Colombo Today Local News

බුද්ධි අංශ පාවා දෙනවා… ජාතික ආරක්ෂාව තහවුරු කරනවයි කියා ජනපති පූච්චානම් කියවනවා… මේ විදිහට ජාතික ආරක්ෂව සුරක්ෂිත කරන්නේ කොහොමද?

ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරකට ඇතුළු වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් තිදෙනකු එහි ඇතැම් පැරණි ගොඩනැගිලි පරික්‍ෂා කොට ඇති බවත් එසේ ශ‍්‍රී ලංකාවෙහි නීත්‍යනුකූල හමුදාවක කඳවුරක් පරීක්‍ෂා කිරීමට විදේශිකයන්ට ඉඩ ලැබී ඇත්තේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඊට අවසර ලබා දී ඇත්තේ කෙසේදැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්නකර සිටියි.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘මීට දින කිහිපයකට පෙර ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වෙලා තිබෙනවා. ඔවුන් ඒ නාවික හමුදා කඳවුර තුළ තිබෙන ඇතැම් පැරණි ගොඩනැගිලි පරීක්‍ෂාකොට තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් මේ පරීක්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එකී නාවික හමුදා කඳවුරේ ප‍්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණා.

අපේ රටේ නීත්‍යනුකූල සන්නද්ධ හමුදාවක හමුදා කඳවුරක් මෙසේ විදේශිකයන්ට පරීක්‍ෂා කිරීමට අවසර ලැබෙන්නේ කෙසේද? මේ රටේ ඉතිහාසය තුළ කිසිම හමුදා කඳවුරකට පරීක්‍ෂකයන් ලෙස ඇතුළුවීමට කිසිම විදේශිකයකුට ඉඩ ලැබී නැහැ. ඕනෑම ස්වෛරී, ස්වාධීන රටක හමුදා කඳවුරකට පරීක්‍ෂකයන් ලෙස ඇතුළු වීමට විදේශිකයන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් එක්සත් ජාතිීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග වත්මන් ආණ්ඩුව ඇතිකරගත් සම්මුතිය අනුව දෙමුහුන් අධිකරණය පිහිටුවීමටත් කලින් මෙවැනි ක‍්‍රියාමාර්ග ආරම්භ වී තිබෙනවා.

හමුදා නිලධාරීන් දඩයමට ඉඩදී නිහඩව බලා සිටිය හැකිද?

මේක ඉතාමත් කනගාටුදායක, බරපතළ තත්වයක්. මේ තත්වය අපේ රටේ ජනතාව තව කොතෙක් කලක් ඉවසිය යුතුද? අපේ රට මර බියෙන් නිදහස් කරගත් රණවිරුවන් දවසින් දවස මේ ආකාරයට දඩයම් කිරීමට ඉඩ දී නිහඩව බලා සිටිය යුතුද? අධිකරණයට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට හමුදා කඳවුරු පරීක්‍ෂා කරන්න අවසර ලබාදිය හැකියි. නමුත් අධිකරණයට, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිලධාරීන්ට ශ‍්‍රී ලංකාවේ නීත්‍යනුකූල සන්නද්ධ හමුදාවක කඳවුරක් පරීක්‍ෂා කරන්න අවසර ලබාදිය හැකිද? එහෙම නම් කවර බලයක්, අවසරයක් ඇතිවද එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂකයන් මෙසේ ක‍්‍රියාකර ඇත්තේ?

මේ වන විට කොටි වැනසූ හමුදා නිලධාරීන් රැසක් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටි සංවිධානයෙන් වැටුප් ලබපු, මාධ්‍යවේදියකුගේ වෙසින් පෙනී හිටපු, පොට්ටු අම්මාන් සමග සම්බන්ධීකරණය පවත්වාගෙන ගියපු එක්නැලිගොඩ නම් කොටි සාමාජිකයාගේ ඝාතනයට අදාළව චෝදනා එල්ල කරමිනුයි. මෙසේ බුද්ධි අංශ නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන වද දෙනවා. ඒ ආකාරයට අද බුද්ධි අංශය පාවා දී තිබෙනවා. මේ රට කොටි ත‍්‍රස්තවාදයෙන් බේරාගත්තු මිනිස්සුන්ට අද මේ ආණ්ඩුව සලකන්නේ එහෙමයි. ‘රටේ ජාතික ආරක්ෂාව සුරක්‍ෂිත කරනවා’ කියලා ජනාධිපතිවරයා යන යන තැන ‘පූච්චානම්’ කතා කියනවා. නමුත් මේ විදියට බුද්ධි අංශ පාවා දෙන ආණ්ඩුවක් ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කරන්නේ කොහොමද?

කොටි හිතවාදී සංවිධාන 07ක තහනම ඉවතට

මේ ආකාරයට රට බේරාගත් රණවිරුවන් දඩයම් කරන ගමන් අනෙක් පැත්තෙන් සිදු වන්නේ කුමක්ද? අය-වැය ඉදිරිපත් කරපු දිනයේ මධ්‍යම රාත‍්‍රීයේ ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහත්තයා අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා. එමගින් මෙරට තහනමට ලක්ව තිබූ කොටි හිතවාදී සංවිධාන හා පුද්ගලයන්ගේ නාම ලේඛනය සංශෝධනය කර තිබෙනවා. එම අති විශේෂ ගැසට් නිවේදනය මගින් කොටි හිතවාදී සංවිධාන 07ක මෙරට තහනම ඉවත්කර තිබෙනවා. ඒ අනුව ගෝලීය දෙමළ සංසදය(GTF) නැමති එමානුවෙල් පියතුමා ප‍්‍රධානත්වය දරන උග‍්‍ර කොටි හිතවාදී සංවිධානයේ පවා තහනම ඉවත්කර තිබෙනවා. මෙම සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක සුරේන් සුරන්දිරන් පසුගිය ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේ CNN නාලිකාවට පැවසුවා ‘මහින්ද රාජපක්‍ෂ එල්ලා මරා දමන්න’ ඕනේ කියලා. මේ සංවිධානයේ ප‍්‍රධානියා දෙමළ ඊළමක් වෙනුවෙන් බරපතළ ලෙස පෙනී සිටින්නෙක්. ඒ වගේම බි‍්‍රතාන්‍ය දෙමළ සංසදය(BTF) මේ තහනම ඉවත් කළ සංවිධාන 07ට ඇතුළත්. එම සංවිධානය තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙරට රාජ්‍ය නායකයා ලෙස බි‍්‍රතාන්‍යයට ගිය අවස්ථාවල නේවාසිකව සිටි හෝටල් පවා වටකර ගෙන විරෝධතා පැවැත්වූයේ. මෙයට අමතරව කැනඩා දෙමළ කොංග‍්‍රසය, ඕස්ටේ‍්‍රලියා දෙමළ කොංග‍්‍රසය, කැනඩා දෙමළ ජාතික මණ්ඩලය, දෙමළ ජාතික මණ්ඩලය හා දෙමළ තරුණ සංවිධානය යන ගෝලීයව ක‍්‍රියාත්මක වන සංවිධානවල තහනම ද ඉවත්කර තිබෙනවා. මේ සංවිධාන 07ම ඉතා පැහැදිලිව එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජයට පත් වුණාට පස්සේ රටින් බැහැරව සිටිමින් ශ‍්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක් ගොඩනැගීමට ගෝලීය වශයෙන් දෙමළ ජනතාව සංවිධානය කළ ඒවා. ඒ වගේම මේවා ‘ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදු කළා’ කියන මිත්‍යාව ලෝකය පුරා පතුරුවා හරින්න පැය 24ම ක‍්‍රියාත්මක වූ සංවිධාන. මේ සංවිධාන 07හි තහනම ඉවත් කරන්නේ කවර පදනමක් මතද? ‘මේ අය දැන් දෙමළ ඊළම අතහැරලා’ කියලා බුද්ධි අංශ වාර්තා කර තිබෙනවාද? ආරක්‍ෂක ලේකම්වරයා කවර නිගමන මත ද මෙම සංවිධාන 07හි තහනම ඉවත් කළේ? මේවා තමයි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී දෙමළ ඩයස්පෝරාවට දුන්නු පොරොන්දු.

එහෙන් ඊළම්වාදී සංවිධානවල තහනම ඉවත් කරනවා. මෙහෙන් නාවික හමුදා කඳවුරු තුළට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුද්දන් යවලා අපේ නිලධාරීන්ව අත්අඩංගුවට අරගෙන දඩුවම් කරනවා. එ්කයි අද මේ රටේ සිදු වන්නේ. කොටි ත‍්‍රස්තවාදයට නිදහස ලැබෙන අතරේ රට බේරාපු රණවිරුවන්ට හිරගෙය හිමිවන විදියේ තත්වයක් අද උදා වෙලා තියෙන්නේ. අපි දන්නවා, නොවැම්බර් 23 වැනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට නැවත වතාවක් රැගෙන එනවා හමුදා බුද්ධි අංශයේ අත්අඩංගුවට අරගෙන ඉන්න නිලධාරීන්. සංවිධාන ගණනාවක් සූදානමින් ඉන්නවා හෙට මේ ක‍්‍රියාදාමයට විරුද්ධව උද්ඝෝෂණය කරන්න. එම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. මේක තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුව මේ රට ඇදගෙන ගිහිල්ලා තියෙන තැන.

‘අයවැයෙන් බොරු මැජික් පෙන්වලා’

පරිප්පු සහ තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කරලා මේ ආණ්ඩුව අය-වැයෙන් බොරු මැජික් එකක් පෙන්නලා තිබෙනවා. ‘දින 100’ ආණ්ඩුවෙනුත් මේ විදියට අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා කොත්තමල්ලි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩු කළා. නමුත් අපි දන්නවා ඒ මිල තිබුණේ කොයිතරම් කාලයකටද කියලා. ආප්පයටත් පාලන මිලක් දැම්මානේ. ආප්පයට පාලන මිලක් දාන එක සාධාරණයි, මේක ‘ආප්පයකුගෙන්’ හැදුණු ආණ්ඩුවක් හින්දා. මේ අය-වැයේ තිබෙන රටට හානිකර මෙහෙයුම වහන්න, මාධ්‍යවල ශීර්ෂපාඨ වශයෙන් ගැනීමට පමණක් ප‍්‍රයෝජනවත් වන බොරු මිල අඩු කිරීමක් ගැන කතා කරනවා. මේ මිල අඩු කිරීම තාවකාලික අඩු කිරීමක් පමණයි. ඒකට හේතුව රුපියල දවසින් දවස බාල්දු වීම.

ඇත්ත වශයෙන්ම අය-වැයෙන් සිදුකර ඇත්තේ කුමක්ද? එක පැත්තකින් සම්පූර්ණයෙන්ම දීපු පොරොන්දු නොතකා හැරියා. රාජ්‍ය සේවකයන් බලා හිටියා ‘රුපියල් 10,000 මූලික වැටුපට එකතුවෙයි’ කියලා. විශ‍්‍රාමිකයන් බලා හිටියා ‘රුපියල් 10,000 රජයේ සේවකයන්ගේ මූලික වැටුුපට එකතු වුණාම අපෙත් විශ‍්‍රාම වැටුප ඊට අනුරූපීව වැඩි වේවි’ කියලා. ‘අය-වැයට’ කලින් විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්න දීපූ රුපියල් 5,000 දිගටම ගෙවන්න අය-වැයෙන් මුදල් වෙන් වේවි’ කියලා විශ‍්‍රාමිකයන් හිතුවා. ලංගම සේවකයන් හිතුවා ‘අපේ EPF-ETF, හිග වැටුප් ගෙවන්න අය-වැයෙන් මුදල් වෙන් වේවි’ කියලා. නමුත් ඒ කිසිවක් ඉටු වෙලා නැහැ.

අනෙක් පැත්තෙන් මේ අය-වැයෙන් EPF-ETF අරමුදල් මහ බැංකුවේ භාරකාරත්වයෙන් ඉවත් කරලා පෞද්ගලික භාරකාර මණ්ඩලයකට පවරන්න යෝජනා කරලා තියෙනවා. සේවක අර්ථසාධක අරමුදල කියන්නේ දකුණු ආසියාවේ තිබෙන විශාලතම අරමුදල. ඒ අරමුදල කොල්ලකෑමේ පියවර මේ අය-වැයෙන් අරගෙන තියෙනවා. ලක්‍ෂ 65ක පෞද්ගලික අංශයේ සහ සංස්ථා, මණ්ඩල සේවකයන් මහන්සි වෙලා හම්බ කළ මුදලින් හැදුණු අරමුදල තමන්ගේ ගජමිතුරු ජාවාරම්කරුවන්ට කොල්ලකන්න ඉඩ හදලා දෙන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා.

ආණ්ඩුවේ ගජමිතුරන්ට අලූතින් බැඳුම්කර නිශ්කාශන ආයතනයක්

ඒ වගේම තවත් මහා ගජමිතුරු ජාවාරමකට මේ අය-වැයෙන් සූදානම් වෙනවා. ඒ තමයි රජයේ සුරැකුම්පත් අලෙවි කිරීම සඳහා වෙනම බැඳුම්කර නිශ්කාශන ආයතනයක් පිහිටුවීම. බැඳුම්කර නිශ්කාශන කටයුතු මෙතෙක් සිදු කළේ රජය ණය දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගෙන මහ බැංකුව විසිනුයි. ඒ සිදුවුණු ක‍්‍රමවේදය පිළිබඳව මෙතෙක් කිසිදු වරදක් වාර්තා වී නැහැ. මෙතැන සිදු වුණු වරද තමයි ‘අර්ජුන මහෙන්ද්‍රන්ලා මහ බැංකු බැඳුම්කර මගෝඩිය කරන විට ඒක මහ බැංකුවේ නිලධාරීන්ට හසුවීම’ ඒ නිලධාරීන් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දුන්නා. ඒ අනුව අද වන විට ඔප්පු වෙලා තියෙනවා ‘මහ බැංකුවේ අධීක්‍ෂණය, නියාමනය හා පාලනය යටතේ බැඳුම්කර ගනුදෙනු සිදුවන විට අයුතු ලාභයක්, විශාල අල්ලසක් ගන්න බැහැ’ කියලා. දැන් මේ හොර මගෝඩිය කරන්නයි මහ බැංකුවෙන් බැඳුම්කර ගනුදෙනු ගලවලා වෙනම බැඳුම්කර නිශ්කාශන ආයතනයක් පිහිටුවන්න යන්නේ. ඒ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට අගමැතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ හිතවතුන් දමාවි. ඒ අනුව ඉතා පැහැදිළියි, අර්ජුන මහේන්ද්‍රන්ලා සිදුකළ බැඳුම්කර වංචාවට වඩා කිහිපගුණයක් විශාල වංචාවන් සිදු කරන්නයි මේ බැඳුම්කර නිශ්කාශන ආයතනයක් අලූතෙන් පිහිටුවන්න යන්නේ.

මේ අය වැයෙන් එක පැත්තකින් EPF-ETF අරමුදලට වැඬේ දෙනවා, ගජමිතුරු අධ්‍යක්ෂ මණ්ඩලයක් දාලා කෝටි ගණන් බැඳුම්කර වංචා සිදු කරන්න, බැඳුම්කර නිශ්කාශන ආයතනයක් පිහිටුවනවා. ඒ වගේම විදේශ ආයෝජකයන්ට අසීමිත ලෙස බදු සහන දෙනවා. ඒ අතරේ දේශීය ආයෝජකයන්ට හැම පැත්තකින්ම අවහිරතා ඇති කරලා තියෙනවා.

දැන් මේ රටට මොකද වෙන්නේ? කොටි සංවිධානයට හිතවත් විදේශ සංවිධාන 07ක තහනම ඉවත් වෙනවා. වවුනියාවේ පෝස්ටර් වදිනවා ‘ඊළම අපේ පිපාසය-මහ විරුවන් සමරමු!’ කියලා. බරපතළම දේ තමයි, ‘අය-වැයෙන් විදේශ ආයෝජකයන්ට දීපු සහන කාටද ලැබෙන්නේ? කියන එක. කොටි සංවිධානය මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරමෙන් උපයාගත් කළු සල්ලි සතු, ඉහත කී තහනම ඉවත් කළ සංවිධාන 07ටයි ඒ සහන ලැබෙන්නේ. ‘ඔන්න අපි නීත්‍යනුකූල බාධා ඉවත් කළා. මේ රට දැන් නුඹලාගේ සුර විමනක් බවට පත්කර ගනිල්ලා’ කියලයි ඒ සංවිධානවලට මේ ආණ්ඩුව දැන් කියන්නේ. බදු සහන යටතේ රටේ කෘෂි ඉඩම්, විකුණා දැමීමට නියමිත රාජ්‍ය ව්‍යවසාය මිලදී ගැනීමට මේ කොටි හිතවාදී සංවිධාන දැන් පුල පුලා බලා සිටිනවා.

ඒ වගේම ලබන මාර්තු වන විට සීපා ගිවිසුම වෙනත් නමකින් ගෙනවිත් මේ රටේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන් ඉන්දියානුකරණයට ලක් කරන්නත් මලික් සමරවික‍්‍රම ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සූදානම් වෙනවා. මේ රටේ රස්සා ටික ඒ අනුව ඉන්දියානුවන් විසින් ගිලගන්නවා. මේ අපරාධකාරී මෙහෙයුම දෙස නිහඩව බලා සිටිනවා නම් ‘මේ මව් පොළොවට එතරම් දෝහීවීමක් තවත් නැහැ’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකුට පහරදී මරා දාලා

colombotoday

විග්නේෂ්වරන්ගේ රැස්වීමෙන් කොටි මූණ මතුවෙයි… කොටි ලාංඡනය සහිත ආරාධනා පත්‍රිකා බෙදයි…

colombotoday

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday

මෛත්‍රීගේ මෛත්‍රිය 01දායින් නිමයි.. සමාවක් නොලැබෙයි, මඩුවල්ගෙන් තලන්න පොලිස්පතිට නියෝග !

colombotoday

උසාවිය ආණ්ඩුවේ කුණු හෝදයි_ සරසවි සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයේ

colombotoday

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin