Articles

අල්ලාගත් රටවල් බෙදා විනාශකල සුද්දා දැන් කියන්නේ ලංකාව රටවල් දෙකකට බෙදිය යුතුයි කියාය.

සුද්දාට වැරදුන කොමාව හා සරදියෙල්ගේ තිත

මිස්ටර් කෝබින්
ලේබර් පක්‍ෂයේ නායක

දෙමළ ජනයා සමූල ඝාතනය කිරීමේලා ලංකාවේ රාජ්‍යය හා සිංහල ජනයා ක්‍රියාකරනවා යයි ඔබ හා ඔබේ උපනායකයා විසින් හිතාමතාම කරගෙනයන ව්‍යාජ, ජඩ, ක්‍රියාකලාපය නිසා එක්සත් රාජධානියේ සිටින සිංහල ජනයාගේ චන්දය ඔබලාට අහිමිවී ඇත. මා 1978 සිටම ඔබේ (ලේබර්) පක්‍ෂයේ චන්ද මධ්‍යස්ථාන නියෝජිතයෙකුව (පෝලින් ඒජන්ට්) සිටියා. දැන් ඉවසුවා ඇති. හුදෙක් බලයට ඒම සඳහාම අපේ අහිංසක මව්බිම ගැන බොරු බේගල් පතුරුවන ඔබලාට විරුද්ද්ධව චන්දය දීමට අපි තීරණය කලෙමු.
අයිවන් අමරසිංහ
නොතැම්ටන් (ලන්ඩන්)

ඉහතින් දැක්‌වෙන්නේ ලංකාවෙබ්, වෙබ් අඩවියේ 2019 නොවැම්බර් 30 දා පලවු පුවතකි. මෙය කොන්සර්වෙටිව් පක්‍ෂය නමැති බළලා විසින් නොබෝදා කරගත් ගලේ පහරා ගැනීමට කලින් ලියන ලද්දකි. තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නිසා නොවන්නට කොන්සර්වෙටිව්කාරයින්ගේ දෙමළ චන්ද ගරා ගැනීමට කරන ව්‍යාපාරය ලංකාවේ ජනයාට එලිදරව්වන්නේ නැත. අල්ලාගත් හැමරටක්ම බෙදා විනාශකල සුද්දා දැන් එලිපිටම කියන්නේ ලංකාව රටවල් දෙකකට බෙදිය යුතුය කියාය. මෙහිලා ලේබර්-කොන්සර්වෙටිව් කියා වෙනසක් නැත. ටූ ස්ටේට් සොලියුෂන් එක පරණ යටත් විජිතවල කළුසුද්දන්, මාක්ස්වාදීන් සමඟ එකතුව මේ පිටරට සුද්දන් දැන් ගෙනියන උපක්‍රමයයි. සුඩානය හා ටයිමෝර් දූපත දෙකට කැඩීම මෑතම උදාහරණය. නිලවශයෙන් ඉරාකය තුනට කැඩීමට නොහැකිවුනත්, බිබික්කන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්, මානව අයිතිවාසිකම් ජරමරයක් හරහා, ඉරාකයත්, ලිබියාවත් මකබෑකර අවසානය. ඉංගිරිස්කාරායා විසින් කුර්ඩිස් ජනයා වාසය කරන ප්‍රදේශය රටවල් තුනකට (සිරියාව, තුර්කිය, ඉරාකය) බෙදාදී කර ඇති නැස්පත්තිය සුළුපටු නොවේ.

මොවුන් ලංකාව කඩන්නට හදන්නේ ලංකාව පලස්තීනයක් කර රටේ ඉන්නා සිංහල ජනයා අමාරුවේ දමන්නටය. දෙමළ රට රටවල් දෙකක් හැදූවිට ප්‍රශ්ණය විසඳේවිද? ත්‍රිකුණාමළය අල්ලාගැනීමේ සුද්දන්ගේ ප්‍රශ්ණය නම් ඉන් විසඳේ. ලංකාව නමැති දූපත ටැමිල්නාඩ්වලට යාකර දීමටය. අළුත් දෙමළ රටට ටැමිල්නාඩ් සිට ගලා එන දෙමළ ජනයා සිංහල රටේ මායිම් කඩාගෙන ඒම නැවැත්‌විය හැකිද? කඳුකරයේ හා කොළඹ ඉන්නා දෙමළ ජනයාට දෙන විසඳුම කුමක්ද? කලවම්කල බිත්තරයක සේ ලංකාව පුරා විසිරී සිටින දෙමළ හා මුස්ලිම් ජනයා, හංසයා කිරි වතුරෙන් බේරාගන්නවා මෙන් වෙන්කර ගන්නේ කෙසේද? එසේ නැත්නම් සිංහලයාට උතුරු නැඟෙනහිර උරුමය නැතිවනවා පමණක් නොව දකුණත්, කඳුකරයත් දෙමළා සමඟ භුක්තිවිඳින්නට සිදුවේ. 2500 ක සිංහල බෞද්ද්ධ උරුමය, ශිෂ්ටාචාරය, ථේරවාද බුදු දහමට අබසරණ නොවේද? කෝබින් ගොයියලාට, රනිල්, චන්ද්‍රිකාලාට මේ හොඳටම තේරෙන කාරණාය. නොසන්ඩාල කළුසුද්දන් රැළක් සමඟ මොවුන් කරන්නේ ලෝක සාමය රැකීම නොව තම ලන්ඩන් චන්ද කොට්ඨාශ හරහා බඩගෝස්තරය සදාගැනීම නොවේද?

මොවුන් හීතල හොරුන් මිස මොවුන්ට ඇති මානව දයාවක් නැත. කොන්සර්වේටිව් චන්ද ප්‍රකාශණයේ 53 පිටුවේ ඇති වගන්තියේ කොමාව සිතාමතාම දැමූ කොමාවක් මිස සරදියෙල් අල්ලාගත්‌විට සුද්දා ලංකාවට එවූ පණිවුඩයේදී සිදූවුණ වරදමෙන් දෙයක් නොවේ. කොමාව නිසා තමන්ට ඕනෑ අන්දමට තමන්ගේ වාසියට තම අදහස කුමක්දැයි තර්‌ක කල හැකිය. අන්තිමේදී සරදියෙල්ව පණ පිටින් අල්ලාගත් විට ඔහුට කරන්නේ කුමක්දැයි අසා යැවූ විට ලන්ඩන්වලින් ලංකාවට එවූ මෝස්කෝඩ් එක වූයේ -කිල් නොට්. සෙන්ඩ්-කියාය. ලංකාවේදී එය කොපිකල පුද්ගලයා ලිව්වේ -කිල්. නොට් සෙන්ඩ් – යනුවෙනි. සරදියෙල් මළේ වැරදි තැනට තිත (නැවතීමේ ලකුණ) දැමූ නිසාය. එහෙත් කොන්සර්වේටිව්කාරයින් කොමාව දැම්මේ දෙමළ ජනයා රවටා ඔවුන්ගේ චන්ද ගන්නටය. වගන්තියේ ඇති ඔවුන්ගේ අරමුණ ඉතාමත් පැහැදිලිය. ලංකාවේ මන්ත්‍රී කෙනෙක් මෙය කියවා ඔවුන්ගේ දෙසැම්බර් 12 චන්දයට පෙර එය එලියට දමාවියයි මේ සුදු හොරු හීනෙන්වත් නොසිතන්නට ඇත. ඒ නිසා ඔවුන් ක්‍රියාකල හම්ප්ටි-ඩම්ප්ටි වාග් න්‍යාය නිරුවත්‌විය. එය වසා ගන්නට දැන් ඔවුන් දෙන කරුණු පැහැදිලි කිරීම, එනම් ඔවුන්ගේ අළුත් වගන්තිය, ඔවුන්ව තව තවත් දියේ ගිල්වමින් පවතී. ලන්ඩන් දෙමළ චන්දදායකයා, ලංකාවේ සුමන්තිරන්ලාගේ චන්ද දායකයා මෙන් අතරමංව සිටී.

මෙම අතේ පත්තුවූ වැරදුන කොමා සෙල්ලමට කියන්නේ හම්ප්ටි-ඩම්ප්ටි න්‍යාය කියාය. පසුගිය චන්දයේදී සජිත් ප්‍රේමදාසලා අනුගමනය කලේත් මෙයමය. රට බෙදීමට අදාලව, දමිළ සිසුන් ඉදිරියට දමා සුමන්තිරන්ලා ගෙනා විකාර යෝජනා 13, අළුයම ගැසූ කෙළ පිඬක්සේ ගෝඨාභය විසින් ඉවත දමාවියයි ඔවුන් සිතුවේ නැත. එහෙත් රනිල්-සජිත් කල්ලිය තිරය පිටුපස සිදුවූ කුමණ්ත්‍රනයකට අනුව ඒ යෝජනා ටී‌එන්‌ඒ හරහා එනතුරු ප්‍රමාදකර බලා සිට ඔවුන්ගේ හම්ප්ටි-ඩම්ප්ටි ප්‍රකාශණයේ, එය පිලිගන්නවා හෝ එය ප්‍රතික්‍ෂේප හෝ නොකියා, ඒකීය රාජ්‍යයක් තුල උපරිම ලෙස බලය බෙදනවා, සෙනේට් සභාවක් ගේනවා යන වහෙන්‌ඔරෝ සිංදුවක් කියා සිටියේය. අරමුණ උතුරේ දෙමළ ජනයා රැවටීමත්, දකුණේ සිංහල ජනයා ගොනාට ඇන්ඳවීමත්‌ය. සැබැවින්ම එහි යටින් තිබුණේ, මිසිස් චන්ද්‍රිකාගේ 1994-2000 පැකේජ් ඩීල්වල තිබූ කැබලිකිරීමේ රහස් ප්ලෑනට අනුව සුමන්තිරන්-රනිල් හා අරටු මාක්ස්වාදීන්වන ජයම්පති-ලාල් විජේනායකලාගේ 2017/18 යහපාලන ව්‍යවස්ථාව ඉදිරියට ගෙනයාමය. වංක යටි අදහස සඟවා ගනිමින් මතුපිටින් බොරු අහිංසක කමක් පෙන්‌වීම උගුරට හොරා බේත්කෑමක් නොවේ.

ලුවිස් කැරොල් යන අන්වර්‌ථ නාමයෙන් ලමා කතා පොත් ලියූ, චාල්ස් ඩොජ්සන් නම් ඉංග්‍රීසි ජාතිකයා (1832-98) ඔහුගේ ඇලිස්ගේ පුදුමාලන්තයේදී හා කණ්නාඩිය තුලින් උපහාසාත්මක ලෙස හම්ප්ටි-ඩම්ප්ටි නම් චරිතය ලවා කියා සිටියේ හම්ප්ටි-ඩම්ප්ටි විසින් යම් වචනයක් භාවිතාකරණ විට එහි තේරුම වන්නේ හම්ප්ටි-ඩම්ප්ටි විසින්ම එහි තේරුම විය යුතුයයි තෝරාගත් දේ පමණක්ම බවය. ඇලිස් ඇසුවේ, මෙහිදී ප්‍රශ්ණය වන්නේ වචන විවිධ තේරුම් ලැබෙන අන්දමට පාවිච්චි කල නොහැකිද යන්නය. මීට හම්ප්ටි-ඩම්ප්ටි දුන් උත්තරය වුනේ, ප්‍රශ්ණය නම්, ඒ අතරින් අධිපතියා වියයුත්තේ කුමක්ද (තේරුමද) යන්න පමණක් බවය. ඩබල්ගේම්, ඩීල්, බ්ලැක්මේල් යන සියල්ල මේ මඟින් ආවරණය කරගත හැකි නොවේද?

සයිප්‍රසය හා පලස්තීන අර්බුද සමඟ ලංකාව පටලැවීමට ඇති එකම කරුණ වන්නේ මේ ස්ථාන තුනම ඉංගිරිස්කාරයින් විසින් ගැටුම් මැවූ ස්ථාන වීමය. මේ තුන එකට දැමීම මීහරකා-ගොන් හරකා පටලවා ගන්නා වැනිය. ඒවා එක වගන්තියක කොමාවකින් වෙන්කර දැමිය හැකි අන්දමේ සරල අර්බුදද නොවේ. ඉන් පෙන්වන්නේත් රටවල්වල ජීවිතය හා මරණය අතර ඇති ප්‍රශ්ණ කෙරෙහි මේ සුද්දන් බලන්නේ කෙතරම් පහත් ආකාරයටද යන්නමය. මේවා ඇමලෙස දී ලන්ඩන් චන්ද ගැනීමය.

මොවුන් ඇතිකල සයිප්‍රස් අර්බුදය, මොවුන් ලංකාවට දෙන්න යන අනාගත අර්බුදය ගැන හොඳ උදාහරණයකි. මේ සමඟ ඇති සිතියමෙන් එය පෙනේ. 1974 සිට තුර්කි හා ග්‍රීක යනුවෙන් සයිප්‍රස් දෙකක් සඳහා අරගලයක් ඉංග්‍රීසින් ඇතිකලේය. දැන් සිතියමේ පේන්නේ ඒ දෙකොටස අතර නිල් පාටින් තිබෙන යූ‌එන්‌ඕ සාමකලාපයත්, මේ අස්සේ සුද්දාට වෙන්කරගෙන ඇති හමුදා බලකොටු (කොලපාට) ප්‍රදේශත්‌ය. සයිප්‍රසය අතහැර සුද්දාගියාසේ පෙණුනත් සුද්දා සයිප්‍රසයේමය. සයිප්‍රසයේ මිනිසාට මේ ආත්මයේ නම් ගැලවීමක් නැත.

ලංකාවට MCC හා අනිකුත් හුටපට හරහා කරන්නට යන්නේත් මෙවැන්නක් නොවේද? යූ‌එන් සාමහමුදා වෙනුවට කෙළින්ම ඇමෙරිකන් හමුදා ලංකාවට ගොඩබසින්නට යහපාලනකාරයින් ඉඩදෙන්නට සුදානම්විය. ඇමෙරිකාවේ මේ ප්ලෑන් වලට එංගලන්තය හා ස්විස්ටර්ලන්තය උල්පන්දම් නොදේවිද? සයිප්‍රසයේ, ලංකාවේ මෙන් වෙනම මළයනාඩුවක් හෝ කොළඹ දෙමළ පටියක් නැත. එහි ඇත්තේ බිත්තර දෙකක් මිස කළවම්වූ බිත්තරයක් නොවේ.

මෙම සිද්ද්ධියෙන් ලංකාවට උගන්වන පාඩම විදේශ තානාපති කාර්‍ය්‍යාල වලට කළුසුද්දන් නොව, රටේ ඉතිහාසය, භූගෝල විද්‍යාව, හා අවුරුදු 2000 ක ශිෂ්ටාචාරය අගය කරණ පුදගලයින් දැමිය යුතු බව නොවේද? දරුවන්ගේ අධ්‍යාපනය හා බේබිසිට් කර ඩොලර් හොයා ගන්නා ආරියාවන් සඳහා එන දේශපාලන පන්දමුන් තානාපති කාර්‍ය්‍යාල වල සිට රටට කරන්නේ බලවත් විනාශයකි. උදාහරණයක් වශයෙන් ලන්ඩන් සිට අවුරුදු 40 ක් රට වෙනුවෙන් පෙනීසිටි ඩග්ලස් වික්‍රමරත්න, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල රන්ජිත් සොයිසා, කැනඩාවේ අසෝක වීරසිංහ වැනි අයට ඉඩප්‍රස්ථා සලසා නොදෙන්නේ ඇයි? මෙවැනි අය තානාපති කාර්‍ය්‍යාලවලට එනවිට තානාපතිලා හැංගෙන්නේ ඇයි? පිටරට සිටිනා මව්බිමට ආදරය ඇති අයගෙන් ප්‍රයෝජනයක් ගන්නට දැන් ජනාධිපති ගෝඨාභයට ඉඩක් ලැබී ඇත.
බස්නාහිර හා නැඟෙනහිර ආණ්ඩුකාරයින් පත්කිරීමේදී ඔහු නිවැරදි පාරේ යමින් සිටිනා බව පෙනීයයි. අසාද් සාලි, හිස්බුල්ලා වැනි ජෝකර්ලා මෙන් නොව සිංහල බෞද්ද්ධ හැදියාව අනුව යමින් සියළු සත්‌වයෝ (මිනිසා පරිසරයේ කොටසකි) නිදුක්‌වෙත්‌වා, නිරෝගිවෙ‌ත්‌වා, සුවප‌ත්‌වෙ‌ත්‌වා යන්න මේ තැනැත්තියන්ගේ ආදර්‍ශපාඨය බව ඔවුන් ක්‍රියාවෙන් ඔප්පුකරණවා නිසැකය.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

Related posts

ග්ලයිෆොසෙට් වකුගඩු මාරයා දැන් පැකට් වශයෙන් වෙළඳපොලේ !

colombotoday

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday

පාරේ ලිංගිකව හැසිරීමම කලාව කරගත් වැලිකඩ සිට එලියට ආ ඉරාජ් – සිල් බිදගත්තේ නදීශාම විතර ද?

colombotoday

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

බෝඩ් ගහගෙන ‘වෙනසක්‌’ කරන මොකක්‌ද මේ අලුත් සෙල්ලම

colombotoday