Colombo Today Local News

මම IGP ට කිව්වා එයා මේක සීරියස් ගත්තේ නැහැ- හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින “හෙට ගහනවා” යැයි තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ ද ඔහු එම තොරතුර බැරෑරුම් ලෙස නොසැලකූ බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (20)දින 15 වන දිනටත් සාක්ෂි ලබාදෙමිනි.

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙරදින එනම් අප්‍රේල් මස 20 දින දහවල් 12.30ට සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් රැඳී සිටින ස්ථාන පිළිබඳ ව තමන් පොලිස්පතිවරයාට වාර්තාවක් යැවු බව එහිදී නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අදාළ වාර්තාවේ පිටපතක් එදිනම අපාරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට ද යොමුකළ බව නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ ලේඛනය එවන ලද බව පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම්දුන්නේ දැයි මෙහිදි ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළ අතර එහිදි සාක්ෂිකරු කියා සිටියේ එලෙස දුරකථන ඇමතුමකින් දැනුවත් නොකළ බවය.

මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අප්‍රේල් 20 වන දින යළි පුර්ව දැනුවත් කිරීමේ තොරතුරක් ලැබුනේද යන්නය.

එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ අප්‍රේල් 20 දින තමන්ට තොරතුරුකරුවන් දෙදෙනෙකුගෙන් අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායී තොරතුරු ලැබුණු බවය.

ඒ අනුව අප්‍රේල් 4 දින මුල්වරට ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමක් සිදුකළ විදෙස් බුද්ධි අංශයක තොරතුරුකරු අප්‍රේල් 20 දින ප.ව 4.12ට තමන්ට “Whatsapp” පණිවුඩයක් යොමු කරමින් අප්‍රේල් 21 හෝ ඊට පෙර ඕනෑම වෙලාවක සහරාන් හෂිම් ප්‍රමුඛ ඔහුගේ අනුගාමිකයින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් ඇති බවට පුර්ව දැනුවත් කිරීමක් සිදුකළ බව ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

පසුව අදාළ Whatsapp පණිවුඩය ප.ව 4.53ට එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාටද, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරතන යන මහත්වරුන්ට ද, යොමුකළ බව නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන් විසින් යවන ලද පණිවුඩයට “Well Received” යනුවෙන් පිළිතුරක් යොමු කළ බවද, ජයවර්ධන මහතා සාක්ෂිදෙමින් සඳහන් කළේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ 21 වෙනි දාට පෙර ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල විය හැකි බව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කළේද යන්නය.

තමන් ඒ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කළ අවස්ථාවේ ” නිලන්ත ඕක නන්දනට කියන්න” යනුවෙන් පමණක් පොලිස්පතිවරයාගෙන් පිළිතුරු ලද බව නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයා විසින් තමන් ලබාදුන් පණිවුඩයේ බැරෑරුම් බව තේරුම් නොගත් නිසා තමන් ආරක්ෂක ලේකම්වරයා අමතා ” සර්, මම IGP ට කිව්වා. එයා මේක Serious ගත්තේ නැහැ. කරුණාකරලා සර් IGPට කියන්න” යනුවෙන් දැනුම්දුන් බවය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික විනිසුරුවරයා යළි ප්‍රශ්න කර සිටියේ “ඔබ පවසන ලෙස ඔබ විසින් දිගටම තොරතුරු සපයලාත්, මේක වළක්වා ගැනීමට කටයුතු නොකළා කියන එකට, ආරක්ෂක කවුන්සලය වගකියන්න ඕනේ කියන එකද ඔබ කියන්නේ,” යනුවෙනි

එයට පිළිතුරු ලෙස ජයවර්ධන මහතා පැවසුවේ තමන් මෙම ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම කිසිවෙකුට නොපවරන බවය.

එසේ සඳහන් කළ නොහැකි බවත් කවුරුන් හෝ වගකිම බාරගත යුතු බවත් කොමිසමේ සමාජික විශ්‍රාමික විනිසුරුවරයා යළි කියා සිටියේය.

“මේ අය වගකිව යුතුයි කියලා මතයක් ඉදිරිපත් කරන්න මම කැමති නැහැ. කොමිසම තීරණය කරන්න මම වගකිවයුතු ද, අනිත් අය වගකිවයුතුද කියලා. මම කියන්නේ කවුරුන් හෝ වගකීමක් බාරගත්තොත් ඒ රස්සාව හරියට කරන්න ඕනේ කියන එක. ඔක්කොම එකතුවෙලා කියනවානම් පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් නිවැරදිව බුද්ධි තොරතුරු ලබාදුන්නේ නැහැ කියලා. මගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් කෙළින් හිටගෙන සාක්ෂි ඉදිරිපත් කරන්න මම සුදානම්” එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

Related posts

ස්ප්‍රේ, චුයින්ගම්, චාර්ජ් කරන සිගරට් : පාසල් දරුවන් බිලිගන්නා අලුත්ම “මත් ක්‍රම” මෙන්න

colombotoday

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin

ජනපතිට එරෙහිව නිව්යෝර්ක්හි උද්ඝෝෂණ !

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක්

colombotoday

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි – ඇමති ජෝන් අමරතුංග පවසයි

colombotoday