World

කාන්තාවන්ට අනතුරුදායකම රට ඉන්දියාව.. ඇමරිකාව 10 වැනි තැනට

ලෝකයේ රටවල් අතරින් කාන්තාවන්ට වඩාත්ම අනතුරුදායක රට බවට අපේ අසල්වැසි ඉන්දියාව පත් වී තිබේ. මේ බව සඳහන් වන්නේ තොම්සන් රොයිටර්ස් පදනම නමැති ආයතනයක් විසින් පවත්වන ලද මත විමසුමකට අනුවය. විවිධ රටවල කාන්තා කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන විශේෂඥයන් 548 දෙනකු මෙම මත විමසුම සඳහා සහභාගි වී ඇති බව ද සඳහන් වෙයි. මෙහි වාර්තාවට අනුව දෙවැනි සහ තුන්වැනි ස්ථානවලට පැමිණ සිටින්නේ ඇෆ්ගනිස්තානය සහ සිරියාවයි. සෝමාලියාව සහ සෞදි අරාබිය සිවුවැනි සහ පස්වැනි ස්ථානවලට පත්ව සිටියි. හයවැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා පත්ව සිටින්නේ පිළිවෙළින් පාකිස්තානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යේමනය, නයිජීරියාව සහ ඇමෙරිකාව යන රටවල්ය. පළමු රටවල් දහය අතරට ඇතුළත්ව සිටින එකම බටහිර රාජ්‍යය ඇමෙරිකාව වීමද මෙහිදී කැපීපෙනෙන කාරණයකි.

මෙම මත විමසුම සිදුකර ඇත්තේ මාතෘකා හයක් යටතේය. ලිංගික ප්‍රචණ්ඩත්වය, ලිංගික නොවන ප්‍රචණ්ඩත්වය, සෞඛ්‍ය පහසුකම් අඩුකම, සමාජ අසාධාරණය, සංස්කෘතික සම්ප්‍රදායන් නිසා ඇතිවන පීඩනය, මිනිස් ජාවාරම් යන කාරණා යටතේ කාන්තාවන් මුහුණ දෙන තත්ත්වයන් මෙහිදී අවධානයට ලක් කර තිබේ. ඉන්දියාව මෙයින් මාතෘකා තුනක් යටතේම පළමු තැනට, එනම් වඩාත්ම අනතුරුදායකය යන තත්ත්වයට පත්ව තිබීම විශේෂය. ඒ ලිංගික ප්‍රචණ්ඩත්වය, සංස්කෘතික සම්ප්‍රදායන් නිසා ඇතිවන පීඩනය සහ මිනිස් ජාවාරම යන කාරණා යටතේ ය. මෙම ශේ්‍රණිගත කිරීමෙහි දෙවැනි තැනට පත්ව සිටින ඇෆ්ගනිස්තානයද කාරණා තුනක් සම්බන්ධයෙන් වඩාත්ම අනතුරුදායක රට බවට පත්ව ඇත.

ඒ ලිංගික නොවන ප්‍රචණ්ඩත්වය, සෞඛ්‍ය පහසුකම් අඩුකම, සමාජ අසාධාරණය යන කාරණා සම්බන්ධයෙනි. ලිංගික නොවන ප්‍රචණ්ඩත්වය ලෙස මෙහිදී හඳුනාගෙන ඇත්තේ යුද ගැටුම් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදිය නිසා මුහුණ දෙන තත්ත්වයන්ය. ඇමෙරිකාව මෙහි දහවැනි ස්ථානයට පත්වීමට බොහෝ දුරට බලපා ඇත්තේ ලිංගික සහ ලිංගික නොවන ප්‍රචණ්ඩත්වය අතින් ඔවුන් ඉදිරියෙන් සිටීම නිසා බව පෙනේ. මේ කාරණා දෙකෙහිදී ඔවුන් සියලු රටවල් අතරින් තුන්වැනි ස්ථානයට පත්ව තිබීම විශේෂයෙන් කැපී පෙනෙන්නකි.

මෙයට වසර 7කට පෙර එනම් 2011දී ද මෙම ආයතනය මේ ආකාරයෙන්ම මත විමසුමක් සිදු කර තිබිණි. මෙවර නැවත එවැන්නක් සිදු කර ඇත්තේ එදා පැවති තත්ත්වයට වඩා මේ වන විට රටවල් යම් ප්‍රගතියක් ලබා ඇත්දැයි සස¼දා බැලීම සඳහාය. 2011 මත විමසුමේදී ඉන්දියාව සිට ඇත්තේ සිවුවැනි ස්ථානයේයි. ඒ අනුව පෙනී යන්නේ වසර හතක කාලයක් තුළ කාන්තාවන් සම්බන්ධයෙන් ඉන්දියාවේ තත්ත්වය ඉතා වේගයෙන් නරක අතට හැරී ඇති බවකි. ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ ආදිය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් ඇති අන්දම පසුගිය කාලයේ මාධ්‍ය හරහා වාර්තා වූ සිදුවීම් තුළින්ද දැකිය හැකිවිය. කාන්තාවන් මුහුණ දෙන ඛේදවාචකයන් සම්බන්ධයෙන් ඉන්දියාවෙහි වගකිව යුතු පාර්ශ්ව ප්‍රමාණවත් ආකාරයෙන් ක්‍රියාත්මක වී නැති බව මේ අනුව පෙනී යන්නේ යැයි මත විමසුමට සහභාගි වූ විශේෂඥයන් සඳහන් කර ඇත.

2007 වසරේ සිට 2016 දක්වා ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ සියයට 83කින් පමණ වැඩි වී ඇති බවද, සෑම පැයකටම ස්ත්‍රී දූෂණ හතරක්වත් සිදුවන බවද එරට සංඛ්‍යා ලේඛන මඟින් අනාවරණය වන්නේ යැයි පැවසේ. මේ අතර ස්ත්‍රීන්ට එරෙහිව ඉන්දියාව තුළ සිදුවන තවත් බිහිසුණු අපරාධයක් ලෙස සැලකෙන්නේ බිලිඳු දැරියන් ඝාතනය කිරීමයි. ඉන්දියානු සමාජය තුළ ගැහැනු දරුවන් සම්බන්ධයෙන් පවතින ආකල්ප මෙහිදී විශාල බලපෑමක් කරන බව රහසක් නොවේ. ලෝකයේ වේගයෙන්ම දියුණු වන ආර්ථිකය හිමි රටක්, විද්‍යා සහ තාක්‍ෂණික ක්‍ෂේත්‍රයන්හි වේගයෙන්ම ඉදිරියට යමින් සිටින රටක් මේ තත්ත්වයට පත්වීම කනගාටුදායක බව මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දියානු නිලධාරියකුම මාධ්‍ය සමඟ පවසා තිබිණි.

2011 වසරේ මත විමසුමට අනුව කාන්තාවන්ට වඩාත්ම අනතුරුදායක රට ලෙස තේරී තිබුණේ ඇෆ්ගනිස්තානයයි. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, පාකිස්තානය, ඉන්දියාව සහ සෝමාලියාව පිළිවෙළින් ඉතිරි ස්ථාන හතරට පත්ව තිබිණි.

කෙසේ හෝ වේවා මෙවර මෙම මත විමසුම ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඉන්දියාව තුළින් එයට බලවත් විරෝධයක් මතු වෙමින් ඇති අන්දමද දැකිය හැකි වෙයි. කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉතා අයහපත් වාතාවරණයක් පවතින සෞදි අරාබිය, ඇෆ්ගනිස්තානය වැනි රටවල් මෙම ශේ‍ර්ණිගත කිරීම තුළ තමුන්ට වඩා පහළින් සිටීම විශ්වාස කළ නොහැකි බවට ඉන්දියාව පැත්තෙන් චෝදනා ඉදිරිපත් වෙයි. මේ සමහර රටවල කාන්තාවන්ට නිදහසේ අදහස් පළකිරීමේ අයිතිය පවා නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම, කාන්තා සහ ළමා සංවර්ධනය පිළිබඳ අමාත්‍යාංශය වැනි ආයතන මෙහිදී මෙම මත විමසුමට එරෙහිව දැඩි ලෙස විවේචන එල්ලකර තිබෙනු දැකිය හැකි විය. ඔය කියන මත විමසුමට සහභාගි වූයේ කවුද, ඔවුන් මොන රටවල, මොන තරාතිරම්වල උදවියද, ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ කවර පදනමක් මතද ආදිය පිළිබඳව විස්තර කිසිවක් හෙළිකර නොතිබීම ගැන ඇතැම් ඉන්දියානුවන් සැක පළ කර තිබෙනු දක්නට ලැබිණි. මෙයට සහභාගි වූ 548 දෙනා අතරින් 41 දෙනකු ඉන්දියානුවන් බව සඳහන් වුවත් අනෙක් අය මොන රටවල අයද යන්න අනාවරණය වී නැත. ලෝකයේ අනෙක් රටවල් මොන තරම් දුරට මෙම නියැදිය තුළ නියෝජනය වී ඇත්ද යනාදිය සම්බන්ධයෙන්ද ඇතැමුන් ප්‍රශ්න කර තිබේ. මෙවැනි ගැටලු නිසා මෙය නිසි විනිවිදභාවයකින් යුතු මත විමසුමක් නොවේය යන්න මේ පිළිබඳ විරෝධය දක්වන අයගේ අදහසයි. කෙසේ නමුත් ඇතැම් කාන්තා ක්‍රියාකාරිනියන් වැනි පාර්ශ්ව මෙවැනි මත විමසුමක් ප්‍රකාශයට පත්වීම ගැන සතුට පළ කර තිබෙනු ද දැකිය හැකි වෙයි. වැඩි අවධානය යොමු විය යුත්තේ 548 දෙනා කවුරුන්ද යන්න ගැන නොව ඔවුන් පවසා ඇති දේ පිළිබඳවය යන්න මෙම ක්‍රියාකාරිනියන්ගේ අදහස බව පෙනේ. එම පිරිස කවුරුන් වුවද ඔවුන් කාන්තාවන්ගේ ගැටලු පිළිබඳ අධ්‍යයනය කරන, ඒ පිළිබඳ විශාල අවබෝධයකින් යුතු විශේෂඥයන් බැව් අමතක නොකළ යුතු බව එක් කාන්තා ක්‍රියාකාරිනියක් පවසා තිබිණි. එම නිසා මෙම මත විමසුම සිදු කළ ආකාරයේ යම් සීමාවන් තිබිය හැකි වුවත් එයින් අනාවරණය වී ඇති කාරණා සුළුකොට නොතැකිය යුතු බව ඇය අවධාරණය කර ඇත.

mawubima

Related posts

ගාසාහි රෝහල්වල ඉන්ධන සංචිත ඇත්තේ තවත් පැය 24කට පමණයි – දහස් ගණනක් රෝගී ජීවිත අවදානමේ

Admin

ජපානය හෙල්ලෙයි.. සුනාමියක්, න්‍යෂ්ටික බලාගාරවලටත් බලපෑම් !

colombotoday

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

අගමැති ඉවත් කලත් අර්බුදය අවසන් නැහැ… ඉන්ධන ගන්න සල්ලි නැතිව පාකිස්තානයෙත් විදුලිය කැපෙයි

colombotoday