Colombo Today Local News

මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!

hny


අද එනම් 2016 ජනවාරි 1වැනිදා උදාවූ නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කරන දිනයකි. නව වසර රෝමානු දිනදසුන අනුගමනය කරමින් ලොව පුරා සමරනු ලැබේ. ලුටාච් සහ මක්‍රොබියස්ට අනුව ක්‍රිපූ 700දී පමණ පොම්පිලියස් රජුගේ කාලයේ සිට රෝමානු දින දසුනේ මාස පිළිවෙල ජනවාරි සිට දෙසැම්බර් දක්වා විය. මෙවර ජනවාරි 1 වැනිදා සූර්ය උදාව 6.22ටය.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ දින 365කින් පසු මීන රාශියේ ගමන කෙලවර කරන සූර්යයා මේෂ රාශියට හෙවත් තම නිජබිමට සැපැත්වන සුභ මොහොත සමරමිනි. මහ කන්නය අවසානයේ බක් හෙවත් අප්‍රේල් මස සිංහලේ අලුත් අවුරුද්ද උදාවන විට අතු අග මල් පිපී ඵලබර වී අටුකොටු පිරී තිබේ. කොහාගේ කන්නළු ගී නාදයද කුරුළු කොබෙයියන්ගේ කිචිබිචියද සමඟින් එරබදු මල් පිපේ. එහිදී අවුරුදු චාරිත්‍ර පැවැත්වීමෙන් සංකේතවත් වන්නේ නව නිෂ්පාදන වර්ෂයක සෞභග්‍ය කැන්දවීමේ ආරම්භයයි. කන්නෙට, කයියට, අත්තමට වැඩකල සාමූහිකව ක්‍රියාත්මක වූ කෘෂිකාර්මික සමාජයකට අවශ්‍ය ජනමූල සහජීවනය මෙන්ම කලට වේලාවට නියමිත නැකතට වැඩ ආරම්භකර හිරුගෙන් මෙන්ම සදුගෙන් වැඩගත් සිංහලේ ජීවන රටාවේ හර පද්ධතිය මෙමගින් ශක්තිමත් විය.

ගෙවීගිය 2015 වසරේ ජනප්‍රියතම වචන සෙට් එකවූ ‘යහපාලනය’, ‘වෙනස’, ‘හොරු ඇල්ලීම’ සහ ‘ඇවන්ගාඩ්’ පරදවමින් ‘බ්‍රා’ අවසානයේ කිරුළ දැරීය. එයට හේතුව වූයේ ලතින් පොප් සංගීතයේ රජු ලෙස කිරුළු පැළඳ සිටින ස්පාඤ්ඤ ජාතික 40 හැවිරිදි එන්රිකේගේ මිගුවෙල් ඉග්ලේෂියස් ප්‍රෙයිස්ලර් 2015 දෙසැම්බර් 20 කොළඹ සී.ආර් සහ එෆ්.සී ක්‍රීඩා පරිශ්‍රයේදී පවත්වන ලද ‘සෙක්ස් ඇන්ඩ් ලව්’ සංගීත ප්‍රසංගය අල්ල පනල්ලේ කාන්තාවක් සිය තනපටය නොහොත් ‘බ්‍රා’ එක ගලවා එන්රිකේ වෙතට වීසිකිරීමෙන් නොව එයට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මඩු වලිගයෙන් තැලීමේ ‘ඓතිහාසික’ ප්‍රහාරය එල්ල කිරීමත් සමඟය. මේ වනවිට ඇතැම් ටොයියෝ සහ බයියෝ දකින ලොකුම ප්‍රශ්නයද ‘බ්‍රා’ය. මේ ‘බ්‍රා’ එක ගායකයාට ‘පුද’ කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේනම් එයට නාමල් හෝ යෝෂිත රාජපක්ෂ සම්බන්ධ බවට අරුම පුදුම කතා කියන ආණ්ඩුවේ මුරකාරයා බවට වර්තමානයේ පත්වී සිටින ජනතා විමුක්ති පෙරමුණ කියනු නිසැකය.

මෙම ලිපියට අදාළ ඡායාරූපය දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක 2001 මාර්තු 25වැනිදා පලවූ දැන්වීමකි. ආයෝජන මණ්ඩලයේ පන්නල පිහිටි එම කම්හලේ නිෂ්පාදනය කරන තනපට සඳහා මෝස්තරකරුවන් අවශ්‍ය බවට එහි සඳහන් කර තිබිණි. යුරෝපා වෙළෙඳ පොල සඳහා එම කම්හල නිෂ්පාදනය කරන ‘බ්‍රා’ වැනි යට ඇදුම් අළෙවි කරනුයේ ඇමරිකානු ඩොලර් 100කට අධික මිල ගණනකිනි. එදා කෝබ්‍රා සහ සීබ්‍රා ගැන ලියූවද මෙදා ලියන්නට සිදුවී ඇත්තේ ‘බ්‍රා’ ගැනය.

‘බ්‍රා’ යනු පරෙවි සන්දේශයේ කියවෙන පරිදි පිරිපුන් පියවුරු එකට බැඳ තිබූ රන් පටියටය. කොළඹ යුගයේ කවීන් හැඳින්වූ තිසර පට වලටය. ගමේ කතුන් කියන බ්‍රැසියර් එකය. ව්‍යවහාරයේ කියන්නේ තනපටය. නූතන පරපුර එය බෞතිස්ම කර ඇත්තේ ‘බ්‍රා’ එක නමිනි. මේවා කප් සහිත, කප් රහිත, හාෆ් කප්, පැඩඩ් දමා ඇති, පැඩඩ් දමා නැති, යටි පටි ඇති, උඩ පටි ඇති හෝ පටි නැතිව ඉරිදා පොළේ සිට තරු පන්තියේ සාප්පු සංකීර්ණ දක්වා විකිණීමට ඇත. දෙවුර මතින් දිවයන සිහින් පටියෙන් දිස්වන පරිදි සුදු, කළු, රතු, රෝස ආදී ෂඩ් වර්ණයෙන් නෙත් පිනවන්න මෙවලමකි. මාර්ටින් වික්‍රමසිංහ සූරින් කළුනික ග්‍රන්ථයේ කියන පරිදි මුව පියුම බලන රන් හසුන් මෙන් උඩබලා සිටින පියයුරු සඳහා අවැසි ස්ත්‍රී පක්ෂය උඩු කයට අදින යටි ඇදුමකි.

නිරුවත කිසිවෙකුට ඇලජික් විය යුතු නැත. සිංහල සිනමාවේ ප්‍රථමයෙන්ම අඩ නිරුවත් දසුනක් තිබුණේ හංස ගීතයේය. එහෙත් නිරුවත තේරුමක් ඇතිව කථා කළේ වසන්ත ඔබේසේකරගේ පළගැටියෝ චිත්‍රපටිය තුළිනි. එහි ධර්මසිරි බණ්ඩාරනායක, දම්මි ෆොන්සේකා, රන්ජන් මෙන්ඩිස්ද රඟපෑවෝය. ඉන් පසුව බැද්දේගම, බඹරු ඇවිත්, මලට නොඑන බඹරු, සිරිබෝ අයියා වැනි චිත්‍රපටිවල ලිංගික දර්ශන ඇතුළත් විය. බඹරු ඇවිත් චිත්‍රපටිය අවසානයේදී විජය කුමාරතුංග, අමරසිරි කලන්සූරිය, කොස්තා උපන් ඇදුමින් වැල්ලේ දුවන දර්ශනයක්ද ඇත. වසන්ත ඔබේසේකරගේ දඩයම චිත්‍රපටියේ රන්මලී(ස්වර්ණා මල්ලවආරච්චි) ගැබ් ගන්නේ පාසැල් යන කාලයේදීය. රන්මලී පාසැල් නිල ඇදුම ඇද තමන්ගේ ඉනපටිය අදිද්දී එය තදවී ඇති ආකාරයෙන් ඇය ගැබ් ගෙන ඇති බව ප්‍රේක්ෂකයින්ට ගම්‍ය විය. අශෝක හඳගම සිය තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටියේදී ප්‍රධාන නිළියවූ අනෝමා ජනාදරී උපන් ඇදුමින්ම කැමරාව ඉදිරියේ තැබුවේය. නිරුවත තිබුනද මේවා ‘වල්’ චිත්‍රපටි නොවේ. කලාත්මක සිනමා නිර්මාණයන්ය.

දේශපාලන කටයුතු වලටද අමුඩය යොදා ගැනීම ඇරඹුවේ කලකට පෙරය. ඉදිරිපස සෙට් එක සහ අධෝ මුඛය වසාගෙන එම විරෝධය පාර්ලිමේන්තුව දොරකඩටද ගෙන ආවේ ගාල්ල මන්ත්‍රී ආචාර්ය විජයානන්ද දහනායක 60 දශකයේදීය. ඒ රෙදිපිළි මිල ඉහළ දැමීමට එරෙහිව බක්කි කරත්තයකින් පැමිණීමෙනි. එයටද පෙර බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ කවට කථිකයා පුවත්පතේ කර්තෘ පෑලිස් අප්පුහාමිට දඬුවම් විදීමට සිදුවූයේ රජ පවුල අමුඩයට වැටී ඇතැයි උද්වේගකර ලිපියක් ලිවීමෙනි. කැරළි දෙකක් ගසා විමුක්ති අරගලයකින් බලය ලබාගැනීමට තැත්කල ජනතා විමුක්ති පෙරමුණ මගින් ගොවීන්ට අමුඩ ගසා අමුඩ විප්ලවය රජගෙදර අසළට ගෙන ගියේ ඊයේ පෙරේදාය. ද්වි වාර්ෂිකව රඟදක්වන මෙම අමුඩ විප්ලවය ප්‍රථම වරට ජවිපෙ මගින් කරලියට නැගුවේ 2013 දෙසැම්බර් 1දාය.

එජාප ආණ්ඩුවට ලාංකීය සංස්කෘතිය පිළිබදව ඇම්මක් හෝ ගැම්මක් නැත. විවෘත ආර්ථිකය හදුන්වාදුන් 1977න් පසු දේශීයත්වය උඩු යටිකුරු කළේය. එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1980 මාතර පැවති ප්‍රසිද්ධ උත්සවයකදී අසා සිටියේ ‘සාහිත්‍යය කන්නද?’ කියාය. සිංහල සංස්කෘතියේ පිරිහීමට හේතුව විවෘත ආර්ථිකය බවට මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍ර 1982 ජුලි 21වැනිදා බෞද්ධාලෝක මාවතේ සමස්ථ ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේදී සහභාගිවූ 2000ක් ඉදිරිපිට දේශනයක් පවත්වමින් සිටියදී එජාප මැරයෝ “අඩෝ සරච්චන්ද්‍රයා බිමට බැහැපිය කියා” වේදිකාවට පැන සරච්චන්ද්‍රට පහරදී බිමදමා ඔහුගේ මුහුණට සහ පපුවට පයින් ගසමින් දෙපයින් අල්ලා එලියට ඇදගෙන ගොස් කානුවට ඇද දැමූ අතර එය බේරීමට ආ මාදුළුවාවේ සෝභිත හිමියන්ටද පහර දුන්නේය. ඒ දේශීය සංස්කෘතියට ඇති එජාපයේ ආලයේ තරමය.

ඒ එදාය. පසුව 2002 බලයට පත්වූ එජාප ආණ්ඩුව වසර 2ක් ‘යළි පිබිදෙමු’ අධිරාජ්‍ය ගැති වැඩපිලිවෙල යටතේ රට පාලනය කළේ ඕයේ ඔජායේ සංස්කෘතිය යටතේය. රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවන්ට සාරිය වෙනුවට කකුල පෙනෙන සේ කොට සායවල් ඇන්දුවේය. බුලත් වෙනුවට චුයිංගම් ආදේශ කිරීමට තැත් කළේය. සතොස සල්ලි කෝටි ගණන් වැය කරමින් 2002 දෙසැම්බර් 14වැනිදා ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ‘යූබී 40’ විදේශ සංගීත කණ්ඩායම ගෙන්වා ජෝගියක් දැම්මේය. එමෙන්ම පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ ස්ථීර යකඩ වැටක් ඉදිකර එහි වියදම සතොසට දමා විදේශ ගායක කණ්ඩායමක් ගෙන්වා උඩු පිනුම් යටි පිනුම් ගැසුවෝය. පසුව එම වැට ගලවා දැම්මේ පාර්ලිමේන්තුව ඉදිකල කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බවාගේ නිර්දේශයක් අනුව 2002දීය. ඉන්දියාවේ ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන 2004 මුලදී ‘ටෙම්ප්ටේෂන් 2004’ මැයින් බොලිවුඩ් සංගීත ප්‍රසංගයක් කොළඹදී පැවැත්වීමට පිඹුරුපත් සැකසුවේය. එහෙත් එජාප රජය 2004 අප්‍රේල් 2වැනිදා මහ මැතිවරණයේදී පරාජයට පත්විය. ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගය ඒ අනුව පැවතුනේ ගංගොඩවිල සෝම හිමිගේ අපවත්විම සිදුවී වාර්ෂික පිංකම් පැවති වකවානුවවූ 2004 දෙසැම්බර් 13වැනිදා කොළඹ රේස්කෝස් පිටියේදිය. හෙළ උරුමයේ අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරුවෝද කැත්තට පොල්ල මෙන් සිටි එම ප්‍රසංගයට එරෙහි විරෝධතාවලදී දෙදෙනෙක් මරමුවට පත්වී 19කට තුවාල සිදුවිය.

ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම මාධ්‍යවේදියෙකු වන එස් පියසේනයන් 2001දී ප්‍රකාශයට පත් කල අන්ධානුකරණයෙන් විනාශයට ග්‍රන්ථයේ සඳහන් වන්නේ වසර 2500ක අභිමානවත් ඉතිහාසයකට ලාංකීය ජාතිය හිමිකරුවන් වුවද ලිඛිත ඉතිහාසය රැදී ඇත්තේ එයට සියවස් ගණනකට පසු ධාතුසේන යුගයේ සිටය. හිරු දැකීමට දෑස් තිබිය යුතු සේම යථාර්තය දැකීමට නුවණ තිබිය යුතුය. ‍ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කථාවට සැමට කික් එකක්වූවාට සැක නැත. එහෙත් සංස්කෘතිය කබාසිනියා කල එජාප ආණ්ඩුවකට එරෙහිව ජනාධිපති සිරිසේනට කල හැක්කේ කුමක්දැයි කථාවට පමණක් සීමානොවී ක්‍රියාවෙන් ඔප්පුකල යුතුය.

පොප් ගායක එරිකේගේ ප්‍රසංගය සංවිධානය කල සමාගමේ අයිතිකරුවන් වන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරය. අවසානයේදී මඩු වලිගයෙන් තලන්නට සිදුවන්නේ ඔවුන්ටය. ‘යහපාලන’ රජය බ්‍රිතාන්‍ය තානාපති කමට කලකට ඉහත යෝජනා කළේද මේ වාහේලාය. මෙම ප්‍රසංගයේදී රුපියල් 50,000, 30,000ට වැනි ටිකට්වලට විස්කි, අරක්කු, බියර් වැනි බීම වර්ගද ලබාදී ඇති බවද ජනාධිපති වැඩිදුරටත් හෙළි කළේය. ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස 2015 අගෝස්තු 19වැනිදා ජනාධිපති මන්දිරයේදී රජය කිරුළු පැලදුවේද කුමාර සංගක්කාර වෙතය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය. එම ප්‍රසංගයෙන් කොළඹ නගර සභාවට තබන ලද නොගෙවන ලද බදු පොල්ල රුපියල් කෝටි 3කි.

තනපටිය ගලවා දුන් තරුණිය සංකේතාත්මකව පෙන්වා දී ඇත්තේ ‘යහපාලනය’ යටතේ ජයග්‍රහණය කළේ එදා 2002දී හදුන්වාදුන් යළි පුබුදමු ව්‍යාපෘතියේම පිටපතක් බවය. 2015 ජනවාරි 8 ‘විප්ලවයට’ සහායවූ උපුල් සන්නස්ගලලා ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සොයමින් නන්දිකඩාල් කලපුවේ පිනුවේය. ශ්‍රී මහා බෝධිය අසළ බෝගස යට සිට ‘රත්වීමට’ ඩබ්ලිව් ජයසිරිලා සිහින මැව්වෝය. කැබරේ ඩාන්ස් වලට හුරේදමා සින්දු කියන සුනිල් පෙරේරලාද එයට හූමිටි තැබුවෝය. වෙනස මාරය. පුරවැසි බලය දැන් බුරනවැසි බලය බවට පත්වෙමින් ඇත. අළුත් පරපුර සමනලයා ගෙන් දළඹුවා බවට රිවස් ගියරයේය. වාර්ෂික අයවැයෙන් අධ්‍යාපනයට සියයට 6ක් ඉල්ලා නිර්මාල් රංජිත්ලා කල අරගලය දැන් රුපියල් දෙකේ කාසියට වැටී ඇත. ආචාර්ය බාහුට නම් කඩේ ගියාට පාඩු නැත. ඔහුට විශ්‍රාම සුවයෙන් ගතකිරීමට දැන් විශ්‍රාම වැටුපක් ලබාදීම නම් පින් අතේ වැඩකි. වෙබ් අඩවිවල පිනුම් ගැසූ සිරා, රසිකයා, කුරුටු, බස්සිලාගේ කමෙන්ට්ස්ද හිරු දුටු පිනි සේ වියැකී ගොස්ය.

කැරට් කිලෝව රුපියල් 400කි. ලීක්ස් සහ ගෝවා කිලෝව රුපියල් 380කි. අමුමිරිස් ග්‍රෑම් සීයය රුපියල් 140කි. පලා මිටිය රුපියල් 50කි. දෙල් ගෙඩියක් රුපියල් 150කි. ජීවන වියදම නහුතෙටම නැගලාය. රණවිරුවන් දඩුකඳ අභියසය. වී අළෙවි මණ්ඩලයට වී අළෙවි කිරීමට ගමේ බණ්ඩයියා අන්තර්ජාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ ලියාපදිංචිවීමට ගම වටේ බඩගායි. වෙනස මාරය. ගොවිතැන හමාරය. රාජ්‍ය සේවයට 2016 ජනවාරි 1න් පසුව එක්වන අයට විශ්‍රාම වැටුප හබක්ය. සිංහලට දෙබස් කැවූ විදේශීය ටෙලි නාට්‍ය විකාශනයට ඇති බද්ද ඉවත් කිරීමෙන් ලාංකීය නළු නිලියන්ට බඩේ පහර වැදී ඇත. රැකියා විරහිත උපාධිධාරියෝ රැවටීමට එරෙහිව රටවටා අරගලයකය. විල්පත්තුවේ වන විනාශයකි. මහ බැංකුව හින්දවලාය. රාජ්‍ය සේවය පිණිසයි යන්න නව අර්ථකථනයට අනුව එය දැන් ගණිකා සේවයක් මෙනි.

මහ දවල් කළු ඩිෆෙන්ඩරයකින් පුද්ගලයෙකු දෙනෝදහක් ඉදිරිපිට බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කැලෑ නිතියෙන් නඩු විසඳූ තැනැත්තිය තවමත් නිදැල්ලේ නිසා යහපාලනය නැමති සළුවෙන් පෙරවා තිබූ නීතිය නැමැති බිජුව දැන් බිඳවැටී ඇත. කොලොන්නාව කුණු කන්දට එරෙහිව සාමකාමී විරෝධතාවක නිරතවූ අයට නිහීන ප්‍රහාරයකි. ජාත්‍යන්තර මුහුදේ ධීවර මෙහෙයුම් කිරීමට 2016 ජනවාරි සිට ශ්‍රී ලංකික ධීවරයින්ට බලපත්‍රයක් අවශ්‍යය. එසේ ධීවර මෙහෙයුම් කරන ධීවර බහුදින යාත්‍රා 4.423න් බලපත්‍රය සදහා අවශ්‍ය ජී.පී.එස් තාක්ෂණය ඇත්තේ 1,500කට පමණය. ඉතිරි බහුදින යාත්‍රා ධීවරයෝ කබලෙන් ලිපටය. ඉන්දියානු ධීවරයින්ට කල්ල මරේය. මෙතරම් කෙටි කලකින් අප්‍රසාදයට පත්වූ රජයක් ලොවෙත් නැත. ලොවි ගසෙත් නැත.

අපට අපේ රට තරම් සොදුරු රටක් තවත් නැත. අපට පායන ඉර හඳ තරම් දීප්තිමත් ඉර හඳක් තවත් නැත. අපේ අහස තරම් නිල්වන් අහසක් තවත් නැත. අපේ පොළව තරම් සරුසාර පොළවත් තවත් නැත. අපේ නදී ඇළ දොළ ගංගා තරම් සිසිල දෙන ජල සම්පතක් තවත් නැත. මේ අපේ රත්තරන් රටය. රන් දිවයිනය. එහෙත් එහි සැබෑ ජනතා ප්‍රශ්න එමට ඇත. ජීවන වියදම්, රැකියා, අධ්‍යාපනය, සංවර්ධන ප්‍රශ්න පසෙක තබා ‘බ්‍රා’ එක ගැන පමණක් කථා කලාට අපේකම රැකෙන්නේ හෝ ප්‍රශ්න විසදෙන්නේ නැත. ජනතාවට දුක මේ සියළු ප්‍රශ්න ‘බ්‍රා’ එකෙන් වසාගැනීමට තැත්කරන ටිකිරි මොළ ගැනය. එළද ‘බ්‍රා’ කියන්නේ මේවාටය.

– ධර්මන් වික්‍රමරත්න

Related posts

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතවෙයි

colombotoday

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

colombotoday

දෙමටගොඩ රුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

දින 100 වැඩපිළිවෙල මං දන්නේ නෑ කියා මං කීවේ නෑ – ජනපති

colombotoday

හිටපු ඇමති විජේදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට ?

colombotoday

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday