Colombo Today Local News

කතෝලික සභාවේ ශාසනික වචන අවභාවිතය හා සිංහල බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ලකෑම සම්බන්ධව පැමිණිල්ලක්.

සිංහලේ සංවිධානයේ සභාපති පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක ස්වාමින් වහන්සේ විසින් “කතෝලික සභාවේ ශාසනික වචන අවභාවිතය හා සිංහල බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ලකෑම සම්බන්ධවයි.” මැයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල මෙසේයි

2020.06.22
අතිගරු ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා

ජනාධිපති බෞද්ධ උපදේශක සභාව
ගරු අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක‍ෂ මැතිතුමා
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍ෂ මැතිතුමා
සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත.

කතෝලික සභාවේ ශාසනික වචන අවභාවිතය හා සිංහල බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ලකෑම සම්බන්ධවයි.

වසර සිය ගණනක් තිස්සේ සිංහල බෞද්ධ සංස්කෘතියට තර්ජනයක් වෙමින් කතෝලික හා ක්‍රිස්තියානි බලපෑම් නොයේක ස්වරූපයන්ගෙන් නොයේක් යුගවල පැවති බව නොරහසිකි. ඒ බලපෑම්වල සෘජු හා වක්‍ර අවනතීන් අඩු වැඩි වශයෙන් අදටත් අප අත්විදිමු. ඒ සියල්ල පිළිබඳ මෙහිදී අප කතා කරන්නට උත්සාහ නොදරමු. මන්ද ඒවායෙහි ඉමක් කොනක් සොයාගැනීමත් ඒ තරමටම අපහසු බැවිණි. සිංහල බෞද්ධයන් වගේම හින්දූන්ද ක්‍රිස්තියානියට හරවාගැනීම සඳහා වන අන්‍යාගමිකකරණයක් අප රට තුළ ක්‍රියාත්මකවීම ඓතිහාසික නොවිසදුන ප්‍රශ්නයකි. කතෝලික ජනතාවද ක්‍රිස්තියානි මූල්ධර්මවාදයට ගොදුරුවන බවට කතෝලික සභාවේ වගකිය යුත්තන් ද ප්‍රකාශ කළත් ඊට එරෙහිව සාධනීය මැදිහත්වීමක් කළ බවක් හෝ එසේ කිරීමෙන් ලද ප්‍රතිපලයක් පිළිබදව අපට වැටහීමක් නොමැත.

නමුත් අද වන විට කණගාටුවට කරුණ නම් ක්‍රිස්තියානි මූලධර්මවාදය හා ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්ථවාදයත් එක පැත්තකින් ද්‍රවිඩ අන්තවාදයත් යහමින් ක්‍රියාත්මක වෙද්දී ඒ අතරට කතෝලික පල්ලියේ සියුම් බලහත්කරකම් හා සංස්කෘතික ආක්‍රමණයක් සිද්ධවීමයි. මැල්කම් රංජිත් කාදිල්තුමන්ගෙ සමාජ මැදිහත්වීම තුළ සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනතාවතුළ මෝදු වී ගොඩනැගුණ සංහිදියාව විනාශ වී යාමට මෙම සංස්කෘතික ආක්‍රමණය මේ වන විට හේතු සාදක වෙමින් පවතින බව කණගාටුවෙන් නමුදු සිහිපත් කළයුතුය. බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට හා ගෞරවයට ලක්වෙන මහා සංඝරත්නය හා ශාසනික සම්ප්‍රදායක් ඇතුලූ බෞද්ධ සංස්කෘතිකාංග අමු අමුවේ විකෘති කරමින් සිද්ධවෙන මෙම සිද්ධිදාමය සංස්කෘතික මංකොල්ලයක් බව නෙවළහා පැවසිය යුතුය. ක්‍රිස්තියානිය දේශීයකරණය කිරීම යනු බෞද්ධ සංස්කෘතිය මත බලහත්කාරකම්පෑම හෝ අනුකරණය කිරීම හෝ ආක්‍රමණය කිරීම නොව.

බෞද්ධයන් තම ශාස්තෘවරයා හැඳින්වීම සඳහා ඉතා උතුම් වචනයක් ලෙස බුදුරජාණන් වහන්සේ යන වචනය ව්‍යවහාර කරති. මෙම ගෞරවාර්හ වචනය අවභාවිතා කරමින්ක්‍රිස්තුරජාණන් වහන්සේ ලෙසින් ව්‍යවහාර කිරීමට පටන්ගෙන ඇත. හිමිපාණන්, (කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ) හිමි, අනුනාහිමි, අධිකරණ නාහිමි,සංඝය, ශාසනය, පැවිදි වෙනවා, වඩිනවා, වැඩ ඉන්නවා, නාහිමි, භාග්‍යවත්, ශාසනාරක‍ෂක බලමණ්ඩලය, ආදි වූ නොයෙකුත් ශාසනික වචන අවභාවිතා කර ඇති ඔවුන් ඉහතින් දැක් වූ පරිදි බුදුරජාණන් වහන්සේටත්් සමාන කිරීම් කිරීමට යෑමෙන් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධ අයිතීන්ට අඩුම තරමින් භාෂණ අයිතියවත් නොදෙන බව නොවේද?

එපමණක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියද කතෝලික සභාව විසින් දැඩි ලෙස විකෘති කොට ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිකාංග වූ වෙස් නැටුම. සේසත්. මුරායුධ. සදකඩ පහණ. මකර තොරණ (තේවත්ත පල්ලිය) වෙසක් තොරණ. හක්ගෙඩිය. මුතුකුඩය ආදිය එහි කිහිපයකි. රාගම තේවත්ත පල්ලියේ මෙම සංස්කෘතික මංකොල්ලයේ සාක‍ෂියකි. මෙහි උච්චතම අවස්ථාවකට අපට මුහුණ දීමටට සිදු වන්නේ මීට දසකයටක පෙරය.
කඩවත, මහර, කිරිමැටියාගාර ශා. අන්තෝනී නැමැති පල්ලියකදී තිළිණ අලහකෝන් හා චාන්දනී නමැති දෙදෙනාගේ විවාහා මගුලක් අර්නස්ට් පෝරුතොට පියතුමාගේ මූලිකත්වයෙන් සිදු කරන මුවාවෙන් මෙම ධර්මය විකෘති කිරීමේ මෙහෙයුම දියත් කොට ඇත. විවාහ මගුලට යවන ආරධනා පත්‍රයක් ලෙසින් සකස් කොට ඇති මෙය පති්‍රකා ලෙසින් මුද්‍රණය කොට ඛෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත් කවි යන මැයෙන් ආරධනා පත්‍රයේ මුලදීම දක්වා ඇත. එම හැඳින්වීමම ඉතා විකෘති සහගතය. මන්ද අෂ්ටක හා ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායයේ පමණක්ම වන බැවිනි. මුලදීම සුවහසක් බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශිර්වාද පිණිස භාවිතා කරන මංගල ගාථාවන් විකෘති කොට ඇත්තේ කිසිදු තැකීමක් නොමැතිවයි.

භවතු සබ්බ මංගලම්
රක්ඛත්තු සබ්බ දූතයාන…..
සබ්බ පිතානු භාවේන
සදා සොත්ථී භවංතුතේ…

භවතු සබ්බ මංගලම්
රක්ඛත්තු සබ්බ සාන්තුවරයාන
සබ්බ පුත්‍රයානු භාවේන…..
සදා සොත්ථී භවංතුතේ….

භවතු සබ්බ මංගලම්
රක්ඛත්තු සබ්බ ප්‍රාණ පරිත්‍යාගීන
සබ්බ ශ=ධාත්මයානු භාවේන…..
සදා සොත්ථී භවංතුතේ….

තුනුරුවනක් සිටින්නේ බෞද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්නා නොලැඛෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක් නොමැතිව උතුම්ම රත්නයන් වන තෙරුවනට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභූත මිත්‍යාදෘෂ්ටික නාමයන් තුනක් ඉදිරිපත් කිරීමෙනි. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, යන තෙරුවන වෙනුවට මොවුන් නම් කොට ඇත්තේ
සර්වබල දෙවිඳුන්
සර්වබල දේව පුතනුවන්
සර්වබල සුදතුම්

ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමු අමුවේ විකෘති කොට ඇත්තේ මෙසේය.

සරණං දහම් සරණං
සරණං දේව වචනං
සරණං ත්‍රිත්ව සරණං
සරණං සකළ සරණං

ආදම්-ඒව සරණං
ආබ්‍රහම් සාරා සරණං
රෙඛෙකා- ඊසාක් සරණං
සරණං වරං සරණං

ජාකොබ්-රාකේල් සරණං
ජොසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් – කුෂ් සරණං
සරණං සදා සරණං

ජුවකීම්- ආනා සරණං
සෙකරියස් එලිසඛෙත් සරණං
ජුසේ- මරියා සරණං
සරණං ඔබට සරණං

ධර්මය විකෘති කොට මගුල් කෑමේ මනාලය වන තිළිණ අලහකෝන් නැමැත්තා මෙම පාපතර ක්‍රියාව සිතා මතාම සිදු කළ බව හා එයින් ඔහු ලබන පහත් සොම්නස ඔහුගේ වචනයෙන්ම පවසන්නේ නම් දේශීය කිතුනු විප්ලවයක පළමු පියවරක් සේ සලකා මම මහත් සොම්නසින් මෙම හෙළ සිරිතට බැතියෙන් හා සාඩම්බරව මුල පුරමි. සියලූ සම්ප්‍රදායන් හොඳින් දැන ගනිමින්, හදාරමින්, වඩා සංඥමයකින් හා අවස්ථානෝචිත ලෙස තබන මේ හෙළ කිතුනු පියවර….

මෙම ධර්මය විකෘතිකිරීම සම්බන්ධව ප්‍රථම වරට 2010-11-01 දින පස්වරු 6.40 ට පමණ මිරිහාන පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත පැමිණිල්ලක් පුජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් හා මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින්ද ඉදිරිපත් කරන ලදී. එහිදී මූලික කරුණු තුනක් අවධානයට යොමු කර තිබිණ.

  1. මූලික බුදු දහම විකෘති කිරීම (ආශිර්වාද ගාථා, ජය පිරිත, තෙරුවන)
  2. බෞද්ධයන්ගේ සිත් රිදවීම
  3. බුදු දහමට අපහාස කිිරීම. (පාලි භාෂාවට)

එහීදී එයට සම්බන්ධව වග උත්තරකරුවන් ලෙසින් නම් කොට තිබුනේ අර්නස්ට් පෝරුතොට, තිළිණ අලහකෝන්, චමින්ද සංජීව, රංජිත් රූබසිංහ, සාමවිනිසුරු කන්දේ ආරච්චි, යන පිරිසයි. එම පැමිණිල්ල සම්බන්ධව එතුමාට රාජකාරී කිරීමට කොට්ඨාශ මට්ටමින් නොහැකි බව දන්වමින් 2010-11-02 දින නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙත යොමුකර තිබිණ. මෙම විකෘති කිරීම් සම්බන්ධව 2010-11-03 දින කඩවත පොලිස් ස්ථානයේදී ද පැමිණිලි අංකCIB. II.38146 , MCR-4892-2010 යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර 4432 දරණ අංක යටතේ එහි B වාර්ථාවද පවති. අනතුරුව කඩවත පොලීසිය විසින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නීතිමය කටයුතු සඳහා උපදෙස් පැතීමට නීතිපති වෙත මේ වන විට එය ඉදිරිපත් කොට ඇත. CC / 758 / 2010 12 09 දරන යොමු අංකයෙන් හා CTCCMS 01 11 10 / 05 01 11 දරන අංකවලින් එම පැමිණිල්ල නීතිපති කාර්යාලය වෙත යොමු කොට ඇත. නමුත් අවාසනාවක මහත මේ වන තෙක් ඒ සම්බන්ධව කිසිදු නීතිමය කටයුත්තක් සිදු වී නොමැත. නමුත් මෙම අවභාවිතාව හා විකෘතිය අනුව යමින් විවාහ මංගල්ලයන් සිද්ධවීම කණගාටුවට හා සංවේගයට කරුණකි.

අනෙක් අතින් කතෝලික පල්ලියේ මේ අවභාවිතාවට ප්‍රබලවම දායකත්වය සපයන්නේ මේ රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයයි. මාධ්‍ය සදාචාරය පිළිබඳ මහ ලොකු පුරසාරම් දොඩන ඇත්තන්ට අප සිහිපත් කරන්නේ සිංහල බෞද්ධ මේ රටේ ඔබ මාධ්‍ය සදාචාරය රකින හැටි මෙලෙසද කියාය. විශේෂයෙන් මාධ්‍ය ප්‍රධානීන්ගෙන් අප ඉල්ලන්නේ කරුණාකර මේ මුග්ධ මෙහෙයුමෙන් ඉවත් වන ලෙසටය. වචන හරඹයන් ඔස්සේ බුදු දහම හා සමානවීමට නිර්මාණවාදී ආගම් එකකටවත් නොහැකි බව අප හොඳින් දන්නා කරුණකි. නමුත් මෙහි ඇති භයානකකම නම් සාමාන්‍ය ජනයා මේ හරහා ඇති කරගන්නා ප්‍රතිරූපය කුමක් වේවිද යන සැකයයි.

බෞද්ධ සංහාරයේ නවතම කුමන්ත්‍රණය වනාහි සර්වාගමික කුමන්ත්‍රණයයි. ඒ හරහා ජන මනස විකෘති කොට ඒ ආගමත් එකයි මේ ආගමත් එකයි කියන මිත්‍යාය මතය ජනගතවීම නොවැලැක්විය හැක්කකි.

අවසන් වශයෙන් කාට කාටත් යහපත් වෙන කරුණක් සිහිපත්කරනු රිසියෙමි. මේ කාල සමයේ ලෝකයේ සෑම තන්හිම සිදුවෙන මහා ස්වභාවික ව්‍යයසනයන් සියල්ල හොඳින් නිරීක‍ෂණය කරන්න. ඒ අන් කිසිවක් නිසා නොව. මිත්‍යාදෘෂ්ටියෙන් මුලූ ලොවම වෙලා ගන්නාවිට ස්වභාව ධර්මයා අපට දෙන ප්‍රතිචාරයයි. එහෙයින් ඉන් මිදීමට සම්‍යග් දෘෂ්ටිය වෙත සමීපවීමත් එසේ බැරිනම් තවදුරටත් මිත්‍යාදෘෂ්ටිය ව්‍යාප්ත නොකිරීමෙන් කටයුතු කිරීමත් යහපත්වෙනු ඇතැයි හගමි. සුනාමියෙන් පසු අපට කියාදුන් බෝහෝ පාඩම් අදවන විට බෝහෝ දෙනාට අමතක වී ඇත. බුදු දහමේ සත්‍යතාවය ලොවට හඩගා කියූ ඒ මහා ව්‍යසනය පවා මූලධර්මවාදීන් යොදා ගත්තේ සිය මිත්‍යාදෘෂ්ටිය වැපිරීම පිණිස බව රහසක් නොව. කරුණු කාරණා සිහියෙන් විමසා බලා කටයුතු කරන ලෙසත් බෞද්ධ ශාසනික වචන අවභාවිතාව හා සිංහල බෞද්ධ සංස්කෘතික මංකොල්ලය නරත කරන්නට කටයුතු කරන මෙන් කාරුණිකව හා මෙත්සිත් පෙරටුව ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි

සසුන් ලැදි
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

Related posts

1948 සිට ද්‍රවිඩයන්ට හිරිහැර වුණා. ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ – සංගරිගේ පුතා කැනඩා රජය උසී ගන්වයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය හා වර්තමානය දැක්වෙන කෞතුකාගරයක්

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

Admin

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එද්දී අගමැති, මලික්, කබීර් යයි

colombotoday