Colombo Today Local News

තේවානම්පියතීසන් ගැන තියෙන්නේ මොන පොතේද? ආචාර්ය එල්ලාවල නාහිමියන්ගෙන් විග්නේශ්වරන්ට අභියෝගයක්…

විග්නේෂ්වරන් මහතා මහාවංශයට හා සිංහලයාට හොට දමා කෑරල් හඬින් හඬා දින කිහිපයක් නිහඬව සිටියේය. දැන් සිංහල රාජවංශයේ රජවරුන් දෙමළ අය බවට පරිවර්තනය කිරීමට ආරම්භ කරන ‘කොටළු හඬක්’ අවදි කර තිබේ. එහි පළමු පියවර දෙවානම්පියතිස්ස නම් එසේ නොවන බවත් එය තේවානම්පියතීසන් බවත් ප‍්‍රකාශ කිරීමයි. මේ අනුව මිහිඳු මාහිමියන් මේ දිවයිනට වඩින අවදියේ මෙහි රජකර ඇත්තේ දෙමළ තේවානම්පියතීසන් ය. විග්නේෂ්වරන් මහත්තයෝ මේ ගැන සඳහන් වන්නේ මොන පොතේද? ඔබේ ගෙදර අතුගාන ඉලපොතේද? සාධකයක් නැති හිතලූ බොරු ඇදබෑමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ සිංහලයන් කුපිත කර සිංහල – දෙමළ ජාතිවාදයක් අවුළුවා ජනාධිපතිතුමා කරගෙන යන රට ගොඩදැමීමේ වැඩපිළිවෙළ අවුල් කරලීමද? ඔබ තනතුරින් හැළුණු විට මාධ්‍යවල ඉඳහිටවත් ඔබේ නම සඳහන් නොවන බැවින් මේ වාගේ බේගල් ටිකක් ඇදබෑමෙන් මාධ්‍යවලින් මතුවන්නට දරන උත්සාහයකැයි මට නම් සිතේ.
 
 විග්නේෂ්වරන්ගේ කතාවෙන් පැහැදිලි වන්නේ දේවානම්පියතිස්ස විසින් අප සලකන රජු දෙමළ ජාතිකයකු බවයි. එසේ නම් ඉන් පසු රජ වූ උත්තිය ආදී රජවරුන් ද රුහුණට පලා ගිය මහානාග උප රජු ද දෙමළ වෙයි. ඒ අනුව දුටුගැමුණු රජු ද දෙමළෙකි. ඒ නම් හරවාගෙන ඇත්තේ කිනම් ලෙසට දැයි විග්නේෂ්වරන් ප‍්‍රකාශ නොකිරීම ප‍්‍රශ්නයකි.
 
 මුලින් භාවිත වී ඇත්තේ දේවානම්පියතිස්ස ද තේවානම්පියතීසන් ද යනු විමසා බලමු. මහාවංශය හා දීපවංශය ඇතුළු හැම ලේඛනයකම දැක්වෙන්නේ දේවානම්පියතිස්ස නාමයයි. මහාවංශය ලියන ලද්දේ මහසෙන් රජු දවසය. එනම් රාජ්‍ය වර්ෂ 276 – 304 අතර වන අතර දේවානම්පියතිස්ස රජු සිටියේ රා: ව: පූර්ව 307 – 267 අතරතුරය. මේ අනුව තේවානම්පියතීසන් යන නම ඒ කාලය තුළ භාවිත වී රා: ව: 267 න් පසු දේවානම්පියතිස්ස ලෙස පරිවර්තනය කර ඇත යනුවෙන් විග්නේෂ්වරන්ගේ ප‍්‍රකාශය විග‍්‍රහ කළ හැකිය. එසේ නම් තේවානම්පියතීසන් නම රා: ව: පු: 307 සිට යෙදී තිබිය යුතුය. එබඳු තැනක් විග්නේෂ්වරන්ගේ ඔළුවේ මිස අප අන් තැනක නොදුටිමි. එහෙත් දේවානම්පියතිස්ස නම පැහැදිලි ලෙසම රා: ව: පූර්ව තෙවැනි සියවසේ සිට සෙල්ලිපි කිහිපයක යෙදී ඇති බව පෙන්වා දිය හැකිය. දේවානම්පිය විරුදය අශෝක රජුගෙන් තිස්ස රජුට ලැබුණු විරුදයකි. වංශකතාවල එය තිස්ස රජුට පමණක් සීමා කර ඇතත් සෙල්ලිපි අනුව ඔහුගෙන් පසු රජවරුන් ගණනාවක්ම එය භාවිත කර තිබේ. පුත්තලම් දිශාවෙන් හමු වූ ලිපි දෙකක මෙසේ සඳහන්ව ඇත.
 
 1. දෙවනපිය මහරඣ ගමිණි තිශහ…
 
 2. දෙවනපිය මහරඣ ගමිණි තිශහ අචරිය…
 
 මේ ලිපිවල දෙවනපිය හා තිශහ යන වචන අතරට මහරඣ ගමිණි දෙවදන යෙදී තිබේ. මහරඣ යනු සෙල්ලිපිවල රජුන් සදන යෙදූ වචනයකි. ගමිණි නාමය පැරණි රජවරුන් ගණනාවක් භාවිත කළ විරුදයකි. වංශකතාවල දුටුගැමුණු රජුට තැබූ මාගම නායකත්වය අඟවන මේ පදය සෙල්ලිපිවල දේවානම්පියතිස්ස රජුට පෙර සිටි රජුන් ද භාවිත කර තිබේ. බුදුරදුන්ගේ ජීවමාන කාලයේ රත්නද්වීප නමින් ද මේ රට හඳුන්වා ඇත. එවක මෙහි ග‍්‍රාමණි (ගාමිණි) කෙනකු විසින් පාලනය කරන ලදැයි භාරතීය ලේඛනයක දැක්වේ. මෙයින් පෙනී යන්නේ ගාමිණි නාම භාවිතයට පෙර රජුන් අතර නායකත්වය සඟවන විරුදයක් ලෙස ජනප‍්‍රිය වී තිබූ බවයි.
 
 ඉහතින් දක්වන ලද පරිදි තේවානම්පියතීසන් පහල වීමට ශතවර්ෂ ගණනකට පෙර අපේ දේවානම්පියතිස්ස රජු සිටි බවත් එතුමා විග්නේෂ්වරන් මහතාගේ කල්පිත ඊළමේ දඹකොළ පටුනේ විහාරයක් හා තෙලිප්පලෙයි හි තෛයිඞ්ඩි ග‍්‍රාම සේවා වසමේ තිස්සාරාමය කරවා බෝධියක් ද රෝපණය කළ බවත් පෙන්වා දිය හැකිය. ඒනිසා ශාස්ත‍්‍රීය පදනමක් නැති මෙබඳු කතාන්දර කියන්න වුන් ගැන අප කිව යුත්තේ කුමක්ද ? 

Related posts

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

Admin

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday

ඉතිරි ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශවලට බාරවෙන්න, අපි රජය සමග එක්වී පුණරුත්ථාපනය කරනවා – උලමා සභාව

colombotoday

සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

Admin