Colombo Today Local News

නෞකාවේ බොර තෙල් කාන්දුවක් නැහැ.. මුහුදේ ඇති ඩිසල් පැල්ලමට ගුවනින් රසායන ද්‍රව්‍ය ඉසියි

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති අතර, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව නිවේදනය කළේය.

මේ අතර, නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරකින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්‍ෂණය කර ඇත. පසුගිය දින කිහිපය පුරාවටම මෙම නෞකාවේ පසුපස කොටසේ ඇතිවී තිබූ ගින්න පාලනය කිරීම සඳහා ආපදා කණ්ඩායම් මගින් අඛණ්ඩව නෞකාවට යෙදූ මුහුදු ජලය නෞකාවේ පිටිපස කොටසේ සහ යන්ත්‍ර කාමර තුල එකතුවීම හේතුවෙන් නෞකාව සාමාන්‍ය පිහිටුමෙන් වෙනස් වී පිටුපසට මඳක් බර වීම මෙලෙස නෞකාවේ ප්‍රයෝජනය සඳහා ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්‍රවීමට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වුවත් ආපදාවට පත් නෞකාවේ බොරතෙල් තෙල් සංචිතයන්ට ගින්න පැතිරයාමේ හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් මේවන තෙක් පැන නැගී නොමැති බව නාවික හමුදාව නිවේදනය කර සිටියි.

ඒ අනුව, මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථානගතකර තිබූ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනීය වර්ගයේ ගුවන්යානය අදාල ඩීසල් ඉන්ධන පැල්ලම නිරීක්‍ෂණය කරන ලද ප්‍රදේශය වෙත අද සවස් භාගයේදී යොමුකර විශේෂීත රසායන ද්‍රව්‍යක් එම මුහුදු ප්‍රදේශයට ඉසීමට කටයුතු කරන ලදි. එම ඉසින ලද විශේෂිත රසායන ද්‍රව්‍ය මගින් මුහුදු ජලයට මිශ්‍රවී ඇති ඩීසල් ඉන්ධන වල රසායන සංයුතිය වෙනස්කර එමගින් සාගරයට පරිසරයට වියහැකි බලපෑම අවම කෙරෙනු ඇත.

MT New Diamond නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ආපදාවට පත් නෞකාව රඳවා ඇති මුහුදු ප්‍රදේශයේ ජල නියැදි පරීක්‍ෂා කිරීමට අද උදෑසන පරීක්‍ෂණ කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.

එම කණ්ඩායම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විත වූ අතර, ඔවුන් එම මුහුදු ප්‍රදේශය වෙත ගොස් අදාල නියැදීන් ලබාගැනීමෙන් පසු රසායනාගාර පරීක්‍ෂණ කටයුතු සඳහා එම නියැදීන් ගොඩබිමට රැගෙන ඒමට නියමිතයි. එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් අද දින එම මුහුදු ප්‍රදේශය වෙත ලඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමටද නියමිතය.

මේ අතර, ආපදාවට පත් වූ නෞකාවේ සිට මුදවාගෙන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවෙහි ආරක්‍ෂිතව වෙන්කර තබා සිටි පිලිපීන හා ග්‍රීක ජාතික නාවිකයින් 20 දෙනා අද දින හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි. එමෙන්ම එම නාවිකයින් හුදකලා කර තැබීමේ මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, පීසීආර් පරීක්‍ෂණ සඳහා අද දින ඔවුන්ගේ ජෛව සාම්පල ලබා ගැනීමද සිදු කෙරිණි.

ආපදාවට පත් නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 ක් පමණ වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ආපදා කළමණාකරන මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා සහ ටග් යාත්‍රා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටීන අතර, ගුවන් යානා මගින් නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි.

එසේම ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දේපාර්තමේන්තුවට අයත් නෞකාවන් හා ශ්‍රී ලංකා නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් සැපයුම් යාත්‍රා ලෙස මෙම මෙහෙයුමට යොදවා ඇති අතර, මෙම මෙහෙයුම සඳහා ‍දිවයිනට පැමිණ සිටින විදේශීය මුදවා ගැනීමේ සහ ආපදා කළමණාකරණය කිරීමේ විශේෂඥ කණ්ඩායම්ද සහභාගීව සිටි.

Related posts

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වට ගෙවා ඇත්තේ අඩු වන්දියක් – කොමිසමේදී හෙළිවෙයි

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday

පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකිරීමට සාකච්ඡා

colombotoday

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

colombotoday

සියවසේ දැවැන්තම වන විනාශය විල්පත්තුවේ තවම නිමා නැත

colombotoday