Colombo Today Local News

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

බොදු බල සේනා සංවිධානය විසින් මහනුවරදී පසුගිය 7 වනදා පැවැත්වූ සමුළුවේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවලිය පහතින් දැක්වේ.

සිංහල  රාජ්‍යයක් උදෙසා “දැයම එක රොදකට” 

ජාතික න්‍යාය පත්‍රයක් සදහා කරනු ලබන යෝජනාවලිය

1)   අපේ සිංහල රාජ්‍යය නැවත ප්‍රතිස්ථාපනය කිරීම 

1815 දී සිංහලේ රාජ්‍යය හා ඉංග්‍රීසින් විසින් මහනුවර දී අත්සන් කළ ගිවිසුමට අනුව අපෙන් උදුරාගත් අපේ සියලු උරුමයන් දිනා ගැනීම පිණිස එහි පදනම වන සිංහල  රාජ්‍ය ස්ථාපිත කොට අන් සියලු ව්‍යුහයන් ඒ මත ශක්තිමත්ව ප්‍රතිනිර්මාණය කළ යුතුය. බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන අතර අනෙකුත් ආගම් ඇදහීමේ අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස පිළිගනු ලැබේ. 

ඓතිහාසිකව රටේ ශිෂ්ටාචාරය  නිර්මාණය කළ සිංහලයන් “භූමිපුත්‍රයන්” ලෙස නිර්වචනය කෙරේ. 

සිංහල භාෂාව කතා කරන සියලු ජන  කොටස් එක්කර ශක්තිමත්ව එක් ජාතියක් ගොඩනැඟීමට යෝජනා කරන අතර, අදහන ආගම අනුව ජාතීන් වෙන් කිරීම නවතා දැමීමට යෝජනා කරමු ඒ අනුව සිංහල බෞද්ධයින්, සිංහල කිතුනුවන්, සිංහල ඉස්ලාම් භක්තිකයින්, සිංහල හින්දු භක්තිකයින් ලෙස විවිධ ආගම් අදහන ජන කාණ්ඩ හඳුනාගනු ඇත 

අපේ සිංහල  රාජ්‍යය ඔවුන් සියලු දෙනාගේ ම මව්බිම වනු ඇත.

2) එක් රටක්, එක් ජාතියක් , එක් නීතියක්

අප ජාතිය වෙත බලෙන් පැටවූ රෝම, ලන්දේසි, ඉංග්‍රීසි ආකෘතීන් තුළින් නිර්මාණය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති රීති පද්ධතිය වෙනුවට අපගේ අනන්‍යතාවය සුරකින අපේ ජාතික අවශ්‍යතා නියෝජනය කරන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ නීතිරීති පද්ධතියක් අලුතෙන් සකස් කිරීමට මෙයින් යෝජනා කරනු ලැබේ.

ඒ අනුව විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණ පද්ධතිය, රාජ්‍ය පරිපාලනය, නීති පද්ධතිය යන සියලු ව්‍යුහයන් පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා කෙරේ.

එක් එක් ආගමික කණ්ඩායම් හෝ ජනවර්ග පදනම් කරගෙන විවිධ වාර්ගික හා ආගමික නීති රීති ක්‍රියාත්මක කිරීම වහා නවත්වා දැමීමට කටයුතු කළ යුතු අතර සියලු   පුරවැසියන් සිය ජාතිය හෝ ආගමික පදනමෙන් බැහැරව පොදු නීති රීති පද්ධතියකට අනුගත විය යුතුය.

රටේ බහුතර ජනතාව නියෝජනය නිරූපණය කිරීමට අසමත් වර්තමාන සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට සැබෑ ජනමතය නියෝජනය  කරන්නාවූ නව මැතිවරණ හා ඡන්ද ක්‍රමයක් මෙයින් යෝජනා කෙරේ.

ආගමික හා ජනවාර්ගික  පදනම යටතේ ක්‍රියාත්මක වන සියලු දේශපාලන  පක්ෂ තහනම් කළ යුතුය.

3) බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම

දැනටමත් අප රටේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවරු කර ඇති බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම සඳහා වන රජයේ වගකීම්   බලාත්මක කිරීම්ට කඩිනම් පියවර ගැනීම අපගේ පළමු උත්සාහයයි.

බුද්ධ  ශාසනය සුරක්ෂිත කිරීම උදෙසා රජයේ වගකීම් පිළිබඳ පැහැදිලි නිර්වචනයක්යක් නොමැතිවීමෙන් මෙම වගකීම් පැහැර හරින බව  පැහැදිලිවම පෙනෙතත් ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ගරුතර මහා සංඝ රත්නයට හෝ සිව්වනක් පිරිසේ වෙනත් සාමාජිකයින්ට නොහැකිවී ඇත.

අප වෙනුවෙන් අලුතෙන් ව්‍යවස්ථාවක් ගොඩනඟා ගන්නා තුරු  පවතින ව්‍යවස්ථාවෙන් ලබාගත හැකි උපරිම ආරක්ෂාව බුද්ධ ශාසනය වෙනුවෙන් ලබා ගැනීමට අප කටයුතු කළ යුතුය.

වෙනත් විවිධ ආගම් සඳහා  රජයේ වියදමෙන් අමාත්‍යංශ සහ අනෙකුත් ආයතන බිහිකර නඩත්තු කිරීම්, වෙනත් ආගම් ප්‍රවර්ධනය  කිරීමට රාජ්‍ය සම්පත් යෙදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය වෙනුවෙන් ලබාදී ඇති ආරක්ෂාවව හා සෘජුව ගැටෙන හෙයින් රාජ්‍ය වගකීම් පැහැදිලිව  නිර්වචනය කොට බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම් ශක්තිමත් කළ යුතුයි.

විවිධ අන්තවාදී ආගමික  කණ්ඩායම් වල ක්‍රියාකාරකම්  මැඩපැවැත්වීම රාජ්‍යයේ වගකීම් ලෙස අවධාරණය කොට තහවුරු කළ යුතුය. එම වගකීම් ඉටුකිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි කරගත යුතුය.

4) ජාතික ආරක්ෂාව

අපගේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් අනේකවිධ සතුරු බලවේගවල  නිරන්තර ඉලක්කයක් බවට පත්ව ඇත්තේ ජාතියේ අවාසනාව නිසා නොව භූ දේශපාලනික වැදගත්කකමත්, අපගේ ස්වභාවික සම්පත්වල  ආර්ථික වටිනාකමත්, අප ගොඩනැගූ ශිෂ්ටාචාරයේ ඓතිහාසික වැදගත්කමත් නිසාමය.

වරෙක වර්ගවාදී, බෙදුම්වාදී  බලවේග වල ගොදුරක්ව තිස් වසරක යුද්ධයක පැටලුනු අප රට දැන් ආගම්වාදී    සමාජ බෙදුම්වාදයකත්, ආගමික ත්‍රස්තවාදයකත් දඩබිමක් බවට පත්ව ඇත. තවත් පසෙකින් අන්‍යාගමිකරණ කුමන්ත්‍රණකරුවන් රට තුළ ආගමික සංහිඳියාව බිඳ දමමින් සිටී. 

මේ සියලු  දුෂ්ට බලවේගයන්   පරාජය කළ හැකි වන්නේ වර්ගවාදී  බෙදුම්වාදය පරාජය කළා හා සේම “ජාතියම එක් රොදකට” එක්ව මෙම දුෂ්ට බලවේග හා සටන් කිරීම තුළින් ය.

වර්ගවාදී බෙදුම්වාදය  තහනම් කළා සේ ම ආගමික බෙදුම්වාදයත් ආගමික  අන්තවාදයත් වහා තහනම් කිරීම්ට කටයුතු කළ යුතුය . වෙනම නීතිරීති, බැංකු ක්‍රම, උසාවි හරහා වෙනම සංස්කෘතික රාජ්‍යයන් ගොඩනඟන්නට උත්සාහ කිරීම ජාතික ආරක්ෂාවට  තර්ජනයක් වන බැවින් එය බෙදුම්වාදයක් ලෙස සලකා කොන්දේසි විරහිතව වහා තහනම් කිරීමට කටයුතු කළ යුතුය.

වර්ගවාදය , ආගමික බෙදුම්වාදය, ආගමික අන්තවාදය  අන්‍යාගමීකරණය වැනි අනේකවිධ සතුරු බලවේග වලට එරෙහිව පොදු ජාතික ක්‍රියාකාරී  සැලැස්මක් මෙහෙයවීම් සඳහා සියලු ජාතික බලවේග වල එකමුතුවෙන් “ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක්” පිහිටවීමට මෙයින් යෝජනා කරමු.

5) ජාතික උරුමයන් සුරැකීම

වසර 2500 කට අධික ඉතිහාසයක් ඇති අප රටේ පුරාවිද්‍යාත්මක භූමි, ස්මාරක, වෙහෙර, විහාර, විනාශ කිරීම   හා එම භුමි අනවසරයෙන් අල්ලා ගැනීම කාලයක් තිස්සේ සිදු වෙමින් පවතී..

එමෙන් ම ඉතා පෞරාණික  භාෂාවක් ලෙස ගෝලීයව ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් භාවිත කරන  සිංහල භාෂාව හා සාහිත්‍යය විනාශ වීමේ තර්ජනයට ලක් වී ඇත. සිංහල භාෂාව  හා සාහිත්‍යය , පුරාවිද්‍යා භූමි, ස්මාරක, ආදි ස්ථාන හදුනාගෙන ජාතික උරුමයන් ලෙස නම් කල යුතුය.

සංවිධානාත්මක ලෙස සිදුකරන ඉතිහාසය විකෘති කිරීම් සහ  පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශ කිරීම් සඳහා වැට බැඳීමට නව නීතිරීති ගෙන ආ යුතු අතර අපේ ජාතික උරුමයන් වන සිංහල භාෂාව සහ සාහිත්‍යය ,හෙළ වෙදකම ,සිංහල සිරිත් විරිත් ලෝක උරුමයන් ලෙස නම් කර සංරක්ෂණය කිරීම සඳහා පියවර ගත යුතුය.

6) ශක්තිමත්  දියුණු තිරසර ආර්ථිකයක්.. 

වර්තමාන ආර්ථික ව්‍යුහය හා සමස්ත ආර්ථිකයේ හැසිරීම් තුළ සිංහලයාට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. මෙම තත්වයෙන් අප ජාතිය මුදවා ගැනීම සඳහා   සැලසුම් සහගත දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනගාගත යුතුය.

බරපතල ශ්‍රම සහ වෙළඳ සූරාකෑමකට ලක්ව ඇති සිංහල ජාතිය එයින් මුදවා ගැනීම සඳහා කෘෂිකර්මයට නිසි ගෞරවය හ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන නව ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට අප පියවර ගත යුතුය. 

ලෝකයේ දියුණු රටවලට  නොදෙවෙනි දළ ජාතික නිෂ්පාදනයක් , ඒක පුද්ගල ආදායමක්, විදේශ සංචිත සහිත, විදේශ ණය අවම වූ ශක්තිමත්  දියුණු තිරසර ආර්ථිකයක් ගොඩ නැගීමට දේශිය ආර්ථිකය දියුණු කළ යුතුය.. 

රට තුළ  ගෞරවනීය ලෙස ආදායම් ලැබිය හැකි රැකියා අවස්ථා  නිර්මාණය කොට කාන්තාවන් විදේශ වහල් සේවයට යැවීම තහනම් කල යුතුය..

දේශීය කෘෂිකර්මය, දේශීය කර්මාන්ත දියුණු කිරීම රටට හානියක් නොවන පරිදි විදේශ විනිමය, තාක්ෂණය  ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එදා වැව් බැදි රාජ්‍යයයේ සමෘද්ධිය නැවත ඇති කොට නව තොරතුරු තාක්ෂණයේ පයොජන ලබා වැව් බැදි රාජ්‍යයක්  බද්ධ කළ යුතුය. ආර්ථිකය තුල ජාතිවාදී හා ආගම්වාදී ක්‍රම වේද තහනම් කළ යුතුය..

7)  දේශප්‍රේමී අධ්‍යාපනයක්  

අපේ අධ්‍යාපන ක්‍රමය සූක්ෂම ලෙස ජාතියේ අනාගත පරපුර දුර්වල කිරීමේ  ආකෘතියකට තල්ලු වෙමින් තිබේ. වත්මන් විකාරරූපී අධ්‍යාපන ක්‍රමය හරහා රටට ආදරේ කරන රටට   වගකියන දරුවන් බිහිවීම හකුළුවන අතර හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන ජාත්‍යන්තර පාසල් මාපියාව හරහා බහුතර සිංහල බෞද්ධ දරුවන් ඉතා අවාසිදායක අනාගතයකට තල්ලු කරවමින් තිබේ.

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ   දැනුම ග්‍රාමීය පාසල් වල දරුවන් පසුගාමී  ස්තරයකට තල්ලූ කරමින් තිබෙන අතර ඉංග්‍රීසි මාධ්‍ය පාසල් අධ්‍යාපනය  තෝරාගත් පැලැන්තියකට පමණක් සීමා වෙමින් තිබේ. 

බහුතර  සිංහල දරුවන් මුහුණ දෙන මෙම අනාගත අවධානම අවම කිරීම් සඳහා  ප්‍රථමික අධ්‍යාපනයෙන් පසු ඉංග්‍රිසී මාධ්‍ය අධ්‍යාපනය සෑම පාසල් දරුවෙකුටම ලබාදිය හැකි පොදු ඉගැන්වීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.

රටට ආදරය කරනු ලබන, රටට වගකියනු ලබන, රට දියුණු කළ හැකි   ගුණවත්, දැනුවත්, බලවත් පුරවැසියන් බිහි කිරීම උදෙසා ළදරු  පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියලු ක්ෂේත්‍රවල පුලුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මක කල යුතුය..

සෑම පුරවැසියකුටම උසස් අධ්‍යාපන අවස්ථා ලබා දිය යුතු අතර.. ආගමික, ජනවාර්ගික පදනම මත පාසල්  හා අධ්‍යාපන ආයතන පවත්වාගැනීම තහනම් කිරීමට යොජනා කරමු .   

පාසල් , විශ්ව විද්‍යාල  ඇතුලු සියලු අධ්‍යාපන ආයතන  තුල ආගමික අන්තවාදයන් ප්‍රවර්ධනය කිරීම තහනම් කල යුතුය..

8)  නිවාස යටිතල  පහසුකම් ජනාවාසකරණය සහ ජනගහන කළමනාකරණය 

දැනට රජය අනුදැනුම සහිතව ද රහසෙන් ද බහුතර සිංහල මවුවරුන් ඉලක්ක  කරගෙන සිදුකරන වන්ද්‍යාකරණ ක්‍රියාකාරකම් වහා නවත්වන්නට පියවර ගත යුතුය.සියලු ජනකොටස් සඳහා එක ලෙස  අදාල වන පොදු ජනගහන පාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටත් බලහත්කාරී සහ කුමන්ත්‍රණකාරී ලෙස සිදුකරන වන්ද්‍යාකරණයට එරෙහිව දැඩි නීති රීති පනවා ක්‍රියාත්මක කල යුතුය.

ජාතිවාදී පදනමකින් සැලසුම් සහගතව සිදුකරන ජනසංයුති  වෙනස්කිරීමේ ක්‍රියාකාරකම් ජාතික ප්‍රතිපත්ති රාමුවක් හරහා කළමනාකරණය කල යුතුය. උතුරු නැගෙනහිර වාර්ගික යුද්ධයේදී සහ ඉන් අනතුරුව සිදුවූ වාර්ගික වශයෙන් භුමිය අල්ලාගැනීම, වාර්ගික ප්‍රදේශ නිර්මාණය කිරීම, සිදුකරන ජනාවාස කරණය, වාර්ගික පරිපාලන ව්‍යුහයන් බිහිකිරීම වහා නතර කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදුකල යුතුය.

රටේ භූමි ප්‍රමාණය සහ ස්වභාවික සම්පත්වල සීමාවන් හඳුනාගෙන, ජාතික නිවාස, නගර සැලසුම් සහ ජනාවාසකරන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට  කටයුතු කල යුතුය.

මෙහිදී සෑම පුරවැසියෙකුටම නිවාසයක් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීමට කටයුතු කල  යුතුය.

9)  සෞඛ්‍ය සහ පෝෂණය

නිරෝගී මිනිස් පරපුරක් බිහි කිරීම රාජ්‍යයේ ප්‍රමුඛ වගකීමක් ලෙස හඳුනාගෙන ඒ සදහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කල යුතුය .

අද අප ජාතිය මුහුණදෙන දියවැඩියාව,  වකුගඩු රෝගය, පිලිකා වැනි රෝගාබාධයන් හරහා දුර්වල රෝගී වූ ජාතියක් නිර්මාණය වීම වැලක්වීමට මෙම ජාතික ව්‍යසනයෙන් අප ජාතිය මුදවාගැනීම සඳහා වූ පුළුල් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නැංවිය යුතුය.

සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලබාදීම මුලික අයිතිවාසිකමක් ලෙස සැලකිය යුතු අතර යම් රෝගයක් සඳහා අප රටේ අවශ්‍ය  ප්‍රතිකාර පහසුකම් නොමැති අවස්ථා වලදී විදේශ රටවල සෞඛ්‍ය පහසුකම් හරහා හෝ නිසි ප්‍රතිකාර ලබාදීම රජයේ වගකීමක් ලෙස සැලකිය යුතුය.මෙම පහසුකම් සියලු පුරවැසියන්ට හිමි අයිතිවාසිකමක් ලෙස තහවුරු කල යුතුය.

හලාල් වැනි ආගමික ආහාර සහතිකකරණයන් සිංහල ජනතාව වෙත බලෙන් පැටවීම වලක්වා එය එම ආගමික සහතිකකරණය අවශ්‍ය ජනකොටස් සඳහා පමණක් සිමා කල යුතුය

දේශීය සිංහල වෙදකම, ආයුර්වේදය හා බටහිර යන සෞඛ්‍ය  ක්‍රම වේද සංකලනයෙන් දියුණු කරන ලද ජනතාවට හිතකර සඛ්‍ය හා පෝෂණ ප්‍රතිපත්ති  හා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ජනතාවගේ ගුණාත්මක ආයු කාලය වැඩි කිරීම කටයුතු කළ යුතුය.

Related posts

ජනපති ආ උත්සවයේ ‘පන්සිල් ගැනීම‘ මගහරී.. හිමිනමක් නැගිට විරෝධය දක්වයි (Photo)

colombotoday

කල්මුනේ නගර බල ප්‍රදේශය දෙකඩ වෙයි… සයින්දමරුදුවට නව නගරසභාවක් !

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමියන් ඝාතන තැතක් !!

colombotoday

ඉෂාලනිගේ දෙමව්පියන්ට රිෂාඩ් කොතරම් බලපෑම් කරාවිද? ඇප ලැබීම ප්‍රශ්නයක්…

colombotoday

පූජිතගෙ මූලික අයිතිවාසිකම් පෙත්සම පූජිතම ඉල්ලා අස්කර ගනී

Admin

Airtel 3G ජංගම දුරකථන ජාලය අක්‍රීය කිරීමට අවසර

colombotoday