Colombo Today Local NewsTop Stories

එකම විසඳුම මහ මැතිවරණයක් – ආගමික නායකයෝ, විද්වත්හු අවධාරණය කරති.

දේශපාලන වශයෙන් රටේ ඇතිව තිබෙන අරාජික තත්ත්වය අවසන් කිරීම සඳහා පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට කැමැති නියෝජිතයන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මහ මැතිවරණයකට යාම අත්‍යවශ්‍ය බව මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වත්හු අවධාරණය කරති.

ඕනෑම රටක වඩාත් උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍ය බව පෙන්වා දෙන ඔවුහු ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ඔවුන් කැමැති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ සැලසිය යුතු බවත් පෙන්වා දෙති. වර්තමාන දේශපාලන අරාජිකත්වයට මූලිකම වගකිවයුත්තා කතානායකවරයා බව පෙන්වා දෙන ඔවුහු කතානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා අපේ රට අස්ථාවර රටක් යැයි ලොවට පෙන්වීම ඔහුගේ අරමුණ වී ඇති බවත් කියති. උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය මුළුමනින්ම විනාශ කිරීමේ වගකීම වත්මන් කතානායක කරු ජයසූරිය මහතා විසින් භාර ගත යුතු බවත් ජනාධිපතිවරයා මේ මොහොතේ කළ යුත්තේ වහාම මහ මැතිවරණයක් පැවැත්වීම බවත් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් හා ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ.

මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථාව කළුද සුදුද යන්න නොවන බව පැවැසූ උන්වහන්සේ යහපාලන ආණ්ඩුව තිත්ත වී සිටි ජනතාවට දැන් අවශ්‍ය වී ඇත්තේ මහ මැතිවරණයක් බවත් ප්‍රකාශ කළහ. ජනතා පරමාධිපත්‍යයට, අධිකරණයට ගරු කරනවා නම් වහාම කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි පිළිබඳ විශ්වාසය නොතබා මහ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමැති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ සැලසීම බවත් උන්වහන්සේ පැවැසූහ.

පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ හටගෙන තිබෙන තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කතානායකවරයා විසින් වැරැදි ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය කැඳවුම්කරු, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය. වර්තමානයේ උදා වී ඇති තත්ත්වය මත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් මිලියන 21ක් වන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන තීන්දු ගත නොහැකි බව පැවැසූ සොයිසා මහතා එම අයිතිය ජනතාවටම තීන්දු කිරීමට ඉඩහැරිය යුතු බවත් අවධාරණය කළේය.

එම නිසා ජනතාව සතු පරමාධිපත්‍ය බලය සුරැකීම සඳහා ජනතාවට මැතිවරණයකට යාමට ඉඩ සලසන ලෙසට ඉල්ලා සිටින බව පැවැසූ සොයිසා මහතා ජනතා මතය උරගා බැලීමට ආණ්ඩුව ඕනෑම අවස්ථාවක සූදානම් බවත් පැවැසීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පෙන්වා දෙන්නේ රටේ උද්ගතව තිබෙන දේශපාලන අස්ථාවර බව සමනය කරමින් රට ඉදිරියට ගෙනයෑම සඳහා පවතින එකම විසඳුම මහ මැතිවරණයක් පැවැත්වීම බවත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නියමිත ගැසට් නිවේදනයට අදාළ තීන්දුව එළඹෙන 7 දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බවත්ය.

කෙසේ වුවද එතෙක් ඉවසා සිටීමට නොහැකි එක්සත් ජාතික පක්ෂය සහ කතානායක කරු ජයසූරිය මහතා අපේ රට අස්ථාවර රටක් බවට ලෝකය ඉදිරියේ පෙන්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහා ඉහළින් කතා කරන එක්සත් ජාතික පක්ෂය පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය ඉතාම ඛේදජනක බව ද එම තත්ත්වය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද හෙතෙම සඳහන් කළේය. කතානායකවරයාගේ පක්ෂග්‍රාහීත්වය හේතුවෙන් මෙවැනි අර්බුදයකට රට තල්ලු වී තිබෙන බව සඳහන් කළ දොලවත්ත මහතා මේ හරහා රට අපකීර්තියට පත්කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව ද එවැනි තත්ත්වයකින් තොරව රටේ පරමාධිපත්‍ය වෙනුවෙන් ජනතාවට ඡන්ද අයිතිය ලබා දී අවශ්‍ය නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට අවකාශ සළසා දිය යුතු බව ද අවධාරණය කළේය.

මේ අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය මාලක රණතිලක මහතා පෙන්වා දුන්නේ රටේ පාලකයා, නියෝජිතයා තෝරා ගන්න ජනතාවට අයිතියක් තිබෙන බවත් පාර්ලිමේන්තුව තුළ ගැටුම් ඇති කර නොගෙන ජනමතයට ඉඩ ලබාදිය යුතු බවත්ය.

මෙවැනි දේ හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියක් ඇති වන බව පෙන්වා දුන් ඒ මහතා එලෙස රටට අපකීර්තියක් ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ යම් උත්සාහයක නිරතව සිටින බව ද පැවැසීය. පසුගිය රජය විසින් රටට සිදුකළ ආර්ථික, සංස්කෘතික හා සමාජයීය පරිහානිය හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඒ නිසාම ඔවුන් මැතිවරණයට යෑම සඳහා බියක් දක්වන බව ද සඳහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර. ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකයි.

colombotoday

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

colombotoday

කරුණා ගැන ඥානසාර හිමි පැවසු බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් අන්තර්ජාලයේ

colombotoday

ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා… 225ම යකඩ සපත්තුවට යට කරලා

Admin

ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF මෙහෙයුමකින් සොයාගනී

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday