Colombo Today Local News

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

කතානායක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2018 දෙසැම්බර් 03 දින උත්තරීතර අධිකරණය විසින් දුන් තීන්දුව හා ඔක්තෝබර් 26 දින රාත්‍රි සිදු වූ දේශපාලනමය වෙනස්කම් කෙරෙහි දේශයේ නාමයෙන් අවධානය යොමු කිරීම අපගේ යුතුකම සේ සලකමු. එපරිද්දෙන් මෙම දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියා කලාපය දෙස ආපසු හැරී බැලීමෙහි ද මෙය සුදුසු ම අවස්ථාව බව අපගේ හැඟීමයි.

ඉහත කී වෙනස්කම් සිදු වූ දිනට පසු දින, එනම් ඔක්තෝබර් 27වන දින කථානායකවරයා, අතිගරු ජනාධිපතිතුමන් හමුවී ප්‍රකාශ කළේ එම ක්‍රියාදාමය නීතියට සහ පිළිගත් සම්ප්‍රදායට පටහැනි වුවද ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය සහ එතුමන්ගේ විශේෂ ඉල්ලීම අනුව නව අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ලබාදිය යුතු පහසුකම් ලබාදෙන ලෙස මහ ලේකම්වරයාට තමා උපදෙස් ලබා දෙන බවයි.

නව රජයේ ශක්තිය හා බහුතරය සතියක් තුළ පාර්ලිමේන්තුවේදී පෙන්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉතා අවශ්‍ය බවත් පෙන්වා දුන් කථානායකවරයා ඒ සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී. එ‍‍මෙන්ම එතෙක් පැවැති රජය විසුරුවා හැරීම සම්ප්‍රදායානුකූලව සිදු නොවුණු හෙයින්, නව රජයේ ශක්තිය රටට හා ලොවට පෙන්වීම රජයේ මෙන්ම ජනාධිපතිවරයාගේද යුතුකමක් ලෙස දකින බවද කථානායකවරයා දැඩිව පෙන්වා දෙන ලදි.

එම ඉල්ලීමට අතිගරු ජනාධිපතිතුමා විසින් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොවැම්බර් 7වැනි දින පාර්ලිමේන්තුව කැඳවා එම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීමට මුලින් එකඟ වුවද, විවිධ හේතූන් මත එම අවස්ථාව නොලැබිනි. අවසානයේ දී පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවේ නොවැම්බර් 14වැනි දාය. ඒ වන විට පාර්ලිමේන්තුව තුළ පිළිගත් පක්ෂ හයෙන් හතරක සාමාජිකයන් 122 ක් නව රජය නොපිළිගන්නා බව ප්‍රකාශ කරමින්, රජයට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයා වෙත භාර දී තිබිණි. එම පසුබිම තුළ සුදුසුම ක්‍රියාදාමය වූයේ රජය විසින් බහුතරය තුලින් තම ශක්තිය පෙන්වීමයි. කවර හෝ හේතුවක් නිසා එලෙස සිදු නොවූ අතර, එම කාලය තුළ රුපියල් මිලියන 300 ඉක්මවන මුදල් අල්ලස් සමග ඇමති, උප ඇමති පදවි ලබා දීමට පොරොන්දු වෙමින් ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරුන් සිය පාර්ශ්වයට නම්මවා ගැනීමේ ලජ්ජාසහගත ක්‍රියාදාමයක් කරා රට යොමු වෙමින් තිබිණි. මීට අදාලව අල්ලස් හා දූෂණ කොමිසම මඟින් වහා පරීක්ෂණ ඇරඹීම පිළිබඳ අප සතුටු වෙමු. එවැනි පරිසරයක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරයේ ඉල්ලීමට ගරු කරමින් ජනාධිපතිතුමන් විසින් නිල කැඳවීම කළ දිනට, එනම් නොවැම්බර් 14 දිනට ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරයේ ශක්තිය උරගා බැලීමට තීරණය කිරීම ස්ථාවර නියෝග 136 හා 143 යටතේ අවස්ථානුකූලව සිදු කළ බව සඳහන් කළ යුතුව ඇත.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ද සහයෝගය ලැබුණේ නම් සාමකාමීව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ගැනීමේ පහසුකම් සලසා තිබිණි. නොවැම්බර් 14, 15, 16 යන තුන් දිනම තේරුම් ගත නොහැකි හේතු මත, සාමකාමීව ඡන්දයක් පැවැත්වීම වෙනුවට සිදු වූයේ පාර්ලිමේන්තුව තුළ ප්‍රචණ්ඩත්වය ඉහ වහා ගිය අවිනීත පරිසරයක් නිර්මාණය කිරීම ය. “හඬින්” ඡන්දය ගැනීමට සිදු වූයේ එහෙයිනි.

මින් පෙර ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සාමකාමී පරිසරයක් තුළ පවා “හඬින්” ඡන්දය ගත් අවස්ථා පෙන්වා දිය හැක. ඒ අනූව බහුතරයකින් සම්මත වූ විශ්වාස භංග යෝජනාව කථානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර, ඒ බවට ජනාධිපතිතුමන් ද දැනුවත් කරන ලදී.

දෙසැම්බර් 03වැනි දින ගරු අධිකරණය මඟින් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අනුමත කර ඇති බව පැහැදිලි ය. පාර්ලිමේන්තුව මුල සිට ම දැරූ මතය ගරු අධිකරණය මගින් ද තහවුරු කිරීම අපට ධෛර්යකි. ඒ වෙනුවෙන් උත්තරීතර අධිකරණයට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. පාර්ලිමේන්තුව හා කථානායකවරයාට මෙතෙක් කරන ලද අභූත හා අසාධාරණ චෝදනා මෙමගින් නිශ්ප්‍රභ වනු ඇත.

ඉහත සඳහන් වූයේ පාර්ලිමේන්තුව විසින් එතෙක් මෙතෙක් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පැහැදිලි කරලීමයි. පිළිගත් පක්ෂ හයකින් පක්ෂ හතරක මන්ත්‍රීන් 122කගේ හඬට කන්දීම පක්ෂග්‍රාහී වීමක් ලෙස සමහරුන් හඳුන්වාදීම හාස්‍යයට කරුණකි. එජාපයට අමතරව, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ද්‍රවිඩ ජාතික සන්ධානයද (TNA) මෙයට අයත්ය.

මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් මෙන්ම අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත දේශීය හා විදේශීය ව්‍යවස්ථා විශාරදයින්ගේද උපදෙස් අනුව සිදුවූ බව වගකීමෙන් යුතුව සඳහන් කළ යුතු වේ. එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම කථානායකතුමාගේ ක්‍රියා කලාපය තුළින් අපේක්‍ෂා නොකෙරුණු අතර හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණා මත සෑම පියවරක්ම ගනු ලැබූ බව ද අවධාරණය කරමු. කෙසේ වුව ද කිසිවකු මෙම ක්‍රියා පටිපාටිය අනුමත නොකරන්නේ නම්, විවිධ ප්‍රදේශ තුළ කථානායකවරයාට හා පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවට සිදුකළ යුත්තේ නීත්‍යනුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදීව කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන එමින් ඔහු ඉවත් කිරීමය.

අවසාන වශයෙන්, මෙම තීරණාත්මක හා අභියෝගාත්මක අවස්ථා‍වේදී අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ සියලු වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු කාරණාවක් වනුයේ මෙම සිද්ධින් හේතුවන් අප රට ආර්ථික, සමාජයීය හා දේශපාලනමය වශයෙන් බරපතල ලෙස පසුබෑමකට පත් ව ඇති බව ය. මෙම තත්වයෙන් අපගේ මාතෘ භූමිය වහාම මුදවා නූපන් පරපුර වෙත ප්‍රජාතන්ත්‍රවාදය රජයන, සාමකාමී, සමෘද්ධිමත් දේශයක් ශේෂ කර දීම අපගේ පරම යුතුකමව පවතින බැව් පැහැදිලි ය. පුරවැසි සැමට ආත්ම ගරුත්වයක් හා අභිමානයක් සහිතව ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු වන අතර නැවත වරක් ජාතික, ආගමික, සංහිඳියාව බිද වැටීමට කිසිදු ඉඩක් නොතැබීමට වග බලා ගත යුතුව තිබේ. ඊළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීමෙහි සියලු පක්ෂ නායකයින් වගකීමෙන් ක්‍රියා කළ යුතු වේ.

මුදලට මන්ත්‍රී පදවි විකිණීමේ අප්‍රසන්න ක්‍රියාදාමය වහා නැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් පියවර ගත යුතුව ඇති අතර මේ වෙනුවෙන් පාර්ලිමේන්තුව පූර්ණ ලෙස කැපවනු ඇත.ඉහත සඳහන් අදහස් හා යෝජනා අප ඉදිරිපත් කරනුයේ සද්භාවයෙන් හා පිරිසිදු චේතනාවෙන් මිස පෞද්ගලික හෝ දේශපාලනමය අසද්භාවයකින් නොවන බව අවධාරණය කරමු.

අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මුළු රාජ්‍ය තන්ත්‍රයේ ම අවධානය මේ වෙනුවෙන් යොමු වී රට අප්‍රමාදව යථා තත්වයට පත් වනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි.

– කථානායක කාර්යාලය

Related posts

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

මහින්දගේ චීන ගනුදෙණු ගැන රහස් පොලීසිය විමර්ශන අරඹයි…

colombotoday

අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න. රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

ජනපති ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් කැඳවයි… හදිසි තීරණ ගැනීමේ සූදානමක් !

colombotoday