Colombo Today Local News

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

ඇතුගල්පුරවරය ලෙසින් විරුදාවලිය ලත් වයඹ පළාතේ ප‍්‍රධානතම නගරය වන කුරුණෑගල තරම් ගෙවුණ මාස කිහිපය තුළ සමාජයේ සංවාදයට ලක්වූ වෙනත් නගරයක් නොමැති තරම්ය. කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා තිබූ දෙවැනි බුවනෙකබාහු රජතුමන් විසින් සිය රාජ සභා මණ්ඩපයක් ලෙස භාවිත කළ බවට ජනප‍්‍රවාදයේ පවතින මෑත කාලයේදී ”බුවනෙක” නමින් හෝටලයක් පවත්වාගෙන ගොස් තිබූ පෞරාණික වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක් කුරුණෑගල නගරාධිපතිවරයාගේ අනුදැනුම හා නියෝග මත ඩෝසර් කර කඩා බිඳ දැමීම එකී සංවාදයේ සමාරම්භය විය.

එකී විනාශය බොහෝ ජනමාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමගම එකී විනාශයට වගකිවයුතු පිරිස, පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්, රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ බලය පැවරී තිබූ සමහර බලධාරීන් අනුගමනය කළ නිහඬ පිළිවෙත මෙන්ම පසුකාලීනව අධිකරණ නිකුත් කළ නියෝග හා එකී නියෝග කි‍්‍රයාත්මක කිරීමේදී පොලිසිය හැසිරුණු ආකාරය යනාදී කරුණු පසුකාලීනව එකී සංවාදය දැඩි උණුසුම් මාවතකට ඇද දැමීමට සමත්වී තිබිණි.

එකී විනාශයට වගකිවයුතු බවට දස දෙසින් ඇඟිලි එල්ල වී තිබූ නගරාධිපතිවරයා හා ඔහුගේ යටතේ පවතින නගර සභාවේ බලධාරීන් හා අවශේෂ කාර්ය මණ්ඩලය ස්වකීය කැමැත්තෙන් හෝ නැතහොත් අනෙකුන්ගේ බලපෑමක් නිසා හෝ නගර සභා පාලනය යටතේ තිබූ වෙළෙඳ සංකීර්ණ, මහජන පුස්තකාල ඇතුළු විවිධ කොටස් වසා දමා නගරය අකී‍්‍රය කිරීමට අවස්ථා කිහිපයකදීම දැරූ වෑයමේ ප‍්‍රතිඵලය වූයේ දෙවැනි බුවනෙකබාහු රජතුමන් හෝ ඔහුගේ රාජ සභා මණ්ඩපය ගැන අල්ප මාත‍්‍රයක් තරම්වත් දැනුමක් නොමැතිව සිටි පිරිසගේ සිත් පවා එකී විනාශය කෙරෙහි යොමු කිරීම පමණක්ම විය.

නගරාධිපතිවරයා ප‍්‍රමුඛ චූදිතයන් සම්බන්ධයෙන් දියත් වූ නීතිමය හා අධිකරණමය කි‍්‍රයාදාමයේදී සමහර ජනමාධ්‍ය අනුගමනය කළ නිවට නියාලූ පිළිවෙත ද එකී සංවාදයේ ප‍්‍රධානතම මාතෘකාවක් වූ බවද නොරහසකි. නගරාධිපතිවරයා ඇතුළු පිරිසට එරෙහිව අධිකරණය විසින් ලබාදෙන ලද නියෝග, එකී නියෝග ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප‍්‍රජාව හා විමර්ශන නිලධාරීන් නැඟූ හඬ, කළ අරගල දැක දැකත් බීරන් අන්ධයන් සේ හැසිරුණු සමහර ජනමාධ්‍ය නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලූ පුවරු දී අධිකරණය ඉදිරිපිටට රොක් කළ ඔහුගේ අනුගාමිකයන් වෙනුවෙන් සිය තෙවැනි ඇස යොමුකර ඔහු ශුද්ධවන්තයකු කිරීමට දැරූ වෑයම අපමණය. එකී මාතෘකාව පිළිබඳ වැඩිමනත් කරුණු පසුවට තබමින් අප දැන් එම සහසිද්ධියේ ආරම්භය දෙසට හැරෙමු.

ඒ රටේ පාලන බලය හිමිව තිබූ රජය මෙන්ම විපක්‍ෂයද නියෝජනය කරනා සියලූ දේශපාලන පක්‍ෂ දතකට මදිමින් ළඟ ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීමට සූදානම් වූ වකවානුවයි. හරියටම කියනවා නම් පසුගිය ජුනි 24 වැනිදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මැතිවරණ ව්‍යාපාරයට එදා මුල්ගල් තැබුවේ මෙම දෙවැනි බුවනෙකබාහු රජතුමන්ගේ රාජ සභා මණ්ඩපයේ කොටසක් කඩා බිඳ දමමිනි. අතීතයේ සිටි සොරුන් සොරකමක් සඳහා යම් නිවසකට ඇතුළුවීමට පෙර නිවැසියන් අවදියෙන් සිටින්නේදැයි විපරම් කිරීම සඳහා ලී කැබැල්ලක රඳවා හිස් මුට්ටියක් නිවසේ කවුළුවකින් ඇතුළට රිංගවන කතාව සිහිපත් කරමින් කල් යල් බලමින් සිටි නගරාධිපතිවරයා එදා සිදුකළ ඒ විනාශයට එරෙහිව සමාජය තුළින් එතරම් ප‍්‍රබල විරෝධතාවක් මතුවී තිබුණේ නැත. ඉන් ධෛර්යයට පත් නගරාධිපතිවරයා ඉන් දින කිහිපයකට පසුව එනම් ජූලි
6 වැනිදා සිය සැලැස්මේ දෙවැනි පියවර ආරම්භ කළේ එකී ගොඩනැඟිල්ලට ආරක්‍ෂාව සැපයූ කාණු පද්ධතිය කඩා බිඳ දමමිනි.

එතෙක් පසු පාදයේ සිටිමින් කඩුල්ල ආරක්‍ෂා කර ගැනීමේ අරමුණ පෙරදැරිව කී‍්‍රඩා කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කාණු පද්ධතියේ ආරක්‍ෂාව වෙනුවෙන් කුරුණෑගල පොලිසියට කළ පැමිණිල්ල පැමිණිලි පොත තුළම අතරමං වී අඳුරේ අතපතගාමින් සිටියදී තවතවත් ප‍්‍රමාදවීම නුවණට හුරු නොමැති බව පසක් කරගත් නගරාධිපතිවරයා පසුගිය ජූලි 14 වැනිදා එකී ගොඩනැඟිල්ල බිමට සමතලා කර දමන්නට පියවර ගනු ලැබුවා. ඩෝසර් යන්ත‍්‍රයක් උපයෝගී කරගනිමින් බිම් කළුවර වැටෙන යාමයේ සිදුකළ ඒ විපත්තිය දුටු මුළු පුරවරයටම අලංකාරයක් ගෙනදුන් සද්දන්ත ඇතුගල පවා හැඬුවා. මර නින්දේ පසුවූ විපක්‍ෂයේ බහුතරයක් එකී ගොඩනැඟිල්ල කඩා වැටෙන හඬින් අවදිව පසුදින මාධ්‍ය පිරිවරාගෙනැවිත් කඩා දැමූ ගොඩනැඟිල්ලේ සුන්බුන් අතගාමින් කිඹුල් කඳුළු හෙළුවත් ඔවුන් බහුතරයක් සිදුකළේ දේශපාලන රංගනයන් පමණක් බව ඔවුන්ගේ පැටිකිරිය හොඳාකාරවම දන්නා ප‍්‍රදේශවාසීන්ට රහසක් වූයේ නැහැ.

එකී විනාශය සිය දේශපාලන අභිලාෂයන් සාක්‍ෂාත් කර ගැනීමට දෙවියන් දුන් උත්තේජනයක් ලෙස සැලකූ විපක්‍ෂයේ බහුතරයක් දේශපාලන වේදිකාව තුළදී එය අලෙවි කර තම තමන්ගේ ඡන්ද මලූ පුරවා ගැනීමට වෑයම් දරනා අතරතුරදී එකී විනාශය කළ නගරාධිපතිවරයා වැනි දේශපාලන නරුමයන්ට එරෙහිව නීතිය හමුවට යෑමට උත්සුක වූ පිරිසක්ද විපක්‍ෂයේ සිටී බව අප අමතක නොකරන්නෙමු. එකී විනාශය සිදුකළ දේශපාලනඥයන් තම තමන් දරදිය ඇද බලයට ගෙන වර්තමාන රජයේ කොටස්කරුවන් වුවත් ඔවුනට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව රජයට සම්බන්ධ විවිධ දේශපාලනඥයන් දේශපාලන වේදිකාවලදී මොරදෙන අතරතුරම චෝදනා එල්ලවී ඇති නගරාධිපතිවරයාගේ ශරීරයේ රෝම කූපයකට හෝ අත තැබීමට කිසිවකුට ඉඩ නොදෙන බව රජයට සම්බන්ධ ප‍්‍රදේශයේ දේශපාලන බලවතෙකු සපථ කළ බවත් ජනතාවට අමතක නොමැත.

එය පෞරාණික වටිනාකමක් ඇති රාජ සභා මණ්ඩපයක් නොව පැවැති රජය විසින් හෝටලයක් පවත්වාගෙන යෑමට බුවනෙක නමැත්තෙකුගේ පියාට ලබාදුන් ගොඩනැඟිල්ලක් පමණක් වන්නේ යැයි චූදිත නගරාධිපතිවරයා හා ඔහුගේ සගයන් මාධ්‍ය හමුවේ කිසිදු හිරිකිතයක් නොමැතිව පවසන විටදී එවැනි ජඩයන් ආරක්‍ෂා කරන්නට සිල්පද කඩමින් යම් යම් පැවිදි පිරිසක් ද අත්වැල් ඇල්ලූ අයුරු රටේ ජනතාවට කිසිදා අමතක නොවනු ඇත. අධෝ මුඛයෙන් සිනාසෙමින් මධ්‍යස්ථ මතධාරී ජනතාව එවැනි හිස් වදන්වලට සවන් යොමු කළහ. නගරයේ මාර්ග සංවර්ධනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එකී ගොඩනැඟිල්ල හා පැරණි කාණු පද්ධතිය කඩා ඉවත් කළ බවත් එහි පෞරාණික වටිනාකමක් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තමන් හෝ නගර සභාව දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවත් චූදිත නගරාධිපතිවරයාගේ වදන් පියවි සිහියෙන් තොරව දෙඩූ මුසාවාද බව නගර සභාව භාරයේ තිබූ ලිපි ලේඛන නියෝග පනවා ගෙන්වාගෙන පරීක්‍ෂා කළ අධිකරණයට මනාව පැහැදිලි කර ගැනීමට හැකිවී තිබිණි.

බුවනෙක හෝටලය යැයි හඳුන්වන එකී පැරණි ස්මාරක ගොඩනැඟිල්ල කඩා බිඳ දැමීමෙන් රජයට සිදුවූ හානිය රුපියල් ලක්‍ෂ 200 කට අධික බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂවරයාගේ (NBRO) විශේෂඥ වාර්තාව මගින් පෙන්වාදී තිබිණි. කුරුණෑගල නගරාධිපතිවරයා මාධ්‍ය හමුවේ අසත්‍ය ප‍්‍රකාශ කළත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය සංරක්‍ෂණය කළ යුතු පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක් බවට එය කඩා බිඳ දැමීමට පෙර අවස්ථා කිහිපයකදීම කුරුණෑගල නගර සභාව සහ නගරාධිපතිවරයා දැනුවත් කර ඇති බව ද ඉදිරිපත් වූ ලිඛිත සාක්‍ෂි අනුව පසක් කරගත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා
නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස් ප‍්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරි හා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නිලධාරි නිලාලූ ඞීන් සුල්ෆිකාර් හා ඩෝසර් (බැකෝ) යන්ත‍්‍ර කි‍්‍රයාකරු ලක්‍ෂ්මන් පි‍්‍රයන්ත යන අය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු නියෝග ලබා ගන්නා ලෙසට

පසුගිය 6 වැනිදා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි.

එකී ගොඩනැඟිල්ල පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් බවට තමන් දැනුවත්ව නොසිටි බව නගරාධිපතිවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කොට තිබූ නමුත් එය පැරණි රාජ සභා මණ්ඩපය ලෙස හඳුනාගෙන ඇති බවටත් එය සංරක්‍ෂණය කළ යුතු බවටත් එකී නගරාධිපතිවරයා විසින්ම 2018 වසරේදී නගර සභා රැස්වීමේදී යෝජනා සම්මත කර ඇති බවටත් අධිකරණයේ නියෝග මත කැඳවූ ලේඛන අනුව තහවුරු කර ගැනීමෙන් පසුව නීතිපතිවරයා එකී උපදෙස් ලබාදී තිබිණි. 1815 වසරට පෙර ඉදිකරන ලද ඉපැරණි ගොඩනැඟිලි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන බවට පුරාවිද්‍යා පනත අනුව ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර තිබියදීත් එකී විනාශය සිදුකර ඇති බවත් එමගින් පුරාවිද්‍යා පනතේ 15(බී) වගන්තිය හා 31 වන වගන්තිය යටතේ මෙන්ම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 408 වන වගන්තිය සමග කියවිය යුතු පොදු දේපළට අනර්ථයක් සිදුකිරීමේ වරද සිදුකර ඇතැයි පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට කරුණු දැක්වීය.

එම කරුණු සලකා බැලූ කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා එකී සැකකරුවන් පස්දෙනාම අත්අඩංගුවට ගැනීමට පසුගිය 7 වැනිදා වරෙන්තු නිකුත් කොට තිබිණි.

එකී වරෙන්තුව අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණයට භාරවීමක් හෝ සිදු නොවීම නිසා එකී වරෙන්තුව කුරුණෑගල දිසාව භාර පොලිස් අධිකාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් වහාම කි‍්‍රයාත්මක කරනා ලෙසට මහෙස්ත‍්‍රාත්වරයා පසුගිය 10 වැනිදා නියෝග කොට තිබිණි. එකී සැකකරුවන් පස්දෙනාට අධිකරණය මඟහැර සැඟවී සිටීමට ආධාර අනුබල දුන් හා ඔවුනට රැකවරණය දුන් පුද්ගලයන් පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙසටද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කර තිබිණි. වරෙන්තුකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝගය කි‍්‍රයාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසිය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කළ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පොලිසිය මෙයාකාරයෙන් කටයුතු කරන්නේ නම් රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට පමණක් නොව අධිකරණ කටයුතුවලටද දැඩි බලපෑමක් සිදුවිය හැකි බවද එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ප‍්‍රදේශයේ ප‍්‍රධාන පුරවැසියකු වන කුරුණෑගල නගරාධිපතිවරයා ප‍්‍රමුඛ සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට නොගැනීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමර්ශන කටයුතු වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අධීක්‍ෂණයට ලක්කරනා ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එකී ඉල්ලීමට අවසර ලබාදුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම සැකකරුවන් පස්දෙනා විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් පසුගිය වරෙන්තු නියෝගයට අවනතව අධිකරණයට භාරවීම පසෙක තබා 7 වැනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය රිට් ආඥා නියෝගයක් මගින් කි‍්‍රයාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලා එකී වරෙන්තුකරුවන් පස්දෙනා මේ අතරතුර අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කර තිබිණි. පෙත්සම් පසුගිය 12 වැනිදා මුල්වරට කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබාදීමෙන් පහළ අධිකරණවල නඩු කටයුතුවලට හානියක් මෙන්ම අධිකරණ කි‍්‍රයාදාමයට බලවත් ගැටලූවක් විය හැකි බව පෙන්වා දෙමින් පෙත්සම්කාර සැකකරුවන්ගේ ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කරනා ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් එකී පෙත්සම් අතරින් චමින්ද බණ්ඩාර අධිකාරි යන පෙත්සම්කරුගේ පෙත්සම සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණය සැකකරුවන් සියලූ දෙනාම පසුගිය 24 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීම වළක්වමින් වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කළේය. එකී සැකකරුවන්ගේ පෙත්සම් විභාග කිරීම සඳහා අවසර ලබා දෙන්නේද පෙත්සම්කරුවන් ඉල්ලා ඇති පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද යන නියෝගය පසුගිය 24 වැනිදා නිකුත් කිරීමට පියවර ගන්නා බව පෙන්වා දෙමින් අභියාචනාධිකරණයේ සභාපති ඒ.ඒ.එම්.ඞී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල එදින එම නියෝගය නිකුත් කොට තිබිණි.

පසුගිය 24 වැනිදා එකී පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එකී නියෝග නිකුත් කිරීම පසුදින දක්වා කල් තැබීමට සිදුවන බව අධිකරණය පෙන්වා දෙනු ලැබීය. කුරුණෑගල නගරාධිපතිවරයා ප‍්‍රමුඛ වරෙන්තුකාර පෙත්සම්කරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තු නියෝගය එකී පෙත්සම්

විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු කි‍්‍රයාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය පසුගිය 25 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. වැඩබලන පොලිස්පතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා, කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද විනිසුරු මඬුල්ල නියෝග කළේය. අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවැනි ආකාරයේ පෙත්සම් ඉදිරිපත් වූ විටෙක වගඋත්තරකාර පාර්ශ්වවලට නොතීසි නිකුත් කිරීම මගින් අර්ථගැන්වෙනුයේ වගඋත්තරකරුවන් හෝ ඔවුන් නියෝජනය කිරීමට නීතිඥ නියෝජනයක් මිස අන් දෙයක් නොවන බව එකී අධිකරණ කි‍්‍රයාදාමය පිළිබඳ යම් හෝ අවබෝධයක් ඇති අයකුට වැටහේ. උගත් මහෙස්ත‍්‍රාත්වරයා ඇතුළු එකී පෙත්සමේ වගඋත්තරකාර රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් නීතිපති නියෝජනයක් ඇති අවස්ථාවකදී එවැනි වගඋත්තරකරුවන් පෞද්ගලිකව පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති නමුත් නීතිමය අවශ්‍යතාවක් සපුරාලීම සඳහා අධිකරණ වගඋත්තරකාර පාර්ශ්වවලට නොතීසි නිකුත් කිරීමට එකී අධිකරණ විසින් නියෝග කරනු ලබයි.

දෙවැනි මහ බැංකු බැඳුම්කර නඩුවේ සැකකරුවන් ලෙසින් නම් කොට කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමට එරෙහිව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සත් දෙනකු අභියාචනාධිකරණ හමුවේ ගොනු කළ රිට් පෙත්සම්වලද වගඋත්තරකරුවකු ලෙස කොටුව මහෙස්ත‍්‍රාත්වරයා නම් කර තිබුණේ ද එලෙස නීතිමය අවශ්‍යතාවක් සපුරාලීම සඳහාය.

එනයින් බලන කල යම් පහළ අධිකරණයක් විසින් නිකුත් කළ නියෝගයකට එරෙහිව යමෙකු ඉහළ අධිකරණයක් හමුවේ පෙත්සමක් ගොනු කළ විටෙක තීන්දුව හෝ නියෝගය ලබාදුන් විනිසුරුවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම හා එවැනි විටෙක නොතීසි නිකුත් කිරීම අරුමයක් නොවන්නේය.

තීන්දුව හෝ නියෝගය ලබාදුන් විනිසුරුවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කර අධිකරණයට කැඳවීමත්, වරෙන්තු බලරහිත කර වරෙන්තුකරුවන්ට නිදහසේ සිටීමට ඉඩකඩ විවර කරදීමක් ලෙස මෙන්ම එක්තරා දුරකට විනිසුරු හිරගෙට යවා චූදිත නිවසට යැවීමක් ලෙස යමෙකුට අර්ථකථනය කිරීමේ හැකියාව පවතින බවද පෙනී යයි.

සෑම මාධ්‍ය ආයතනයකටම එය මෙහෙය වන්නන්ට මෙන්ම මාධ්‍යවේදීන්ට ද තමන්ටම ආවේණික වූ පරමාර්ථ, රුචි අරුචිකම් හා අභිප‍්‍රායන් තිබිය හැකි නමුත් රටේ ප්‍රෞඪ ඉතිහාසයට හානි කරවන, ජාතික උරුමයන්ට සිදු කරන විනාශ කිරීම් හමුවේදී හෝ පෞද්ගලික අභිලාෂයන් පසෙකලා එවැනි ජඩකම් සැබෑ ලෙස අනාවරණය නොකර සිය හිතවාදීන් ආරක්‍ෂා කිරීමේ න්‍යාය මාධ්‍ය සදාචාරයට නොගැලපෙන බව අපගේ මතය වන්නේය.

සිය ප‍්‍රවෘත්තිය මගින් රටේ ජනතාව වෙත ගෙන යා යුතු පණිවිඩය සඟවා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇල්මැරුණු ස්වභාවයෙන් වාර්තා කිරීම සම්බන්ධයෙන් පාඨකයන් නඟන දෝෂාරෝපණවලින් ගැලවෙන්නට අනෙකුත් මාධ්‍යවලට චෝදනා එල්ල කිරීම සැබෑ මාධ්‍ය කලාවක් නොවන බව අප සිහිපත් කළ යුතුව ඇත. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන්නට තරම් සවිමත් කොඳු නාරටියක් තමනට නොමැති නම් අවම වශයෙන් එලෙස කරනු ලබන සහෝදර මාධ්‍ය හෝ මාධ්‍යවේදීන් විවේචනය නොකර සිටීම හෝ අගනා බව අවසන් වශයෙන් සිහිපත් කරන්නට කැමැත්තෙමු.

සීගිරි ගල් පර්වතය මත හැට්ට කටුවකින් සිය නම ලියූ පාසල් සිසුවියකට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කිරීමට සවිමත් නීති පද්ධතියක් ඇති අප රටේ මෙවන් විනාශයක් කිරීමට නායකත්වය දුන් පිරිසක් අදටත් නිදැල්ලේ සිටිනුයේ රටේ දේශපාලනඥයන්ට විශේෂයෙන් රජය නියෝජනය කරනා දේශපාලනඥයන්ට එකී නීති අණ පනත් වලංගු නොවන නිසාදැයි ජනතාව අසන ප‍්‍රශ්නයට පිළිතුරු සැපයිය හැක්කේ රජයටම මිස අන් කිසිවකුට නොවන බව කුමට සිහිපත් කරමුද?

Divaina

Related posts

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday

උතුරු පළාත් DIGගේ පුද්ගලික සහකාර ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කන්කේසතුරේට යවයි

colombotoday

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි

colombotoday

ඩෝසර් කර විනාශ කළ සාම්පූර් දැගැබ නැවත ගොඩනගනවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin