Colombo Today Local News

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

පක්ෂයේ  අනාගතය ගැන සිතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන  නව නායකයන්  සමග නව එක්සත් ජාතික පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි (22) පැවැසීය.

ජනාධිපතිවරණ  ප්‍රථිඵල ගැන විග්‍රහයක් කර  පක්ෂයට අහිමි වූ සිංහල බෞද්ධ පදනම යළි ලබා ගැනීම වෙනුවෙන් නව වැඩපිළවෙළක්  සකස් කරන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරණය  වෙනුවෙන් කටයුතු කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරිමෙන් අනතුරුව  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“අගමැති කාර්‍යාලයටත් අමාත්‍යාංශයටත්  සමුදීලා  මගේ කටයුතු අවසන් කළා. සිරිකොතටත් පැමිණ  මේ වැඩ කරපු ඔබ සියලු දෙනාටමත් ස්තූති කරන්න මගේ  යුතුකමක් තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී  සිරිකොත මන්දිරයත් පක්ෂ යාන්ත්‍රණයත් කරපු සේවයට මම ඒ සියලු දෙනාටම ස්තූති කරනවා.  

විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේදී අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා මම යෝජනා කළා. අපි ඒකච්ඡන්දයෙන් ඒ යෝජනාව පිලිඅරගෙන අනික් පක්ෂ සමග මේ ඡන්දෙට ගියා.

මේ ඡන්දය තිබුණු  අවස්ථාවේදී ඒ යාන්ත්‍රණයත් ඒ ඡන්ද ව්‍යාපාරයට භාර දුන්නා. මේ යන්ත්‍රණයත් සිරිකොතත් ඒ වැඩකටයුතු කරපු  බවට මට සහතික වෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේ මැතිවරණ  ව්‍යාපාරය අඩපන කරා කියන චෝදනා මම  ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රණයෙන්වත් සිදුවුනේ නැහැ.

අපි අපේ ප්‍රධාන සාමාජිකයන්ට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සියලු දෙනාටම එක එක  වගකීම් භාරදුන්නා. මම බාර ගත්තේ  උතුරු  නැගෙනහිර ඡන්ද වල වගකීමයි.  ඒ ඡන්ද  ප්‍රතිශතය  මට වැඩි කරන්න අවස්ථාව ලැබුණා. 

ඒත්  අවාසනාවකට අනික් දකුණු පලාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. ඒක මේ පරාජයට  හේතුවුණා. සමහර දිස්ත්‍රික්ක  අපි ජයග්‍රහණය කරාට  සමස්තයක් විදියට  අපි ඒ පරාජයට පත්වුණා.

දැන් විශේෂයෙන්ම අපිට පේන හැටියට  අපි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, විශාල  සංවර්ධනයක් ඇති කිරීම, නීතිය හා සාමය ඇති කිරීම, සමාජ සේවා දියුණු  කිරිම යන කාරණා එකකින්වත්  අපිට බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබුනේ නැහැ. 

මේ පක්ෂයට සිංහළ බෞද්ධ පදනම  නැති වූ එක ගැන මීටත් වඩා අපේ අවධානය යොමුවෙන්න වුවමනායි.  මේවගේ දෙයක් මීට ඉස්සෙල්ලා අපිට සිදුවෙලා නැහැ. ඒ ගැන  විශේෂයෙන්ම අපි සොයා බැලිය යුතුයි. 

මේ නිසා  අපි අනාගතය ගැන තීරණ ගැනීමත් සමගම   මේ ප්‍රථිඵල ගැන විග්‍රහයක් කරන්න වුවමනායි.  ඒ ගැන විග්‍රහයක් කරලා තමයි අපිට ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ.  අන්න ඒ ගැන මම විශේශයෙන් මතක් කරන්න කැමතියි.

අපි මේ ගැන එකිනෙකාට  ඇඟිලි දික් කර කර  චෝදනා කිරීමෙන්  මේක සාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පක්ෂයටවත්  මේ නිලධාරින් කාටවත්  මූල්‍ය කටයුතු ගැන වගකීමක් තිබුනේ නැහැ. ඇත්ත  වශයෙන්ම අපි මූල්‍ය කටයුතු බාර ගත්තෙත් නැහැ.  එහෙම චෝදනාත් මම ප්‍රතික්ෂේප කරනවා. පක්ෂය පිළිබඳ මේ වගේ චෝදනා කරනවනම් ඒ ගැන  විභාග කරලා ඒවා අසත්‍යයයි  නම් ඒ ගැන අපි තදින්  ක්‍රියාකරනවා.

මේ අවස්ථාවේ අපිට පක්ෂයේ අනාගතය ගැන හිතන්න තිබෙනවා. පක්ෂයේ  අනාගතය ගැන හිතලා නව නායකයන්  ඉදිරිපත් කරන්න අපිට තිබෙනවා. ඒ වගේම මේ විග්‍රහය අනුව අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න අපි මේ අයට  භාර දෙන්න ඕන. එතන දිනන නායකත්වයක් ඇති කරන්න තිබෙනවා. ඒ පරිවර්ථනය එතකොට අවසන් වෙනවා. අපිට භය නැතුව ඒ නායකත්වය  එක්ක ඉදරියට යන්න අවසතාව ලැබෙනවා.

බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ යම්කිසි වැරුද්දක්  වුනහම ඒ පිලිබඳ ඇඟිල්ල දිගු කරන එක නෙමෙයි. බෞද්ධයන් හැටියට ඒ වරද වටහා ගන්න ඕන. ඒ වරද  වටහා ගත්තට පස්සේ ඒ වරද නිවැරදි කරගන්න අපිට  පියවර ගන්න තිබෙනවා. එහෙම  නිවැරදි බෞද්ධ  ප්‍රතිපත්තියක්  අපි වටහා ගත්තම තමයි අපිට ඉදිරියට  යන්න තිබෙන්නේ. 

ඒ නිසා අපි මේ වැඩසටහන ගැන හිතලා  මේ වැඩසටහනට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන  නව එක්සත් ජාතික පක්සයක් විදියට ඉදිරියට යමු. මෙතෙන්ට පැමිණි මේ සේවය කරපු  ඔබ සියලු දෙනාටම මම යලිත් මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා”යැයිද ඔහු එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Related posts

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

Admin

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin

වසන්ත මුදලිගේ ගැන ප්‍රතිශෝධන පෙත්සමට අදාළව නියෝගයක්

Admin

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin