Colombo Today Local News

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

මාකඳුරේ මධුෂ් නිසා මේ වන විට පාතාලය පමණක් නොව දේශපාලන ලෝකය මෙන්ම කලා ලෝකයද කැලඹීමට පත්ව තිබේ. දැන් අලුතෙන්ම ඊට එක් වී ඇත්තේ පොලිසියයි. මධුෂ් හා පොලිසිය අතර සම්බන්ධය මුලින්ම කියැවුණේ නාමල් කුමාර නමැත්තකු හෙළි කළ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයත් සමගිනි.

ඒ අනුව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනුණු අතර කුමන්ත්‍රණ චෝදනාව අතීතයට එක් වූ පුවතක් බවට පත් විය. කෙටි කාලයක් තුළ උඩු යටිකුරු වන ජාතික ආරක්ෂාව හා පාතාල සබඳතා යළි කරළියට එන්නේ මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයෙන් පසුවය. මධුෂ් සමග කොටු වූ ගායන ශිල්පී අමල් පෙරේරා, නියෝජ්‍ය පොලිස්පති නාලකගේ ගජ මිතුරකු බව අධිකරණය හමුවේ මෙම සතියේ හෙළි වන්නේය.ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ අධිකරණයට කරන ප්‍රකාශයකිනි.

2016 ජුනි 17 දා ගායක අමල් පෙරේරා, නි​යෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හමුවීමට ගියවිට ඔහු පැමිණියේ කවුරුන් හමුවීමටදැයි විමසීමක් කළ පොලිස් කොස්තාපල්වරයාට දඬුවම් රාජකාරී ලබාදෙන තරමට නාලක සිල්වා හා අමල් පෙරේරා අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇත. එදා නාලක සිල්වාගෙන් දඬුවම් රාජකාරි තුනක් ලැබූ එම පොලිස් කොස්තාපල් රුවන් ප්‍රියන්ත මේ වන විට කහතුඩුව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටී.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් දාස් ගුප්තා, මාකඳුරේ මධුෂ් ගැන අනාවරණය කරනු ලැබූ තොරතුරු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කිසිදු ඉදිරි පියවරක් ගෙන නොමැති වගද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ සඳහන් කර තිබුණි.

මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිට තර්ජනය කළ පොලිස් නිලධාරින් අතර දාස් ගුප්තාද සිටියේය. එම මරණ තර්ජනය ගැනද අධිකරණයේ ‘බී’ වාර්තාවක් ඇත්තේය. මාකඳුරේ මධුෂ් මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ වසර දෙකක් පමණ සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයකට ප්‍රශ්න කිරීමටය. ඒ හම්බන්තොටදී හිටපු ජනපතිවරයාට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නට කොටි සංවිධානයට උදව් දීමේ චෝදනාවටය.

මාකඳුරේ මධුෂ්ගේ මව හා කොටි පොලිස්පති නඩේසන්ගේ බිරිඳ විනීතා දකුණේ ඥාතීන් වූහ. මාකඳුරේ මධුෂ්ට කොටි සංවිධානය හා තිබූ එම නෑකමත් ප්‍රභූ ඝාතනවලට සහාය වීමට හේතු වූවාදැයි එවකට ප්‍රශ්න කෙරුණේය.
ත්‍රස්ත විමර්ශන ලොක්කා වූ නාලක ද සිල්වාට මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හඳුන්වා දී ඇත්තේ ගායන ශිල්පී අමල් පෙරේරා විසින් බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. එපමණක් නොව වරෙක මාකඳුරේ මධුෂ්ට ලංකාවට පැමිණ යන්නටද මෙකී පොලිස් ලොක්කා උදව් කළ බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත්තේය.

නාලක සිල්වා වැනි නිලධාරින්ගේ ඇසුර නිසදෝ මධුෂ් තමන්ගේ ඇතැම් පාතාල ක්‍රියාකාරකම් කර තිබෙන්නේ පොලිස් වෙසිනි. අවසානයේ මධුෂ්ට වරදින්නේද එවන් පොලිස් සෙල්ලමකිනි. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන් පෙනී සිටිමින් අන්නාසි මොරිල්ගේ කුඩු කිලෝග්‍රෑම් 128 ක් කොල්ලකෑමේ සිද්ධිය නිසාය. පාකිස්තාන මත්කුඩු ජාවාරමේ ප්‍රබල චරිතයක් වූ අන්නාසි මොරිල් මෙම මත්කුඩු තොගය මෙරටට පටවන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිටි කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු වෙතය. මේ කියන පිය පුතු මාළු ව්‍යාපාරිකයන් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු වෙළෙඳසල් පහක් හා සුපිරි නිවාස හය හතක්ම හිමි කෝටිපතියන්ය.
මධුෂ් සියල්ල සැලසුම් කර එය පැහැර ගන්නේ දෙවුන්දර කණ්ඩායමක් යොදවාය. එහි පළිය ගන්නට සැලසුම් කරන අන්නාසි මොරිල් ඇඟිලි ගනිමින් සිටි දිනය උදා කරගන්නේ පෙබරවාරි 04 දාය. අන්නාසි මොරිල්ට පාකිස්තානු කුඩු ජාලය සමග මෙන්ම ඩුබායි පොලිසියේ ඔත්තුකරුවන් සමගද ළඟ සබඳතා තිබුණේය.

මධුෂ්ට එරෙහිව සිටි අන්නාසි මොරිල්ගේ සහායට අඟුණකොලේ කළු සාගර ඩුබායිහි දී එක් වූ අයෙකි. කළු සාගර ඩුබායි පනින්නේ ලංකාවේ සිටියොත් මධුෂ්ගේ කල්ලියේ හෝ පාතාල මර්දන කණ්ඩායම්වල ඉලක්කයක් වෙතැයි බියෙන්ය. කළු සාගරගේ පාතාල කල්ලිය උදව් කළේ කඩුවෙල රණාලේ සමයංටය. සමයංව කළුතර එතනමඬලදී අංගොඩ ලොක්කා හා ලඩියා ලවා මධුෂ් විසින් බන්ධනාගාර රථයට පහර දී ඝාතනය කළ පසුව කළු සාගර නායකත්වයට පත් වූයේය. කළු සාගර හා සමයං පසුපස මධුෂ් එලවන්නට වූයේ මධුෂ්ගේ ළඟම සගයා වූ හර්ෂ යසස් හෙවත් කඹුරුපිටියේ හර්ෂව ඔබේසේකරපුරදී අනියම් බිරිඳ සමග සිටියදී ඝාතනය කිරීමත් සමගය. මෙම ඝාතන සිද්ධියෙන් පසු බන්ධනාගාරගත වන කළුසාගරට ඇප දෙන්නේද රණාලේ සමයංගේ දෙවැනි බිරිඳය.

ඇප ලබා පැමිණ ඩුබායිවලට පැන යන කළු සාගර අන්නාසි මොරිල් මයිකල්ගේ සහාය පතන්නේ මාකඳුරේ මධුෂ් ඩුබායිහි දී හෝ කොටුකර ගන්නටය.  මේ අනුව පෙබරවාරි 04 දා පැවති සාදය ගැන දැනගත් මොරිල්, කළු සාගර ඇතුළු කණ්ඩායම්, ලංකාවේ බුද්ධි අංශයක සිටි පොලිස් පරීක්ෂකවරයකුගෙන් මෙම සාදය පැවැත්වෙන තැන හරිහැටි තහවුරු කරගෙන අබුඩාබි පොලිසියට ඔත්තුව දෙන්නේය.  අත්අඩංගුවට පත් වූ මධුෂ් සමග සිටින රංගන ශිල්පී රයන් රෝයන් හා ගායක අමල් පෙරේරා සමගින් පොලිස් වෙසින් කොල්ලකෑ දියමන්ති කොල්ලයේ රහස් වැලක්ද දැන් තහවුරු වෙමින් ඇත්තේය.

සෞදි අරාබියේ තමාගේ සේවා ස්ථානයේ පස්ගොඩක තිබී හමු වූ දියමන්තිය මෙරටට ගෙනැවිත් විකිණීමට යන මොහොතේ අවිගත් පොලිස් ඇඳුම් ඇඳගත් කණ්ඩායමක් කොල්ලකාගෙන ගිය බවට පන්නිපිටිය, ඇරැව්වල පදිංචි අයකු මහරගම පොලිසියට පැමිණිලි කරන්නේ නොවැම්බර් 05 දාය. පැමිණිලිකරුට අනුව ඔහු ස්වර්ණාභරණ අධිකාරියෙන් ලබාගත් තක්සේරුව අනුව දියමන්තියේ වටිනාකම රුපියල් කෝටි හත්සීයකි. දියමන්තිය මංකොල්ලකෑම සඳහා මධුෂ් ඔස්ට්‍රියා ජාතිකයකුත් ලංකාවට පිටත්කර යවන්නේ මාතර මල්ලි හා අතුරුගිරියේ නාලක ඇතුළු කණ්ඩායමක් සමග සැලසුම දියත් කරන්නටය.

මාතර රොටුඹ පදිංචි මධුරංග හෙවත් මාතර මල්ලිට පිළියන්දලට එන්නැයි කියූ ‘මධුෂ්’ මම සුද්දාව මුලින්ම දියමන්තිය බලන්න ගෙදරට යවනවා. උඹ පිළියන්දලින් මම කියන වාහනයට නැගලා ගිහින් පොලිසියෙන් වගේ සුද්දට මාංචු දාලා. ගේම් එක ගහන්න ඕනෑ’’ යැයි උපදෙස් දෙන්නේය. මේ සැලසුමට අනුව පොලිස් වෙසින් පැමිණෙන මාතර මල්ලි ඇතුළු කණ්ඩායම කොල්ලය සිදුකර මධුෂ් කියූ අයුරින් දියමන්තිය ආරක්ෂිතව සඟවා පාර්සල් කර ඩුබායි වෙත යවන්නට සූදානම් කරන්නේය. එහි ඡායාරූප ඉමෝ මගින් මධුෂ්ට බලන්නටත් යවන්නේය.

මේ ගැන ලද පැමිණිල්ලට අනුව බස්නාහිර නියෝජය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ නියෝග මත මහරගම පොලිසිය හා මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විමර්ශන අරඹන්නේය. තම ගෝලයන් අල්ලන්නට එපා යැයි මාකඳුරේ මධුෂ් තර්ජනය කළ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මෙම විමර්ශනය අරඹා මාතර මල්ලී හා නාලක කොටුකරන්නේය. මෙහිදී හෙළිවන්නේ රේගුවට හොරෙන් මෙරටට ගෙන ආ ආකාරයෙන්ම මධුෂ්ගේ කණ්ඩායමක් රේගුවට හොරෙන් ඩුබායිවලට දියමන්තිය රැගෙන ගිය වගය. ඔස්ට්‍රියානු ජාතිකයා නොවැම්බර් 7 දා රටින් පැන ඇති බවත්, දියමන්තිය ඩුබායි යවන්නට කොළඹට ගෙනැවිත් දෙන්නේ නොවැම්බර් 08 දා බවත් හෙළි වූයේ නාලකගෙන්ය.

‘‘සුද්දා කලින් දවසේ ගියා නම්, මේ දියමන්තිය දෙමටගොඩ සමන්තා හෝල් එක ළඟදී අරගෙන ඩුබායි ගෙනියන්න ඇත්තේ වෙන ටීම් එකක්’’ විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ගත්තේය. ඒ අනුව තොරතුරු සොයමින් යන අතරේ මධුෂ්ට සම්බන්ධ හෙරොයින් ජාවාරම්කරුවකු දෙහිවලදී කොටු වී ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ මෙම දියමන්තිය රටින් පැන්නූ හැටි ගැන තොරතුරුයය. එහිදී කියැවෙන තොරතුරුවලට අනුව මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය මීට සති දෙකකට පෙර රංගන ශිල්පී රයන් රෝවන් කැඳවා ප්‍රශ්න කළේ ඔහුට මධුෂ් සමග ඇති සම්බන්ධය, කොල්ලය සිදු වූ දිනවල ඩුබායි ගිය ආකාරය ගැනය.

‘‘මම මධුෂ් දැකලත් නැහැ. අඳුරන්නෙත් නැහැ’’ රයන් පොලිසියට කී කතාවය. රයන් එම කටඋත්තරය දී දින ගණනකින් ඩුබායිහි දී කොටුවන්නේ මධුෂ් සංවිධානය කළ සාදය අබුඩාබි පොලිසිය වැටලූ විටය. රයන්ගේ බොරු ප්‍රකාශය තවත් තහවුරු වූයේ මෙම සතියේ දී අධිකරණයෙන් ලබාගත් දුරකථන ජාල වාර්තාවය. ඩුබායි මධුෂ් සමග සම්බන්ධ වීම හා නොවැම්බර් 08 දා ඩුබායි ගිය වගද අනාවරණය වන්නේ එතැනදීය. රයන් ගැන මෙන්ම ගායන ශිල්පී අමල් පෙරේරා ගැනද මෙම විමර්ශනයට අදාළව හෙළිව තිබූ නිසා රයන්ට මිරිහානට කැඳවීම් කරද්දීම අමල් පෙරේරාටත් කැඳවීම් කරන්නේ මිරිහාන විශේෂ ඒකකයෙනි. එහෙත් ඒ වන විටත් අමල් පෙරේරා විදෙස් සංචාරයකට ගොස් තිබිණි. පොලිස් වෙසින් කොල්ල කෑ දියමන්තිය මධුෂ්ගේ දෙවැනි බිරිඳ තිළිණි නිශායා ළඟ ඇති බව දැන් හෙළිවන්නේය. අමල් පෙරේරා හා රයන් රෝයන් ඩුබායිවලින් නිදහස් වී ආ විගස මිරිහානට කොටුවිය හැකිය. ඒ ඩුබායි ගිය දියමන්ති නිසාය.

මේ අයුරින් ලෝකයේ සිදු වූ දැවැන්ත දියමන්ති කොල්ලයන් සිදු කරන්නේ පොලිස් වෙසින් පැමිණි ජාත්‍යන්තර කොල්ල කණ්ඩායමකි. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ස්විට්සර්ලන්තය බලා පිටත්වීමට සූදානමින් තිබූ ගුවන් යානයකට කඩා වැදී බ්‍රින්ක්ස් නමැති ආරක්ෂක සමාගමකට අයත් දියමන්ති පෙට්ටියක් කොල්ලකාගෙන යන්නේ පොලිස් වාහන මෙන් පැමිණි ඒවායෙන්ය. එය ඇමෙරිකන් ඩොලර් කෝටි පහක දියමන්ති කොල්ලයකි.

එම මෙහෙයුමට සමානව මධුෂ් ලංකාවේ තිබූ කෝටි 700 ක් වටිනා බව කියන දියමන්තිය කොල්ලකා ඩුබායිවලට ගෙන්වා ගන්නේ තම දෙවැනි බිරිඳ තිළිණි නිශායා සතුටු කරන්නටය. මාකඳුරේ මධුෂ් මෑතක් වනතුරු ඩුබායිහි දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග ගත්තේ නැත. මධුෂ් යන එන තැන්වල ඡායාරූප හා සිටියෙ මෙරට ඔත්තුකරුවන්ටද ආවේ ඒ නිසාය. නමුත් ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් කුමාර හෙළිකිරීමත් සමග මධුෂ් බංකර් ජීවිතයක් ගත කළ බව කියැවුණේය.  ස්විට්සර්ලන්තයට වීසා ගන්නට මධුෂ් උත්සාහ ගත් වගද මේ අතරේ හෙළි විය. අැතැම් විට එය පාකිස්තාන් මත්කුඩු මාෆියාවෙන් බේරෙන්නට ගත් උපක්‍රමයක් විය හැක. මධුෂ්, ඩුබායි රජ කුමරා භාවිත කළ වාහනයක් වෙන්දේසියකින් ගෙන තිබී ඇත්තේ ද ජීවිත ආරක්ෂාවට විය හැකිය. ඩුබායි රජයට ගරාජයක් කරන ව්‍යාපාරිකයකු ලෙස මධුෂ් පෙනී සිටියේය. ගරාජයේ වැඩ කළේත් මධුෂ්ගේ සමීපතමයන්ය. රහසිගත ජීවිතයක් ගත කළ මධුෂ් ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් විසින් තම විදේශ සබඳතා මගින් බොහෝ තොරුතුරු රැස්කර තිබුණේය.

මධුෂ්ට මෙරටේදී මේ තරම් චෝදනා එල්ල වුවද ඩුබායිහිදී වරදක් කර අසුවුවහොත් හැර ඔහුව මෙරටට ගෙන ඒම අපහසු බව කවුරුත් දැන සිටියහ. මේ නිසා මධුෂ්ව එරටදී මත්ද්‍රව්‍ය සමග කොටුකරන සැලසුම් ක්‍රියාත්මක වන අතරේ කොකේන් සාදයේදී මධුෂ් කොටුවන්නේය.  මෙම සාදයට පෙර ජනවාරි දෙවැනි සතියේත් මධුෂ් ඩුබායිහිදී පැවති සාදයකට ලංකාවෙන් කණ්ඩායමක් ගෙන්වාගෙන ඇතැයි තොරතුරු ඇත්තේය.

එම සාදයේ අරමුණ ලංකාවේදී බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද, වෙලේසුදා ඇතුළු කිහිප දෙනකු ඉලක්ක කරගෙන බන්ධනාගාර බස් රථයකට හෝ උසාවිය අසලදී ප්‍රහාරයක් එල්ල කිරීම බව කියන්නේය. මධුෂ් සමග ඩුබායිහිදී කොටුවී සිටින තලල්ලේ ජංගාගේ නිවසේ තිබියදී පසුගිය සතියේ අත්අඩංගුවට ගත් හමුදා යුද ඇඳුම් හා පතරොම් මෙවැනි ඉලක්කයකට ගෙන යන්නට සූදානම් කළා ද යන්න සැක මතුව ඇත්තේ ඒ අනුවය. මධුෂ්ගේ උපදෙස වී තිබී ඇත්තේ මේ සතිය තුළ ප්‍රහාරයක් එල්ල කිරීම බවට බුද්ධි තොරතුරු ඇත්තේය. මේ සියල්ල මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමට හැකි වන්නේ ලබන 24 දා තෙක් ඩුබායි හි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මධුෂ් ඇතුළු පිරිස මෙරටට රැගෙන එන්නට හැකි වුවහොත්ය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Related posts

සෝභිත හිමියන්ගේ තැන ගන්න දඹර හිමි එයි

colombotoday

යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායකට ඇප

colombotoday

2022 දී ලොවපුරා මිලියන 735ක් කුසගින්නේ.. – එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරයි

Admin

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

CID පරීක්ෂණ නවතා ගිණුම නිදහස් කරන්නැයි බැදුම්කර සමාගම නඩු දමයි !

colombotoday

ජනපති සිංගප්පූරුවෙන් තායිලන්තයට…

colombotoday