Colombo Today Local News

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

BBS_gnanasara

බුරුමයේ බෞද්ධයින් අශ්වින් විරාතු හිමියන්ගේ හඬට වඩා හොඳින් කන් දුන්නා සේම මෙරට දැහිතකාමීන් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගේ හඬට කන් දුන් බව රහසක්‌ නොවේ. බුරුම ආණ්‌ඩුව අශ්වින් විරාතු හිමියන්ගේ හඬට කන්දෙමින් එරට බහුතර ආගමික කණ්‌ඩායම එනම් බෞද්ධයින් සුරැකීමට නීති සම්මත කළේ පසුගිය වසරේදීය. ඒ අතර බෞද්ධ කාන්තාවක්‌ අන්‍යාගමිකයෙක්‌ සමඟ විවාහවීමට සූදානම් වන්නේ නම් ඒ සඳහා රජයේ අවසර ගත යුතු බව දැක්‌වෙන පනතක්‌ ද විය. බුරුමයේ මුස්‌ලිම් ව්‍යාප්තිය නැවැත්වීමට විශේෂ නීති අවශ්‍ය බව 989 ව්‍යාපාරයේ නායක අශ්වින් විරාතු හිමියෝ අවධාරණය කර සිටියහ. ලොවම ගරුකරන මානවහිතවාදී නායිකාවක වන අවුන්සාන් සුකී ද අශ්වින් විරාතු හිමියන්ගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට පහර දීමට හෝ අකුල් හෙලන්නට පැමිණියේ නැත. ලොව බොහෝ මානව හිමිකම් සංවිධාන අශ්වින් විරාතු හිමියන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව අවුන්සාන් සුකී නිහඬව සිටින්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියහ. නමුත් අවුන්සාන් සුකී මේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට පහර දීමට ඉදිරිපත් වූවානම් ඇගේ පක්‍ෂයට මැතිවරණයේ ජයග්‍රහණය අත්වන්නේද නැත.

එහෙත් මෙරට දේශපාලනඥයෝ නම් බොදුබල සේනාවට දැඩිසේ බැට දුන්හ. වර්තමාන යහපාලන ආණ්‌ඩුව යටතේ නම් බුරුම බෞද්ධ නායක අශ්වින් විරාතු හිමියන්ට ලංකාවට පැමිණිමට වීසා ලැබෙන්නේ ද නැත. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා අශ්වින් විරාතු හිමියන්ට වීසා ලබාදීමට සිය අනුමැතිය ලබා දුන්නේ වහාබ්වාදීන්ගේ විරෝධතා එල්ලවෙද්දීය. වසර කිහිපයක්‌ තිස්‌සේ බොදුබල සේනාව ප්‍රකාශ කළ කරුණු සත්‍ය බව දැන් බොහෝ දෙනාට අවබෝධ වී ඇති සෙයකි. විශේෂයෙන්ම වහාබ්වාදී මුස්‌ලිම් සංවිධාන නිසා මෙරට සාම්ප්‍රදායික මුස්‌ලිම් ප්‍රජාවට ද තර්ජනයක්‌ එල්ල වන බව ඥනසාර හිමියෝ නිරන්තරව ප්‍රකාශ කළහ. ලංකාවට ද මුස්‌ලිම් මූලධර්මවාදීන්ගේ තර්ජන තිබෙන බව නිරන්තරව ප්‍රකාශ කළේ බොදුබල සේනාවයි. දැන් ශ්‍රී ලාංකික පවුල් 09 කට අයත් 45 දෙනෙක්‌ තුර්කිය හරහා සිරියාවට ගොස්‌ සිටින්නේ කවරක්‌ සඳහා ද? අබුබකර් බැග්ඩෑඩ් සමඟ එක්‌ව මුස්‌ලිම් කාලිපාතය එනම් මුස්‌ලිම් රාජ්‍යය පිහිටුවීමට නොවේද? අපේ බුද්ධි අංශ මේ ගැන වඩා හොඳින් අවධානය යොමු කළ යුතු බව බොදුබල සේනාව මීට වසරකට පමණ පෙරදී හඬනගන විට සමහරු ඊට සිනහසුනහ. නමුත් වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා පවා ප්‍රකාශ කර ඇත්තේ ලාංකිකයන් පිරිසක්‌ සිරියාවට ගොස්‌ අයිසිස්‌ සංවිධානයට බැඳී ඇති බව තහවුරුව ඇති බවයි. එසේනම් මේ වහාබ් යක්‌ෂයාගෙන් මේ බෞද්ධ රාජ්‍යය බේරා ගැනීමට කටයුතු කළ යුතු නොවේද?

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වීම මගින් බොදුබල සේනාව අත්වැරදීමක්‌ සිදුකර ගත් බව රහසක්‌ නොවේ. 2004 දී ධර්ම රාජ්‍යය ඇති කිරීම වෙනුවෙන් ඡන්ද ලක්‍ෂ පහක්‌ ගත් පක්‍ෂය ද අද එක්‌සත් ජාතික පක්‍ෂයේ කෝට්‌ටේ බලමණ්‌ඩලය බවට පත්ව තිබේ. ධර්මරාජ්‍යය ලොප්වී දැන් යහපාලන රාජ්‍යය කරලියට පැමිණ ඇත. ජනවාරි 08 වැනිදා සිදුවූ දේදුනු විප්ලවයෙන් උපන් යහපාලන ආණ්‌ඩුවට වසරක්‌ ගත වී ඇතත් ජනතාවට දැනුණු යහපතක්‌ හෝ යහපාලනයක්‌ නම් නොමැත. කවරක්‌වෙතත් බොදුබල සේනාව නිරන්තරව යහපාලන ආණ්‌ඩුවත් ජනපතිවරයාත් විවේචනය කරනු ලැබුවේ ඔවුන් සුළු ජාතීන්ගේ ඉල්ලීම්වලට කන් දෙමින් කටයුතු කරතත් මහ ජාතිය ගැන තැකීමක්‌ නොකරන බව පවසමිනි. බොදුබල සේනාවේ මේ විවේචනය සම්බන්ධ තාර්කික පදනමක්‌ තිබුණු බව රහසක්‌ නොවේ.

එහෙත් පසුගිය සතියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී පැයක පමණ කාලයක්‌ සාකච්ඡා පැවැත්වීම යහපාලනය වෙනුවෙන් කටයුතු කළ සමහර සංවිධානවල ද විමතියට හේතුවක්‌ විය. බොදුබල සේනාව තම අදහස්‌ කෙලින්ම ජනපතිවරයා හමුවේ ඉදිරිපත් කිරීම රටටද යහපතකි. බොදුබල සේනාව ජනපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලමින් ලිපියක්‌ යවනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 09 වැනිදාය. ඒ අනුව පසුගිය සතියේදී ඒ ලිපියට පිළිතුරු වශයෙන් ජනපති හමුව සිදුවිය.

මෙහිදී බොදුබල සේනා නියෝජිත පිරිස යහපාලන ආණ්‌ඩුවේ ප්‍රධානීන් නිරන්තරව ජාතිවාදී අන්තවාදී කල්ලියක්‌ ලෙස බොදුබල සේනාව හෙළා දැකීමට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇත. එමෙන්ම වවුනියාව බෝගස්‌වැව ප්‍රදේශයේ පදිංචි කරනු ලැබූ සිංහල පවුල් 3500 කට අත්ව තිබෙන ඉරණම පිළිබඳව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කරුණු දක්‌වා ඇත. හමුදාවේ මැදිහත්වීම මත මෙම සිංහල පවුල් පදිංචි කරනු ලැබූ අතර යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු මෙහි වැසියන්ට කණකොකා හඬා ඇත. එනිසාම පවුල් දහසක්‌ පමණ බෝගස්‌වැව ප්‍රදේශය හැර දමා පැමිණ තිබේ. මේ අසරණ සිංහලයන්ගේ ගම්මාන

රැකගැනීම වෙනුවෙන් මැදිහත් වෙන ලෙස බොදුබල සේනාව ජනපතිවරයාට දැනුම්දී ඇත.

ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවේදී විල්පත්තු වන සංහාරය පිළිබඳව ද බොදුබල සේනා නියෝජිතයෝ කරුණු පැහැදිලි කර ඇත.

විල්පත්තු සිද්ධියට සම්බන්ධ ඇමැතිවරුන් සමඟ තමන්ට සාකච්ඡාවක්‌ ලබාදෙන ලෙසත් මෙහිදී ඥනසාර හිමියෝ ජනපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර ඇත. බොදුබල සේනා නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාව සඳහා ජනපතිවරයා සහභාගි වී ඇත්තේ තනියම වීම විශේෂයකි. රාජපක්‍ෂ ජනපතිවරයා පරාජය වීමට මූලිකවම බලපෑවේ බොදුබල සේනාව බව කියන නිසා ඔබතුමා අපේ සංවිධානයට විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතු යෑයි ඥනසාර හිමියෝ පැවසූ විට ජනපතිවරයා සිනහ පළකර ඇත.

රටේ බලවත් ආගමික ව්‍යාපාරය වශයෙන් මෙරට ප්‍රධාන පුරවැසියා සමඟ නිවැරදි ගනුදෙනුවක්‌ තිබීම බොදුබල සේනාවට වැදගත්ය. අන්තවාදී කණ්‌ඩායම් පිළිබඳව ඇති තොරතුරු තමන්ට ලබාදෙන්නැයි ද මෙහිදී ජනපතිවරයා දැනුම් දී තිබේ. දේදුනු විප්ලවයට දායක වූ සමහර සංවිධාන නම්, ජනපතිවරයා බොදුබල සේනාව සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ සතුටු නොවන බව නොරහසකි. එහෙත් මෙරට බහුතර සිංහල බෞද්ධයන්ගේ හද ගැහෙනා රාවය පිළිබඳ රටේ විධායකයට ද අවබෝධයක්‌ තිබිය යුතුය. මෙරට ආගමික සහජීවනය රැකෙන්නේ ද බෞද්ධ සමාජය සිදුකරන කැපකිරීම් හේතුවෙනි. බෞද්ධයන්ගේ සෙවන යට සියලු ආගමිකයන්ට සහජීවනයෙන් ජීවත් විය හැකි බව නොරහසකි.

* චතුර පමුණුව

Related posts

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

කුරාණය, හදීස්, ෂරියා නීතිය හැර මුස්ලිම් ජාතිකයන්ට වෙනත් නීතියක් නෑ. බහු විවහා කර ගන්නේ පිහිට වෙන්න. අසාත් සාලි තප්පුලයි

colombotoday

කොරෝනා මරණ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

තැපැල් සේවක වර්ජනය අදත්

colombotoday

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday