට සර්ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මම දවස් ගණනක් තිස්සේ සර්ව හම්බ වෙන්න හිටියෙ මේ ගැන කියන්න.’

දෙමළ ජාතිකයා පොලිස් පරීක්‍ෂකවරයාට කීවේය.

කන්දයියා නමැති මේ දෙමළ ජාතිකයා කටුනායක මාදුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු නිතර කටුනායක පොලිසිය සමග සබඳතා පවත්වමින් වැදගත් තොරතුරු ලබාදුන් පුද්ගලයෙකි.

වැදගත් තොරතුරු ලබාදීම නිසා කන්දයියා පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය දිනාගෙන සිටියේය.

උප පොලිස් පරීක්‍ෂක ඉන්දික කන්දයියා කැඳවාගෙන පසෙකට ගොස් ඔහු සමග දොඩමළු වුණේය.

සර්… මගේ මල්ලි මදන්. එයා රස්සාව කරන්නෙ කටුනායක සෝන් එකේ ෆැක්ටි‍්‍රයක.

මදන් නැවතිලා ඉන්නෙ සීදුවෙ බෝඩිමක. එයා ඉන්නෙ කමල් රාජ් කියලා යාළුවෙක් එක්ක….

 කන්දයියා තම බාල සොහොයුරා පිළිබඳව විස්තරයක් උප පොලිස් පරීක්‍ෂකවරයා හමුවේ කියා සිටියේය.

 කන්දයියා මදන් මෙන්ම කමල්රාජ්ද එල්.ටී.ටී.ඊ. මහවිරු පවුල්වල සාමාජිකයන්ය. මදන්ගේ වැඩිමහල් සොහොයුරිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රබල සාමාජිකාවකි. ඇය යුද්ධයේදී මියගිය පසු ඇගේ පවුලේ සාමාජිකයන් වෙත එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මහවිරු පවුල් සඳහා ලබාදෙන ගෞරව නාමය ලබාදී තිබිණි.

 මදන් 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. ඔහු ආයෝජන කලාපයේ රැකියාව කරන්නේ මීට වසර දෙක තුනකට පෙර සිටය.

 කන්දයියා තවත් තොරතුරු උප පොලිස් පරීක්‍ෂකවරයා වෙත ලබා දුන්නේය.

gathana2

‘සර් මගේ මල්ලි නැවතිලා ඉන්න බෝඩිමේ ඉන්නවා හකීම් කියලා මුස්ලිම් කොල්ලෙක්. මිනිහා එතන නැවතිලා ඉන්නේ මාස දෙක තුනක ඉඳලා. මිනිහා මගේ මල්ලි එක්ක බොහොම හිතවත්. නිතර මේ කට්ටිය මත්පැන් පානය කරනවා. හොඳට බීපු දවසක මේ හකීම් කියන මනුස්සයා මගේ මල්ලිවයි කමල්රාජ්ටයි අලූත් යෝජනාවක් ගෙනල්ලා…’

 කන්දයියා තම සොහොයුරා සහ හකීම් නමැති මුස්ලිම් තරුණයා අතර සිදුවූ රහසිගත කතාබහ පිළිබඳව තොරතුරු එකින් එක කියන්නට වූයේය.

 හකීම් මොහොම්මදු රිස්කාන් 26 හැවිරිදිය. මොහු ඔට්ටමාවඩි වාලච්චේනේ පදිංචිකරුවෙකි. දෙදරු පියෙකු වූ හකීම් කටුනායක ආයෝජන කලාපයේ රැකියාවක් කිරීමට පැමිණෙන්නේ මීට වසරකට පමණ උඩදීය.

 හකීම්ගේ බිරිඳ දරුවන් දෙදෙනා අතහැර යන්නේ මීට වසර තුන හතරකට උඩදීය. දරුවන් දෙදෙනා හකීම්ගේ මව්පියන් සෙවණේ ඇතිදැඩි වන අතර ඔහු ඉඳහිට වාලච්චේන ප‍්‍රදේශය වෙත ගොස් ඔවුන්ගේ දුක සැප සොයා ආපසු ආවේය.

 මදන් සහ කමල්රාජ් නවාතැන් ගෙන සිටින බෝඩිමේ කාමරයක පදිංචි වී සිටින හකීම් ඉන් පිටතට ගියේ එහෙමත් වෙලාවකය.

 මදන් සහ කමල්රාජ් සමීපව ඇසුරු කළ හකීම් සතියකට දෙතුන් වතාවක් ඔවුන් සමග මත්පැන් පානය කිරීමට පුරුදුව සිටියේය.

 මදන් සහ කමල්රාජ් රැකියාවට ගොස් ආපසු බෝඩිමට පැමිණෙන තුරු හකීම් බලාසිටියි. හකීම්ට අවශ්‍ය වූයේ මදන් සහ කමල්රාජ් සමග මත්පැන් පානය කරමින් ඔවුන් සමග දොඩමළු වීමටය.

 දිනක් මදන් කමල්රාජ් සහ හකීම් බෝඩිමේ අඳුරු කාමරයක මත්පැන් පානය කළහ. එදින හකීම් පදම ඉක්මවා මත්පැන් පානය කළේය. මදන් සහ කමල්රාජ් මහවිරු පවුල්වල සාමාජිකයන් බව හකීම් හොඳින් දැන සිටියේය. එදින හකීම් තම සිතේ කාලයක් තිස්සේ සඟවාගෙන සිරකරගෙන සිටි ඉතාම වැදගත් කාරණාව මදන්ට සහ කමල්රාජ්ට කීවේය.

 ‘මට උඹලා දෙන්නා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි මම මේ වැදගත් දේ උඹලට කියන්නෙ. අනික උඹලා එල්.ටී.ටී.ඊ. මහවිරු පවුල්වල සාමාජිකයෝ. ඒ නිසා උඹලට මේ වැඬේ හරියට කරන්න පුළුවන්.

 හකීම් තම සැලසුම පිළිබඳව පියවරෙන් පියවර මිතුරන් දෙදෙනාට පැහැදිලි කරන්නට පටන් ගත්තේය.

 ‘මේ වැඬේ කළොත් උඹලා දෙන්නට හිතාගන්න බැරි ධනස්කන්ධයක් දෙන්න පුළුවන්. උඹලා දෙන්නා යුරෝපේ හොඳ රටකට යවන්නත් පුළුවන්.’

 හකීම් තම මිතුරන් වූ මදන්ට සහ කමල්රාජ්ට කීවේය. හකීම් කුමක් කියන්නට යනවාදැයි සිතාගැනීමට නොහැකිව දෙදෙනාම තුෂ්නිම්භූතව බලා සිටියහ.

 ‘හරි හරි අපි කැමැති වෙන්න හරි අකමැති වෙන්න හරි මොකක්ද වැඬේ කියලා කියපං..’

 මදන් කීවේය.

 ‘මේ පාර ජනාධිපතිවරණයට තරග කරන ගෝඨාභය රාජපක්‍ෂ මහතාව හරි එයාගේ ටීම් එකේ කාව හරි ඉවරයක් කරලා දාන්න ඕනෙ. ඒක කළොත් උඹලා දෙන්න ගොඩ යනවා.’

 හකීම් කීවේය. එය ඇසීමෙන් මදන් සහ කමල්රාජ් තුෂ්නීම්භූත වූහ. රැකියාවක් කරගෙන පැත්තකට වී සිටින තමන්ට මෙවැනි අපරාධයක් කිරීමට කෙසේවත් ඉදිරිපත් විය නොහැකි බව මදන් මෙන්ම කමල්රාජ්ද හොඳින් තේරුම් ගෙන සිටියහ. එහෙත් මේ බවක් නොපෙන්වූ මදන් මේ පිළිබඳව හකීම්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළේය.

 ‘හරි අපි ඔය වැඬේ කළොත් අපට කවුද සල්ලි දෙන්නෙ? කවුද අපිව රට අරගෙන යන්නෙ.’

 මදන් හකීම්ගෙන් විමසුවේය.

 ‘මේ වැඬේ කළොත් අපිට සල්ලි දෙන්නෙ අනුරාධපුර පැත්ත නියෝජනය කරන යූ.එන්.පී. මන්තී‍්‍ර කෙනෙක්. එයා මුස්ලිම් කෙනෙක්. එයා තමයි මේ වැඬේ කෝඩිනේට් කරන්න භාර අරගෙන ඉන්නෙ.’

 ‘අනික මේ වැඬේට ඕන කරන ආයුධ සේරම අපට දෙනවා. අපට තියෙන්නෙ වැඬේ කරන්න විතරයි.’

 හකීම් සිය සැලසුම පිළිබඳව සියලූ විස්තර මදන්ට සහ කමල්රාජ්ට කීවේය.

 ඒ වන විට මදන් සහ කමල්රාජ් දැඩි ලෙස කලබලයටත් භීතියටත් පත්ව සිටියහ. ඔවුන් දෙදෙනා හකීම්ගේ ඉල්ලීම එකපයින් ප‍්‍රතික්ෂේප කළහ.

 ‘අපිට නිකං අමාරුවේ වැටෙන්න බැහැ. අපි දෙන්නා බොහොම අමාරුවෙන් රස්සාවක් කරලා කීයක් හරි සොයාගෙන ඉන්නෙ. උඹ මේවට අපිව ගාව ගන්න එපා.’

 මදන් තම මිතුරා වූ හකීම්ට කීවේය.

 ‘හරි හරි උඹලා මේ වැඬේට කැමැති නැත්නම් මම බල කරන්නෙ නැහැ. හැබැයි මේ කතාව වෙන කිසි කෙනෙකුගෙ කනට යන්න බැහැ.’

 ‘උඹලා මේ කතාව මේ කනෙන් අහලා අනෙක් කනෙන් එළියට දාන්න ඕනෙ.’

 හකීම් එසේ කීවේ තරමක තර්ජනාත්මක ස්වරයකින්ය. මේ සාකච්ඡාව එතැනින් නිමාවිය.

 මාව සී.අයි.ඞී. එකෙන් හොයනවා. ඒ නිසයි මම මෙතන හැංගිලා ඉන්නෙ.

 මගේ ෆොටෝ එකක්වත් කිසි කෙනෙකුට පෙන්නන්න එපා. එහෙම වුණොත් මාව අහුවෙයි. මා එක්ක මේ දේවල් ගැන කතා කළා කියලා කිසි කෙනෙකුට දැනගන්න ඉඩ තියන්න එපා.’

 හකීම් එසේ කීවේ තරමක තර්ජනාත්මක ස්වරූපයකින්ය. හකීම් මදන් සහ කමල්රාජ් අතර පැවැති රහසිගත සාකච්ඡාව එතැනින් අවසන් විය. එතැන් පටන් හකීම් කිසිවක් සිදුනොවූ අයුරින් කාලය ගත කළේය.

 එහෙත් මදන්ගේ සහ කමල්රාජ්ගේ සිත්වලට නිවනක් නැත. හකීම් කුමන ආකාරයක පුද්ගලයකු දැයි සිතාගත නොහැක. මදන් මේ සිදුවීම පිළිබඳව තම සොහොයුරා වන කන්දයියාට කීවේ කිසියම් උපදෙසක් බලාපොරොත්තුවෙන්ය.

 ‘මම දන්න මහත්වරු ටිකක් ඉන්නවා කටුනායක පොලිසියෙ. අපි එයාලට මේ ගැන කියලා බලමු.’

 කන්දයියා තම සොහොයුරාට කීවේය. කන්දයියා ලබාදුන් තොරතුරු ඉතාම වැදගත් විය. උප පොලිස් පරීක්‍ෂක ඉන්දික මේ තොරතුරු සියල්ල පිළිබඳව තම ඉහළ නිලධාරීන් දැනුවත් කළේය.

 බස්නාහිර උතුර පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද දැනුවත් කිරීමට පහළ නිලධාරීන් කටයුතු කළහ.

 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ ජීවිතවලට අනතුරක් කිරීමට සැලසුම් කරන කල්ලිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පහළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 ඒ අනුව ක‍්‍රියාත්මක වූ කටුනායක පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ඉන්දික ඇතුළු නිලධාරීන් සීදුව ජයවර්ධනපුර මාවතේ පිහිටි බෝඩිම වැටලූහ.

 ඒ වන විට හකීම් මෙන්ම මදන් සහ කමල්රාජ්ද මේ බෝඩිමේ නවාතැන් ගෙන සිටියහ. පොලිස් නිලධාරීන් මේ තරුණයන් තිදෙනාම අත්අඩංගුවට ගත්හ.

 ජනාධිපති ගෝඨාභය මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව මත හකීම් අත්අඩංගුවට ගන්නා ලදී. මෙවැනි බරපතළ කුමන්ත‍්‍රණයක් හෙළි නොකර ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මදන් සහ කමල්රාජ් ද අත්අඩංගුවට ගැනීමට කටුනායක පොලිසිය කටයුතු කළහ.

 කටුනායක පොලිසිය හකීම්ගෙන් ප‍්‍රශ්න කිරීමටත් ඔහුගේ පැටිකිරිය සෙවීමටත් පටන් ගත්හ. හකීම් කොල්ලකෑම්, සොරකම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයකු බව පොලිසිය සොයා ගත්තේය.

 2012 වර්ෂයේදී හකීම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. වාලච්චේන ප‍්‍රදේශයේ අනතුරක් සිදුවූ අවස්ථාවක මුස්ලිම් ජාතිකයන් කලහකාරී ලෙස හැසිරුණාහ. ඒ අවස්ථාව පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් රැගත් ජීප් රථයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කර ඊට බරපතළ හානි සිදු කළහ. පොලිස් ජීප් රථයට පහර දීමේ සිද්ධියට නායකත්වය දී තිබුණේ හකීම්ය.

 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හකීම් අත්අඩංගුවට ගෙන තිබුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන්ය. පොලිස් ජීප් රථයකට පහරදීම රජයේ දේපළවලට හානි පැමිණවීම සම්බන්ධයෙන් හකීම් කලක් බන්ධනාගාරගතව සිටියේය.

 ඇප මත මුදාහැරීමෙන් පසු හකීම්ට මසකට වරක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට අධිකරණ නියෝගයක් ද තිබුණේය.

 මුල් කාලයේදී හකීම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියද පසු කලෙක ඔහු එය මඟහැරියේය.

 හකීම්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ තමන් රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් සීදුවේ බෝඩිමට වී සිටින බවයි.

 මදන් සහ කමල්රාජ්ගෙන් පොලිසිය වෙන වෙනම ප‍්‍රශ්න කළ අතර ඔවුන් දෙදෙනාම හකීම් කියූ සියලූ දේ ඒ අයුරින්ම කීය. හකීම් මදන්ට සහ කමල්රාජ්ට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්ට අනතුරක් කිරීමට යෝජනා කළ බවට ඉන් පැහැදිලි විය.

 හකීම් වසර කීපයක් තිස්සේ සෞදි අරාබියේ රැකියාවක් කර ඇති බවද පොලිසිය සොයා ගත්තේය. කටුනායක පොලිසිය හකීම් පිළිබඳව විමර්ශන පැවැත් වුවද ඔහු අන්තවාදී සංවිධානයකට හෝ අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු කිසිවක් හෙළි නොවීය. මේ ප‍්‍රහාරක සැලසුම සඳහා මුදලින් ආධාර ලබාදීමට සූදානමින් සිටින මන්ත‍්‍රීවරයා පිළිබඳව සෙවීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය හකීම්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද මොහු රඳවාගෙන දින දෙකක් තිස්සේ ප‍්‍රශ්න කළේය. අවසානයේදී හකීම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ද අවසර ලබාගෙනය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මදන් සහ කමල්රාජ් මුදාහැරියේ ඔවුන් මේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ නොවූ බව හෙළිව තිබූ නිසාය.

 හකීම්ට අයත් ෆේස්බුක් ගිණුම් 4 ක් ද පොලිසිය සොයාගත්තේය. ඒ ෆේස්බුක් ගිණුම් එකක සියයකට වැඩි මිතුරු මිතුරියන් සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටිති.

 හකීම්ගේ ෆේස්බුක් මිතුරු සබඳතා පිළිබඳව සෙවීමටද පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

 සිංහල බෞද්ධ බහුතර ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මුස්ලිම් අන්තවාදීන්ගෙන් මෙන්ම කොටි හිතවාදීන්ගෙන් විශාල තර්ජනයක් එල්ල වී ඇති බව නිසැකය.

 මුස්ලිම් අන්තවාදීන් විනාශ කරදමා පාතාලය මට්ටු කර කොටි හිතවාදීන් පලවාහැර රටට සාමය රටේ ආරක්‍ෂාව නැවත ස්ථාපිත කරන බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ පොරොන්දුවක් ද දී තිබුණේය.

 මෙරට මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් බෝම්බ ඇඳුම් කට්ටලවලින් සැරසී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපි කිසිවෙකුත් නොසිතුවෙමු.

 මේ පිළිබඳව කල්තියා සියලූ තොරතුරු ලැබී තිබුණද රටේ ආරක්‍ෂක ප‍්‍රධානීන් පවා එය ගණනකට නොගෙන සිටියේ එවැනි මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල නොවනු ඇතැයි යන විශ්වාසයේ සිටය.

 පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු සැලකිල්ලට නොගෙන බැහැර කිරීම නිසා අපට අත්විඳින්නට සිදුවුණේ ඉතාම ඛේදනීය තත්ත්වයකටය.

 අශ්වයා පලාගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නැත. ගෝඨාභය රාජපක්‍ෂ මහතා තම ආරක්‍ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් 2250 ක් ඉවත් කළේය. ගමන් බිමන් යෑම සඳහා යොදා ගන්නා ආරක්‍ෂක වාහන ද කීපයකට පමණක් සීමා කර ගත්තේය.

 ආරක්‍ෂකයන් දහස් ගණනින් සිටියදීත් රාජ්‍ය නායකයන් මරා දැමූ සිදුවීම් රැසක් ඉතිහාසය පුරා ලියැවී තිබෙයි. ආරක්‍ෂකයන් පිරිවරා සිටියදී හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා එල්.ටී.ටී.ඊ. ය විසින් මහමගදී ඝාතනය කළහ. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා අති විශාල ආරක්‍ෂක රැකවරණයක් තිබියදී එල්.ටී.ටී.ඊ. ය විසින් ඉතාම සාහසික අන්දමින් මරා දැමුවේ මිනිස් බෝම්බයක් යොදා ගනිමින්ය.

 ඇමරිකාවේ ජනප‍්‍රියතම ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය කළේ කුමන්ත‍්‍රණකාරීන් පිරිසක් විසින් මහමගදීය. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා තම නිවස ඉදිරිපිටදීම ඝාතනය කර දැමුවේ සංවිධානාත්මක කල්ලියක් විසින්ය.

 අප ජීවත් වන්නේ බලලෝභී මිනිසුන් වෙසෙන සමාජයකය. ඒනිසා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ අතීත සිදුවීම් ගැන අවධානය යොමුකළ යුතුය.ගෝඨාභය රාජපක්‍ෂගේ සරල බවට මුළු ශ‍්‍රී ලාංකිකයන්ගෙන්ම හිමිවන්නේ ගෞරවයකි. එහෙත් රට තුළ ක‍්‍රියාත්මක වන විරුද්ධවාදීන්ගෙන් ආරක්‍ෂා වීමට රාජපක්‍ෂ මහතා මීට වඩා සැලකිලිමත් විය යුතුය.

 ඒ නිසාම කටුනායක දී අල්ලාගත් හකීම් නමැති සැකකරු කළ කුමන්ත‍්‍රණය නිකම්ම නිකන් කතාන්දරයක් කියා සුළුකොට තැකිය නොහැක.

Related posts

ආනයනික අර්තාපල්, ලොකුළූණු බදු පහලට…

colombotoday

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

“ලංගම මිලියන 3080ක් ගියේ කොයි කුමාරිගේ ගිණුමටද ?”

colombotoday

මධූෂ්‌‌‌ගේ ඩුබායි නම “අජිත් අවංක වික්‍රමසිංහ”

colombotoday

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday