Colombo Today Local News

දේශය සුරැකි රන් අසිපත

2003 දෙසැම්බර් 12 වැනිදා යනු සිකුරාදා දිනයකි. ඒ මීට දින 5847 කට පෙර දිනයකි. දින පන්දහසක් නොව දින පනස්දහසක් ගෙවුණ ද එදවස අමතක කළ හැකිද? එදිනය අමතක කිරීමට සිංහල බෞද්ධයන් සූදානම් නැත. ඒ දවස ගෞරවනීය සෝම හිමියන් ජාතියෙන් සමුගත් දිනයයි.
 
 පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී පසුගිය 12 වැනිදාට වසර 16 ක් සම්පූර්ණ විය. ජීවත්ව සිටි සෝම හිමියන්ට වඩා අපවත් වූ සෝම හිමි ප‍්‍රබල විය. උන්වහන්සේගේ හදිසි අභාවය සමාජ දේශපාලන පෙරළියකට මඟ පෑදිණි. උන්වහන්සේගේ කහ විප්ලවය මඟින් බලය පැහැර ගත්තෝ ඉවැන්ජලිකල් බලවේග සමග එකට හිදිමින් යහපාලන සාජ්ජය දැමූහ. ඔවුන්ට සිංහල බෞද්ධකම අමතක විය. අවශ්‍ය වූයේ දෙමළ සන්ධානය සමග එක් වී හෝ බලය රැකගැනීම පමණකි. ඒ වංචාකාරී දේශපාලන තක්කඞීන්ට පසුගිය ජනපතිවරණයෙදී නිසි පිළිතුරු ලැබිණි. සිංහල බෞද්ධයෝ එක පෙළට සිටිමින් තමන්ගේම ජනපතිවරයෙක් තෝරා පත්කර ගත්හ. එය බෞද්ධ ජාතික බලවේගයේ ජයග‍්‍රහණයයි. මෑත කාලීනව බෞද්ධ බලවේගය නැවත ආරම්භ කිරීමට මූලික වූයේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි බව අවිවාදයෙන් පිළිගත යුතුය. රට පුරා යමින් පුරා පැය තුනක් තිස්සේ බණ දෙසමින් උන්වහන්සේ වදාරා සිටියේ කුමක්ද? ඉවැන්ජලිකල් ආක‍්‍රමණය මුස්ලිම් ව්‍යාප්තවාදය මෙන්ම බෞද්ධයා වැටී ඇති අනතුර ගැන නොවේද? අද උන්වහසේ ජීවත්ව සිටියා නම් මේ ජයග‍්‍රහණය ගැන අතිශයින් සතුටු වනු ඇත.
 
 විවේචන එල්ල කළ යුතු අවස්ථාවේදී කිසිදු සැකයකින් බියකින් තොරව විවේචන ඉදිරිපත් කිරීමට උන්වහන්සේ මැළි වුණේ නැත. එය සෙසු භික්ෂුන්ට ආදර්ශයක්ම විය. උන්වහන්සේගේ ධර්ම දේශනවලදී ආන්දෝලනාත්මක කරුණු ප‍්‍රකාශ කිරීමත් සමග උන්වහන්සේට හිතැති බොහෝ දෙනා සෝම හිමියන්ට පරිස්සම් වෙන්නැයි ප‍්‍රකාශ කර සිටියහ. එහෙත් උන්වහන්සේ ප‍්‍රකාශ කළේ කුමක්ද?
 
 මට මිනිස්සු කියනවා පරිස්සම් වෙන්න කියලා. මම මරණයට භය වෙන්නේ නැහැ. බුදු හාමුදුරුවන්ගේ එක බුද්ධ වචනයක් මම කියන්නම්. කුහක ප‍්‍රතිපදාවෙන් අවුරුදු සීයක් ජීවත් වෙනවාට වඩා අවංක ප‍්‍රතිපත්තියෙන් එක දවසක් ජීවත් වුණත් මට ඒ ඇති. මට කොච්චර තහනම් නියෝග දැම්මත් මම ගමින් ගමට ගිහිල්ලා ධර්ම ප‍්‍රචාරය කරන එක නවත්වන්න කාටවත් බැහැ. මාව නවත්වන්න ඕනෑ නම් මට බෝම්බයක් ගහන්න ඕන.
 
 එදා සෝම හිමිගේ ඡායාරූප ගසාගෙන දේශපාලන වේදිකාවල කෑගැසුවන්ගේ ධර්ම රාජ්‍ය ලොප්විය. ඇත්තෙන්ම භික්ෂුව දේශපාලන පොර පිටියට බැසීම නිසා ඇතිවූයේ ශාසන පරිහානියකි. දහම් පවස නිවා සුචරිතය ඇති කිරීම උන්වහන්සේ ලබාදුන් අවවාද කෙසේද?
 
 බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයයි. දීපංකර මූලයේදී සුමේධ තාපසතුමාට නිවන් සැප ලබාගැනීමට හැකියාව තිබුණ ද ලෝකයාගේ හිත සුව වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨාන කර මතු බුදු බව පැතූහ. සෑම බෞද්ධයකුටම තමන්ගේ නිවන් සැපය අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්තිය තිබිය යුතු බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත ‘භික්ෂුවගේ උරුමය’ ග‍්‍රන්ථයේ සඳහන් වේ. 1974 සැප්තැම්බර් මස 24 වැනිදා ප‍්‍රවෘජ්‍යා භූමියට ඇතුළු වූ දා සිට සෝම හිමියෝ කැප වූයේ පරාර්ථ සේවය සඳහාම ය. මහඔය වේරගල ආරණ්‍යයේ වැඩ විසූ කාලයේ සිට බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්වමින් බොදු ජනයා යහමඟට ගැනීමට උන්වහන්සේට හැකි විණි. රූපවාහිනිය හරහා සෝම හිමි නාමය දස දෙස පැතිරෙන්නට වූයේ කිසිවකු නොසිතූ ආකාරයටය. දීඝවාපිය මුස්ලිම් අන්තවාදයට නතුව තිබියදී සියලූ සිංහල බෞද්ධ නායකයන් ඒ ගැන මුනිවත රකිද්දී එවකට පොදු පෙරමුණු රජයේ ප‍්‍රබලයකු වූ ඒ. එච්. එම්. අෂ්රොෆ් ඇමැති සමග ප‍්‍රසිද්ධ විවාදයකට එළඹියේ ද අප යතිවරයාණන් වහන්සේ පමණි. මේ ගැන අද බොහෝ දෙනකුට අමතකය.
 
 සෝම හිමි විවාදාත්මක භික්ෂුවකැයි සමහර මාධ්‍ය ප‍්‍රකාශ කළේ මීට බොහෝ කලකට පෙරය. නමුත් උන්වහන්සේ ඉටුකළේ සිංහල භික්ෂුවට උරුම වූ ජාතික කාර්ය භාරයයි. සිංහල භික්ෂුන් වහන්සේ වසර දෙදහස් පන්සියයක සිට ජාතියේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක‍්‍රියා කරමින් භික්ෂු ජීවිතය ගත කළ බවත් රටවැසියාගේ දියුණුවට බාධා වන කරුණුවලට එරෙහිව ක‍්‍රියා කිරීමේ බලයක් සංඝයා සතු වූ බවත් 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප‍්‍රකාශයේ සඳහන් වේ.
 
 අනතිමානී ගුණයෙන් යුතු සෝම හිමියන් පිළිබඳ මේ සටහන නිමා කිරීමට උන්වහන්සේගේ ප‍්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.
 
 ”ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහි වූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ දහමයි. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.”
 
 (දෙසැම්බර් 12 වැනිදාට යෙදුනු සෝම හිමි 16 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.)

චතුර පමුණුව

Related posts

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිම අද

colombotoday

මේ ආණ්ඩුව රණ විරුවන්ගෙන් සහ සංඝරත්නයෙන් පලිගන්න හිර කලා. – ගෝඨාභය

colombotoday

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් ගුරුනගර් වලදී අල්ලයි

colombotoday

“ජාතික ආරක්ෂාව තර්ජණයකට ලක්වෙලාද දැන්ම කියන්න බෑ” – ආරක්ෂක ලේකම්

colombotoday