ArticlesColombo Today Local News

ගෝඨාභය පුටින් වගේ

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන පසුබිම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පළ කල අදහස් පහත පළවේ.

 ප‍්‍රශ්නය – ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් ගණනාවක් සිටියත් අවසානයේ දී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළේ එතෙක් දේශපාලනයේ නොසිටි ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහුට අපේක්ෂකත්වය හිමි වීමට හේතුව කුමක්ද?

 පිළිතුර – මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනපතිවරණයක දී තරග කිරීමට තිබුණු අවස්ථාව 19 වන සංශෝධනයෙන් අහිමි කළා. එදා පටන් හැමෝම අනාගත ජනාධිපති අපේක්ෂක ලෙස විවිධ නම් යෝජනා කළා. අපේ තේරීම වූයේ ගෝඨාභය මැතිතුමා. එතුමා මේ රටේ ඊළඟ ජනාධිපති විය යුතු බව අපි කිව්වේ 2015 ජුනි මස තරම් ඈතකයි. අවසානයේ දී එය රැුල්ලක් වී රටේ පොදු ඉල්ලීම බවට පත් වුණා. ජනතාවගේ ඉල්ලීමට ගරු කිරීමට පොදුජන පෙරමුණේ නායකයින් තීරණය කළා. ජනතාව විසින් තෝරා ගත් ලංකාවේ පළමු ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය මහතා හඳුන්වන්න පුළුවන්.

 ප‍්‍රශ්නය – ගෝඨාභය මහතා ජනාධිපති විය යුතු යැයි ඔබ සිතුවේ ඇයි?

 පිළිතුර – ජය ගත නොහැකි බවට වර්ග කර තිබුණු අභියෝග දෙකක් ජය ගැනීමට ගෝඨාභය මැතිතුමාට හැකි වුණා. පළමු දේ තමයි කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම. ලෝකයේ ත‍්‍රස්ත විශේෂඥයින් අපට කිව්වේ ”ලෝකයේ බලවත්ම වගේම බිහිසුණුම ත‍්‍රස්තවාදි සංවිධානය තමයි කොටි සංවිධානය. ඒ අය කවදාවත් පරාජය කරන්න බෑ. ඒ නිසා කොටිත් එක්ක කතා කරලා, කොටි කැමති දෙයක් දීලා, මේ ප‍්‍රශ්නය විසඳ ගන්න.” නමුත් වසර තිස් පහක් අපේ රට විනාශ කළ කොටි ත‍්‍රස්තවාදය වසර තුනක් තුළ පරාජය කිරීමට එතුමාට හැකි වුණා. ත‍්‍රස්ත විශේෂඥයින් මොනවා කිව්වත් අපි කොටි ත‍්‍රස්තවාදය පරාජය කළ හැකි බව විශ්වාස කළා. ඒත් කොළඹ කුණු ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් වේවි කියා මමවත් සිතුවේ නෑ. නමුත් වසර තුනක් තුළ කසළ ප‍්‍රශ්නය විසඳලා 2013 දී කොළඹ ලොව පිරිසිදුම නගරය බවට සංචාරකයින් විසින් නම් කරන තැනට පත් කළා.

 2015 දී රටේ බලය ලබා ගත් පිරිස කයිවාරු මිස වැඩ බැරි අය බව ජනතාව තේරුම් ගැනීමෙන් නිහඬව සේවය කළ ගෝඨාභය මහතාගේ වටිනාකම වැඩි වුණා. එතුමාට මේ රට භාර ගන්න කියා සමස්ත ජාතියම ඉල්ලා සිටින්නේ ඒ නිසා. සරලව කිව්වොත් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිගේ ¥රදර්ශී බවත්, මැලේසියාවේ මහතීර් මොහොමඞ් අගමැතිගේ කළමනාකරණ හැකියාවත්, ඉන්දියාවේ නේරු අගමැතිගේ දාර්ශනික ප‍්‍රවේශයත්, රුසියාවේ ව්ලැඩිමියර් පුටින් ජනපතිගේ අභීත බවත් එකට කැටි කළ විට බිහි වෙන්නේ ගෝඨාභය මහතායි.

 ප‍්‍රශ්නය – ගෝඨාභය මැතිතුමා ජනපති අපේක්ෂක වන බව දිගු කාලයක් පුරා නිවැරදිව කියූ නායකයෙකු ලෙස එතුමාගේ ජයග‍්‍රහණය කිරීමේ හැකියාව ඔබේ තක්සේරුව කෙසේද?

 පිළිතුර – 2018 පෙබරවාරි 10 දින තිබුණු තත්ත්වය එලෙසමයි කියා අපි හිතමු. එසේ නම් පොහොට්ටුවට 42%යි. එජාපයට 29%යි. ශ‍්‍රීලනිපය 12%යි. අපි එජාපයට වඩා ඉන්නේ ගව් ගණනක් ඉදිරියෙන්. ඒ වගේම පසුගිය මාස 18 තුළ රට අඳුරෙන් අඳුරට ගියා. පාස්කු ප‍්‍රහාරය සිදු වුණා. ආර්ථිකය බිඳ වැටුණා. ආණ්ඩුවේ වංචා ¥ෂණ තොග පිටින් හෙළි වුණා. ශී‍්‍රලනිප මන්ත‍්‍රීවරු සහ සංවිධායකයින් විශාල තොගයක් පක්ෂය අත්හැර අපිට එකතු වුණා. ඒ නිසා එදා 42% මේ වන විට 50% පසු කර ගිහින්.

 ඒ වගේම ජනපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා 50% ඉක්මවා ඡුන්ද ගත යුතු බවට මිථ්‍යාවක් සමාජ ගත වී තිබෙනවා. කිසිම අපේක්ෂකයකු 50% ඉක්මවා නැති නම් සෙසු අපේක්ෂකයින්ට ඡුන්දය දුන් ඡුන්දදායකයින් දෙවන සහ තෙවන මනාපය ලබා දී ඇත්තේ කාටද කියා බලා ඒ අයගේ ඡුන්දයත් වැඩිම ඡුන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනාට එකතු කරනවා. ඊට පස්සේ 50% ඉක්මවා ගියත් නැතත් වැඩිම ඡුන්ද ලැබූ අපේක්ෂකයා ජනාධිපති ලෙස ප‍්‍රකාශ කරනවා. ලංකාවේ ජනතාව කවදාවත් දෙවන තෙවන මනාප ලකුණ කර නෑ. ඒ නිසා පළමු වටයේ දී වැඩිම ප‍්‍රතිශතය ගත් අපේක්ෂකයා තමයි ජනාධිපති වෙන්නේ.

 ප‍්‍රශ්නය – ඔබ එහෙම කිව්වාට සුළු ජාතික ඡුන්ද ලබා ගැනීමේ හැකියාවක් ගෝඨාභය මහතාට නෑ නේද?

 පිළිතුර – 2005 දී වගේම 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනපතිවරණ දින්නේ සුළු ජාතික පක්ෂ එතුමාට විරුද්ධව වැඩ කරන විට කියන එක මුලින්ම කියන්න ඕනෑ. නමුත් ගෝඨාභය මැතිතුමාට සුළු ජාතික ඡුන්ද විශාල වශයෙන් ආකර්ෂණය වී තිබෙනවා. අපි මුලින්ම මුස්ලිම් ඡුන්ද බලමු. අපේ ආණ්ඩුවට මුස්ලිම් සමාජයෙන් එල්ල වුණු ලොකුම චෝදනාව තමයි අළුත්ගම දී මුස්ලිම්වරුන්ට ප‍්‍රහාරයක් එල්ල වුණා කියන එක. අපේ වසර නවයහමාරක ආණ්ඩු කාලය තුළ මුස්ලිම්වරුන්ට එල්ල වුණේ අළුත්ගම ප‍්‍රහාරය පමණයි. ඒකත් පැය විසි හතරක් ඇතුළත මර්දනය කරන්න ආණ්ඩුව සමත් වුණා. නමුත් පසුගිය වසර හතරාමාර තුළ මුස්ලිම්වරුන්ට ප‍්‍රහාර හයක් එල්ල වුණා. මුලින්ම අම්පාරේ දී. ඊට පස්සේ ගාල්ල පෝද්දල. තුන්වනුව මහනුවර දිගන දී. ඊට පස්සේ හලාවත, කුලියාපිටිය සහ මිනුවන්ගොඩ දී. දිගන ගැටුම් දින ගණනාවක් තිබුණා. එහෙම බලන විට මුස්ලිම් ජනතාව වඩාත් සුරක්ෂිත කුමන ආණ්ඩුවක් යටතේ ද? ඒ වගේම මුස්ලිම් ජනතාව ව්‍යාපාරික ප‍්‍රජාවක්. මේ වන විට ආර්ථිකය කඩා වැටිලා ඒ් අය බංකොලොත් වී ඉන්නේ. ආරක්ෂාවට සහ ආර්ථික පුනර්ජීවනයට ඇති එකම බලාපොරොත්තුව ගෝඨා.

 ප‍්‍රශ්නය – ගෝඨාභය මහතාට දෙමළ ඡුන්ද දිනා ගන්න පුළුවන් වේවි ද? 

 පිළිතුර – නිදහසින් පසු හැමදාමත් දෙමළ ජනතාව ඡුන්දය දුන්නේ පෙඩරල් සහ දෙමළ ඊළාම වැනි මිරිඟු දිනා ගන්නයි. වසර හැත්තෑවක් සිහිනවල ජීවත් වෙලා අද ඒ අය හෙම්බත් වෙලා ඉන්නේ. රාජපක්ෂ යුගයේ දී උතුරේ පාරවල් ඇළවල් හැදුනා. රෝහල් පාසල් හැදුනා. විදුලිය සහ ජලය ලැබුණා. ප‍්‍රථම වතාවට උතුරට පළාත් සභාවක් ලැබුණා. එසේ තිබිය දී පෙඩරල් රාජ්‍යයක් ලබා දෙන බවට දෙමළ ජාතික සංධානය දුන්නු පොරොන්දුවට රැුවටිලා හංසයාට ඡුන්දය දුන්නා. අන්තිමට මොකද වුණේ? ලැබුණු පෙඩරල් රාජ්‍යයක් නෑ. තිබුණු පළාත් සභාවත් නැති වුණා. තිබුණු සංවර්ධනයත් නැති වුණා. දෙමළ ජනතාව 2015 දී ? වැටුණු වළට 2019 දී දවල් වැටීමට සූදානම් නෑ.

 අද දෙමළ සමාජය වෙනස්. රතන හාමුදුරුවන් මහනුවර උපවාස කරන විට ඊට සහය පළ කරමින් දෙමළ ජනතාව මඩකලපුවේ සහ වවුනියාවේ උපවාස කළා. කල්මුණේ දෙමළ ජනතාවගේ උපවාසය බලන්න සුමන්තිරන් මන්ති‍්‍රතුමා පැමිණියාම හූ කියලා එලවා ගත්තා. ඒත් ඥානසාර හාමුදුරුවන් පැමිණියාම ප‍්‍රීති ඝෝෂා කර පිළිගත්තා. ඒ නිසා දෙමළ ඡුන්ද පිළිබඳ අපට නැවුම් බලාපොරොත්තුවක් තිබෙනවා.

 ප‍්‍රශ්නය – ගෝඨාභය මහතාට දේශපාලන අත්දැකීම් නැතිවීම පාඩුවක් නොවේ ද?

 පිළිතුර – එතුමාට දේශපාලන අත්දැකීම් නෑ කියලා කවුද කියන්නේ? දස වසරක රාජපක්ෂ යුගයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන ඇමති ගෝඨාභය මැතිතුමා තමයි. ඒ අමාත්‍යාංශ ජනපතිතුමා යටතට අරගෙන නියෝජ්‍ය ඇමැතිවරු පත් නොකර සිටියේ ගෝඨාභය මැතිතුමාට ඇමැතිවරයකු ලෙස කටයුතු කරන්න අවශ්‍ය පසුබිම සකසන්නයි. ඒ වගේම සෑම ජනාධිපතිවරයකුටම තිබෙනවා අතිශයින්ම රහසිගත කරුණු සාකච්ඡුා කරන පුංචි කැබිනෙට්ටුවක්. සමහරු ඒකට කුස්සි කැබිනෙට්ටුවත් කියනවා. නිදහස් ලංකාවේ අභියෝගාත්මක යුගය රාජපක්ෂ යුගයයි. ඒ කාලයේ ජනපති මහින්දගේ කුස්සි කැබිනෙට්ටුවේ ගෝඨාභයත් සාමාජිකයෙක්.

 ඒ විතරක් නොවේ. ඔහු උපන් දා සිට හැදුනේ දේශපාලන පසුබිමක. ලොකු තාත්තා මන්ත‍්‍රිවරයෙක්. තාත්තා නියෝජ්‍ය ඇමැතිවරයෙක්. මස්සිනාලා වූ ලක්ෂ්මන් මන්ත‍්‍රි වන විට ජෝරජ් ඇමැතිවරයෙක්. අයියලා වන චමල් කථානායක වන විට මහින්ද ජනාධිපති. බැසිල් මල්ලි ඇමැති. බෑනලා වන ශෂීන්ද්‍ර මහ ඇමැති වන විට නාමල් මන්ත‍්‍රි. නිරූපමා රාජ්‍ය ඇමැතිනියත් ලේලි කෙනෙක්. මෙතරම් පුළුල් දේශපාලන පවුලක ආභාෂය වෙනත් කිසිවෙකුට ලැබිලා නෑ.

 ප‍්‍රශ්නය – ඔබ ඉතා වැදගත් තැනකට ආවා. පවුල්වාදය පිළිබඳ චෝදනාව. මීළඟ ආණ්ඩුවේ ජනාධිපති ලෙස ඔබ ගෝඨාභය තෝරා ගන්න විට අගමැති වන්නේ ඔහුගේම සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද මහතා. මේක පවුල්වාදය නොවේ ද?

 පිළිතුර – මහින්ද මැතිතුමා කියූ ලෙසින්ම ගෝඨාභය ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගත්තේ ජනතාව මිස එතුමා නොවේ. තමන්ගේ මල්ලී වූ නිසා ගෝඨාභයට ජනපති අපේක්ෂකත්වය දෙනවා නම් ඒක වැරදියි. නමුත් රටේ මීළඟ ජනාධිපති වීමට වඩාත් සුදුස්සා ගෝඨාභය මැතිතුමා කියලා බහුතර ජනතාව කියන විට තමන්ගේ මල්ලී වීම නිසා ඒ අවස්ථාව නොදී ඉන්නවා නම් ඒකත් වැරදියි. වඩා වැදගත් වන්නේ මහින්ද සහ ගෝඨාභය අයියා සහ මල්ලී ද කියන එක නොවේ. ඒ දෙන්නා ජනපති සහ අගමැති වීමට සුදුසුද නැද්ද කියන එක. ඒ දෙන්නා තමන්ගේ දක්ෂතාවය පෙන්වා තිබෙනවා ද නැද්ද කියන එක. එකක් මතක තියා ගන්න, අපි කරන්නේ අපේක්ෂකයින් නම් කරන එක විතරයි. ගෝඨාභය මැතිතුමා ජනාධිපති වෙනවා ද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනතාවයි. ඒ වගේම මහින්ද මැතිතුමා අගමැති වෙනවා ද කියන එක තීරණය කරන්නෙත් ජනතාවයි.

 ප‍්‍රශ්නය – පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙනවා නේද?

 පිළිතුර – වාර්තා වන හැටියට පැරණි ක‍්‍රමයට පළාත් සභා ඡුන්දය පැවැත්වීමේ හැකියාව පිළිබඳ තමයි ජනාධිපති විමසලා තිබෙන්නේ. මා මේ නීතිය ගැඹුරින් විශ්ලේෂණය කළා. මට පේන හැටියට නම් 2017 දී සම්මත කළ නව නීතිය ඉවත් නොකර පැරණි ක‍්‍රමයට ඡුන්දය පවත්වන්න නීතිමය ඉඩක් නෑ. නව නීතිය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ඕනෑ. ඒ වගේම නව නීතිය යටතේ සකස් කළ සීමා නිර්ණ වාර්තාව සම්මත කර ගැනීමටත් තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ඕනෑ. ඒ නිසා දැන් පළාත් සභා මැතිවරණ නීතිය අඩක් ගිල්ල කඩුවක් වගේ. ඉදිරියට යන්නත් බෑ. ආපසු ගන්නත් බෑ.

 පළාත් සභා මැතිවරණය නොපවත්වා දැන් අවුුරුදු දෙකක් ගත වී තිබෙනවා. ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබුණා නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. නමුත් ආණ්ඩුව ඒක කළේ නෑ. දැන් හදිසියේ පළාත් සභා පවත්වන්න හදන්නේ ජනපතිවරණය අවුල් කරන්නයි. ඒ නිසා ජනපතිවරණ උණුසුමට අයිස් බකට් ප‍්‍රහාරයක් එල්ල කරනවාට අපි විරුද්ධයි.

 ප‍්‍රශ්නය – අනාගත ජනාධිපති නාමමාත‍්‍ර ජනාධිපති කෙනෙක්. ඒ නිසා ජනපතිවරණයට දරණ වියදමත් අපරාධයක් බවට සමහරු කියනවා. ව්‍යවස්ථා නීතිය ගැන නිතර කතා කරන අයෙකු ලෙස මේ ගැන ඔබේ අදහස් කුමක්ද?

 පිළිතුර – මේක පට්ටපල් බොරුවක්. ඔය කතාව කියපු දයාසිරි ජයසේකර මැතිතුමාට මම ඒ පිළිබඳ විවාදයකට අභියෝග කළා. නමුත් ඔහු මග හැරියා. ඔය මතය මුලින්ම ප‍්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා ම අද නීති ක්ෂේත‍්‍රයේ වගේම දේශපාලන ක්ෂේත‍්‍රයේත් බොහෝ දෙනෙක් මේ මතය පිළිගන්නවා. නමුත් ඒක වැරදි අදහසක්.

 වත්මන් ජනාධිපතිගේ බලයේ තරම පසුගිය කාලයේ පෙන්නුවානෙ. ඒ පෙන්නුවේ බොහොම ටිකයි. අමාත්‍යාංශ දැරීමේ අයිතිය ඇතුළු වත්මන් ජනාධිපතිට තිබෙන බලතල සියල්ලම අනාගත ජනාධිපතිටත් තිබෙනවා. ජනතාවගේ විධායක බලය ක‍්‍රියාත්මක කරන්නේ ජනාධිපති හරහා බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා ජනපතිට ඇමති ධුර දැරිය හැකි බවට ව්‍යවස්ථාවේ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නෑ.

Divaina

Related posts

අටලුගම දී පොලීසියට පහරදීම – සොයමින් සිටි ප්‍රධාන සැකකරු අල්ලයි

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් රැකියා වෙළඳපොලට ගැලපෙන්නේ නෑ… වසර 28කට පසු ජනපති අලුත් ඉසව්වකට අත තියයි !

colombotoday

ඉංග්‍රීසි භාෂාව සහ තමනට රට හදන්න බැරි නිසා මාස 3 ක් එන්නේ නෑ කියූ චාමර සම්පත් ඊයේ මැතිසබේ

colombotoday

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Admin

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday