Colombo Today Local News

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

වෙළඳ නැව් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම පිළිබඳ විවාදයට නීතිඥ උදය ගම්මන්පිල පෙරේදා(18) එක්වෙමින් ජනාධිපතිවරයා නෙලුම් කුලුන විවෘත කිරීමේදී ප්‍රකාශකළ බොරු තුනක් පිළිබඳව හෙළිදරව් කර සිටියා….

අප නොදත් අපේ රටේ වටිනාකම

වෙළඳ නැව් ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් නිසා වෙළඳ නැව් සංශෝධිත පනත් කෙටුම්පතට අපේ අවධානය යොමු විය යුතු කාලෝචිත පනත් කෙටුම්පතක් විදියට අපි දකිනවා. ඇත්තෙන්ම වෙළෙඳ නැව් ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ ආසියාවේ සැබැ නාවික කේන්ද්‍රය ශ්‍රී ලංකාව නිසයි. ශ්‍රී ලංකාව චීනයේ ඓතිහාසික මුහුදු සේද මාවතේ හරි මැද පිහිටා තිබෙන නිසා, ශ්‍රී ලංකාව අතිශයින්ම ලෝකයේ අවධානයට වසර දහස් ගණනාවක් සිට යොමුවුණු රටක්. අවාසනාවට ශ්‍රී ලංකාව තමන්ගේ පිහිටීමේ වාසිය නිසි ලෙස යොදා නොගත්ත නිසා තමයි ශ්‍රී ලංකාව දෙපසින් විකල්ප නාවික කේන්ද්‍ර දෙකක් බිහිවෙන්නේ. අපේ වම් පැත්තෙ තියෙනවා ඩුබායි. අපේ දකුණු පැත්ත තිබෙනවා සිංගප්පූරුව. සිංගප්පූරුව බිහිවීම පිළිබඳ තමන්ගේ ජීවිත කතාව ලියන සිංගප්පූරුවේ නිර්මාතෘ අගමැති ලි ක්වාන්යූ මැතිතුමා සඳහන් කරනවා තමන්ගේ ජීවිත කතාව ලිව්ව From Third World to First කියන ග්‍රන්ථයේ සිංගප්පූරුව කියන රට දියුණු කරගන්න පුළුවන් වුණේ කොළඹ වරායේ තිබුණු වැඩ වර්ජන නිසායි කියලා.ඒ නිසා කොළඹ වරායේ වැඩ වර්ජනය කල වෘත්තිය සමිති වලට මාගේ ස්තූතිය පුද කරනවා කියලා.

2010 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා බලයට ඇවිත් පංච බල කේන්ද්‍ර වැඩපිළිවෙල නමින් වැඩපිළිවෙලක් හඳුන්වා දුන්නා. මේ වැඩපිළිවෙළෙහි පළවෙනි වැඩපිළිවෙළ තමයි ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රයක් බවට පත් කිරීම. අද සමස්ත ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන ආර්ථික ආරක්ෂක මාතෘකාවක් බවට පත්වී තිබෙන හම්බන්තොට වරායත් ඉදි වන්නේ අන්න ඒ වැඩසටහන යටතේ.

ඒ නිසා 1974 දී අත්සන් තැබූ මුහුදේ දී ජීවිත ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ නව සංශෝධන බලාත්මක කිරීම මේ පනත් කෙටුම්පතෙහි ප්‍රධාන අරමුණක් බව පනත් කෙටුම්පත බැලුවම පේනවා. ඒ වගේම නැව් ලියාපදිංචි කිරීම නියාමනය කිරීම. ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව විශේෂයෙන්ම සංඥ ලාම්පු පිළිබඳ රෙගුලාසි සැකසීමට ඇමතිවරයාට බලය පැවරීම. සමුද්‍ර දූෂණය වැළැක්වීමේ විධිවිධාන හඳුන්වාදීම වැනි ඉතා වැදගත් කාරනා ගොඩක් මේකෙ තියෙනවා. මේ සියල්ල හොඳයි. මේවා එකකටවත් අපි විරුද්ධ නෑ. අනුන්ගේ නැව් වල සුරක්ෂිතතාවය ඇති කරන්න කලින් ආණ්ඩුව තමන්ගේ නැවේ සුරක්ෂිතභාවය තහවුරු කරන්ඩ ඕනේ.

ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිව ශංකර් මෙනන් “ චොයිසස් “ නමින් ලියපු පොතේ සඳහන් කරනවා “ශ්‍රී ලංකාව යනු ඉන්දියාවට කිලෝමීටර් 32 ක් ඈතින් නැංගුරම් ලා ඇති දැවැන්ත නෞකාවක් වන්නේය කියල.” එහෙම නම් මේ ශ්‍රී ලංකාව කියන නෑවේ කප්පිත්තා නැත්නම් කැප්ටන් වෙන්නෙත් ජනාධිපතිතුමා. ප්‍රධාන නිලධාරියා වෙන්නේ අගමැතිතුමා. දැන් මේ ශ්‍රී ලංකාව කියන නැව සුරක්ෂිතව සෞභාග්‍යමත් ගොඩබිම කරා ගෙන යෑමට ආණ්ඩුව කෙතරම් හොඳින් කටයුතු කරලා තියෙනවාද කියන එකත් මේ පනත අස්සේ අපි පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕනේ.

නෙළුම් කුළුණ ගැන ජනපති කියූ බොරු 3 මෙන්න

මට මේ ගැන අවධානය යොමු වුණේ පසුගිය සදුදා අපේ නෑවේ කප්පිත්තා රටේ ජනාධිපතිතුමා නෙළුම් කුළුණ විවෘත කරන අවස්ථාවේ රටේ ජනතාව නොමග යවමින් කප්පිත්තෙකුට නොගැළපෙන ප්‍රකාශයක් කරපු නිසා. මොකක්ද ජනාධිපතිතුමා කිව්වේ. නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා 2012දී කෝටි දෙසීයක් ඇලිට් නමැති සමාගමට ගෙවලා තියෙනවා, 2016 සිට ඇලිට් නැමති සමාගම අතුරුදහන්, කෝටි 200 ට වෙච්ච දෙයක් නෑ. මේ කෙටි ප්‍රකාශය තුළ නිශ්චිත බොරු තුනක් තියෙනවා. තනි වාක්‍ය ඇතුළේ නිශ්චිත බොරු තුනක් තිබෙනවා. මොනවද ඒ බොරු.

පළමු බොරුව

ඇලිට් කියන සමාගමට රුපියල් කෝටි දෙසීයක් ගෙවුවා කියන එක. විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ඇලිට් සමාගමට නෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් එකම එක සතයක්වත් ගෙවලා නෑ කියන එක අපි ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිනවා. දැන් මේ ප්‍රකාශය කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ. රටේ රාජ්‍ය නායකයනේ. රටේ රාජ්‍ය නායකයා ආවට ගියාට ප්‍රකාශ සිදු කරනව වෙන්න බෑ. එහෙනම් එතුමා ගාව ඒවට සාක්ෂි තියෙන්න ඕන. අපේ අතිගරු ජනාධිපතිතුමා ඇලිට් සමාගමට කෝටි දෙසීයක් ගෙව්වා කියලා කියනවා නම් මේ වන විට එතුමා අතේ ඒ සම්බන්ධ වවුචර්පත්, විදේශීය මුදල් සම්ප්‍රේෂණ ලදුපත් මේ සියල්ල ශාක්ෂි ලෙස තිබිය යුතුයි. අතිගරු ජනාධිපතිතුමාට අපි අභියෝග කරනවා ඇලිට් සමාගමට එක සතයක් හෝ ගෙව්ව බවට ඔබතුමා සතුව සාක්ෂි තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඒව මේ රටට. එතකොට ඔබතුමා ඇත්තද බොරුද කියන්නේ කියලා මේ රටේ ජනතාවට දැක ගන්න පුළුවන් . ජනාධිපතිතුමා මේ වවුචර් ඉදිරිපත් කරන්නේ නෑ. ඉදිරිපත් කරන්නේ නැහැ නෙවෙයි ඉදිරිපත් කරන්න බෑ. මොකද ඇලිට් සමාගමට විදුලි සන්දේශන කොමිසමෙන් ඒවැනි ගෙවීමක් කරලා නැති නිසා. 2012 ඔක්තෝබර් මස 09 වැනිදා කොමිසම විසින් නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා අත්තිකාරමක් ලෙස ඩොලර් පහළොස් මිලියන හයසිය හතලිස් හතර දහස් නවසිය අසූවක් ගෙවන්නේ China National Electronics Import and Export Corporation කියන සමාගමටයි. ඒ සමාගමට ඒ මුදල ගෙවීම සම්බන්ධයෙන් ලදුපත් මේ වනවිටත් සියලුම ප්‍රසිද්ධ මාධ්‍ය වලට සමාජ ජාල වලට නිකුත් වී හමාරයි. එහෙම නම් ඇලිට් සමාගමට ගෙව්වා කියලා ඔප්පු කරන්න ලේඛන නෑ විතරක් නෙවෙයි කුළුණ ඇත්තටම ඉදිකරපු සමාගමට තමයි මේ මුදල ගෙව්වේ කියන්නත් ලිඛිත සාක්ෂි මේවන විට අපි රට හමුවේ තබා තිබෙනවා. ඩොලර් මිලියන 15.6 කියන්නේ එදා විනිමය අනුපාතය අනුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 200කට සමානයි.

ඒ වගේම ඒ කෝටි 200 ගෙවන්නේ කුළුණ ඉදි කළ ජනාධිපතිතුමා යටතේ නියාමන කොමිසම තිබෙන කාලයේ මුදල් ගෙවීම් සිදුකළ අවසාන වශයෙන් කුළුණ විවෘත කරන අවස්ථාව වනතුරු එහි ඉදිකිරිම් භාරකරු ලෙස කටයුතු කරපු China National Electronics Import & Export Corporation කියන සමාගමට මිස ඇලිට් කියන සමාගමට නෙවෙයි. ඔන්න පලවෙනි බොරුවට උත්තරෙත්.

දෙවන බොරුව

ජනාධිපතිතුමාගේ දෙවැනි බොරුව තමයි ඇලිට් කියන සමාගම 2016 සිට අතුරුදහන් කියන එක. මේක පට්ටපල් බොරුවක්. ඇත්ත කතන්දරේ ඇලිට් කියලා සමාගමක් නෑ. ඇලිට් කියන්නේ සමාගමේ නමේ මුලකුරු එකතුකරලා කෙටියෙන් සමාගමට භාවිතා කරන නම. ඉතින් කවුරුහරි ඇලිට් කියලා සමාගමක් හෙව්ව නම් ඒක හම්බ වෙන්නේ නෑ. ගූගල් සෙවුම් යාන්ත්‍රනයේ සෆාරි සෙවුම් යාන්ත්‍රනයේ ඇලිට් කියලා සොයා බැලුවාට සමාගම හම්බ වෙන්නේ නෑ. සමාගමේ නම Aerospace Long-March International Limited (ALIT). කෙටියෙන් තමයි ඇලිට් කියන්නේ. ජනාධිපතිතුමාගේ දැනගැනීම පිණිස අපි නැවත කියමු Aerospace Long-March International Limited (ALIT). අන්න ඒ සමාගමේ වෙබ් අඩවිය තියෙනවා. අද වන තුරුත් මේ සමාගම ක්‍රියාත්මකයි කියලා දැනගන්න ඡායාරූප, ලිපි ලේඛන, සියල්ල වෙබ් අඩවියේ තියෙනවා. චීනයේ බීජින් නුවරට ගියෝතින් එහි ලිපිනයට ගියාම සමාගමක් එතන අදටත් තිබෙන බවට අපේ පුද්ගලයන් චීනයේ සිට තහවුරු කරනවා. ඒ නිසා මේ සමාගම ගැන ජනාධිපතිතුමාට වැරදුනේ ගූගල් එකේ හෙව්වේ ඇලිට් කියලා. තානාපතිතුමා අහිංසකයි. තානාපතිතුමාට කිව්වා ඇලිට් කියලා සමාගමක් තියෙනවද කියලා බලන්න. දුන්න ලිපිනයක්, එතෙන්ට ගිහින් බලද්දි ඇලිට් කියලා සමාගමක් එතන නෑ. ජනාධිපතිතුමාට මේ ලනුව දුන්න අය කිව්වේ නැහැ ඇලිට් කියනනේ කෙටි යෙදුමක් මිස සමාගමේ සැබෑ නම නෙවෙයි කියලා.

තුන්වෙනි බොරුව.

තුන්වෙනි බොරුව තමයි ගෙවූ රුපියල් කෝටි 200 අතුරුදහන්. මෙය ඉදිකිරීම් කරපු සමාගමට ගෙව්ව එකම අත්තිකාරම තමයි මේ රුපියල් කෝටි 200 ඩොලර් මිලියන 15.6. මේක ගොඩනැගිල්ල ඉදිකිරීමට මුදල් ගෙවද්දී ක්‍රමානුකූලව කපා ගනිමින් ගොඩනැගිල්ල ඉදිකළ සමාගමට ගෙවිය යුතු මුදලින් ඒ සමස්ත මුදලම කපා ගෙනයි ගෙවීම් කරලා තියෙන්නේ. ඒ නිසා එක සතයක් අතුරුදහන් වෙලා නෑ. එහෙම නම් කෝටි දෙසීය අතුරුදහන් වුණේ නැතිනම් ආණ්ඩුවට, ජනාධිපතිතුමා කියන විදිහට නියාමන කොමිසමට ඇයි සිද්ධවුනේ තමන්ගෙ සල්ලි මේ ව්‍යාපෘතියට දාල මේ ව්‍යාපෘතිය ඉවර කරන්න.

මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න තිබුණේ 2015දී. දැන් අපි ඉන්නේ 2019. සදුදා ජනාධිපතිතුමා ගිහිල්ලා කඩිමුඩියේ විවෘත කලාට තවමත් සම්පූර්ණ නෑ. අපේ සැලසුම් අනුව ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසා චීන එක්සිම් බැංකුව ණය වාරික නිදහස් කිරීම නතර කලා. අන්න ඒකයි සල්ලි නැති වෙලා කොමිසම මුදල් යොදවලා මේ කුළුණ සම්පූර්ණ කරන්න වෙලා තියෙන්නේ. මේ වැඩබැරි ආණ්ඩුවේ බැරිබැරියාව මිසක් ආණ්ඩුවේ මුදල් යෙදවීමට වෙනත් කිසිම හේතුවක් වත් වංචාවක් වත් සිද්ද වෙලා නෑ කියන එක ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරන්න ඕන.

අපේ ජනාධිපතිතුමා තමන්ගේ ධූරකාලය පටන්ගත්තේ බොරු වැලක් කියලා. ඇමරිකාවේ බකිංහැම් මාලිගාවෙන් රාජපක්ෂ පවුලේ දරුවන්ට ගෙනාව රත්තරං අශ්වයා ගැන කිව්වා. ඇමරිකාවේ ජනාධිපතිතුමාත් කලබල වෙලා හොයලා බැලුවා කොහෙද දෙයියනේ මං නොදන්න බකිංහැම් මාලිගාවක් ඇමරිකාවේ තිබෙන්නේ කියලා. අපි දන්න බකිංහැම් මාලිගාව තියෙන්නෙ එංගලන්තෙ නේ. ඒවගේම කිව්වා රාජපක්ෂ පවුලේ දරුවන්ට සෙල්ලමට පදින්න ලැම්බෝගිනි කාර්. පවුලේ සවාරි යන්න පෞද්ගලික ගුවන්යානා. මෙවැනි පච වැලකින් තමයි එතුමාගේ ධූර කාලය පටන් ගත්තේ. දැන් ඒ ධූර කාලය අවසන් වෙන්න මාස දෙකක්වත් නෑ. මේ අවසාන මාස 02 ඒතුමා ගත කරමින්, එතුමා ආයෙත් අර පරණ පුරුදු පචවැල ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. එතුමගෙ ජනාධිපති ධුර කාලය පිළිබඳව ජනතාවට මතක සිටින්නේ මේ අන්තිම මාස දෙකේ කරන කියන දෑ. අපි කාගේ හරි ගෙදරකට ගිහිල්ලා දවස් තුනක් නතර වුණාම අපේ ඥාතියා අපිට තරුපහේ සුපිරි හෝටල් වලින් දවස් තුනම කන්නදීලා අන්තිම දවසේදි පොල්ලෙන් ගහලා එලෙව්වොත් අපි ඉන්නෙ වෛරයෙන් කෙන්තියෙන්. අපිට මතක තිබෙන්නේ දවස් තුනක් තරු පහේ හෝටල් වලින් කන්න දුන්න කියන එක නෙවෙයි. අන්තිම දවසේ පොල්ලෙන් ගහලා එලෙව්වා කියන ඒක. ඉතින් මේ මාස දෙක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳ ජනතාවගේ මතකය සොඳුරු වෙයි ද? වියරු වෙයි ද? කියලා තීරණය කරන මාස දෙකක්. ඒ නිසා මේ මාස දෙකේ අතිගරු ජනාධිපතිතුමා කියන කරන දේවල් ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි කියන එක අපි එතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.

එතුමා අපේ රාජ නායකයා. එතුමා අපේ පළවෙනි පුරවැසියා. ඉංග්‍රීසි කියමනක් තියෙනවා නායකයා ගෙන් පිළිබිඹු වන්නේ ඒ රටේ ජනතාවයි කියලා. ගරු සභාපතිතුමනි මමවත් මේ රටේ ජනතාවවත් ලෝකයා ඉදිරියේ බොරුකාරයො විදියට විහිළුකාරයෝ විදිහට දකිනවට අපි කැමති නෑ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ සංකේතය වී සිටින තාක්කල් ප්‍රවේශමෙන් කතාවන් සහ ක්‍රියාවන් සිදුකල යුතුයි කියන එක එතුමාට අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

ජනාධිපතිතුමාට දිරච්ච ලණු දෙන්නේ කවුද ?

එතුමා එදා ඒ ප්‍රකාශය කරද්දි අපිට හිතුනෙ ජනාධිපතිතුමා ලඟම ඉඳගෙන ජනාධිපතිතුමාට දිරච්ච ලණු දීලා එතුමාව අමාරුවෙ දාලා සිනාසිසී විනෝද වෙන පිරිසක් එතුමගෙ වටේ ඉන්නවා කියලා. එතුමා සඳුදා ඒ ප්‍රකාශය කරද්දී එතුමා ඉදිරියේ වාඩි වෙලා හිටිය අපේ දයා ගමගේ ඇමතිතුමාට හිනා ගියා. එතකොට ජනාධිපතිතුමා කියනවා දයා ගමගේ ඇමැතිතුමා ඔන්න හිනාවෙනවා කියලා. මම දන්නේ නැහැ මට නම් හිතුණේ “ අපි දුන්න ලනුව කෑවා කෑවා කෑවෝ ” කියලා දයා ගමගේ ඇමතිතුමාට සිනා ගියාදෝ කියලා. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබට තොරතුරු දෙන අය ගැන ඔබ වටේ ඉන්න අය ගැන ඔබතුමා මීට වඩා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි කියලා අපි සිහිපත් කරනවා.

ඒ වගේම අමතක නොකලයුතු කාරණයක් තියෙනවා. ලෝකයේ නැගී එන බලවතා චීනයයි. චීනය මේ වන විට ලෝකයේ දෙවන ආර්ථිකයයි. තව වසර 30කින් ලොව ප්‍රබලම ආර්ථිකයයි. ආසියාවේ ප්‍රබලයා. අනෙක් පැත්තෙන් 2012දි මේ ප්‍රශ්නගත වර්ෂයේ දී ජපානය පරදවා ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ආධාර දුන් රට බවට චීනය පත් වුණා. ඒ නිසා මේ චීනය තරහ කරවන ප්‍රකාශයක්. ඇයි මේ ඇලිට් කියන සමාගම චීනයේ ආණ්ඩුවට අයත් සමාගමක්. චීන රාජ්‍ය සමාගමක්. ඒ චීන රාජ්‍ය සමාගම රුපියල් කෝටි 200ක් සොරකම් කළා කියන චෝදනාව චීනයට කළ අපහාසයක්. චීනය කේන්ති ගස්වන වැඩක්. ජාත්‍යන්තර බලවේග වලට, අහක ඉන්න නයින්ට පොල්ලෙන් ගහලා කනෝ කනෝ කියලා කෑගහලා වැඩක් නැහැ. ඒ නිසා ලෝක බලවතුන් සමඟ ගනුදෙනු කරද්දී මීට වඩා ප්‍රවේශමෙන් වගකීම් සහගතව කටයුතු කළ යුතුයි. අපිත් ඇමරිකාව එක්ක හැප්පුණා. අපි ඇමරිකාව එක්ක හැප්පුනේ නයා දෂ්ට කරන්න එනකොට මිසක් අහක ඉන්න නයාට පොල්ලෙන් ගහන්න ගිහින් නෙවෙයි කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඒ නිසා මේ පිළිබඳ හැකි ඉක්මනින් ජනාධිපතිතුමා පැහැදිලිකිරීමක් කරලා, තමන්ගෙන් වෙච්ච වැරැද්ද නිවැරදි කරලා අපිට ලෝක අර්බුද වලදී හැමදාම අපිත් එක්ක හිටගත්ත චීනයත් එක්ක අපේ මිත්‍රත්වය පලදු කිරීමක් එතුමාගේ ප්‍රකාශයෙන් සිදුවෙලා තිබෙන නිසා එය නිවැරදි කිරීමට ගෞරවනීය නායකයකු ලෙස එතුමා ක්ෂණිකව කටයුතු කරනු ඇතැයි කියලා අපි තාමත් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ කමිටුවේ කාලය දික් කරන්නේ කා වෙනුවෙන්ද ?

මේ ප්‍රශ්නෙට මං මැදිහත් වෙන්න උත්සාහ කලා ගරු කථානායකතුමාගෙන් එම අවස්ථා ලැබුණේ නෑ. ඒ තමයි අද දිනයේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බලා වාර්තා කරන්න පත්කළ නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවට ඔක්තෝබර් 31 දක්වා කාලය දීර්ඝ කරලා දුන්නා. මේ කමිටු වාර්තාව ගැන මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. සහරාන් කාගේ නිර්මාණයක්ද? අපි විශ්වාස කරනවා මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වැඩක් කියලා. ඒ වගේම තවත් සමහරු කියනවා ඉස්ලාමීය සමහර රටවල් මේකට සම්බන්ධයි කියලා. ඒ නිසා මේ රටේ ජනතාව විතරක් නෙමෙයි ඉස්ලාමීය ලෝකයේ බටහිර ලෝකයේ වතිකානුව ඇතුළු‍ෙ සමස්ත ලෝකයම මෑතක දී මතු වුණු මේ ත්‍රස්තවාදී තර්ජන පිටුපස සිටින සැබෑ බලවේගය කවුද කියලා දැනගන්න බලාගෙන ඉන්නවා. නමුත් ඉතාමත්ම අවාසනාවන්ත විදියට මාස 5ක් ගතවෙලා තිබෙද්දිත් තවත් කාලය දික් කලා. මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. මේ ජාත්‍යන්තර ප්‍රශ්නය ඉදිරියෙහි පැස්බරා වැල්ලේ හිස සඟවා ගන්නා ආකාරයට මේ ආණ්ඩුවට කටයුතු කරන්න බෑ. මේ අය නිදහසට කාරණය ලෙස කියන්නේ ජනාධිපති තුමාගේ ප්‍රකාශයක් ලබා ගන්න තිබෙනවා කියලා. ඒක නම් ඇත්ත කතන්දරේ මෙතෙක් සොයාගත් කරුණු වලින් අතුරු වාර්තාවක් දීලා අවසාන වශයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශය එකතුකරලා අවසාන වාර්තාව ලබා දෙන්න පුළුවන්. මොකද අපි හැමෝටම කුතුහලයක් තියෙනවා කවුද මේක පිටිපස්සේ හිටියේ. විශේෂයෙන්ම මේ මහා ප්‍රහාරයේ වගකීම පිළිබඳ මේ ගරු සභාවේ ඇමතිවරුන්ට ඇඟිල්ල දික් වෙලා තිබෙන අවස්ථාවක ඇමතිවරුන්ගේ ඇඟේ ලේ කියලා රටේ ජනතාව චෝදනා කරන අවස්ථාවක මේ වාර්තාව තවදුරටත් ප්‍රමාද කරන්නේ මේ වාර්තාව ඇත්තටම එළියට ආවොත් මේ ආණ්ඩුවේ ඇමතිවරුන් ත්‍රස්තවාදය පෝෂණය කළ ආකාරය හෙළිවීමෙන් ජනාධිපතිවරණයේ දී ආණ්ඩුවේ අපේක්ෂකයාට අගතියක් වේවි කියන බියෙන් කියන සාධාරණ සැකය අපට පමණක් නෙමෙයි අද සමස්ත ජාතියටම ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ ගරු සභාවේ නායකයන් විදියට මේ වාර්තාව හැකි ඉක්මනින් මේ සභාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා වහාම පියවර ගන්නැයි කියන ආයාචනය කරමින් මම නිහඬ වෙනවා.

Related posts

ඇවන්ගාඩ් සිද්ධියෙන් කැබිනට්ටුව දෙදරයි, සම්මුතිවාදයට කණ කොකා හඩන හැඩයි.

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

ඉල්ලා අස්වූ හේතුව ප්‍රියංකර ජයරත්න හෙළි කරයි !

colombotoday

“දිනමිණේ පුවත අමු බොරුවක්” – පොදුජන පෙරමුණෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

උතුරේ බෞද්ධ සංහාරය සහ කොටි කුලප්පුවට එරෙහිව ප්‍රසන්න ජනපතිට ලියයි

colombotoday