ArticlesColombo Today Local News

මව්බිම සුරැකි අභීත සෙන්පතියා !

ඇමෙරිකාවේ ප්‍රධාන සංනායක අග්ගමහා පණ්ඩිත,
ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමි

හිටපු රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ජන්ම දිනය නිමිත්තෙනි.

මුළුමහත් ශ්‍රී ලාංකේය ජාතියම අඳුරු වලාවකින් වෙළාගෙන සිටි තිස් වසරක කුරිරු යුද්ධය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අභීත නායකත්වය යටතේ අවසන් කොට සියලුම ජාතීන්ට ගෞරවාන්විතව ජීවත්වීමට නිදහස ලබාදීමේ සටනේ නියමුවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. එහෙයින් නිතැතින්ම කෘතගුණ දන්නා සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආශීර්වාදය එතුමාට හිමිවේ.

ඔහු ආරක්‍ෂක ලේකම් පදවිය භාරගන්නා විට ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශයන් පැවැතියේ ඉතා දුර්වල මානසික මට්ටමක බව නොරහසකි. 2002 බලයට පත්වූ රජය විසින් ක්‍රියාත්මක කළ බටහිර ගැති, එන්.ජී.ඕ. රූකඩවලට නැටවුණු, ඊනියා සටන් විරාම ගිවිසුම මේ සඳහා බලපෑ මූලික හේතුව විය. උසස් හමුදා නිලධාරියාගේ සිට පහළ මට්ටමේ සිටින සොල්දාදුවා දක්වා හිමිවිය යුතු ගෞරවය හා අභිමානය නොලැබීමත් අවිය අත දරාගෙන ත්‍රස්තයන්ගේ උසුළු විසුළු සමච්චලයන්ට හසුවීමටත් සිදුවිය. වේ. මේ තත්ත්වය වෙනස් කිරීමට ගෝඨාභය මැතිතුමා ඉතා දූරදර්ශීව කටයුතු කළ බව අද බොහෝ දෙනකුට අමතකය. එකල ඔහු ‘අපි වෙනුවෙන් අපි’ යන තේමාව යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මඟින් ප්‍රචාරණය ලබාදෙමින් සියලු රටවැසියාගේ අවධානය හමුදාවන් දෙසට නතුකරගෙන සමස්ත හමුදාවේම චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට සමත් විය. ඇතැම් ඉහළ හමුදා නිලධාරීන් විරුද්ධ වුවද, අද ප්‍රශස්ති ගී ගයන ඇතැම් දේශපාලනඥයන් එදා විවිධ කරුණු ඉදිරිපත් කරමින් තියුණු විවේචන එල්ල කළද දින කිහිපයකින් විශ්‍රාම යෑමට සිටි ජේ‍යෂ්ඨ හමුදා නිලධාරියා හමුදාපති තනතුරට ගෙන ඒමට මුල් වූයේ යුද බිමේදී ඔහුට කළ නොහැකි දෑ ප්‍රායෝගික අත්දැකීමෙන්ම ගෝඨාභය මහතා දැන සිටි හෙයිනි. ඔහු සතු සුදුසු අවස්ථාවේ නියම සුදුස්සා තේරීමේ හැකියාව අද මුළු රටම භුක්ති විඳිති. එහෙත් අදාළ පුද්ගලයා එය තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවක් ලෙස දකිමි.

යුද ජයග්‍රහණය වෙනුවෙන් එතුමා කළ අසීමිත කැප කිරීම මා පෞද්ගලිකවම දැක ඇත. එහෙත් ඔහු කිසිවිටකත් ඒ ගැන උදම් අනන්නේද නැත. ඔහු නිතර පවසනුයේ ‘රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා එපමණයි’ යනුවෙනි. මෙහිලා පැරැණි සිංහල ආප්තෝපදේශයක් මගේ සිහියට එයි. එක සිංහල වෛද්‍යවරයෙක් එක්තරා රෝගියකුගේ රෝග නිධානය හොඳින් පරීක්‍ෂා කොට නියම පරිදි ප්‍රතිකාර කොට රෝගය සුවපත් කළේය.

රෝගියා සුවපත් වූ පසු තෙල් සාත්තු කළ තැනැත්තා පැමිණ ‘මම හරියටම නියම වෙලාවට තෙල් ගෑම කළ නිසා තමයි මේ රෝගියා සුවපත් වුණේ’ යැයි පැවැසීය. කෂාය තැම්බූ තැනැත්තා ‘මම හරියට පදමට කෂාය තම්බපු නිසා තමයි මේ රෝගියා සුවපත් වුණේ’ යැයි උදම් ඇනීය. ආවතේවකම් කළ තැනැත්තා පැමිණ කීවේ ‘මම හරියට වැඩ ටික නොකළා නම් ලෙඩා සුවවෙන හැටි බලාගන්න තිබ්බා’ යනුවෙනි. යුද ජයග්‍රහණය සම්බන්ධයෙන්ද මේ ආප්තෝපදේශය ඉතා අගනේය.

කිසියම් වැඩක් භාරදුන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සිරිත ඒ ගැන හොඳින් අධ්‍යයනය කිරීමයි. අධ්‍යයනය කොට අතීතයේ වැරදුණ තැන් ඇත්නම් ඒවා නිවැරැදි කොට ගෙන තමාගේ මතයට විරුද්ධ අයකුගේ වුව ඵලදායි වටිනා අදහසක් හෝ යෝජනාවක් ඇත්නම් එය සිය කාර්යයට එකතු කර ගනී. හොඳ දේ අගය කිරීමට හා ඒවාට වටිනාකමක් දීමට ඔහුට ජාති, ආගම්, පාට, පක්‍ෂ ආදී භේදයක් නැත. මානුෂීය යුද මෙහෙයුමෙන් පසුව ඔහුට භාර කෙරුණේ නාගරික සංවර්ධනයයි. ‘යුද විරුවා මම’ යැයිද ‘යුද ජයග්‍රහණයට පාර කැපූයේ තමා’ යැයිද වහසි බස් ‍ෙදාඩවා බලයට පැමිණි අය අද දේශපාලනික වශයෙන් බලවත් වුවද ඔවුන්ගේ හැකියාවේ තරම සමස්ත රට වැසියාටම ප්‍රදර්ශනය කොට ඇත. ගෝඨාභය මහතා නාගරික සංවර්ධන විප්ලවයේදී පෞරාණික දේ ආරක්‍ෂා කර ගනිමින් හා දියුණු රටවල භාවිත නවීන තාක්‍ෂණය යොදා ගනිමින් කටයුතු කිරීමට සමත් විය. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ලොයලා’ විශ්වවිද්‍යාලයේ පරිපාලකයකු වශයෙන් කටයුතු කරන සමයේ සියලු දෙනාගේම සිත් දිනාගෙන කටයුතු කළ බව ඔහුගේ සමකාලීනයෝ අදත් ගෞරවයෙන් සිහිපත් කරති. ඇමෙරිකාවේදී ඔහු ලබා ඇති අත්දැකීම් ලංකාවේ නාගරික සංවර්ධනයට යොදා ගැනීමට සමත් විය. නාගරික සංවර්ධන අංශයෙන් පසුගිය ආණ්ඩුව සමයේ ලබා තිබූ දියුණුවේ පුරෝගාමියා ගෝඨාභය මැතිතුමා බව ඉතා සුළු අතළොස්සක් හැර අන් සියල්ලෝම පාහේ පිළිගනිති. යුද ජයග්‍රහණයෙන් පසුව අවිය අත දරා සටන් වැදුණු හමුදා සොල්දාදුවන් බෞද්ධ විහාරස්ථාන ඇතුළුව අනෙකුත් ආගමික ස්ථානවල සංවර්ධනයට යොදවා කළ සේවය අගය කුළ යුතු ක්‍රියාවකි. වියට්නාම් යුද්ධයට සම්බන්ධ වූ ඇමෙරිකන් සොල්දාදුවෝ අදත් ගෙවල් අහිමි තැනැත්තන් (හෝම්ලස්) ලෙස ප්‍රධාන නගරවල ජීවත් වෙති. ඇමෙරිකාව ලෝකයේ දියුණුම රට වුවද මේ තත්ත්වය මඟහරවා ගැනීමට තවමත් සමත්වී නැත. ඊට හේතුව පශ්චාත් යුද සමයෙන් පසු ඊට සම්බන්ධ සොල්දාදුවන්ගේ මානසික තත්ත්වය නඟාසිටුවීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නොනැඟීමයි. එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක් උදා නොවූයේ හමුදා සාමාජිකයන් සමාජ ප්‍රගතිශීලී කටයුතුවලට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ මානසික තත්ත්වයන් නඟාසිටුවා ගැනීමට අවස්ථාව ලබාදීම හේතුවෙනි.

ලංකාවේ පැවැති තිස් වසරක යුද්ධයේදී මවුබිම වෙනුවෙන් යුද වැදුණු සාමාජිකයන්ගෙන් සාතිශය බහුතරය සිංහල බෞද්ධයෝය. ඒ ගැන කිසිදු විවාදයක්ද නැත. අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ එවැනි උතුමන්ට පින්කම් කොට පුණ්‍යානුමෝදනාවන් කිරීම අපගේ යුතුකමයි. ගෝඨාභය මැතිතුමා හමුදාවේ නියමුවා ලෙස යුද ජයග්‍රහණයේ සැමරුම් මාසය වූ මැයි මාසය තුළ ලංකාවේ සිවුදෙසින්ම මහා සංඝරත්නය වඩමවා සියලු ලාංකිකයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කරවා පිරිත් දේශනාවන් පවත්වා දන් පූජා කොට රණවිරුවන්ට පින්දීමේ චාරිත්‍රය ගෞරවයෙන් හා මහත් වූ ශ්‍රද්ධාවෙන්ම සිදුකළහ. එහෙත් වත්මන් ආණ්ඩුව එය පුහු ආටෝපයක් සේ කල්පනා කොට නොසලකා හැර ඇත. පසුගිය වසර 3 තුළදී ලංකාව ස්වාභාවික විපත්වලින් ලෝකයේ සිවුවැනි ස්ථානයට පත්වී ඇත. බොහෝ විට එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වනුයේ මැයි මාසය තුළය. එබැවින් මේ ගැන අදාළ බලධාරීන් අවධානය යොමු කිරීම ඉතා සුදුසු බව අපගේ අදහසයි.

විවිධ ක්‍ෂේත්‍රයන්හි නිපුණතාවක් ඇති වෘත්තීයවේදීන්ගේ අදහස් හා යෝජනා ලබා ගෙන ඒවා අනාගත ශ්‍රී ලංකාවේ දියුණුවට යොදා ගත හැක්කේ කෙසේදැයි ‘වියත්මඟ’ ඔස්සේ සාකච්ඡා කෙරේ. එහි නියමුවාණන්ද ගෝඨාභය මැතිතුමායි. ජුනි 20 වැනිදා ජන්ම දිනය සමරන ගෝඨාභය මැතිතුමාට අනන්ත ගුණ ඇති උතුම් වූ රත්නත්‍රයේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ලැබේවායි ආශිංසනය කරමි.

Related posts

රාමසාන් උත්සවයකට ගිය මන්ත්‍රී අලි සබ්ර් ජනතා විරෝධ හමුවේ තහඩු වැටකින් පැන යයි

colombotoday

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

දකුණේ සිසුන් උතුරේ විශ්වවිද්‍යාලවලට වැඩි වශයෙන් බදවාගැනීම ප්‍රශ්නයක් – විග්නේෂ්වරන්

colombotoday

මේ වසරේදී ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

Admin