Colombo Today Local News

පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කළ යුතුයි… බහු විවාහ බෑ – අන්තවාදය මඩින්න යෝජනා කෙරේ

‍මෙරට ක්‍රියාතමක වන ඉස්ලාමීය අන්තවාදය තුරන් කර සියළුම ජාතීන් හා ජනවර්ග සාමයෙන් ජීවත්වන සාමකාමී රටක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවලියක් සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පසුගියදා විජේරාම නිල නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මන්ත්‍රී කණ්ඩායම එක්ව මේ පිළිබදව සාකච්ඡා කළ බවත්, රටේ විවාහ නීතිය එකක් විය යුතු බවත්, බහු විවාහ තහනම් කර පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කිරීම හා අන්තවාදී අධ්‍යාපනය තහනම් කිරීමට යෝජනා ඉදිරිපත් වූ බවද ඒ මහතා පවසයි.

වීරවංශ මහතා මෙම අදහස් පලකලේ ඉරරිදා ලංකාදීප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එම සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

රශ්නය:-රටේ අලුත් තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ?  

පිළිතුර:- අපි රටක් හැටියට අද ඉන්නේ ඉතාම අන්තරාදායක අවස්ථාවක. පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වෙච්ච ඉස්ලාම් වහාබ්වාදී ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාර දාමයෙන් පස්සේ මේ අන්තරාදායක ඉරණමට අපි මුහුණ දීලා තියෙනවා. 21 වැනිදාට කලින් තිබුණ සමාජයයි 21 වැනිදාට පසුව තියෙන සමාජයයි එකක් නොවෙයි දෙකක්. 

ඔබ දන්නවා එල්ටීටීඊ ත්‍රස්තවාදය ජයග්‍රහණය කළා නම් දෙමළ ඊළම හැදුණ නම් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ප්‍රදේශය එක්සත් ජනපද හමුදාවන්ගෙයි. එක්කෝ නේටෝ හමුදාවන්ගෙයි මිලිටරි තිප්පොළක් බවට පත්වීමට නියමිතව තිබුණා. ඒක වැළකුණේ කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පුළුවන් වුණ නිසා. 

හැබැයි ඔබ දන්නවා ජෝන් සී. ටෙනිස් කියන ඇමරිකා එක්සත් ජනපද හත්වැනි නාවික පැසිපික් හමුදා බළ ඇණිය සහිතව ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නතර කරගෙන තියාගෙන ඉන්නවා.  

ප්‍රශ්නය:-ඔබ එකිනෙකට අසමාන සිදුවීම් මාලාවක් එක රූපයකට ගන්න හදනවා. ඒක සාධාරණයිද?  

පිළිතුර:- ඔබ මගේ පිළිතුර සම්පූර්ණයෙන්ම ගන්නකෝ. එතකොට ඔය ප්‍රශ්නයට උත්තරයක් ලැබෙයි. ඔය මම කියපු නෞකාවේ ප්‍රහාරක ගුවන් යානා සියයකට වැඩියෙන් නවත්වන්න පුළුවන්. හයදාහක් භට පිරිසකට රැඳී ඉන්න පුළුවන්.  

දැන් මේ හත් වැනි පැසිපික් නාවික හමුදා බළ ඇණිය. දැන් ඒකට කියන්නේ ඉන්දු පැසිපික් කියලා. ඒ බළ ඇණියට ලෝකයේ භූමියෙන් සියයට පනහකට වඩා බලපෑම් කරන්න පුළුවන්. ඒක ඇමරිකා එක්සත් ජනපදය සතුව තිබෙන විශාලතම බළ ඇණියක්. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත් කළ හින්දා ත්‍රිකුණාමලය වරායට ගොඩ බාන්න බැරි වෙච්ච දේ දැනට තියෙනවා අපේ මුහුදු සීමාවේ නැවක. ඒ අයට මීට වඩා රට ඇතුළට එන්න ඕනෑ. ඒත් එහෙම එන්න නිකම් බෑ. දැනට ආණ්ඩුව අත්සන් කරලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදය සමග පිටු 80 කට වඩා වැඩි ගිවිසුමක්. ඒකේ එක වගන්තියක් තමයි එහි පහත දැක්වෙන ඇමෙරිකා හමුදා අනු ඛණ්ඩවලට හදිසි තත්ත්වයකදී ලංකාවට එන්න පුළුවන් කියලා.

ඒ අනුඛණ්ඩ අතර මේ 7 වැනි ඉන්දු පැසිපික් නාවික හමුදා බළ ඇණියත් තියෙනවා. එතකොට එහෙමනම් එක්සත් ජනපද මිලිටරි තිප්පොළක් බවට ලංකාව පත් කරගන්න. ශ්‍රී ලංකාව ඔවුන්ගේ ගොදුරු බිමක් බවට පත් කරගන්න පැරදිච්ච එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වෙනුවට නව ත්‍රස්තවාදයක් ඕනෑ. ඒ නව ත්‍රස්තවාදය ගොඩනැගීමේ ක්‍රියාදාමය 2010 ඉඳන් බොහොම සූක්ෂම විදියට වෙලා තියෙනවා. යුද හමුදා බුද්ධි අංශ මේක සමීපව නිරීක්ෂණය කරලා තියෙනවා.

හැබැයි 2015 ජනවාරි 8න් පස්සේ යුද හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ අධීක්ෂණය නැවතිලා තියෙනවා. අඩපණ වෙලා තියෙනවා. අවසානයේ ඒ මිත්‍යා මතයේ ඒ කියන්නේ ස්වර්ගයට ගිහිල්ලා කන්‍යාවියන් හැත්තෑ දෙකක් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් කියන මෝඩ ඇදහිල්ල මත අලුත් ත්‍රස්තවාදය නිර්මාණය කර ගත්තා. ඒ නිසා තමයි දවස් දෙක තුනක් ගියාට පස්සේ අයි එස් අයි එස් එක පිළිගත්තේ මේක අපේ වැඩක් කියලා.  

 ප්‍රශ්නය:-ඔබ කියන්නේ මේක ඔවුන්ගේ වැඩක් නොවෙයි කියලද?  

පිළිතුර:- අයි එස් අයි එස් එක සම්බන්ධයි. හැබැයි ලංකාවේ මිනිස්සු මේ අපරාධය කළේ. මේ රටේ ඉපදිච්ච අය. එහෙම නැතිව සිරියාවෙන් කවුරුවත් ආවේ නැහැ.  

 ප්‍රශ්නය:– මේක ගෝලීය ත්‍රස්තවාදයක් කියලා අගමැති රනිල් කිව්වා?  

පිළිතුර:- එහෙම කියන්නෙම ගෝලීය ත්‍රස්තවාදය මර්දනය කරන්න ගෝලීය මැදිහත්වීමක් කරගන්නයි. අන්න අර හදිසි තත්ත්වය දැන් ටික ටික හදනවා. 21න් පස්සේ බොහොම උපේක්ෂාවෙන් මේ වේදනාකාරී ඉරණම දරාගෙන හිටපු සිංහල ජන සමාජයට චෝදනා කරන්න බැරි හින්දා සංවිධානාත්මක කල්ලි දාලා ප්‍රචණ්ඩකාරී තත්ත්ව ඇති කරනවා.  

 ප්‍රශ්නය:-ඔබ කියන්නේ වයඹත් මිනුවන්ගොඩත් ක්‍රියාත්මක වුණේ ආණ්ඩුවේ කල්ලි කියලද?  

පිළිතුර:- ඉතාම පැහැදිළිවම. එ් පළාත්වල මිනිස්සුත් නොවෙයි. එක්කෝ බයිසිකල් වලින් ඇවිත්. එහෙම නැතිනම් ලොරි වලින් ගෙන්නලා. එහෙම ගෙන්වලා මුස්ලිම් ජනතාවට පහර දෙන්න සැලැස්සුවා.

 ප්‍රශ්නය:-ඔබ වගකීමෙන්ද කියන්නේ? මේක බොහොම සංවේදී තත්ත්වයක්!  

පිළිතුර:- ඉතාම වගකීමෙන් කියන්නේ. ඒ මැර කල්ලි වලට ඉඩ දීලා ආණ්ඩුව නිකම් හිටියා. රිෂාඩ් බදුර්දීන්ම කියනවා ‘හමුදාව පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නෑ. බලාගෙන හිටියා’ කියලා. සුමන්තිරන් කියනවා ‘හමුදාව පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නෑ. බලාගෙන හිටිය’ කියලා. හමුදාව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළා නම් ඒක එහෙම වෙන්න ආණ්ඩුවේ ඉහළින් නියෝගයක් එන්න ඕනැ. නැතිනම් හමුදාව පොලිසිය බැඳිලා ඉන්නවා නීතිය ක්‍රියාත්මක කරන්න.

නිකම් හිටියානම් එහෙම ඉඳල තියෙන්නේ ඉහළින් ආපු නියෝග මත. ඒකෙන් පේනවා සිංහල ජන සමාජයට චෝදනා එල්ල කරන්න පොට පාදා ගන්න ආණ්ඩුව සංවිධානාත්මක මැර කල්ලි යැව්වා කියලා.  

 ප්‍රශ්නය:-පොහොට්ටුව නොවෙයිද ඔය ගැටුම් පිටිපස්සේ හිටියේ?  

පිළිතුර:- ඔය ආණ්ඩුව කියන කතාවනේ. ආණ්ඩුව බලනවා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාවන්න. දෙමළ කියමනක් තියෙනවා. ‘දරුවා කොනිත්තන්නෙයි දරුවා නළවන්නෙයි එක්කෙනාම’ කියලා. ආණ්ඩුව තමයි දරුවා කොනිත්තන්නෙත් නළවන්න තොටිල්ල පදවන්නෙත්. 

දැන් බලන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් නිවේදනයක් නිකුත්කරලා තියෙනවා. රිස්පොන්සිබිලිටි ටු ප්‍රොටෙට් කියලා. ආරක්ෂාව සඳහා වගකීම කියලා. ‘ලංකාවේ සමූහ ඝාතන සිදුවෙනවා. ඉස්ලාම් සහ කිතුනු බැතිමතුන්ට ආරක්ෂාව නෑ. රටේ ආරක්ෂක අංශ ඒ අයට ආරක්ෂාව දෙන්න සමත් නැහැ. මෙච්චර මැරිලා තියෙනවා. ඒ නිසා ආරක්ෂාව සඳහා වගකීම කියන මූලධර්මයට අනුව මේ දිහා බලන්න ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ යුතුයි’ කියලා.  

අන්න බලන්න! දැන් හරිනේ මුලින් මීයා එවනවා. ඊට පස්සේ ගැරඬියා එවනවා. දැන් අර කියපු හදිසි තත්ත්වය ඇති කරලා තියෙනවා. ඊළඟ අඩව්ව අල්ලන්නයි දැන් හදන්නේ. ඒ අන්තර් ජාතික බලවේග වලට ඒ අඩව්ව අල්ලන්න පුළුවන් වෙන විදියට රට අරාජික කිරීම, අස්ථාවර කිරීම මේ තකතීරු ආණ්ඩුව දවසෙන් දවස කරගෙන යනවා. ඇයි දරුවන් ඉස්කෝලේ යවන්නේ නැත්තේ මව්පියෝ. ආණ්ඩුව ගැන විශ්වාස නෑ. එහෙම නැතිව ත්‍රස්ත ප්‍රහාරයට බයේ නොවෙයි. ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. දින 12 කට කලින් මේ අපරාධය දැන ගෙනත් ඒක වළක්වන්න කිසිම පියවරක් නොගත්තු වගකීම් විරහිත ආණ්ඩුවක් මේක.  

එහෙම ආණ්ඩුවක නායකයෝ එකක් කියනවා. තව එක්කෙනෙක් තව එකක් කියනවා. ඒ දෙන්නටම වඩා වෙනස් එකක් තව එක්කෙනෙක් කියනවා. මෙන්න මේ තත්ත්වය තුළ මහජනතාව ඉන්නේ වික්ෂිප්ත වෙලා. අසරණ වෙලා. සිංහල ජන සමාජය විතරක් නොවෙයි සිංහල කතෝලික සිංහල බෞද්ධ දෙමළ කතෝලික, දෙමළ හින්දු, ඉස්ලාම් බැතිමතුන් මේ හැම කෙනෙක්ම ඉන්නේ අසරණ වෙලා. අපේක්ෂා භංගත්වයට පත් වෙලා. රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටිලා. හැබැයි මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි කරන එක ජනතාවගේ දුක දැකලා නතර වෙන්නේ නෑ.  

මෙච්චර ආර්ථික පීඩාවක හිරවෙලා ඉන්න මිනිසුන්ගේ කරමත ආයෙමත් ඉන්ධන මිල වැඩිකරලා බර පටවන්න පුළුවන් නම් ආණ්ඩුවකට ඒක තමයි ලෝකයේ තියෙන නරුමම ආණ්ඩුව. එහෙම ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා මේ අරාජික තත්ත්වය ඉක්මනින් තුරන් නොකළොත් අපේ රට ජාත්‍යන්තර බලවතුන්ගේ දඩ බිමක් බවට පත්වෙලා. ගිල ගැනිමට ලක් වෙනවා ඇරෙන්න මේක අවසානයේ වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.  

 ප්‍රශ්නය:-වගකිව යුතු විපක්ෂයක් නම් මේ අර්බුදයෙන් රට ගොඩගන්න විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. ඔබලා එහෙම විසඳුම් ඉදිරිපත් කළාද?  

පිළිතුර:- විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේ පහුගිය බදාදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්වුණා. එතැනදි අපි තීරණ දෙකක් ගත්තා. එකක් තමයි අපි කමිටුවක් පත්කළා. මේ අන්තවාදය වහාබ්වාදය තුරන් කිරිම සඳහා ගතයුතු පියවර සියල්ල යෝජනා කරලා එක කෙටුම්පතක් හදන්න.  

 ප්‍රශ්නය:-ඒ කෙටුම්පතේ අන්තර්ගතය?  

පිළිතුර:- මේ තත්ත්වය තුරන් කරන්න අලුතෙන් ගෙන ආ යුතු නීති මොනවාද? විවාහ නීතිය එකක් විය යුතුයි. විවාහ විය හැක්කේ අවුරුදු 18න් පස්සේ බහු විවාහ බැහැ. ඊළඟට දරුවන් සංඛ්‍යාව සීමාවිය යුතුයි. අන්තවාදය පතුරුවන අධ්‍යාපන ක්‍රමය නැති කළ යුතුයි. එක අධ්‍යාපන ක්‍රමයකට රට ගේන්න ඕන. ජාතිකත්ව හෝ ආගමික අනන්‍යතා පදනමින් දේශපාලන පක්ෂ පිහිටුවන්න බැරිවෙන්න ඕනෑ.  

මෙන්න මේ වගේ අදහස් ගොඩක් මන්ත්‍රිවරුන් අතරින් ආවා. අවසානයේ තීරණය කළා කමිටුව රැස්වෙලා වහාම ගතයුතු පියවර සඳහන් කෙටුම්පතක් හදන්න. 

 ප්‍රශ්නය:-ඔබ කියපු ඇතැම් යෝජනා ඉතාම ගෝත්‍රිකයි කියලා හිතෙන්නේ නැද්ද?  

පිළිතුර:- මොනවද ඒ ගෝත්‍රික අදහස්?  

 ප්‍රශ්නය:-දරුවන් ගණන ආණ්ඩුව තීරණය කරන්න ගියාම?  

පිළිතුර:- ඒක ගෝත්‍රිකවාදී අදහසක් නොවෙයි. එහෙනම් චීනය ගෝත්‍රිකවාදී රටක්ද? චීනයේ දරුවන් ගණන සීමා කරලා නැද්ද? අද අපේ කැලෑ ගහනය අඩුවෙලා තියෙන්නේ ඇයි? අපට ඔරොත්තු නොදෙන තරමේ ජනගහනයක් අපට ඉන්නවා. එහෙම නම් ඉතින් විල්පත්තුව එළිකර තව පදිංචි කරන්න වෙයි. ඇයි ඉන්න ඉඩම් තියෙන්න එපැයි, මේක පුංචි රටක්. අපේ කැලෑ ගහනය අපි ආරක්ෂා කරගන්න ඕනැ.  

ඒ වගේම අපේ රටේ සංස්කෘතිය මූලික වශයෙන්ම නිර්මාණය කරපු සිංහල බෞද්ධයා කෙරෙහි අපේ විශේෂ අවධානය යොමු කළ යුතුයි සුළුතර ජනතාව වගේම.  

 ප්‍රශ්නය:-අන් ජාතියක් පීඩාවට පත්කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී කියලා මාක්ස් කිව්වා.  

පිළිතුර:- නෑ. මෙතැන අන් ජාතියක් පීඩාවට පත්වෙන්නේ නෑ. පාතිමාගේ ගෙදර හදන්නත් පුළුවන් දරුවන් තුන්දෙනා නම් කාන්තිගේ ගෙදර හදන්නත් පුළුවන් දරුවන් තුන් දෙනානම් කවුරුවත් පීඩාවට පත්වෙන්නේ නෑ. මේ රට තමයි ලෝකයේ සුළු ජාතිය කතා කරන භාෂාව මහා ජාතිය ඉගෙන ගන්නේ.   

දෙමළ ඉගෙන ගන්නවා මගේ දුව. අපේ සිංහල පාසල්වල දෙමළ උගන්වනවා. හැබැයි මේ රටේ තියෙනවා අරාබි පාසල්. ඒවායේ සිංහල උගන්වන්නේ නෑ. මුස්ලිම් දරුවට. මේ රටේ තියෙනවා මද්‍රසා පාසල් සමහර ඒවායේ සිංහල උගන්වන්නේ නැහැ. යාපනේ තියෙන පාසල්වල සිංහල උගන්වන්නේ නෑ. සුළු ජාතිය මහා ජාතියේ භාෂාව ඉගෙන ගන්නේ නෑ. මහා ජාතිය සුළු ජාතියේ භාෂාව ඉගෙන ගන්නවා.  

අපේ මේ මහා සංස්කෘතියට මුහු වෙන්නේ නැතිව අපිට එකට පවතින්න බෑ. ඒ මුහුවීමට අවශ්‍ය නෛතික හා අනෙකුත් පියවර ගන්න ඕනෑ. අපට බොරු කරන්න දැන් බෑ. එහෙම බොරු කරන්න අයිතියකුත් නෑ. අර පාස්කු ඉරිදා මැරිච්ච මිනිසුන්ට යුක්තිය ඉටුකළ යුතුයි.  

ඒ මැරිච්ච මිනිසුන්ට යුක්තිය ඉටු කරන්නේ නැත්නම් අපි තරම් නරුම දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් ලෝකයේ වෙන කොහේවත් නෑ. ඒ නිසා පාස්කු ඉරිදා මියගිය සාමකාමී මිනිසුන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගත යුතුයි. වෙනවෙන වැල්වටාරම් කතා කරලා වැඩක් නෑ.  

 ප්‍රශ්නය:-ඇමැති මංගල කිව්වා පාස්කු ඉරිදා ප්‍රහාරය ආරංචි වෙලා සමහරු කිරිබත් කෑවා කියලා.   

පිළිතුර:- පොහොට්ටුව රට ගිනි තියලා වාසි ගන්න ඕනැ නම් මෙච්චර කාලයක් ගත වෙනකම් බලාගෙන ඉන්නවද? පොහොට්ටුවට එහෙම ගායක් තිබ්බානම් සිද්ධිය වෙච්ච ගමන් නේද මේ ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ. අපි කවදාවත් එහෙම කරලා නෑ. එහෙම නොකර රට සන්සුන් කරන්න නොවෙයිද මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කළේ.  

අගමැතිතුමා කැඳවපු සාකච්ඡාවට විපක්ෂ නායකතුමා ගියේ නැද්ද? ත්‍රස්තවාදය පරාජය කරන්න අපි ඕනෑම සහයෝගයක් දෙනවා කියලා කිව්වේ නැද්ද? රට ගිනි අවුළුවන එක වචනයක් කිව්වද? ජනාධිපතිතුමා කැඳවපු සර්ව පාක්ෂික සමුළුවට ගියෙ නැද්ද? අපි මහින්ද රාපජක්ෂ විපක්ෂ නායකතුමාගේ නායකත්වය යටතේ ඉතාම වගකීමෙන් අපි තීන්දු තීරණ ගත්තා.  

 ප්‍රශ්නය:-ඔබ ඇමැති මංගලගේ කතාව මග ඇරියා. 

පිළිතුර:- මග ඇරියා නොවෙයි අප්‍රසන්නයි. කිරිබත් කෑවා තියා අතට ගත්ත බත් ටික කටට දාගන්න බැරි තත්ත්වයට අපි පත්වුණා. මොකද්ද මේ වුණේ කියන වේදනාව අපේ කාගෙත් හිත්වලට ආවා. එවෙලේ මේ අපි පොහොට්ටුවද අරකද මේකද කියලා නොවෙයි රටේ මිනිස්සු විදියටයි අපි ඒ දිහා බැලුවේ. අපේ දරු පැටවුන්ට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා ප්‍රශ්නාර්ථ ඇතුවයි අපි ඒ දිහා බැලුවේ. දරුවෝ නැති අයටනම් මේ වගේ විපතක් වුණාමත් කිරිබත් කන්න හිතෙනවා ඇති.  

එහෙම නරුම මානසිකත්වයක් අපට අදාළව ගොඩනගන්න හැදුවට රටේ ජනතාව ඒක පිළිගන්නේ නැහැ. මේ දේවල්වල ගමනාන්තය ගැන අවබෝධයක් තියෙන අපිට කොහොමද සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. මේ රට සිරියාවක් ලිබියාවක් කිරීමේ දිශාවටයි මේ යන්නේ. 

ඉතින් කොහොමද සතුටු වෙන්නේ?  

තමන්ගේ රටට එහෙම විපතක් වෙන්න යනකොට ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කාටද? මංගලලාට එහෙම සතුටු වෙන්න පුළුවන්.   

 ප්‍රශ්නය:-ඇයි ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්නේ නැතිව ඇමැති බදුර්දීන්ට විශ්වාස භංගයක් ගේන්නේ?  

පිළිතුර:- බදුර්දින් කියන්නේ මේ වහාබ්වාදී අන්තවාදය පතුරුවන්න ශක්තිමත් කරන්න කටයුතු කරපු ඇමැතිවරයෙක්ය කියන චෝදනාව ඉතාම බරපතළ විදියට තියෙනවා. වගකිව යුතු පුද්ගලයෙක් නම් ඔහු මේ සිද්ධියෙන් පස්සේ ඉල්ලා අස්විය යුතුව තිබුණා. ස්වාධීන පරීක්ෂණයකට ඉඩදෙන්න. එසේ වුණේ නැහැ. එක්කෝ ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කළ යුතුයි. ඒක වුණෙත් නැහැ. ඒ නිසා තමයි අපි තීරණය කරන්නේ මේ වහාබ්වාදී අන්තවාදය පතුරුවන්න ප්‍රබල ලෙස දායක වුණා කියන රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්​ෙන්. 

 ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය ඇයි ආණ්ඩුවට එරෙහිව ගේන්නේ නැත්තේ?  

පිළිතුර:- ආණ්ඩුවටම එරෙහිව ගෙන ආවා නම් එතකොට ආණ්ඩුව හැටියට කවුරුත් එකට එකතුවෙනවා. බදුර්දින්ට විරුද්ධව මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවම ආණ්ඩුවේ ඉන්න සිංහල කිතුනු මැති ඇමැතිවරුන්ට ඔහු ගන්න තීරණය කුමක්ද කියන උභතෝකෝටිකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෙමළ ජාතික සන්ධානයට මේ වහබ්වාදී අන්තවාදයට සහාය දීලා ගම්වලට යන්න පුළුවන් වෙයිද බැරිවෙයිද කියලා හිතන්න වෙනවා. ආණ්ඩුවේ ඉන්න තවත් මන්ත්‍රීවරුන්ට වුණත් මේ අන්තවාදයට එරෙහිව විරුද්ධව ඡන්දය දීලා ගමට යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන ප්‍රශ්නය එනවා.  

අාණ්ඩුවට විරුද්ධව මේක ගෙනාවනම් මේ අර්බුදයට මේ විදියට ඒ ගොල්ලන්ට එන්නේ නෑ. අන්න ඒ අර්බුදයට මේ සියලුදෙනා කොටු කිරීමේ මූලික පරමාර්ථයක් ඇතිව තමයි අපි මේ විශ්වාසභංගය ගේන්නේ. ඒ ඡන්ද විමසීමේදී එක එක්කෙනා අත උස්සන පැත්ත අනුව තේරෙයි මේ වහාබ්වාදි අන්තවාදය රකින්නේ කවුද? ඊට විරුද්ධව සැබෑ ලෙසම හිටගෙන ඉන්නේ කවුද කියලා.  

 ප්‍රශ්නය:– ජවිපෙ කියලා තිබුණ විශ්වාසභංගය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ අන්තර්ගත කරුණු බලලා කියලා?  

පිළිතුර:- ඕනෑම කෙනෙකුට ඕනෑම තීරණයක් ගන්න පුළුවන්. ඒ තීරණය ඕනෑම කෙනකුගේ දේශපාලන අනාගතයට තීරණාත්මකව බලපානවා.  

 ප්‍රශ්නය:-තවත් අයගේ නම් කියැවුණා. ඇයි බදුර්දීන්ට විතරක් විශ්වාසභංගය ගේන්නේ?  

පිළිතුර:- විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් ඇමැතිවරයකුට එරෙහිව විතරයි. ඇමැති කෙනෙක් විදියට මේ චෝදනාවට ලක්වුණේ බදුර්දීන් විතරයි. ඊළඟට ඉන්නවා මන්ත්‍රි කෙනෙක් මුජිබර් රහුමාන්. මන්ත්‍රීවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගේන්න බෑ. ඊළඟට චෝදනා තියෙන්නේ අසාද් සාලිට හා හිස්බුල්ලාට. ඒ ගොල්ලෝ ආණ්ඩුකාරවරු.   

ආණ්ඩුකාරවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා ගේන්නත් බෑ. ඒ නිසා තමයි අපි මේ ගෙන ආ හැකි එකම පුද්ගලයා වෙච්ච රිෂාද් බදුර්දීන්ට එරෙහිව මේ විශ්වාසභංග යෝජනාව ගේන්නේ.

සාකච්ඡා කළේ  ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

Related posts

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

colombotoday

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday