Colombo Today Local News

යුද්ධය අවසන් සති දෙකෙ මම රටින් ගියේ නෑ.. කොළඹට කොටි ගහන සැලසුමක් ගැන මම දන්නෙත් නෑ – ගෝඨාභයගෙන් ජනපතිට පිළිතුරු

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන සති කීපය තුළ එල්ටීටීඊ සංවිධානය කොළඹට ගුවන් ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ බවක් තමන් දැන සිටියේ නැතැයි එවකට ආරක්ෂක ලේකම් පදවිය දැරූ ගෝඨාභය රාජපක්ෂ පවසයි.

එමෙන්ම යුද්ධයේ අවසාන දිනවල තමන් විදේශගත නොවූ බව ද ඔහු අවධාරණය කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ බව සඳහන් කළේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැතිවරයා, හමුදාපති සරත් ෆොන්සේකා හෝ එවකට ආරක්ෂක ලේකම්වරයා යුද්ධයේ අවසාන සති දෙක තුළ ශ්‍රී ලංකාවේ නොසිටි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

“අවසාන සති දෙකේ මමයි වැඩ බලපු ආරක්ෂක ඇමතිවරයා. අවසාන සති දෙකේ ලැබුණු වාර්තා තමයි, අවසන් සටන පසුබහින්නේ නෑ එල්ටීටීඊය, දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉඳල ඇවිල්ල, කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දාල කියල රජයට තොරතුරු ලැබුනේ. ඒ නිසා තමයි ඔක්කොම ගියේ රටින්,” යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවරදී ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවසීය.

කෙසේ වුවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ තමන්ට පවා එය අලුත් පුවතක් බවය.

“ජනාධිපතිතුමා මම දන්නේ නැති තොරතුරක් ඔය කිවුවේ මම හිතන්නේ ලෝකෙම දැනගෙන හිටියේ නැති දෙයක්. මට නම් එහෙම තොරතුරක් තිබුණේ නැහැ,” ඔහු පැවසීය.

“මම නම් හිටියා ලංකාවේ. මම කොහෙවත් ගියේ නෑ.”

කෙසේ වුවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුධ අපරාධ සිදු කළ බවට “බොරුවට දෝෂාරෝපණය කරන්නේ” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන පරිදි ඔහු යුද්ධයට දේශපාලන නායකත්වය දුන් දිනවලට අදාළව බැවින් ජාත්‍යන්තර වශයෙන් එල්ලවන එම චෝදනාවලින් රට නිදහස් කරගැනීම ජනාධිපතිවරයාගේ වගකීම බව ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

“එතකොට ජනාධිපතිතුමා නොදැනුව මං හිතන්නේ එතුමාගේ විදේශ ඇමතිවරයා ජිනීවා නුවරදී යෝජනාවකට සම අනුග්‍රහය දක්වනවා. ඉතින් එතුමා මේක මෙහෙයවපු හන්ද හොඳට දන්නවනේ එහෙම දේවල් සිදු වුනේ නෑ කියල. ඒ නිසා මේක වහාම හකුලාගන්න කියල, මේකෙන් ඉවත්වෙන්න කියල විදේශ අමාත්‍යාංශයට උපදෙස් දෙන්න ඕන.”

එයින් අදහස් වෙන්නේ කිසියම් ලෙසකින් ආරක්ෂක හමුදා විසින් යුධ අපරාධ සිදු කළේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි වගකීම භාරගත යුතු බව දැයි විමසූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, එවැනි කිසිදු අපරාධයක් සිදු නොවූයේ යයි තමන් දන්නා බවය.

යුද්ධයේ අවසාන සති කිහිපයේ තමන්ගේ ජීවිතයට ද තර්ජන පැවති බවත් ජනාධිපතිවරයා නිව්යෝක් නුවරදී සඳහන් කළේය.

“ඒ අවසන් සති දෙකේ මම කොළඹ නෙවෙයි හිටියේ. ඒ අවසන් සති දෙකේ මම රටේ තැන් තැන්වල හිටියේ. මොකද මම ඉන්න තැනත් දැනගනීද කියල,” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඒ අවස්ථාවේ තමන්ගේ ජීවිතයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන අන්දමේ තර්ජනයක් එල්ල වී තිබුණේ දැයි කළ විමසීමට පිළිතුරු දීම ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය.

හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හමුදාපතිවරයා පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළ කළ අදහස් ගැන විමසූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ “මම කතාකරන්නේ මම ගැන නේ,” යනුවෙනි.

බීබීසී සිංහල

Related posts

තරුණසේවා සභා, බෙල්වුඩ් ආයතනයත් කෑලි කර විකුණන්න යයි…

colombotoday

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin

සුළු පිරිසක් නිදහස නෑ කිව්වාට යාපනේ බහුතර ජනතාව ඉතාම නිදහසේ සතුටින් ඉන්නවා! – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති

colombotoday

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

colombotoday

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

ETCA ගිවිසුම අත්සන් කර අපේ බඩු ඉන්දියාවට යවනවා.. රට පොහොසත් වෙනවා – සජිත්ගේ ETCA විග්‍රහය මෙන්න

colombotoday