Colombo Today Local NewsExclusive :

මේක විකාරයක්වත් පිස්සුවක්වත් නෙවෙයි, මෛතී‍්‍ර – ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණයේ ඇත්ත මෙන්න

ආණ්ඩු පෙරළියේ තීරණාත්මක ලක්ෂ්‍යය ලකුණු කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා දරන ලද ප‍්‍රයත්නය බව පෙනේ. නාමල් කුමාරගේ හෙළිදරව්ව සමග කරළියට පැමිණි එම කුමන්ත‍්‍රණය පිළිබඳව තවමත් සමහරු තුළ එතරම් විශ්වාසයක් නොමැති බව පෙනේ. ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සහ නෛතික කටයුතු සිදුවෙන ආකාරයත්, මෙම කුමන්ත‍්‍රණයේ සුල මුල පිළිබඳවත් දිවයින ඉරිදා සංග‍්‍රහය සමග සාකච්ඡාවකට සහභාගි වන්නේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත‍්‍රි ගුණරත්න මහතාය.

ප‍්‍රශ්නය – ජනාධිපති ඝාතනය සඳහා දියත් කරන ලද කුමන්ත‍්‍රණයක් පිළිබඳව විශාල කතාවක් පැතිරෙනවා. එම කුමන්ත‍්‍රණය පිළිබඳව හෙළිදරව් කරන ලද නාමල් කුමාර කියන චරිතයේ නීතිඥවරයා ලෙස ක‍්‍රියා කරන්නේ ඔබ… මේ සිද්ධිය පිළිබඳව සැකෙවින් සඳහන් කළහොත්…

පිළිතුර – මට මේ පිළිබඳව ආරංචි වන්නේ, පුවත්පත් මාර්ගයෙන්. ඒ සමගම මම කල්පනා කළා, මේ වැඬේ සුළුවට තකන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නායකයෙක් ඝාතනය කිරීම සඳහා සැලසුම් කිරීම කියන එක ඉතාම බරපතළ කාරණයක්. අනෙක් එක අපේ රටේ නායකයන් රාශියක් මීට පෙර ඝාතනය කරලා තියෙනවා. ඒ නිසාම අපි පසුබෑමකට ලක් වුණා. මේ අත්දැකීම් සමග තමයි, මම මේ තත්ත්වය පිළිබඳව කල්පනා කළේ. මේ ජනාධිපතිතුමා, ඔය තත්ත්වයට ගෙන එන්න අපිත් විශාල කැපවීමක් කළා. ඒ නිසා මේ ඝාතන කුමන්ත‍්‍රණය සඳහා කිසිදු ඉඩක් නොදිය යුතුය යන්න, අපේ ස්ථාවරය වුණා. ඒ සමගම සන්ඬේ ටයිම්ස් පුවත් පතේ, කර්තෘ වාක්‍යයේ සඳහන් වූ දෙයක් මා සඳහන් කරන්න අවශ්‍යයි. එහි සඳහන් වුණේ, පොලිස්පතිතුමාටත් ජනාධිපති ඝාතනය පිළිබඳව ආරංචි වෙලා තිබෙනවා. එසේ වුවත් පොලිස්පතිවරයා, ඒ පිළිබඳව කිසිදු කටයුත්තක් කරලා නැහැ. එම කර්තෘ වාක්‍යයේම සඳහන් වුණා, මේ පොලිස්පති එසේ නිකරුණේ සිටියේ ඇයි යන කාරණය පිළිබඳව. මේ සමග මට මේ පිළිබඳව තිබුණු සැකය, ක‍්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ සමග මට නාමල් කුමාර මුණ ගැසෙනවා. ඒ සමග ඔහු මට සඳහන් කරන්නේ, තමාගේ නඩුව සඳහා කිසිවෙකු පෙනී නොසිටින බවත්, ඔබතුමාට මම වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් ද කියන දේ ඔහු මගෙන් විමසනවා. මම ඔහු සමග කතා කරන විට, මෙම කුමන්ත‍්‍රණය දියත් කර තිබුණේ, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා පොලිස් සහ දේශපාලන ක්ෂේත‍්‍රයේ පිරිසක් සැලසුම් සකස් කරන ලද බව හෙළිදරව් වුණා.

මේ ආණ්ඩුවේ එක පාර්ශ්වයකට එරෙහිව තදින්ම ප‍්‍රහාර එල්ල කරන කෙනෙක් මම. හිටපු අගමැතිවරයාව මම දැඩි ලෙස විවේචනය කළා. මේ නිසා මට මගේ ජීවිතය පිළිබඳව සැකයක්, ඒ සමග මතු වුණා. ජනාධිපතිතුමා එසේ ඝාතනය කිරීමට සැලසුමක් තියෙනවා නම්, අපිව බල්ලෙක් වගේ මරලා දමාවී යැයි කියන සැකය මගේ සිතේ ඇති වුණා. ඒ සමගම මේ සඳහා තදින් ක‍්‍රියාත්මක විය යුතු බවට මම කල්පනා කළේ, මේ සමගයි.

ප‍්‍රශ්නය – මීට පෙර මේ රටේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වුණා. ඔවුන් සිය අරමුණ උදෙසා රටේ රාජ්‍ය නායකයා මෙන්ම දේශපාලන නායකයන් ඝාතනය කළා. ඒ සඳහා සැලසුම් හැදුවා. දැන් රටේ එවැනි වටපිටාවක් නැහැ. එසේ නම් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් සඳහා පසුබිමේ සිටින්නේ කවර පිරිසක් ද…?

පිළිතුර – අතීතයේ සිටම ලේ සුවඳ හොඳට දැනිච්ච, ඒවා විනෝදයෙන් විඳපු අය ඒ වෙලාවේ, මේ රටේ ඉහළ පුටුවල හිටියා. ඔවුන්ට තමන්ගේ ඊළඟ අරමුණ සඳහා යන ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන සැලසුමක් අවශ්‍ය වෙනවා. හිටපු අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවති සම්බන්ධය බිඳ වැටෙන්න පටන් ගත්තා. ඔවුන් දෙදෙනා එකට අසුන් ගෙන රැස්වීමක සිටින විට, ඔවුන්ගේ දේහ ලක්ෂණ වලින් පෙන්නුම් කරන දුරස්ථභාවය රටම දැක්කා. මම දන්න සමහර දේශපාලන චරිත බලය තහවුරු කර ගන්න, නොකරන දෙයක් නැහැ. තමන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් බලයට පැමිණෙන්න බැරි බව දන්නා මේ අය, ඒ සඳහා ඝාතන කුමන්ත‍්‍රණයක් දියත් කරන බව මම තේරුම් ගත්තා. මේ රටේ ජනාධිපති වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා වත්මන් ජනාධිපතිවරයා, ඝාතනය කිරීම අවශ්‍ය බව සිතන පිරිසක් මෙම කුමන්ත‍්‍රණය පිටුපස ඉන්නවා.

ප‍්‍රශ්නය – ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳව සිදුකෙරන කතිකාව සඳහා තවම තිබෙන එකම සාධකය වී ඇත්තේ නාමල් කුමාර කියන පුද්ගලයාගේ හෙළිදරව් කිරීම් පමණයි. එවැනි එක පුද්ගලයෙකුගේ වචන මාලාවක් මත, මෙසේ නිගමන සඳහා පැමිණීම සාධාරණ ද…? සමහරු සඳහන් කරන්නේ නාමල් කුමාර මානසික රෝගියෙකු බවයි.

පිළිතුර – මම කතා කරපු නාමල් කුමාර මානසික රෝගියෙක් නෙමෙයි. ඔහු බුද්ධි අංශයෙන් ඉහළ සිටින පුද්ගලයෙක් බව මට කියන්න පුළුවන්. නාමල් කුමාර පිස්සෙක් කියලා, කියන්න හදන්නේ, මේ විමර්ශනය යටපත් කිරීම සඳහා අවශ්‍ය පිරිසක්. මෙම කුමන්ත‍්‍රණය සඳහා ඉන්දියන් ජාතිකයෙක් සැකයට භාජන වුණා. ඔහු කෙළින්ම පිස්සෙක් බවට පත් කළා. මේ විමර්ශනයේ දී අහුවෙන, අහුවෙන හැම මිනිහම පිස්සෙක්… එතකොට වැඬේ ලෙහෙසිනේ… මෙතැනදී එක් කෙනෙක් ඇවිල්ලා, ඔහේ කියාගෙන යනවා නෙමෙයිනේ… ඔහු ඒ සඳහා අතීතයක් මෙන්ම සාධක රාශියක් නම් ගම් ඇතිව හෙළිදරව් කරනවා. නාමල් කුමාර කියන්නේ, පොලිස්පති පූජිත් ජයසුන්දර එම පදවියට පත් වෙන්න පෙර සිටම ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙක්. පූජිත් ජයසුන්දර මේ පුද්ගලයා සමග කාලාන්තරයක් තිස්සේ කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ තමයි, නාමල් කුමාරව, පොලිස්පතිවරයා විසින් නාලක සිල්වාට හඳුන්වා දෙන්නේ. පසුව ඔවුන් දෙදෙනා ඉතාම කුළුපග මිත‍්‍රයන් බවට පත් වෙනවා. නාමල් කුමාර විසින් නාලක සිල්වාට ඉතාම හොඳ තොරතුරු ලබා දීලා තියෙනවා. ඒවා මත නාලක සිල්වා වැඩ කටයුතු කරලා තියෙනවා. මේ නිසා ඔවුන් අතර හොඳ විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. නාලක සිල්වා විසින් නාමල් කුමාරට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දෙන්නේ, එම විශ්වාසවන්ත තොරතුරු ලබාදීම වෙනුවෙන්. රුපියල් ලක්ෂ පහක් දෙන්න තරම් විශාල සහ විශ්වාසවන්ත තොරතුරු ඔහු විසින් ලබා දී තිබෙන බව පැහැදිලියි. නාමල් කුමාර මේ කටයුතු කරන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ත‍්‍රස්ත විමර්ශන අංශය පිහිටුවලා, ඒ කටයුතු සිදු කරන්නේ, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මිසක් වෙන කාගේ හරි කුමන්ත‍්‍රණයක් මෙහෙයවන්න නෙමෙයිනේ… නාමල් කුමාර හමුදාවට සම්බන්ධව හිටපු කෙනෙක්. එවැනි කෙනෙක් ලබන්නේ, රජයට පක්ෂපාති පුහුණුවක්. ඔවුන් තමන්ගේ සේනාධිනායකයා ලෙස සිතන්නේ, ජනාධිපතිතුමාවයි. ඔවුන් ලබා දෙන්නේ එවැනි පුහුණුවක්… මේ සියල්ල සමග නාමල් කුමාරට නාලක සිල්වා කියන දේ පිළිබඳව ගැටලූ මතු වෙනවා. මේ සියල්ල කතා කරන්නේ දුරකථනයෙන් පමණක් නෙමෙයිනේ… දුරකථනයෙන් කතා කරන දේවල් වලට වඩා, බරපතළ දේවල් ඔවුන් හමුවී කතා කරනවා. ඒ සමග නාමල් කුමාරට මේ තත්ත්වයේ බරපතළකම වැටහෙනවා. ඒ අනුව තමයි මෙම හෙළිදරව්ව සිදුවන්නේ… මුලින්ම පොලිසිය කිව්වේ, මේවා සත්‍ය කටහඬවල් ද කියා සැකයක් තිබෙන බවයි. පොලිස්පතිවරයා මේ පිළිබඳව කියපු දේ මතකනේ… මේ කට හඬවල් පිළිබඳව ඔහුට සැකයි කිව්වා. එජාපයේ අය කිව්වේ, මේවා බොරු… මේවා හදපු දේවල් කියලා… නාලක සිල්වාත් මේවා එයාගේ කටහඬ නෙමෙයි කියලා කිව්වනේ. එදා ඒ අයගේ ක‍්‍රියා කලාපය බලන්න… ඒ වෙලාවේ ඉඳලා මේක බැහැර කරන්න තමයි ඔවුන් කටයුතු කළේ.

ප‍්‍රශ්නය – එසේ වුවත් පසුව මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය විසින් ආරම්භ කරනවා…

පිළිතුර – නාමල් කුමාර විසින් කරන හෙළිදරව්ව පිළිබඳව තිබෙන හඬ පට වැනි සාධක නිසා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන්න සිදු වුණා. ඒ අවස්ථාවේ අධිකරණය පවා ඉතාම ලිහිල් ලෙස තමයි මේ හමුවේ කටයුතු කළේ. මේ ඝාතන සැලැස්ම හදලා තියෙන්නේ, නිකම්ම නිකං දාමරිකයෝ හෝ පාතාලයේ පිරිසක් නෙමෙයි. මෙවැනි කටයුතු සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබා තිබෙන පිරිසක් බව, මම එදා අධිකරණයට ප‍්‍රකාශ කළා. මේ රටේ ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරව ඉන්න, නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි මේ කටයුත්ත සංවිධානය කරලා තිබ්බේ. ඔවුන් මෙවැනි රහස් වැඩ කටයුතු සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් ලැබූ අය. ඒවගේ කෙනෙක්, ජනාධිපති ඝාතනය වැනි සැලසුමක් සකස් කරද්දී, එය අල්ලා ගැනීම සඳහා සාධක ඉතුරු කරන්නේ නැහැ. ඔවුන් එවැනි කටයුතු වලදී පැල්ලම් ඉතුරු කර කර යන්නේ නැහැ. ඔවුන් ඉදිරියට යන්නේ, පැල්ලම් මකමින්… ඒ සඳහා ඔවුන්ට දැනුම තිබෙනවා. සම්පත් තියෙනවා. ඔවුන් හොබවන තනතුරු අනුව, රජයේ සම්පත් ආදිය මේ සඳහා භාවිත කිරීමේ පහසු හැකියාවක් තිබෙනවා. මෙවැනි දෙයකදී එය පහසුවෙන් භාර ගැනීමේ හැකියාවක් රාජ්‍ය යාන්ත‍්‍රණයට නැහැ. රටේ ජනාධිපතිවරයා ඝාතනය සඳහා තිබෙන කුමන්ත‍්‍රණයක් පිළිබඳව එවැනි පහසු මගක් පොලිසිය ගන්තේ ඇයි…? හඬපටි ගැලපීමත් සමග සී.අයි.ඩි.ය. නාමල් කුමාර සම්බන්ධයෙන් වෙනත් මගක් අනුගමනය කරන්න පටන් ගත්තා. සී.අයි.ඩි.ය විසින් එදා අධිකරණයේදී නාමල් කුමාර පිළිබඳව අලූත් කතාවක් කියන්න පටන් ගත්තා. නාමල් කුමාර කියන පුද්ගලයා නාවික හමුදාවට බැඳිලා, එතැනින් පැනලා ගිහිල්ලා, යුද හමුදාවට බැඳිලා, එතැනින් පැනලා ගිහිල්ලා… ආදී කතා රාශියක් පැමිණිලි කාරයා ගැන කියන්න පටන් ගත්තා. මේ නාමල් කුමාරව විත්තිකාරයා කරන්න පටන් ගන්න යන බව දැක්ක මම, අධිකරණයේදී ඒ පිළිබඳව විරෝධය දැක්වුවා. මේ සී.අයි.ඩි.ය දිගටම ඔහොමයි කළේ… ඞී.කේ.පී. දසනායක වැනි රණවිරුවන්ට මේ සී.අයි.ඩි.ය කළේ මොකක්ද…? රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේදී සාක්ෂි හදලා,මවලා දාපු සී.අයි.ඩි.ය නාමල්ගේ තිබෙන සාක්ෂිත් පැත්තකට දමලා, වැඬේ වෙන පැත්තකට හරවන්න යන බව මට තේරුණා. මේ පොලිස්පතිවරයා මේ වැඬේට හවුල්… ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය සඳහා අවි ආයුධ නිකුත් කරලා තියෙන්නේ, මේ පොලිස්පතිතුමා… නාලක සිල්වාගේ කණ්ඩායමක් මේ සඳහා පුහුණු කරන්න හැදුවා. ඒ සඳහා නාලක සිල්වා ඉල්ලීම් කරන ලද ලේඛනය මට දෙන්න පුළුවන්. මේ සිද්ධි ජාලයම අරගෙන බලන්න… ඒ සමග තමයි මේ පිළිබඳ බරපතළ සැකය ඇතිවෙන්නේ… නාලක සිල්වාව අත්අඩංගුවට ගන්න මේ අයට දවස් කීයක් ගියාද…? අදටත් මේ විමර්ශනය හරියට කෙරෙන්නේ නැහැ කියන එක තමයි, මම කියන්නේ…

දිවයින ඉරිදා සංග්‍රහය

Related posts

“හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලීසියේ දෙන්නෙක් දුන්නම හොදටම ඇති” – විජයකලා

colombotoday

පාර වසා උද්ඝෝෂණය කර මහජනයා පීඩාවට පත්කරාට අගමැතිට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday

වෑන් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී 08ක් රෝහලේ

Admin