Uncategorized

ජනාධිපති කොමිසම හමුවේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කල හෙළිදරව්ව

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණේ අප්‍රේල් 09 වන දින යැයි පැවසුව ද, අප්‍රේල් 07 වැනි දින තමන් දුරකථනයෙන් පූජිත් ජයසුන්දර මහතා අමතා එම බුද්ධි තොරතුර පිළිබඳ දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (17) 12 වන දිනටත් සාක්ෂි ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රහාරයට සති දෙකකට පෙර සහ ප්‍රහාරය එල්ලවීමට පෙර දින රාජ්‍ය බුද්ධි සේවය වගකිවයුතු පාර්ශව දැනුවත් කර ඇති බැවින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලතාවය නිසා යැයි කිව නොහැකි බවය.

එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයට ලද පළමු පෙරදැනුවත් කිරීම පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේ ජයවර්ධන මහතා කියා සිටියේ, ඉකුත් වසරේ අප්‍රේල් මස 04 වැනිදා මෙරට වෙලාවෙන් පෙ.ව 10.40ට පමණ විදෙස් බුද්ධි සේවයක තොරතුරුකරුවෙකුගෙන් “වට්ස් ඇප්’ පණිවුඩයක් ලෙස තමන්‍ට පළමු පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ලද බවය.

පසුව අදාළ පණිවුඩය පොලිස් පරික්ෂක හිමාලි මහත්මිය හරහා රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට සහ සහකාර අධ්‍යක්ෂකවරයාට යොමුකර ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදීමට තමන් නියෝග කළ බව ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

එසේම මෙම තොරතුර බුද්ධි තොරතුරක් බවට පත්කරගැනීමට එහි වියහැකිභාවය සොයාබැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ කණ්ඩායමක් නැගෙනහිර පළාතට යැවු බවද නිලන්‍ත ජයවර්ධන මහතා පැවසුවේය.

පසුව අප්‍රේල් මස 05වැනිදා දහවල් කාලය වන විට මුල් තොරතුර ලබාදුන් තැනැත්තාගෙන් සහ තවත් තොරතුරුකරුවන්ගෙන් ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමේ තොරතුරු ලිඛිතව ගෙන්වා ගත් බව නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂිදෙමින් කියා සිටියේය.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නිලන්ත ජයවර්ධන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර අප්‍රේල් 06 වැනිදා දුරකථන සංවාද 04ක් සිදුව ඇති බව පෙන්වා දෙමින් විමසා සිටියේ එහිදි මෙම පළමු බුද්ධි තොරතුර පිළිබද ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා පැවසුවේ අප්‍රේල් 04 වැනිදා තමාට ලද පළමු තොරතුරු පිළිබඳ තවදුරටත් තහවුරු කරගැනීම් සිදුකරමින් සිටි බැවින් අප්‍රේල් 06 වැනිදා තමන් ඒ පිළිබඳ තම අධීක්ෂණ නිලධාරියා දැනුවත් නොකළ බවය.

කෙසේ වෙතත් මෙම බුද්ධි තොරතුර පිළිබඳව තමන් ඉකුත් වසරේ අප්‍රේල් 07 වැනිදා පෙ.ව 8.55 එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දුරකථනයෙන් අමතා දැනුවත් කළ අතර එදිනම මුල් තොරතුර කිසිදු වෙනස් කමකට භාජනය නොකොට Top Secret යනුවෙන් සඳහන් කර ජාතික බුද්ධි ප්‍රධානියාට යොමුකළ බව ජයවර්ධන මහතා සාක්ෂිදෙමින් කියා සිටියේය.

අප්‍රේල් 09 වැනිදා වන විට තමන්ට නැගෙනහිර පළාතට යැවු නිලධාරින්ගේ සහ නියෝජ්‍ය සහ සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ වාර්තා ලැබී තිබු බැවින් වැඩිදුර වාර්තාවක් සකස්කර පොලිස්පතිවරයාට යොමුකළ බව නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, පළමු බුද්ධි තොරතුරේ වැදගත් පල්ලි ඉලක්ක වන බව සඳහන් ව තිබීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ගත් පියවර කුමක් ද යන්නය.

කෙසේවෙතත් මෙහිදී අප්‍රේල් 04 ලද පළමු බුද්ධි තොරතුරට අදාළව අප්‍රෙල් 05 වැනිදා සහකාර අධ්‍යක්ෂකවරයා විසින් නිලන්ත ජයවර්ධන මහතාට ලබාදෙන ලද වාර්තාව කොමිසමේ අවධානයට ලක්වු අතර එහි වැදගත් පල්ලියක් ලෙස පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සිතියමක ලකුණු කර තිබීම විශේෂත්වයක්.

එසේම සහකාර අධ්‍යක්ෂකවරයාගේ අදාළ වාර්තාව තුළ ගෝල්ෆේස් ප්‍රදේශයේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ බම්බලපිටිය සහ කොල්ලුපිටිය ප්‍රදේශයවල පිහිටි ප්‍රධාන පල්ලි කිහිපයක්ද වැදගත් පල්ලි ලෙස සටහන් කර තිබුණි.

කෙසේ වෙතත් වැඩිදුර සාක්ෂි ලබාදීමෙදි නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ, සහරාන් හෂිම් නැමැත්තාට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ඇති බව තමන් 2018 වර්ෂයේ පමණ සිට වගකිවයුත්තන් දැනුවත් කර තිබුණ ද, 2019 අප්‍රේල් 04 වන විටත් සහරාන් හෂීම් ප්‍රහාරයකට සුදානම් වන බවක් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයට පැහැදිලි තොරතුරු නොතිබු බවය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, තොරතුරු ලැබී තිබියදිත් රාජ්‍ය බුද්ධි සේවය එහි වියහැකිභාවය පිළිබඳ සොයා බලමින් සිටිය දී ත්‍රස්තවාදින් බෝම්බ පුපුරුවා හැරීම රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලතාවය නොවේ ද යන්නය.

එයට පිළිතුරු ලබා දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ, පාස්කු ප්‍රහාරයට සති දෙකකට පෙර තමන් වගකිවයුතු අංශදැනුවත් කළ බවත්, ප්‍රහාරය එල්ලවීමට පෙර දිනයේ හෙට ගහනවා යැයි දැනුම්දුන් බවත්, පළමු ප්‍රහාර 06න් පසු තව 02ක් තියෙනවා යැයි ද, පල්ලියක් අසල බෝම්බ පැටවු ලොරියක් නවතා ඇතැයි ද තමන් තොරතුරු සැපයු බවය.

එසේම ලබාදිය හැකි සෑම තොරතුරම පවසා දෙවැනි ප්‍රහාරයක් සිදුවීම වැලැක්වීමට රාජ්‍ය බුද්ධි සේවය කළ හැකි සියලු දේ කළ බව ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

එබැවින් තමන්ගේ ද වැරදි තිබිය හැකි වුවද, රාජ්‍ය බුද්ධි සේවය ලෙස සැපයිය හැකි සියලු තොරතුරු සපයා ඇති පසුබිමක රාජ්‍ය බුද්ධි සේවයේ ක්‍රියාකලාපය දුර්වල යැයි පැවසීම පිළිගැනීමට නොහැකි බව ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 13 වැනි දිනටත් මේ වන විට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටියි.

Related posts

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday