Colombo Today Local News

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග


ආයතනයක අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වාත්තීය සමිතිවලට ඉටු කළ හැකි කාර්යයන් රාශියකි. වර්තමාන කළමනාකරණයේදී සේවකයාත්, ආයතනයක කළමනාකාරිත්වයත් අතර මනා සම්බන්ධීකරණයක්‌ පවත්වාගෙන යැමට වෘත්තීය සමිති තීරණාත්මක කාර්යයක්‌ ඉටු කරනු ලබන බව පිළිගනු ලැබේ. තමන් නියෝජනය කරන සේවක කණ්‌ඩායමේ සාධාරණ අයිතීන් දිනාගැනීම, දිනාගත් අයිතීන් සුරැකීම වෘත්තීය සමිතියක මූලික වගකීම වන අතර ඒ හා සමානවම ආයතනයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම, හා ආයතනයේ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම වෘත්තීය සමිතියක මූලික වගකීම් වේ. ඒ තුළින් ආයතනයේ ප්‍රවර්ධනය මෙන්ම සේවක අභිවෘද්ධිය ලඟාකර ගත හැකිය.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඉදිකිරීමට යෝජිත නව ජාතික දුම්රිය කෞතුකාගාරය පිළිබඳව මේ වන විට විවිධ අදහස්‌ මතු වී ඇති අතර සමහර පාර්ශවයන් මෙම කෞතුකාගාරය ඉදිකිරීමටත් පෙර එයට විරෝධය පළ කොට ඇත. වගකිව යුතු වෘත්තීය සමිති වශයෙන් මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම කළමනාකාරිත්වයෙන් අප කරුණු විමසන ලදී. එබැවින් මෙම කාර්යයන්හි සැබෑ තත්ත්වය පිළිබඳව මහජනතාව හා පොදු දුම්රිය සේවකයින් දැනුවත් කිරීම අපගේ මූලික වගකීමක්‌ ලෙස අප දකින්නෙමු.

මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය ඉදිකිරීම උදෙසා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මුදල් යෙදවීමක්‌ සිදු නොකරන අතර මහජන බැංකුව මගින් ආධාර ප්‍රදානයක්‌ ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දීමට එකඟතාව පළ කර ඇත. එය කිසිසේත්ම ණය මුදලක්‌ නොවන අතර ප්‍රදානයකි. දුම්රිය දෙපාර්තමේන්තුව තුලින් මෙම ජාතික කෞතුකාගාරය ඉදිකිරීමට විරුද්ධව පදනම් විරහිත විරෝධතා පවත්වන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම ආධාර ප්‍රදානය අහිමි වී යැමට ඉඩකඩ ඇත.

සියල්ලටම විරුද්ධ වීමේ සංකල්පයෙන් බැහැරව මෙම ඉදිකිරීම පිළිබඳව කරුණු සලකා බැලිය යුතු බව අපගේ හැඟêමයි. මහජන බැංකුවේ ආධාර ප්‍රදානයන් යටතේ ඉදිකිරීමට යෝජිත මෙම ජාතික දුම්රිය කෞතුකාගාරයේ වැදගත්කම පිළිබඳව අප මූලිකව සලකා බැලිය යුතුය.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලැබූ දුම්රිය කෞතුකාගාරයන් කිහිපයක්‌ දැනටමත් තිබුණද, ඒ සියල්ල ඉතා කුඩා පරිමාණයේ ඒවා වන අතර එම කෞතුකාගාර කිසිවක්‌ නිසි ලෙස නඩත්තු කරනු නොලබයි. උදාහරණයක්‌ ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අවසාන වරට ඉදි කරන ලද අව්වැසි ආවරණවලින් තොර කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය නැරඹීමට ඈත ප්‍රදේශවල සිට තම දූ දරුවන් සමඟ පවුලක්‌ පැමිණෙන්නේ යෑයි සිතමු. දුර බැහැරක සිට පැමිණ එවැනි කුඩා පරිමාණයේ හා නිසි නඩත්තුවට ලක්‌ නොවූ කෞතුකාගාරයක්‌ නැරඹීමෙන් ඔවුන් තෘප්තිමත් වන්නේද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුය.

මෙම ඉදිකිරීමට යෝජිත ජාතික දුම්රිය කෞතුකාගාරය විශාල පුස්‌තකාලයකින් ද, සමන්විත මහා පරිමාණයේ හා ජාත්‍යන්තර මට්‌ටමේ එකකි. දිනයක්‌ පුරාම නැරඹීමට හා ගවේෂණයට හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත එකකි. ජාත්‍යන්තර වශයෙන් සලකා බලන කල ද මෙවැනි ජාතික දුම්රිය කෞතුකාගාර ඉදිව ඇත. උදාහරණයක්‌ ලෙස අසල්වැසි ඉන්දියාවේද මෙවැනි මහා පරිමාණ ජාතික කෞතුකාගාර සැලකිය යුතු ප්‍රමාණයක්‌ ඉදිව ඇත.

විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය මූලික ආදායම් මාර්ගයක්‌ වන ශ්‍රී ලංකාවේ මෙවැනි ජාත්‍යන්තර මට්‌ටමේ දුම්රිය කෞතුකාගාරයක්‌ ඉදිකිරීම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මූලිකව ඉවහල් වන්නකි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉතා පැරණි දුම්රිය එන්ජින් හා මැදිරි වැනි දෑ පවතින අතර නිසි නඩත්තුවක්‌ ඇතිව එවැනි දෑ ප්‍රදර්ශනය කිරීම පැහැදිලිවම සංචාරක ආකර්ශනයක්‌ වනු ඇත.

එසේ නොමැති නම් ඉතා පෞරාණික වටිනාකමින් යුතු දුර්ලභ දුම්රිය එන්ජින් වැනි දෑ විනාශ වී යැම වලක්‌වා ගත නොහැකි වනු ඇත. වර්තමාන සමාජශාලා වෙබ් අඩවි පරීක්‍ෂාවේදී දුම්රිය හා එහි තොරතුරු පිළිබඳව දැඩි උනන්දුවක්‌ දක්‌වන ශ්‍රී ලංකිකයින් විශාල පිරිසක්‌ සිටින බව පැහැදිලිවන අතර කෞතුකාගාරය ඉදිකිරීම එවැනි පාර්ශවයන්ගේ පැසසුමට හේතු වනු ඇත. එමෙන්ම මෙම දුම්රිය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන එවැනි පාර්ශවයන්ගේ ආධාර හා සහයෝගය අනිවාර්යෙන්ම ලැබෙනු ඇත.

මහජන බැංකුවේ ආධාර යටතේ ඉදිකිරීමට යෝජිත මෙම ජාත්‍යන්තර මට්‌ටමේ දුම්රිය කෞතුකාගාරයට දුම්රිය සේවකයින් ලෙස විරුද්ධ වීමට පැහැදිලි හේතුවක්‌ නොමැති බව අපගේ විශ්වාසයයි. එහෙත් මෙම ඉදිකිරීම් සිදු කිරීමේදී නියමිත රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය හා ක්‍රියාදාමයන් අනුගමනය කරන්නේද, කිසියම් අක්‍රමිකතාවයක්‌ සිදු වන්නේද යන්න පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව තුල ක්‍රියාත්මක වන ප්‍රබලතම වෘත්තීය සමිති සන්ධානයක්‌ ලෙස අප නිරන්තරයෙන්ම විමසිලිමත්ව සිටින බව අවධාරණය කරන්නෙමු.

දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ග තත්ත්වය

අද වන විට දුම්රියේ ගමන්ගන්නා මගීන් ප්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇත. එහෙත් එම ඉල්ලුමට අනුව අවශ්‍ය කරනු ලබන සැපයුම ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව අපගේ හැඟêමයි. විශේෂයෙන් ඈත දුර ගමන්ගන්නා දුම්රියවලට යොදවා ඇත්තේ වසර 25, 30 ට වඩා පැරණි මැදිරිය. එම මැදිරි අවශ්‍ය කරනු ලබන පහසුකම්වලින් තොරවීම හේතුවෙන් දුම්රිය මගීන් ඒ පිළිබඳව නිතරම පැමිණිලි කරනු ලබයි. ඒ අනුව අවම වශයෙන් ඈත දුර ගමන් ගන්නා දුම්රියන්හි මැදිරිවල පහසුකම් හි තත්ත්වය ඉහළ නංවමින් එම මැදිරි නවීකරණය කිරීමට හෝ අලුතෙන් මැදිරි සේවය සඳහා එක්‌ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් පියවර ගත යුතුය. එම කාර්යය විනිවිදභාවයකින් යුතු ටෙන්ඩර් පරිපාටියකින් බාහිර පාර්ශවයකට නියමානුකූලව පවරන්නේ නම් නිසි වගකීමකින් කාර්යයන් මෙහෙයවන වෘත්තීය සමිති ලෙස අප හට විරුද්ධ වීමට හේතුවක්‌ නොමැත.

ඒ සඳහා සෘජුව බලපාන කරුණුවන්නේ මේ මොහොත වනතුරුත් දුම්රිය දෙපාර්තමේන්තුවට ස්‌වයංව මෙම අරමුණ ඉටුකර ගත නොහැකි වීමයි. අප සියලු දෙනාගේම අවසන් අරමුණ විය යුත්තේ කාර්යක්‍ෂම, ආරක්‍ෂාකාරී හා සුවදායක ගමනක අත්දැකීම දුම්රිය මගීන් වෙත ලබා දීමයි. මේ සඳහා අබලන්ව හා වේගසීමා බහුලව යොදා ඇති දුම්රිය මාර්ගයන් කඩිනමින් අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙලක්‌ ද දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ.

ජානක ප්‍රනාන්දු

 

Related posts

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

colombotoday

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday