Colombo Today Local News

මං දුමින්දට සමාව දීලා ගොඩක් කල්. මගේ සැමියා රජෙක් වගේ. 100% ක්ම රන්ජන් වැරදියි. ප‍්‍රචාරය කරන අය 1000% ක් වැරදියි.

වර්තමානයේ මෙරට දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ වැඩිපුරම කතාබහට ලක්වන මන්තී‍්‍රවරිය වන්නේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියයි. එල්ලවී ඇති චෝදනා, තර්ජන, ගර්ජන, මඩ ප‍්‍රහාර ඇතුළු කරුණු කාරණා විමසීම සඳහා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ එම මහත්මියගේ නිවස වෙත පියනැඟුවෙමු. හෝකන්දර පිහිටි ඇයගේ නිවස වෙත අප යන විට ඇය සිය දරු දෙදෙනා සහ ස්වාමිපුරුෂයා සමග පැමිණ අප පිළිගත්තේ ‘‘තැන හොයා ගන්න අමාරු වුණේ නෑ නේද?’’ යන්න විමසමිනි. ඇය හරිද වැරදිද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමින් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සමග ‘දිවයින ඉරිද සංග‍්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාව පහතින් පෙළගස්වමු.
 
 
 ප‍්‍රශ්නය : මන්තී‍්‍රතුමිය නොහිතපු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා නේද?
 
 පිළිතුර: ඔව්.. හිතවතෙකු, සමකාලීනයකු සමග සිදු කළ දුරකථන සංවාද කිහිපයක් කිහිපදෙනකුගේ අවශ්‍යතා මත, සංස්කරණය කරමින් මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. ඇත්තටම මෙය ජීවිතයේ හොඳ පරීක්‍ෂණයක්. එයට මම ඇතුළු මගේ පවුල හොඳින් මුහුණ දෙමින් සිටිනවා. කවුරු හරි හිතනවා නම් සංස්කරණය කළ හඬපට හෝ නොකළ හඬපටවලින් මාව වට්ටන්න පුළුවන් කියලා එය සිහිනයක් පමණයි.
 
 ප‍්‍රශ්නය: රංජන් රාමනායක මහතා ඔබගේ මිත‍්‍රයෙක්ද?
 
 පිළිතුර : ඔව්.. එතුමා මගේ මිත‍්‍රයෙක්. අපි නිතර විහිළු තහලූ කරනවා. පාර්ලිමේන්තුවේ අපගේ කල්ලියක් ඉන්නවා. හෙක්ටර්, කාවින්ද, මුජිබර්, ආශු මාරසිංහ, තුෂාර ඉඳුනිල්, රෝහිණී කවිරත්න, තුසිතා විජේමාන්න, රංජන් රාමනායක, බන්දුලාල්, සුජීව සේනසිංහ ඒ කල්ලියයි. අපි කන්න යන්නේ එකට. වැඩ කරන්නේ එකට. විහිළු තහලූ කරන්නේ එකට. අපි අතර ලොකු හිතවත්කමක් තිබෙනවා. දැන් එළියට ඇවිත් තිබෙන්නේ සංස්කරණය කළ හා නොකළ රංජන් රාමනායක මහතා සමග කළ සංවාද ඇතුළත් හඬපට. ඇත්තෙන්ම අපි අනිත් කාන්තාවන් සමග කළ විහිළු තහලූ ඇතුළත් හඬ පටත් එළියට ආවනම් අපි කොපමණ විහිළුවෙන් තහලූවෙන් ඉන්නවාද කියලා ඔබලාට දැනේවි. රාජකාරි ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයකුත් අපට තිබෙන බව අමතක කරන්න එපා. අපි හොර මැරකම් කරලා නැහැ. .. හඬපට එළියට දමා අපේ චරිත ඝාතනය කරන්න හදන්නේ අපගේ වෙන වැරදි නැති නිසයි.
 
 ප‍්‍රශ්නය : රංජන් රාමනායක මහතා ඔබගේ කල්ලියේ සාමාජිකයෙක් යාළුවෙක් යැයි ඔබ කියනවා. එතරම් හිතවතෙක් මේ කළ දේ හරිද?
 
 පිළිතුර : කොහොමත් ම නැහැ. මගේ අනුදැනුමකින් තොරව දුරකථන සංවාද පටිගත කළ එක සියයට සියයක්ම වැරදියි. නමුත් මට ඔබට කියන්න දෙයක් තිබෙනවා. රංජන් රාමනායක මහතා කළ වැරැද්දට වඩා දහස් ගුණයක වරදක් ඒ හඬපට මගේ අනුදැනුමකින් තොරව මාධ්‍ය වෙත මුදාහරිමින් තවත් පාර්ශ්වයක් සිදු කරමින් සිටිනවා.
 
 ප‍්‍රශ්නය : ඔබගේ අනුදැනුමකින් තොරව එම හඬපට මාධ්‍ය වෙත නිකුත් කරන අයවලූන් සඳහා යම් පියවරක් ගැනීමට ඔබ අපේක්‍ෂා කරනවාද?
 
 පිළිතුර :අනිවාර්යයෙන්ම. පරිගණක අපරාධ පිළිබඳ පනතේ (24) 7 වන වගන්තිය අනුව එම අය වරදක් කර තිබෙනවා. ඒ අනුව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට කටයුතු කරනවා. කුණු රසයට කැමැති අයට මේ රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න දෙන්න බැහැ.
 
 ප‍්‍රශ්නය : ඔබ මේ සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සැර කතාවක් කළ බව අපට දකින්නට ලැබුණා.

hiru2

පිළිතුර: ඉවසලා ඉවසලා බැරිම තැන තමයි හඬ අවදි කරන්න තීරණය කළේ. මේවාට නිහඬව සිටියහොත් දවසින් දවස සමාජ ඉදිරියේ මම නරක ගැහැනියක් වෙනවා. මට ඉතා හොඳ සැමියෙක් සහ ආදරණීය දරු දෙදෙනෙක් ඉන්නවා. මම නරක
 
 ගැහැනියක් බව පෙන්වන්න කිහිපදෙනකුට අවශ්‍ය වී තිබෙනවා. ඒ ඇයි දැයි මුළු රටම දන්නවා. නිහඬව සිට ඊට ඉඩ දෙන්න බැහැ. ඒ නිසයි ටික දවසක් නිහඬව සිට පාර්ලිමේන්තුවේදී මගේ අදහස ප‍්‍රකාශ කළේ.
 
 ප‍්‍රශ්නය : මෙම දුරකතන හඬපට සිදුවීම් නිසා ඔබගේ සැමියා බරපතළ ලෙස ඔබට පහර දුන් බවත් ඉන්පසු ඔබගෙන් ඉවත්ව ගිය බවත් ඇතැම් සමාජ මාධ්‍ය තුළ ප‍්‍රවෘත්ති පළවී තිබුණා.
 
 පිළිතුර : මගේ සැමියා මගෙන් ඉවත්වී ගියා කියලා කියනවා නම් දැන් ඔබගේ ඉදිරියේ ඉන්නේ මගේ ස්වාමියා නොවෙයිද? මගේ සැමියා මට පහරදී ඇත්නම් මගේ ඉදිරියේ ඉන්න ඔබට එවැනි තත්ත්වයක් පෙනෙන්නට ඕනෑ නේද? ඇත්තටම ගැහැනියගෙ අගය දන්නේ නැති මිනිස්සු ඔය වගේ කතා කියනවා. හදනවා. බොරු කතා හදන අයගෙන් මම අහන්නේ ඔබලාට අම්මෙක්, බිරිඳක්, නංගියෙක්, අක්කා කෙනෙක් නැද්ද කියලයි. මම ඔවුන්ට කියන්නේ ඔබ ඕන තරම් කතා හදන්න මම වැටෙන්නේ නැහැ. නමුත් ඔබගේ කි‍්‍රයාවේ කර්ම ප‍්‍රතිඵලය ඔබ පසුපස අනිවාර්යයෙන්ම පැමිණෙයි කියලයි.
 
 ප‍්‍රශ්නය: මන්තී‍්‍රතුමිය ඔබගේ හඬපට යැයි කියමින් මුදා හැර ඇති හඬපට ඔබගේ නොවේ යැයි ඔබ කියනවාද?
 
 පිළිතුර : බොහෝ ඒවා සංස්කරණය කර තිබෙනවා. අපි ඒවා සංස්කරණය කර නැතැයි කියලා කියමුකෝ. ඒ සියල්ල නිකන් ඕපාදූප කතා කරන දේවල් නෙවෙයිද? ඇත්තටම ඒ කතාවලින් රටේ ජනතාවට වැඩක් තියෙනවාද? මේ හඬපටවලින් මිනිස්සුන්ගේ බඩගිනි නිවෙනවාද?… මේ දේ අහන්න… ඔය කතා කළ ඕපා දූප අපි කිසිදා සමාජය ඉස්සරහට ගිිහින් කතා කර තිබෙනවාද? අපි කතා කළේ යාලූවෝ සමග පමණයි.
 
 ප‍්‍රශ්නය : ඔබගේ යාලූවා දුරකථන සංවාද පටිගත කරන බව දැනගෙන සිටියද?
 
 පිළිතුර : මෙහෙමයි… ඔහු හොරු අල්ලන සිදුවීම් පටිගත කරන බව, ස්පීකර් ෆෝන් දාලා කතා කරන බව දැනගෙන හිටියා. නමුත් අපි කතා කරන ඒවා පටිගත කරන බව කොහොමටවත්ම දැනගෙන සිටියේ නැහැ.
 
 ප‍්‍රශ්නය : ඔහු මිනිසුන් ‘‘බ්ලැක් මේල්’’ කරන්න දේශපාලන වාසිගන්න හඬපට තබාගෙන සිටියා වෙන්න බැරිද?
 
 පිළිතුර : මම එහෙම හිතන්නේ නැහැ. ඔහුට එහෙම ඕන වුණානම් අපට අමාරු කාලේ ඔය ලොක්කන්ගේ හඬපටයක් දෙකක් එළියට දාන්න ඔහුට පුළුවන්කම තිබුණනේ. එහෙම වුණා නම් දේශපාලනිකව අපිට වාසි ගන්න තිබුණා. නමුත් ඔහු එහෙම කළේ නැහැ. ඔහු සද්භාවයෙන් ම ඒ දේ කළා නම් සත්‍ය කවදා හෝ එළියට ඒවි.
 
 ප‍්‍රශ්නය : ඇත්තටම ‘ලීක්’ වුණේ රංජන්ගේ දුරකථන සංවාද… නමුත් දැන් එයින් පහර වදින්නේ ඔබට. මන්තී‍්‍රතුමිය ඔබව ඉලක්ක කර පහර වදින්නේ ඇයි කියලා හිතනවාද?
 
 පිළිතුර : ඇත්තටම මෙය කරන්නේ යම් කණ්ඩායමක්. මාව වට්ටවන්න ඔවුන් මීට කලින් සිට බොහෝ උත්සාහ කළා. නමුත් එය බැරිවූ තැන දැන් මෙහෙම මඩ ගහනවා. මට මඩ ගහන්න වෙන දේවල් නැහැ. මට වෙන චෝදනා නැහැ….
 
 ප‍්‍රශ්නය : චෝදනා නැහැ කියන්න බැහැ නේද? ඔබ ඩිපෙන්ඩර් රථයකින් තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් පහර දුන් සිදුවීමක් අධිකරණය හමුවේ විභාග වෙනවා.
 
 පිළිතුර : ඔව්. එහි තීන්දුව තවම ලැබී නැහැ. අධිකරණය මගෙන් වරදකරු නිවැරැදිකරුද කියලා විමසූ විට මම නිවැරැදිකරු බව සඳහන් කළා. මට ඕනැ අධිකරණය මගින් ලැබෙන තීන්දුවකින් සමාජය ඉදිරියට යෑමටයි. එම නඩුව ලබන මැයි මාසයේ නැවත කැඳවනවා. මම අසනීපවෙලා කියලා හෝ වෙන දේවල් කියලා අධිකරණය මගහැර නැහැ. මට ඇති එකම චෝදනාව එය පමණයි.
 
 ප‍්‍රශ්නය : මන්තී‍්‍රතුමිය ප‍්‍රශ්නවලින් තෙම්පරාදු වෙලා වගෙයි දැන්.
 
 පිළිතුර : හැම දෙයකින්ම අපි පන්නරය ලබනවා. අප රටේ දේශපාලනයට පැමිණි සෑම කාන්තාවකටම පොඩියට හෝ මඩක් ගහලා තිබෙනවා. ඒ අතරින් වැඩියෙන්ම මඩකාපු කාන්තාව මම කියලයි මට හිතෙන්නේ. මඩ
 
 ගොඬේ ඉන්නවා නම් ඇෙඟ් මඩ ගාගන්න වෙන බව අප දැන ගත යුතුයි. ඉස්සරහට ඔයිට වඩා ප‍්‍රශ්න ඒවි. ඒ හැම දෙයකටම මම මුහුණ දෙනවා. ඒ සඳහා ශක්තිය මට තිබෙනවා. ඇත්තටම මඩ ගැසීමේ සීමාව දැන් මඩගහලම ඉවරවෙලා තියෙන්නේ. දැන් කරනවා නම් තියෙන්නේ මාව ඝාතනය කිරීම පමණයි.
 
 ප‍්‍රශ්නය: මන්තී‍්‍රතුමිය දේශපාලනයෙන් එහා ගිය කාරණාවක් ඔබගෙන් අහන්නද?
 
 පිළිතුර : හා හා … ඕන දෙයක් අහන්න.
 
 ප‍්‍රශ්නය : ඔබට ඔබගේ සැමියා මුණගැසුණේ කොහොමද? ආදර සම්බන්ධතාවක්ද?
 
 පිළිතුර : අපි විවාහ වුණේ ආදර සම්බන්ධතාවකින්. ඔහු වගේ සැමියෙක් ලබන්න මම පිං කරලා තිබෙනවා. අපි විවාහ වූ දවසේ අපි එකිනෙකාට වූ පොරොන්දුවක් තිබෙනවා.
 
 ප‍්‍රශ්නය: ඒ මොකක්ද කියලා අපිට කියන්න පුළුවන් කමක් තිබෙනවාද?
 
 පිළිතුර : පුළුවන්. අපිට මොන ප‍්‍රශ්න ආවත් අපි දෙන්නා වෙනුවෙන් අපි දෙන්නා එකට ඉන්න බව ඒ පොරොන්දුවයි. අපි හමුවට පැමිණි සෑම ප‍්‍රශ්නයකදීම අපිව බේරගත්තේ අපි අතර තිබෙන විශ්වාසය සහ ආදරයයි. හිරාන් මේ මොහොතේ මගෙත් සමග ආදරෙන් සහයෝගයෙන්, විශ්වාසයෙන් ඉන්න හයිය නිසා තමයි මට මේ තරම් හොඳින් සමාජයට මුහුණ දෙන්න හැකිවී තිබෙන්නේ. ඔහු ආදරණීය සැමියෙක්, පියෙක් ලෙස මට දැවැන්ත ශක්තියක්. මගේ තාත්තා නැතිවූ පසු මම ගොඩක් වැටිලා හිටියේ. මට ශක්තියක් වෙන්න සහ ආරක්‍ෂාවට පිරිමියෙක් හිටියේ නැහැ. නමුත් මම විවාහ වූ පසු හිරාන් මට යෝධ ශක්තියක් වුණා. තාත්තා දුන් ආරක්‍ෂාව සහ ශක්තිය මට දැන් හිරාන්ගෙන් ලැබෙනවා.
 
 ප‍්‍රශ්නය : මේ හැල හැප්පීම් නිසා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්තී‍්‍රවරියගේ දේශපාලන ගමනට තිත වදීවිද?
 
 පිළිතුර: එහෙම වෙන්නේ කොහොමද? මම මිනී මරලා, මංකොල්ලකාලා, හොරමැරකම් කරලා, වංචා කරලා තියෙනවාද? දේශපාලනය සහ පෞද්ගලිකත්ව යනු කාරණා දෙකක්. හඬපට සිදුවීමේ කතාව මිනිසුන්ට සරලව තේරෙනවා. අප රටේ ඉන්න දේශපාලනඥයන්ගේ ඉහළ සිට පහළට අය අරගෙන ඒ අයගේ පෞද්ගලික ජීවිත දෙස මේ විදිහට බැලූවොත් ඒ කාටවත් දේශපාලනය කරන්න වෙන එකක් නැහැ. මම කතා කළේ මගේ සමකාලීනයෙක් සමගයි. අද කි‍්‍රයාවෙන් වැරදි කළ අය සාදු චරිත වගේ සිට අපට චරිත සහතික දෙනවා. ඒ අයගේ ඇත්ත එළියට ආවොත් ඔවුන්ගේ දේශපේ‍්‍රමී සළුපිළි ගැලවී වැටේවි. මිනිස්සු මගෙත් සමග ඉන්නවා නම් මට දේශපාලනයට සමු දෙන්න ඕන වෙන එකක් නැහැ.
 
 ප‍්‍රශ්නය: සිරගත කර සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමිවුවහොත් ඔබ ඒ සම්බන්ධයෙන් ගනු ලබන කි‍්‍රයා මාර්ගය කුමක්ද?
 
 පිළිතුර : ඇත්තටම එක දෙයක් මම පළමුවෙන් කියන්න ඕනෑ. මට දුමින්ද සිල්වා සමග පෞද්ගලික තරහක් කොහෙත්ම නැහැ. එහෙම තරහක් තාත්තා නැතිවූ මුල් කාලයේ තිබුණා. ඔබ දන්නවාද මම ඔහුට සමාව දී ඇති බව. ඔහුට මම සමාව දුන්නේ අද ඊයේක නෙවෙයි.
 
 ප‍්‍රශ්නය : ඔබ ඔහුට සමාව දුන්නේ කවදාද?
 
 පිළිතුර : මම ඔහුට සමාව දුන්නේ ඔහුට මරණ දඬුවම හිමිවූ දවසෙයි. ඔහුගේ ඇස්වල තිබූ අසරණකම මම දැක්කා. මම වසර පහක් විඳපු අසරණකම දුමින්ද සිල්වාගේ අම්මාගේ තාත්තාගේ නංගිගේ ඇස්වල එදා දැක්කා. ඔවුන්ගෙ අසරණකම හංගාගෙන ඔවුන් සිනාසෙන හැටි මම දැක්කා. මට එදා ඇඬුණේ මම ක්‍රෝධ කරන කාන්තාවක් නොවන නිසයි. මරණ දඬුවම ලැබෙද්දී මට හිතුණේ දෙයියනේ මේ තවත් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක් නේද කියලයි. මේ මනුස්සයට හිරගෙදර ඇතුළේ කොපමණ කල් ඉන්න වෙයිද කියලා මට හිතුණා. මං අවංකව කියන්නේ මම ඔහුට සමාව දුන්නේ එදා දවසෙයි. මමත් දැන් අම්මා කෙනෙක්. අපි කර්මඵල විශ්වාස කරනවා. මගේ පියා අපට අහිමි වුණේ පෙර ආත්මවල කළ පව් නිසාවෙන්න ඇති. අපිත් ඒ පව් සඳහා සම්බන්ධ වෙන්න ඇති. මේ ආත්මයේ අපට මෙහෙම මුහුණ දෙන්න සිදු වුණේ ඒ කර්මඵල නිසා කියලයි මම හිතන්නේ.
 
 ප‍්‍රශ්නය: නමුත් ඔහු හිරගත කිරීම කුමන්ත‍්‍රණයක් බවයි එම පාර්ශ්වය කියා සිටින්නේ. රංජන් රාමනායක මහතාගේ හඬපට තුළින් ඒ බව සනාථ වන බව සඳහන් වෙනවා.
 
 පිළිතුර – මේ නඩුව අවසන් වී ඇති නිසා මම ඒ ගැන කතා කරන්නම්. කරුණාකර ඔබ තේරුම් ගන්න අධිකරණයෙන් තීන්දු දෙන්නේ සාක්‍ෂි මතයි. ශානි අබේසේකර මහතාගේ සාක්‍ෂි තුළ දුමින්ද සිල්වා, වෙඩි තැබූ බවට කිසි සඳහනක් නැහැ. දුමින්දට පළවැනි වෙඩිල්ල වැදුණේ් නැහැ කියලා එම සාක්‍ෂිවල කිසි තැනක නැහැ. ඇත්තටම දුමින්දට තමයි පළමු වෙඩිල්ල වැදුණේ. ඒ එල්ල වුණෙත් අපේ පාර්ශ්වයෙන්. ඒවා ඔක්කොම හරි. මේ මිනීමැරුම් ඔහුට වළක්වා ගන්න තිබුණා. ඇත්ත එයයි. ඇත්ත දෙකක් තියෙන්නෙ විදිහක් නැහැ. මම ඇත්තට පිටුපාන ගැහැනියක් නෙමෙයි.
 
 ප‍්‍රශ්නය : හඬපට රටේ ප‍්‍රශ්න වසන් කරන ආවරණයක් වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
 
 පිළිතුර : ඇත්තටම ඔව්. ආණ්ඩුවේ නොහැකියාව
 
 වසාගන්න මේ හඬපට භාවිතා කරනවා. රටේ සම්පත් පිටරැටියන්ට කිසිදා විකුණන්නේ නැතැයි කී ආණ්ඩුව බලයට පැමිණ මාස දෙකක් ගතවෙද්දී අක්කර ගණනාවක් පිටරටට ලබා දුන්නා අපේ රජය එය දුන්නා නම් මාධ්‍ය කියන්නේ අප පිටරටට රට විකුණනවා කියලයි. නමුත් මේ රජය එය දුන් පසු ආයෝජනය කියනවා. මොවුන් හැමවිටම බොරුව රජය කරවනවා. මේ බොරුවෙන් ඔවුන්ට වැඩිකල් දුවන්න වෙන්නේ නැහැ. යට ගිය අය පෙන්නා ගොඩ ගියඅය අද ඒ ගැන කතා කරනවාද? පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මාස නවයක් වෙනවා. ඔවුන්ට දඬුවම් දෙනවා කිව්වා. කෝ තවම දඬුවම් දුන්නාද? ඉස්ලාම් අන්තවාදය ගැන කියෙව්වා. සාෆි වෛද්‍යවරයා ගැන කියෙව්වා. මම මේ ආණ්ඩුවෙන් අහන්නේ ඒ කියවපු ඒවා වෙනුවෙන් ගත්ත අලූත් පියවරයන් කෝ කියලයි. තව දෙයක් අමතක වුණා. එම්. සී. සී. ගිවිසුම ඉරා දමන බව කිව්වා. කෝ එය ඉරා දැම්මද? 2021 වසර වනවිට රට බරපතළ අගාධයකට වැටෙනවා. එයින් ගොඩඒමට මේ රජයට වැඩපිළිවෙළක් නැහැ. බොරු කියලා ආණ්ඩුව බලය ගත්තට බොරු කරමින් ආණ්ඩු කරන්න බැහැ.
 
 ප‍්‍රශ්නය: එක්සත් ජාතික පක්‍ෂය තුළ බරපතළ අර්බුද රැසක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වය ඉදිරි මහ මැතිවරණයට බරපතළ ලෙස අහිතකරව බලපායි යැයි සිතන්න පුළුවන්. ඇත්තටම මහ මැතිවරණයට මුහුණදී වැඩි බලයක් ගන්න මෙම ප‍්‍රශ්න බාධාවක් නොවේද?
 
 පිළිතුර : ඇත්තටම මෙය ලොකු ප‍්‍රශ්නයක්. මෙම ප‍්‍රශ්න කඩිනමින් විසඳා ගත යුතුයි. ඇත්තෙන්ම මේ වනවිට වත්මන් රජයේ අඩුපාඩු රැසක් තිබෙනවා. නමුත් ශක්තිමත් විපක්‍ෂයක් නැතිකමින් ඒවා පිළිබඳ කතා කරනවා බොහෝම අඩුයි. පක්‍ෂයේ ඇති අර්බුද නායකයන් කඩිනමින් විසඳා ගත යුතුයි. එහෙම නොවුණ හොත් එ.ජා.ප. පාක්‍ෂිකයන් කඩාවැටේවි. ආණ්ඩුවට ඡන්දය දුන් මධ්‍යස්ථ ඡන්දදායකයන්ට ආණ්ඩුවේ නරක කි‍්‍රයාකලාපය ගැන දැන් වැටහී තිබෙනවා. ඔවුන්ට ඊළඟට එක්වන්න විකල්පයක් තිබිය යුතුයි. ඒ විකල්පය බවට පත්විය යුත්තේ අපියි. නමුත් අපිි ඒ දේ නොකර පක්‍ෂය තුළ ඇති ප‍්‍රශ්න විසඳමින් සිටිනවා. ඇත්තටම පොදුජන පෙරමුණේ එකමුතුභාවය අපි ආදර්ශයට ගත යුතුයි. මොකද ඔවුන් පරාජය වූ පසු ජයග‍්‍රහණය ලබා ගන්න කොතරම් වෙහෙසුනාද. ඒ වෙහෙස අපි දැන් ගන්නවාද යන්න බරපතළ ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් කෙනෙක් බන්ධනාගාරගත කළොත් කොපමණ පිරිසක් බන්ධනාගාරයට ඔහුව බලන්න යනවද? අපේ එහෙම දෙයක් පෙනෙන්න නැහැ නේද? මම මගේ ප‍්‍රශ්නයෙදි කොහොම හරි ගොඩ ගියා. නමුත් අනිත් අයට ඒ වගේ ශක්තිය තියෙනවද, එතැන ප‍්‍රශ්නයක් තිබෙනවා. අප පක්‍ෂයේ ඇති ගැටලූ කඩිනමින් විසඳා නොගතහොත් එය අනාගතයට බරපතළ ලෙස බලපාවි. විශේෂයෙන් අපි වගේ පොඩි අයට එය තදින් දැනේවි. නායකයන්ගෙන් ලැබිය යුතු ගුරුහරුකම් අපිට ලැබෙනවා ද යන්න ප‍්‍රශ්නයක්.
 
 ප‍්‍රශ්නය – ඇත්තට ම පක්‍ෂය තුළ ඇති ගැටලූ කඩිනමින් විසඳෙන බවක් පෙනෙන්නට නැද්ද?
 
 පිළිතුර – මට හිතෙනවා මේ සතිය තුළ මෙම ප‍්‍රශ්න විසඳේවි කියලා. අප පාක්‍ෂිකයන් මේ දේ දිහා දෑස් අයාගෙන බලා සිටිනවා.
 
 ප‍්‍රශ්නය – ගෝඨාභය රාජපක්‍ෂ රජයට මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමිවේවි යැයි හිතන්න පුළුවන්ද?
 
 පිළිතුර – එතරම් බලයක් ගන්න බැරි වේවි. අපි දැන් සිට කඳවුරු බැඳගතහොත් ආණ්ඩුවට හිතන තරම් ලේසි වෙන එකක් නැහැ. අපේ මිනිසුන් මෝඩ නැහැ. ජනතාව මේ රජයට බලය දුන්නේ හඬපට අහන්න නෙවෙයි. ඔවුන් බලාපොරොත්තු වුණේ වෙනසක්. ඒ වෙනස දැන් වෙලා නැහැ. ඉස්සර වගේ වසර 10 ක් ආණ්ඩු පවත්වාගෙන යන්න බැහැ. දැන් මිනිස්සු කෙටි කාලයකින් ආණ්ඩුව වට්ටනවා.
 
 ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු කෙසේ සිදුවිය යුතු යැයි ඔබ සිතනවාද?
 
 පිළිතුර – රනිල් වික‍්‍රමසිංහ නායකතුමාත් අපිට අවශ්‍යයි. ඔහුට මනා දැනුම් සම්භාරයක් තිබෙනවා. ඔහුව ලොවත් පිළිගන්නවා. අනිත් පැත්තෙන් සජිත් පේ‍්‍රමදාස මහත්තයාව ගමේ මිනිසුන් ඉල්ලනවා. අපිට ඕන කෙනා අපි කියල තිබෙනවා. එය පිළිබඳ තීරණ ගත යුත්තේ පක්‍ෂයේ නායකයන්. ඇත්තටම ගමේ ඉන්න අපේ පාක්‍ෂිකයන් පව්. අපේ පාක්‍ෂිකයන් වසර 20 ක් විපක්‍ෂයේ සිටියා. පසුව ආණ්ඩු බලය ගත්තා. ඒ වසර හතරක් අපි සිටියේ විපක්‍ෂයේ වගේ. ආණ්ඩු පෙරළපු කුමන්ත‍්‍රණයෙන් පසුව තමයි අපි පොඩි දෙයක් හෝ ඔවුන්ට කළේ. ඇත්තටම අපේ පාක්‍ෂිකයෝ අපි සමග සිටින එක ගැන අපි ඔවුන්ට මල් තියලා වඳින්න ඕනෑ. රටේ බලගතුම පක්‍ෂය නැවත ඒ තැනට නගාසිටුවන්න ඕනෑ. අපේ නායකයෝ මේ ගැන හිතන්න ඕනෑ. අපට ඡන්දය දුන්න ලක්‍ෂ 59 ගැන අප බලන්න ඕනෑ.
 
 ප‍්‍රශ්නය – හොඳයි මේ සාකච්ඡාවේ අවසන් ප‍්‍රශ්නය විමසන්න කැමතියි. කාන්තාවක් මවක් ලෙස මෙම සිදුවීම් මෙම ප‍්‍රශ්න ගැන කාන්තාවන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
 
 පිළිතුර – කප්පරක් වැරදි ඇති මිනිසුන් කාන්තාවන්ට පහර දීමේදී පළමුව භාවිතා කරන්නේ ඇයගේ චරිතය ඝාතනය කිරීමයි. ඔබට මට එය පොදු දෙයක්. මොන ප‍්‍රශ්න, බාධක, මඩ අවලාද පැමිණියත් ඔබ එයින් වැටෙන්න බහැ. මේ හැම දෙයක්ම අපේ ජීවිතවලට පන්නරයක් කරගත යුතුයි. හැම දෙයක්ම ජීවිතයට අලූත් පඩමක් කර ගන්න යැයි සියලූ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

Related posts

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

colombotoday

රටට අනාගතයක් හදන්න, “දැයම එක රොදකට සිව් හෙළේ මහා සමුළුව” ජූලි 7 මහනුවරදී

colombotoday

උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමු

colombotoday

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

colombotoday

ලංකාවේ අරක්කු රටවල් තිස් පහක් මත් කරයි

Admin

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday