Articles

ගෝඨා දඩයම…

දියේ ගිලෙන්නට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ වැනි කතාවක් මේ දවස්වල අසන්නට ලැබේ. මොකක්දෝ වැටෙනතුරු එළුවාගේ පස්සෙන් ගියාය කියන නරියා මෙන් ගෝඨාභයගේ කිරි කළයට කෙසේ හෝ ගොම බිංදුවක් දමා ගන්නට පුළුවන් තරම් වලිකෑ ලංකාවේ නොයෙක් පංචස්කන්ධ, දැන් ඇමෙරිකාවේ උසාවියක් හරහා එම වැඩේ කරවා ගන්නට යනවා යැයි වාර්තා පළවෙමින් තිබේ. ලංකාවේ ඇති දහසක් ප්‍රශ්න වෙනුවට අලුත් ඩෙංගු උණක් මෙන් මෙසේ ගෝඨා උණක් වැලඳී ඇත්තේ ඇයි?

මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ කියූ අවදියක, ඊට වෙනස් මතයක් දැරූ රාජ්‍ය පාලන තලයේ එවකට සිටි එකම ඉහළම රාජ්‍ය නිලධාරියා ගෝඨාභය විතරයි කියා ටයිගර් තෝසේ රසවැටී සිටි එරික් සොල්හයිම් පසු කලෙක නිල වශයෙන් ප්‍රකාශ කළේ ය. වරක් දෙවරක් ගෝඨා ටයිගර් බෝම්බවලින් ද නොමැරී බේරුණේය. 1978 දී ආරම්භ වුණ ජේ.ආර්.ගේ ධර්මිෂ්ට සමාජයක්, තැපැල් මුද්දරයේ සිට දැන් අවසාන යහපාලන අවුරුද්ද දක්වා එතෙක් මෙතෙක් පක්ෂ දේශපාලකයන්ගේ ක්‍රියා නිසා ප්‍රභාකරන්ගේ තිස් අවුරුදු යුද්ධයටත් වඩා භයානක සමාජ – ආර්ථික ත්‍රස්තවාදයකට අද ලංකාව ගොදුරු වී ඇත. මෙයින් රට මුදා ගන්නට දැන් ඉන්නා මන්ත්‍රීන් 225 ඇතුළු නඩයට නොහැකි බව ඒත්තුගිය විශාල පිරිසක් ලංකාවේ සිටිති.

පෘථග්ජනයන් වශයෙන් යම් යම් අඩුපාඩු, දුර්වලකම් නැති අය ලෝකයේත්, ලංකාවේත් නැති නිසා, මේ කටයුත්තට වඩාත්ම සුදුස්සා ගෝඨාභය නොවේද යන මතයත් රටේ ගොඩනැගෙමින් පවතී. මෙම මතය නුරුස්සන අය ඉංග්‍රීසියෙන් ලිපි ලියන්නේ, ලංකාව බකල් කිරීමට උදව් දෙන බටහිර සුද්දන්ගේ ඩොලර් බලයෙනි. මේ පිරිස මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ කියමින් මංගල සමරවීරලා, කුමාර් රූපසිංහලා සමග සුදු නෙළුම් පා ගමනක් ගිය කල්ලියමය.

මීළඟ ජනාධිපති වන්නේ කුමන පුද්ගලයා වුණත් රටේ විශාල විප්ලවීය ආකාරයේ වෙනසක් කළ යුතු වන්නේය. පවතින කළු සුද්දන්ගේ පාලන ක්‍රමය උඩු යටිකුරු කළ යුතුය. ගෝඨාභය ඇමෙරිකන් පුරවැසිභාවය හැරියාද? ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයෙක් වෙනවාද? ඔහුට විරුද්ධව ඇමෙරිකාවේ නඩු දෙකක් දමා තිබෙනවාද? මේ කතා මාධ්‍යවලින් කරන තේ කෝප්පේ කුණාටුද? මේ මගින් ලංකාවේ අහිංසක ජනයා අන්දමන්ද කරවන්නේ කුමන වාසියක් පතාද?

ලසන්ත වික්‍රමතුංග ඝාතනය පමණක් නොව ඕනෑම පුද්ගලයකු ඝාතනය කිරීම අපරාධ වරදකි. ඒවාට දඬුවම් දිය යුතුය. එහෙත් ඔහුගේ දියණිය ඔහුගේ මරණයට වන්දි ඉල්ලා අවුරුදු 10 කට පසු ගෝඨාභය පස්සේ එනවා නම් ඇමෙරිකාවේ දේශපාලකයන්ගෙන්, රාජ්‍ය දෙපාර්තමේන්තුවලින් ලබා ගැනීමට නොහැකි වූ උදව්වක් ඇමෙරිකා අධිකරණ ක්‍රමය තුළින් ලබාගත නොහැකිය. ඕනෑම කෙනකුට ඇමෙරිකා අධිකරණයක් ඉදිරියට චෝදනාවක් ඉදිරිපත් කළ හැකිය. ඉන්පසු සිදුවන්නේ නඩුකාරයකු ඉදිරියේ එය විභාගයට ගැනීමය. එවැනි නඩුවක් අැසීමට තමන්ට බලයක් ඇද්ද, නඩුවට නීතිමය නඩු නිමිත්තක් තිබේද හා පැමිණිලිකරුට නඩුව ඔප්පු කිරීමට සාක්ෂි තිබේද යන්න තීරණය වන්නේ ඉන් පසුවය.

ඇමෙරිකන් පුරවැසියෙක් චිකාගෝවලදී තවත් ඇමෙරිකන් පුරවැසියෙක් මැරුවා නම් හිටපු හැටියේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ඒ මියගිය පුද්ගලයාගේ දුවට ලංකාවට ඇවිත් මීගමුව දිස්ත්‍රික් උසාවියේ වන්දි ඉල්ලා නඩුවක් දාන්න පුළුවන්ද? ලසන්තගේ දුව කර ඇත්තේ මෙවැනි දෙයකි. ඇමෙරිකාවට කෙළින්ම සම්බන්ධ නඩු නිමිත්තක් මිස මෙවැනි සිද්ධියක් පසිඳලීමට සාමාන්‍ය ඇමෙරිකන් උසාවියකට නීතිමය බලයක් නැත. යම් ලංකා පුරවැසියෙක් කොළඹ දී ඇමෙරිකන් පුරවැසියෙක් ඝාතනය කළා නම්, ඒ ලාංකිකයා ඇමෙරිකාවට ඇවිත් ඉන්නවා නම් ඔහුට විරුද්ධව අපරාධ හෝ සිවිල් නඩුවක් ගොනුකළ හැකිය. යමෙක් ලංකාවේදී හොරට ඇමෙරිකන් ඩොලර් මුද්‍රණය කළා නම් ඔහුට විරුද්ධවද මෙසේ ඇමෙරිකන් භූමියේදී නඩුවක් ගොනු කළ හැකිය.

යම් පැමිණිලිකරුවෙක් උසාවියට යා යුත්තේ සද්භාවයෙන් විය යුතුය. තමන් උසාවියට එන්නේ වෙනත් ගත හැකි ක්‍රියාවලට පසුව බව පෙනී යා යුතුය. උසාවි ක්‍රමය හෝ නීතිය බූරුවෙක් යැයි යමෙක් නොසිතිය යුතුය. වික්‍රමතුංගගේ දුව පසුගිය අවුරුදු 10 ක් තුළම මේ ගැන ලංකාවේ උසාවියකට හෝ පොලිසියකට හෝ පැමිණිල්ලක් කර නැත. එසේ නොකළේ කුමක් නිසාද යන්න ඇය විසින් ඇමෙරිකන් උසාවියට පැහැදිලි කළ යුතු වන්නේය. ඇය උසාවියට එන්නේ වෙනත් කූට හෝ දුෂ්ට අරමුණකින් නොවේ ය යන්න ගැන සැකයක් ඇති නොවිය යුතුය.

ලසන්තව මැරෙව්වේ ගෝඨාභය විසින් යැයි සිතිය හැකි ඉඟියක් වක්‍රව හෝ දෙන්නේ මර්වින් සිල්වා හා කුමාර වෙල්ගමගේ පුහු දේශපාලන කතාවලිනි. එහෙත් දැන් හැම දෙනාම දන්නා කාරණාවක් නම් ලසන්ත හා මහින්ද රාජපක්ෂ අතර රහසිගත ළඟ සම්බන්ධතාවක් තිබූ බවය. ඔහු මහින්දගේ චරපුරුෂයෙක් වැනි විය. මේ බව ගෝඨාභය නොදැන සිටියා විය නොහැකිය. ලසන්තව මරා දැමීමෙන් ගෝඨාභයට ලැබෙන වාසියක් නැත. මිග් ගනුදෙනුව වංචාවක් නම් යහපාලන අාණ්ඩුවට එම ගනුදෙනුව උඩ ගෝඨාභයට නඩු දමන්නට ඕනෑතරම් කල් තිබුණේය.

ඇමෙරිකන් ආණ්ඩු යන්ත්‍රය විසින් ලංකාවේ ඊළාම් රටක් හදන්නට ක්‍රියා කරන්නේ ඉන්දියන් සාගරයේ යුද බලය තහවුරු කරගන්නට ඒ මගින් ඉඩක් ලබාගත හැකි නිසාය. ගෝඨාභය වැනි පුද්ගලයෙක් ඇමෙරිකන් ආණ්ඩුවකට අල්ලේ නැටවිය හැකි අයෙක් නොවේ. අනගාරික ධර්මපාලතුමාගෙන් පසුව සුද්දන්ට හීනමානය දැනවූ එකම පුද්ගලයා ඔහුය. 2009 අප්‍රේල් මාසයේදී ප්‍රංශ හා බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිලාට ඔහු ඇති කළ හීනමානය නිසා ඔවුන් දෙන්නා පරාජිතව කෙළින්ම ගියේ නිව්යෝක් නගරයේ යූඑන්ඕ බිල්ඩිම ඉදිරිපිට පදික වේදිකාවටය. ප්‍රභාකරන් ගලවාගෙන යාමට ඔවුන් ගත් තැත අසාර්ථක වූ බව ඔවුන් හිලරි ක්ලින්ටන්ට වාර්තා කළේ ය.

මේ නිසා ගෝඨාභය දමනය සඳහා මේ රටවල දේශපාලන හස්තවලට ඉඩක් ඇත්නම් ඔවුන් ඊට පසුබට නොවේ. එහෙත් ලංකාවේ මෙන් නොව මේ රටවල දේශපාලන යන්ත්‍රය තාමත් මුළුමනින්ම අසීලාචාර නැත. නඩුකාරයන්ගේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට යාම උඩ බලාගෙන මූණට කෙළ ගසා ගැනීමක් සේ මේ රටේ ජනයා සලකයි.

කැනඩාවේ සිටින දෙමළ ජාතිකයන් ඊළාම් යුද්ධය නිසා වූ හානිවලට විරුද්ධ පැවරූ නඩුව ගැන කිව යුත්තේ දෙමළ ජාතිකයන්ට හෝ දෙමළ ත්‍රස්තවාදීන්ට හෝ විරුද්ධව ප්‍රතිපත්තියක් වශයෙන් ඔවුන් විනාශ කිරීමට ආරක්ෂක ලේකම් වශයෙන් හෝ සිවිල් වැසියෙක් වශයෙන් හෝ ගෝඨාභය නියෝග දී නැත. 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට ඡන්දය දෙන ලෙස උතුරු නැගෙනහිර දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටියේ දමිළ ජෙනොසයිඩ් ගැන දැන් දොඩවන දෙමළ සන්ධානය විසින්ය. ප්‍රභාකරන්ගේ අවසානය සඳහා ගෝඨාභය හා එක්ව ක්‍රියා කළේ ෆොන්සේකාය.

මෙම නඩු දෙක පුස්ස බින්දාක් මෙන් නිම වනු නිසැකය. ගෝඨාභයගේ ගාස්තු ද ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇත. ලංකාවේ ඉරණම විසඳීම ඇමෙරිකාවේ උසාවියකින් කළ හැකි යැයි සිතන්නේ බෞද්ධයන් නොවන කල්ලියක් විසින් පමණය.

ආචාර්ය චන්ද්‍රසිරි විජයවික්‍රම

Related posts

පිරිත් පැනට ගරහා භූමිදානය ඉල්ලීම..! ජනවරමට කෙළ ගසන අලි සබ්රි සහ සමාගම..!! මළ සිරුරු පසුපස එන අන්තවාදී පෙරහැර ගැන දේශපාලන විවරණය.

colombotoday

රනිල් දෙමළ සංවිධාන හා එංගලන්තය

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday

දකුණු ඇමරිකාව වැනසූ බහුජාතික ඩෝල් සමාගම ලංකාවේ මහා පරිමාණ ඉඩම් කොල්ලයක

colombotoday

අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම හෙවත් කූඩුවේ සිටින මාරයා ඔඩොක්කුවට ගැනීම

colombotoday

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday