Articles

මිනීමරුවන්ට පක්ෂව හර්තාල් කිරීම….

දෙමළ ජනතා සංසදය යළි ක්‍රියාත්මක වී ඇත. මීට පෙර උතුරේ බුදු පිළිම පිහිටුවීමට එරෙහිව එළුගතමිල් නොහොත් දෙමළුනි නැගිටිව් ව්‍යාපාරය ආරම්භ කළ මෙම ඊනියා සංවිධානය ඉකුත් බ්‍රහස්‌පතින්දා යළිත් උතුරු නැගෙහිර පළාත අස්‌ථාවර කිරීමට කටයුතු කළේ නැවත වරක්‌ හර්තාලයක්‌ පවත්වමිනි. මොවුනට අවශ්‍ය ත්‍රස්‌ත අරමුණු වෙනුවෙන් උතුර – නැගෙනහිර අස්‌ථාවර කිරීම හැර අන් කුමක්‌ද? රටේ විනය ඇති කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යටතට පැවරීමට කටයුතු කරන බව කියන යහපාලන ආණ්‌ඩුව මේ හර්තාලය සම්බන්ධව ගනු ලැබුවේ කවර පියවරක්‌ද? විනය හැදිය යුත්තේ දකුණේ ප්‍රදේශවල පමණක්‌ද? උතුරු නැගෙනහිරට විනයක්‌ අවශ්‍ය නැත්ද?

දේදුණු සන්ධානය බලයට පත්වීමත් සමගම දෙමළ සන්ධානයට මෙන්ම උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්ටත් අමුතු බලයක්‌ ආරෝපණය විය. ඇත්තෙන්ම දෙමළ ජනතා සංසදය මෙහෙයවන්නේ ද මේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසිනි. දැන් උතුරු පළාත් මහ ඇමැතිවරයාගේම පූර්ණ ආශිර්වාදය යටතේ හර්තාල් පැවැත්වේ. මේ හර්තාල් ක්‍රියාමාර්ග නතර කිරීම කොළඹ ආණ්‌ඩුවේ වගකීමක්‌ නොවේද? උතුර පාලනය විග්නේශ්වරන් ට දී බකන්නිලාගෙන සිටිය යුතු වෙමුද?

2016 ඔක්‌තෝබර් මාසයේදීත් උතුරේ හර්තාලයක්‌ පැවැත්විණි. එදින යාපනය සම්පූර්ණයෙන්ම ජනශුන්‍යව පැවැතිනි. සහජීවනය මෙන්ම සංහිඳියාව වෙනුවෙන් උතුරේ හමුදා කඳවුරුවලින් පිටතට පැමිණීමට හමුදාවට අවසර නැත. හර්තාලය මුවාවෙන් හමුදා කඳවුරු තුළට ගල් ගැසුවද අවම බලය ක්‍රියාත්මක කිරීමට පවා ආරක්‍ෂක අමාත්‍යාංශයට දැනුම් දිය යුතුය. පසුගිය ඔක්‌තෝබර් මාසයේදී මෙම හර්තාලය පැවැත්වෙන විට කිලිනොච්චි රෝහල අසළින් ගමන් ගන්නා වාහනවලට පවා ගල් ප්‍රහාර එල්ල විය. දෙමළ පුද්ගලයකු එල්ල කළ ප්‍රහාරයකින් සමරවික්‍රම නම් පොලිස්‌ නිලධාරියාට තුවාල සිදුවූ පුවතක්‌ ද මාධ්‍යවල පළවී තිබුණි. මේ හර්තාලය පැවැත්වූයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු පොලිස්‌ වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධියට එරෙහිවය. සංහිඳියාව ආරක්‍ෂා කළ යුතු නිසා ආණ්‌ඩුව ද මේ හර්තාලය ගැන නිහඬව බලා සිටි අයුරු අපට මතකය.

දැන් යළිත් වරක්‌ දෙමළ ජනතා සංසදය හර්තාල් පවත්වන්නේ කුමක්‌ සඳහාද? කොටි ඩයස්‌පෝරාවේ නායක තෙදියවන් සතුටු කිරීම වෙනුවෙන් ද උතුරු නැගෙනහිර පළාත් අස්‌ථාවර වීම දැක වැඩියෙන් ම සතුටු වන්නේ කොටි හිතවාදීන් බව අමුතුවෙන් කිව යුතු නැත. උතුරේ පළාත් කිහිපයක අතුරුදන් වූවන්ගේ ඥතීන් උද්ඝෝෂණ උපවාස පවත්වන්නේ අද ඊයේ පටන් නම් නොවේ. සමහර උපවාස දින 65 ක්‌ ඉක්‌මවා ඇත. සී. වී. විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් බ්‍රහස්‌පතින්දා හර්තාලය පැවැත්වූයේද මෙම උපවාසකරුවන්ට සහයෝගය පළ කිරීම සඳහාය. එමෙන්ම උතුරේ හමුදා ඉඩම් නිදහස්‌ කිරීම ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ සිරගත කර සිටින කොටි සාමාජිකයන් නිදහස්‌ කිරීම මොවුනගේ තවත් ඉල්ලීම් කිහිපයකි.

අතුරුදන්වූවන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නේ කවුද? කොටි මහවිරු පවුල්වල සාමාජිකයන් මිස අන් කවරකුවත් නොවේ. යුද්ධයේදී මියගිය කොටි සාමාජිකයන් වෙනුවෙන් හර්තාල් පැවැත්වීම අනුමත කළ හැකිද? මොවුන් අතුරුදන්වූ සිවිල් වැසියන් නම් නොවේ. ත්‍රස්‌ත ඝාතකයන් වෙනුවෙන් උතුරු නැගෙනහිර අස්‌ථාවර කිරීමට හර්තාල් පැවැත්වීමට ඉඩදී බලා සිටීමට කොළඹ ආණ්‌ඩුවට හැකියාවක්‌ ඇත්ද? දෙමළුන් නැඟිටුවනු ලැබූ විග්නේෂ්වරන් ත්‍රස්‌තයන් යළි ගෙනැවිත් දෙන මෙන් ඉල්ලමින් හර්තාල් සිදු කරයි. සැබවින්ම මේ හර්තාලය රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයකි. හමුදා ආරක්‍ෂාව යටතේ හෝ බස්‌ රථ ධාවනය කර මේ හර්තාලය කඩා කප්පල් කළ යුතුව තිබිණි. නැත්නම් මොවුන් තවත් හර්තාලයක්‌ ලබන සතියේ ද ආරම්භ කරනු ඇත.

77 හැවිරිදි විග්නේශ්වරන් මහතා මෙවැනි උද්ඝෝෂණ හර්තාල් පවත්වමින් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? උතුරු නැගෙනහිර ප්‍රශ්න ජාත්‍යන්තරීකරණය කිරීමටද? වත්මන් ආණ්‌ඩුවේ හින්දු කටයුතු ඇමැති ඩී. ස්‌වාමිනාදන් මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ම පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ හමුදාව තමන් සතුව තිබූ අක්‌කර හැත්තෑදහසක්‌ දැනට ම නිදහස්‌ කර ඇති බවයි. නමුත් දෙමළ ජනතා සංසදයට අවශ්‍ය වන්නේ කිසිම හමුදා කඳවුරක්‌ නොමැති උතුරු පළාතක්‌ නිර්මාණය කිරීම ය. මෙය කිසිලෙසකින්වත් ඉටු කළ හැකිද?

2013 දී උතුරු පළාත් මහ ඇමැති තනතුරට පත්වූදා පටන් විග්නේෂ්වරන් සිදු කරනු ලැබුවේ සිංහල විරෝධය පැතිර වීම පමණකි. උතුරු පළාත් සභාවෙන් දෙමළ වැසියන්ට නිසි සේවයක්‌ ඉටු නොවන කළ සිය දේශපාලන ජනප්‍රියභාවය රැක ගැනීම සඳහා ජාතිවාදය පතුරුවමින් කොටි හිතවාදීන් සතුටු කිරීමට මහ ඇමැතිවරයා කටයුතු කරන බව රහසක්‌ නොවේ. නිරන්තරව උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් පැවැත්වුවහොත් සිදුවන්නේ කුමක්‌ද? යළි 2009 මැයි 19 ට පෙර පැවැති භීෂණ සමය උදාවීම නොවේද? අද දෙමළ ජනතාව උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සාමකාමීව තම ජීවිකාව කරගනිමින් සතුටින් වෙසෙති. ඔවුනගේ පාසල් යන දුවා දරුවන් පැහැර ගැනීමට කොටි සාමාජිකයෝ දැන් ඉතුරුවී නැත. සියලුදෙනා ඉතිහාසයට එක්‌ව තිබේ. එසේ නම් මෙලෙස හර්තාල් පවත්වා දෙමළ ජනතා සංසදය උත්සාහ කරන්නේ කුමකට ද? දෙමළ ජනතාවගේ සාමකාමී ජීවන රටාව කඩාකප්පල් කිරීමට නොවේද? ප්‍රභාකරන් පුරා තිස්‌වසක්‌ යුද්ධ කර දෙමළ ජනතාවගේ අනාගතය විනාශ කළ ආකාරයටම දෙමළ ජනතා සංසදය ද රට ආපස්‌සට ගෙන යැමට උත්සාහ කරන බව පෙනී යයි. මෙයට ඉඩ දිය යුතු නැත.

චතුර පමුණුව

Related posts

තිබූ සංහිදියාවත් නැති කරන, චන්ද්‍රිකාගේ සංහිදියා බළකායේ අරුම පුදුම උමතු නිර්දේශ..

colombotoday

Video – සිංහලේ සහ සිංහ ලේ – ආචාර්ය සූරිය ගුණසේකර වෙනස පහදයි

colombotoday

අල්ලාගත් රටවල් බෙදා විනාශකල සුද්දා දැන් කියන්නේ ලංකාව රටවල් දෙකකට බෙදිය යුතුයි කියාය.

colombotoday

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

FCID, CID මෙහෙයවන අදිසි හස්ථය ගැන ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

colombotoday

1818 උඩරට කැරැල්ලේ සැබෑ නායකයන් වූ වෙල්ලස්සේ වීරයෝ

colombotoday