Colombo Today Local News

අපි කාගෙවත් පැත්තක් ගන්නේ නෑ… මහින්ද අගමැති සේ පිළිගන්නෙත් නෑ…

මහින්ද රනිල් බල සූදුවේ ජනතා විමුක්ති පෙරමුණ මහින්දගේ පැත්තේ හෝ රනිල්ගේ පැත්තේ නැති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට සිය පක්ෂයට ඕනෑකමක් නැති අතර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිළිගැනීමට සූදානම් නැතැයි ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

බල සූදුවෙන් පත්වන රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස ජනතාව පිළිගත යුතු නැති බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත්,  එළියෙදීත් පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කළ හැකි හැමදේම කරන බව ද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (04) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවැසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ප්‍රගතිශීලී බලවේග සමග පාට, පක්, භේද දේශපාලන මතයන් නොතකා එක්ව සටන් කරන බවට ද සපථ කර සිටි ඒ මහතා එහිදී මෙසේ ද පැවැසීය.

”මෛත්‍රී – රනිල් ජනවාරි 8 ජනවරමට පයින් ගැහුවා. ආර්ථික දේශපාලන සමාජයීය වශයෙන් ජනතා අපේක්ෂා බිඳ වැට්ටෙව්වා. ඔවුන්ම කියූ ‘යහපාලනය’ මුළුමනින්ම බිඳවැට්ටෙව්වා. ජනතාව බලා‍පොරොත්තුවෙන් සිටියත් හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දුන්නෙත් නැහැ. රට මහ අවුලෙන් අවුලකට පත් වුණා. ඒ ආණ්ඩුව පළවා හැරිය යුතු ආණ්ඩුවක්. ඊනියා යහපාලනය කියලා නම් කළාට, ඇත්තටම යහපාලනයක් තිබුණේ නැහැ. ඒ නිසාම ඒ ආණ්ඩුව ගෙදර යැවිය යුතු ආණ්ඩුවක්. එවැනි පසුබිමක එකවරම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ. ඒ ක්‍රියාවලිය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධීයි. සදාචාර විරෝධීයි. ප්‍රජතන්ත්‍ර විරෝධීයි. එය කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ඒක අපි සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා පමණක් නොවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, එයට ගරුකරන සියලු දේශමාමක බලවේග මේ ක්‍රියාදාමය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.

මේ නීතිවිරෝධීව කරන ලද පත් කිරීම් කිසිවක් ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නේ නැහැ. ඒ නිසා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අපි පිළිගන්නේ නැහැ. ඒ වගේම කැබිනට් ඇමැතිවරු රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු ඒ කිසිකෙනෙක් අපි පිළිගන්නේ නැහැ. මේ රටේ ජනතාවත් ඒ කිසිවක් පිළිගන්නේ නැහැ. මොකද ඒක බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක්. නීති විරෝධී කටයුත්තක්. අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරයක් විශ්වාසය ඇති පුද්ගලයා ජනාධිපතිවරයා පත්කළ යුතුයි කියලා ව්‍යවස්ථාවේ තියෙනවා. එසේ තිබියදී, පාර්ලිමේන්තුවේ බහුතරය නොවිමසා මේ කරපු ක්‍රියාවලිය රට මහ අවුලෙන් අවුලකට පත් කරලා තියෙනවා.
මේ පත්කිරීමත් සමග පාර්ලිමේන්තුව හදිසියේ කල් දමනු ලැබුවා. විධායක බලය පාවිච්චි කරලා තමයි මේ පාර්ලිමේන්තුව වාර අවසාන කළේ. තනි පුද්ගලයකුට හිතෙන හිතෙන වෙලාවට මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන පාර්ලිමේන්තුව කල් දාන්න එසේ නැතහොත් වාර අවසාන කරන්න එහෙම හැකියාවක් තියෙන්නේ කොහොමද?

තමන්ට නැති වුණු බලය හදාගන්න තමයි එහෙම කළේ. එසේ නැතුව රටේ ඇත්ත සිවිල් ප්‍රශ්නයක් ජනතාවගේ ප්‍රශ්නයක් නිසා පාර්ලිමේන්තුවේ වාර අවසාන කරලා නැහැ. මේක ඉතාමත් වැරදි, ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක්. බලය තනි පුද්ගලයකුට පවරා දීම එක් පැත්තකින් ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. අනික් පැත්තෙන් සදාචාර විරෝධීයි. ඒ නිසාම තමයි ජවිපෙ විසින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මේ වගන්තිය වෙනස් කරන්න කියලා අපේ පැත්තෙන් මැදිහත් වුණේ. විසිවැනි සංශෝධනය සකස් කිරීමේ දී, ජනාධිපතිවරයාගේ අසීමිත ලෙස බලතල ඉවත් කිරීමට අපි යෝජනා කළා. මේ අත්තනෝමතික බලය අහිමි කරන්න කියලා අපි විස්ස සංශෝධනයට ඇතුල් කළේ හිතූ මතයට. එහි ආණ්ඩුක්‍රම ජනාධිපතිවරයට වාර අවසාන කරන්න බැහැ කියා.  අද මුළු රටේම ජනතාව දකිනවා මෙහි ඇති බරපතළකම. දැන් සජීවීව අත්දකිනවා. මේ සිදුවීම වෙන්න පෙර තමයි ජවිපෙ මේ වගන්තිය විසි වැනි සංශෝධනයට එකතු කළේ. අපි දැක්කා මේක ඉතා බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්තියක් කියලා.

දැන් මේ බල සූදුව ඇතුළේ කාටත් පේනවා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කුණු මාළු කෑලි ගාණට වැටිලා තියෙනවා. කෝටි 40-50 ට විකිණෙන මහ සූදුවක් බවට  පත්වෙලා තියෙනවා. අද ඒවයේ හඬ පට නිකුත් වෙලා තියෙනවා. ඒවයේ යෝජනා කරනවා ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් දෙන්න. මේක පැහැදිලිව අල්ලස් දීමක්. මුදල් දීමත් වරදාන වරප්‍රසාද දෙනවා යැයි කීමත් අල්ලස් දීමක් වෙනවා. අල්ලස් හෝ
දූෂණ පනත යටතේ එය ඉතාම බරපතළ වැරැද්දක් නමුත් එළිපිටම දුරකථනවලින් කතා කරලා දැන් අල්ලස් දෙන්න කතා කරනවා. ඒ තත්ත්වයට මේ මන්ත්‍රීවරුන් විකිණෙන්න පටන් අරන් තියෙනවා.

මේ මන්ත්‍රීවරුන් විකිණෙන එක අද ඊයේ සිදුවුණු එකක් නමෛයි. මීට කලින් අවස්ථාවලදීත් මේ මන්ත්‍රීවරුන් කෝටි ගණන්වලට විකිණුනා. කල් ඇතිව මේක අපි දැක්කා. ඒ නිසා පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණොත්, ඔහුට ඒ පක්ෂයෙන් ඉවත් වෙලා වෙනත් පක්ෂයකට යන්න බැහැ ඒක නතර කළ යුතුයි කියලා අපි  19 වැනි සංශෝධනයට වගන්තියක් එකතු කළා. එයට සියලු දෙනාම එකඟ වෙලා තිබියදී, එදා දිනේෂ් ගුණවර්ධනයි විජයදාස රාජපක්ෂයි දෙන්නම එකතු වෙලා මේ මන්ත්‍රීවරුන්ට එහාට මෙහාට පනින්න බැහැයි කියලා අපි දාලා තිබුණු වගන්තිය අයින් කළා. අද මුළු රටම දකිනවා මේකේ තියෙන ආදීනව. එතැනින් නතර නොවී මේ 20 සංශෝධනයටත් නැවත අපි ඒක ගෙනවා. මන්ත්‍රීවරුන් ඉතාම අප්‍රසන්න ඉතාම නින්දිත නීච විදියට මේ විකිණිල්ල නතර කිරීම සඳහා වූ මැදිහත් වීම අපි එදත් සිදුකළා.

පසුගිය දවස්වල ලොකුම විවේචනයක් හැදුවා දෙමළ ජාතික සන්ධානය රට බෙදනවා රට කඩනවා කියලා. එහෙම කිය කිය ඉඳලා අන්තිමට හමුදා සොල්දාදුවන් උතුරේ කාණු සුද්ධ කරන්න දාලා, මුලතිව්වල සිංහල ජනතාවට පදිංචි වෙන්න අයිතියක් නැහැ කියපු ටීඑන්ඒ එකේ මන්ත්‍රීවරයාව තමන්ගේ ඔඩොක්කුවට දාගත්තා. දැන් මහලොකුවට බෙදුම්වාදය කතා කරපු මහත්තුරු කෝ කියලා අපි අහනවා. ඒ තරම් මජර තත්ත්වයකට අද මේ දේශපාලනය වැටිලා තියෙනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ගමන් හීනෙන් බයවෙලා නැගිටලා සෙල්ලම් ආණ්ඩුවක් හැදුවා. එහෙම හදලා අගමැති අහවලා කියනවා. ඇමැතිවරු මේ මේ අයයි කියනවා. ‍පෝලිමේ දවස ගානේ බඩවැල වගේ ඇමැතිවරු පත්කරමින් යනවා. තමන්ගේ ඒ වුවමනාව ඉටුකරගන්නා තෙක්, පාර්ලිමේන්තුව වහලා තියෙනවා. මොකක්ද ඒකේ ප්‍රජාතන්ත්‍රවාදය සදාචාරය. එක එක්කෙනාට ඕනෑ විදියට පාර්ලිමේන්තුව අරින්නයි ඕනෑ විදියට පාර්ලිමේන්තුව වහන්නයි මේ රටේ ජනතාව ජනවරමක් දීලා නැහැ. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ඔවුන්ම කියාගත්තු යහපාලන ජනවරමට පටහැනියි.

අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාදාමයට එරෙහිව නැගී සිටින්න. මේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. ඒ පිළිබඳව අදහස් දක්වන්න තියෙන්නේ පාර්ලිමේන්තුවයි. මේ බල සූදුව කොතැනින් කෙළවර වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. ඒ පිළිබඳ තාවකාලික උත්තරයක් හෝ ගන්න තියෙන්නේ පාර්ලිමේන්තුව. වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. ඒ විතරක් නමෛයි ඔවුන් කියනවා පටන් ගත්තු ගමන් ජනාධිපතිගේ කතාව තිබ්බා. ඒකෙන් පස්සේ ඉවරයි. අතුරු සම්මත ගිණුම් දානවා. එහෙම ආණ්ඩු ගෙනියනවා කියලා. ඔය අතුරු සම්මත ගිණුම් නීත්‍යනුකුල නැහැ. මේ පත්වුණු අගමැතිවරයා නීත්‍යනුකූල නැත්නම්, පත්වුණු ආණ්ඩුව නීත්‍යනුකූල නැත්නම් ඒ නිත්‍යනුකූල නොවන ආණ්ඩුවකින් ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම් අයවැය කිසිවක් නීත්‍යනුකූල නැහැ. ඒ නිසා අපි ඒ කිසිවක් පිළිගන්නේ නැහැ. ඒවා  රටේ නීතියට අනුකූල නැහැ. එසේ අනීතික විදියට රට ඉස්සරහට ගෙනියන්න දෙන්න බැහැ. සමහර මාධ්‍ය, සමහර වබේ අඩවි සමහර කණ්ඩායම් උත්සහ කරනවා මේ බලසූදුවේ දෙපැත්තේ ඉන්න කණ්ඩායම් දෙකේ වුවමනාව වෙනුවෙන් ජවිපෙ යොදවන්න. අපි ඉතා පැහැදිලිව නැවත අවධාරණය කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ බල සූදුවේ මහින්දගේ පැත්තෙත් නැහැ රනිල්ගේ පැත්තෙත් නැහැ කියලා. රනිල් අගමැති කරන්න වුවමනාවක් නැහැ. රනිල් අගමැති ධුරයේ අසාර්ථක නිසා තමයි ඒකට විශ්වාසභංගයක් ඉදිරිපත් වුණේ. එහිදී ජවිපෙ ඉතා පැහැදිලිව රනිල්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කියලා කියාගන්න එක අපි කොහෙත්ම පිළිගන්නෙත් නැහැ.  අපි මේ දෙන්නම පිළිගන්නේ නැහැ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා,
”මන්ත්‍රීවරු විකිණීමේ සූදුව පිළිබඳව පුදුම වෙන්න දේකුත් නැහැ. මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආවේ දොරවල් කඩාගෙන ‍නෙවෙයි, ජනතාවගේ ඡන්දෙන්. ඡන්ද කාලෙට රැකියාවට, බඩු මල්ලට, සාරියට ජනතාව විකිණුනා. ඒ ඡන්දෙන් පත්වුණු මන්ත්‍රීවරු ඊළඟ මැතිවරණයට සල්ලි හොයාගන්න මන්ත්‍රීකම්, ඇමැතිකම විකුණනවා. සල්ලිවලට විකිණෙන පුද්ගලයන් ඇමැතිතුමාලා, මන්ත්‍රීතුමාලා වෙන්නේ නැහැ. අපි තවදුරටත් එවැනි පුද්ගලයන්ට ඇමැතිතුමා, මන්ත්‍රීතුමා, අගමැතිතුමා කියන්න සූදානම් නැහැ. ජනතාවත් එයට සූදානම් නැහැ.

අද මහින්දගේ පැත්තට විකිණෙන අය හෙට රනිල්ගේ පැත්තට විකිණෙන්න පුළුවන්. එවැනි පුද්ගලයන්ට මන්ත්‍රීතුමා, ඇමැතිතුමා කියන්න ජනතාවට පුළුවන්ද? මාධ්‍යවලට පුළුවන්ද? මීට පස්සේ ඒ වරද කරන්න එපා. අපි ජනතාවගෙන්, මාධ්‍යවලින් ඉල්ලනවා. නරඹන්නන් නොවී එවැනි පුද්ගලයන්ට පණිවුඩයක් දෙන්න සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.”

පද්මිණි මාතරගේ

Related posts

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

මිස්ටර් මහ බැංකු රවී කරුණානායක, හැකිනම් උතුරු කොළඹ දිනලා පෙන්නන්න

colombotoday

කොටි සැමරුම ඉවත් කලාට දෙමල සන්ධානයෙන් උතුරු නැගෙනහිර හර්තාල්

colombotoday

කිරිබත්වැල්ල කඳුයායේ ගින්නකින් අක්කර 50ක් විනාසයි

colombotoday

තලාව ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin