මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නැතැයි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පැවැසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි යැයි එම පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයකු වන සර් හියුගෝ ස්වයර් කරන ලද ප්‍රකාශය පිළිබඳව තමාගේ කිසිදු සතුටක් නැතැයි ද හෙතෙම කීය.

රටක තීන්දු තීරණ ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට විදේශිකයන්ට අයිතියක් නැතැයි ද  කීවේය.

තවදුරටත් අදහස් දැක්වූ නේස්බි සාමිවරයා මෙසේ ද කීය.

“ශ්‍රී ලංකාවේ සිදු වූ කිසිවක් ව්‍යවස්ථා විරෝධි යැයි මා දකින්නේ නැහැ. එහෙත් එය අසාමාන්‍යයි. අසාමාන්‍යය දේවල් වෙනවා. එක්සත් රාජධානියෙත් එවැනි දේවල් වෙලා තියෙනවා. අප සම්පූර්ණ පාර්ලිමේන්තු කාලය අවසන් නොකරපු අවස්ථා තියෙනවා. මෙවැනි දේවල් තියෙනවා. මෙවැනි දේවල් හරි සාමාන්‍යයි. මේ දේවල් වෙනස් වෙනවා.

මේ සිදුවීම් දාමයට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන්ම ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමයි එරට විධායකය. ඔහු ඡන්දයෙන් තේරී පත්වුණු කෙනෙක්. ඔහු රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මට විශ්වාසයි. මා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හමු වී තිබෙනවා. ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්.

මම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවා නැහැ. විවිධ නීතිඥයන් විවිධ අදහස් පළ කරනවා. එය ස්වභාවික දෙයක්. රටක සිදුවීම් ව්‍යවස්ථානුකූල ද නැද්ද කියන්න අයිතියක් විදේශිකයන්ට නැහැ. හිටපු කනිෂ්ඨ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදුවීම් ව්‍යවස්ථානුකූල නැතැයි සඳහන් කරමින් ප්‍රශ්නයක් නැගුවා.

එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නීතිය නෙමෙයි. අපට අපේ ව්‍යවස්ථාවක් තිබෙනවා. මගේ පනස් වසරක සේවා කාලයේදී මම ඉතා පරෙස්සමෙන් තමයි කටයුතු කළේ. මම කිසිදු අවස්ථාවකදී එක් පාර්ශවකට සහාය දක්වා නැහැ. ව්‍යාපාර සිදු කර නැහැ. මගේ මිතුරන්ද එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් පසුගිය සතියේදී එරට පාර්ලිමේන්තුවේදී විදේශ ලේකම් (විදේශ අමාත්‍යවරයාට) ජෙරමි හන්ට්ට ප්‍රශ්නයක් යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළේය.