Colombo Today Local News

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

පසුගිය දින කිහිපය තුළ මහත් කතාබහට ලක්වූ ආනවිලූන්දාව කුරුලූ අභය භූමිය තුළ ඉස්සන් ගොවිපළක් පවත්වාගෙන යෑම සඳහා ඩෝසර් යන්ත‍්‍රයක් යොදවා බිම් සකස් කරවූ බවට චෝදනා ලබා සිටි ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා යන අය රක්ෂිත බන්ධනාගාරගත කළේ ඉකුත් විසිදෙවෙනි දිනය.

ඒ එදින නීතිඥවරයෙකු මාර්ගයෙන් හලාවත දිසා අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව මෙම මස 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කෙළේය.

ආනවිලූන්දාව රැම්සා තෙත්බිම් ප‍්‍රදේශය නීති විරෝධී ලෙස ඩෝසර් කරමින් ඉස්සන් කොටු ඉදිකිරීමට ක‍්‍රියා කර ඇත්තේ පසුගිය 25 වැනි දිනය. පසුව පරිසරවේදීන් හා මාධ්‍ය මගින් සිදුකරන ලද මෙම විනාශය සම්බන්ධයෙන් දිගින් දිගටම අනාවරණය කිරීමෙන් අනතුරුව ආරච්චිකට්ටුව පොලිසිය එම සිද්ධියට අදාළ ඩෝසර් කිරීමට යොදා ගත් ඩෝසරය හා ක‍්‍රියාකරු වන නිශාන්ත ප‍්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. ඒ අගෝස්තු 28 වෙනි දිනය.

ඩෝසර් ක‍්‍රියාකරුගෙන් පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම්වලදි හෙළිවූයේ අදාළ ඉස්සන් ටැංකි සැකසීම සඳහා පිංකට්ටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන සුජීව නිශාන්ත කුමාර යන අය තමන්ට ඩෝසර් කිරීම සඳහා කොන්ත‍්‍රාත් ලබා දුන් බවයි.

අනතුරුව මෙම ව්‍යාපාරිකයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදි හෙළිවූයේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා මෙම ඉස්සන් ටැංකි සැකසීම සඳහා ආධාර අනුබල දුන් බවටය.

එම සිද්ධියෙන් පසු අදාළ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය අවස්ථා කිපයකදී ප‍්‍රධාන සැකකරු වන ජගත් සමන්ත මහතාගේ නිවසට ගොස් තිබූ අතර අදාළ සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබුණ බවට සඳහන්.

මෙවන් පසුබිමක ආරචිච්කට්ටුව පොලිසිය 21 දින මූලික සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ සැකකාර මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කිරීම හලාවත මහෙස්ත‍්‍රාත්වරයා කටයුතු කර තිබුණි.

anavilu3

මෙම සිද්ධිය වන්නේ අගෝස්තු 25 වැනි දිනය. නමුත් සිද්ධියට අදාළ ප‍්‍රධාන සැකකරු වූ සභාපතිවරයා මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වේ. ඒ නිසාවෙන්ම පරිසරවේදීන්, විපක්ෂ දේශපාලඥයන් මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පාර්ශ්වයන් ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පමා වන්නේ මන්දැයි ප‍්‍රශ්න කරන්නට වූහ. එම පාර්ශ්වයන් මෙන්ම ජනතාව අත්අඩංගුවට ගැනීමට පවතින පමාව සම්බන්ධව රජයට ඇඟිලි දිගු කරන්නට විය. බොහෝවිට තෝරු මෝරු වැරදි කරද්දි හාල් මැස්සන් එහි බිල්ල බවට පත් වෙන බව ද එම පාර්ශ්වයන් පෙන්වා දීමට කටයුතු කළහ.

මෙලෙස විවිධ පාර්ශ්වයන් විසින් රජයට චෝදනා එල්ල කරන පසුබිමක විෂය භාර අමාත්‍ය සී. බී. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ආනවිලූන්දාව රැම්සා රක්ෂිතයේ විනාශය සිදු කළ ප‍්‍රදේශය නිරීක්ෂණය කිරීමට පැමිණෙන්නේ ඉකුත් 30 වෙනි දිනය.

අනතුරුව මේ සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය සී. බී. රත්නායක මහතා කටයුතු කරයි. ඒ අනුව රක්ෂිත ප‍්‍රදේශය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පරීක්ෂණ කණ්ඩායමේ විමර්ශන වාර්තාව එළිදැක්වීමෙන් පසු එම වාර්තාව විෂය භාර අමාත්‍ය සී. බී. රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම වන විනාශයට ප‍්‍රධාන සැකකරුවකු ලෙස ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන ජගත් සමන්ත හඳුනාගත් බවයි.

පසුගිය දින කිහිපයේ වාර්තා වූ පරිසර හානි පිළිඳව කරුණු පැහැදිලි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ආනවිලූන්දාව රැම්සා තෙත්බිමට හානි කිරීම පිළිබඳව සංවාදයක් ඇති විය. එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා අදාළ සැකකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කළේය. දිනෙන් දින එල්ලවන චෝදනා හේතුවෙන් සැකකාර හිටපු සභාපතිවරයාට අධිකරණයෙන් මඟ හැරීමට නොහැකි තත්ත්වයක් උදා විය.

ආනවිලූන්දාව රැම්සා තෙත් බිම බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක විසින් සැප්තැම්බර් 09 දා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවද ඊට අදාළ විමර්ශනවල පැහැදිලි ප‍්‍රගතියක් දක්නට නැතැයි විපක්ෂය හා පරිසර සංවිධාන චෝදනා කළේය.

ශ‍්‍රී ලංකාවේ පවතින අන්තර්ජාතික රැම්සා තෙත් බිම් තුනෙන් දෙවැනිවරට ප‍්‍රකාශයට පත්කරන ලද තෙත්බිම ආනවිලූන්දාවයි. ලෝක සංරක්ෂණ සංගමය මගින් මෙහි ජෛවවිවිධත්ව, පාරිසරික සහ තෙත් බිම භාවිතය පිළිබඳ කරුණු අධ්‍යයනය කළ අතර, 2001 අගෝස්තු මස 03 වැනිදා මෙය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණි.

එකල ආනවිලූන්දාව රැම්සා රක්ෂිතයේ මෙහි වල්අලින් බහුලව දිවිගෙවා ඇති අතර, ”අලියා එරුණු වළ” යන අර්ථයෙන් දෙමළ බසින් ආන උලන්දඩු” ආනඋලන්දන් වී පසුව ආනවිලූන්දාව වූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මෙම රක්ෂිතය කොළඹ – පුත්තලම ඒ – 3 ප‍්‍රධාන මාර්ගයේ හලාවත නගරයේ සිට කිලෝමීටර් 15 ක් උතුරින් ආනවිලූන්දාව රැම්සා රක්ෂිතයේ ප‍්‍රවේශ මාර්ග පිහිටා ඇත. වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ කලාපයට අභයභූමිය අයත් වූ අතර, ආනවිල්ලූන්දාව නමින් වනජීවී අඩවියක් ක‍්‍රියාත්මක වේ. සංචාරක ආකර්ෂණය දිනාගත්, සොබා සෞන්දර්යයෙන් අනූන පරිසර නිකේතනයක් බැවින් සැලකිය යුතු සංචාරක පිරිසක් මෙහි නිතිපතා පැමිණෙති.

ආනවිලූන්දාව රක්ෂිත භූමියේ අක්කර 135 ක භූමි කොටසක් එවකට පැවති රජය 1986 ජූලි මස 03 වෙනි දින ඉදිරි වසර 30 කාලයට දීර්ඝ කාලීන බදු පදනම යටතේ පෞද්ගලික සමාගමක් වන කාසන් නමැති සමාගමට ලබාදීමට කටයුතු කර තිබේ. මෙසේ බදු පදනම මත ලබා ගෙන ඇත්තේ ඉස්සන් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමටයි. එම කාල සීමාව තුළ රජයට අදාළ බදු මුදල් ගෙවා ඇති බවද සඳහන්. 2016 ජූලි මස 02 දින අදාළ බදු කාලය අවසන් වීමෙන් පසු එම සමාගම විසින් අදාළ ඉඩම් කොටස රජයට භාරදීමට කටයුතු කර තිබේ.

anavilu2

කාසන් සමාගම මෙම බදු අත්හැර දැමීමෙන් පසුව ද එම ප‍්‍රදේශයේ විවිධ පුද්ගලයන් ඉස්සන් කොටු පවත්වා ගැනීමට කටයුතු කර ඇත. මෙසේ පුද්ගලයන් 15 දෙනකු ඉස්සන් කොටු 51 ක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්. කෙසේ වෙතත් ප‍්‍රශ්නය පැන නැගී ඇති ඉඩම් කොටස හිටපු සභාපති ජගත් සමන්ත මහතා විසින් ඉස්සන් වගා ව්‍යාපෘතියක් සඳහා යොදාගෙන තිබේ. ඒ සඳහා ජලජීවී වගා සංරක්ෂණ අධිකාරිය මගින් අංක ්ූීඛ 05633 දරන බලපත‍්‍රය නිකුත් කර ඇත. 2016 වසර දක්වා මෙම ප‍්‍රදේශයේ ඉස්සන් වගාව සිදුකළත් 2001 වර්ෂයේ සිට රැම්සා අභය භූමියක් බවට පත් කිරීමෙන් පසුව ඉස්සන් වගාව පවත්වාගෙන යෑමට විවිධ පාර්ශ්ව විසින් ඉල්ලීම් ලැබුණද එම ඉල්ලීම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

මාධ්‍යවේදීන්, පරිසරවේදීන් මෙම පරිසර විනාශය හෙළි නොකළේ නම් විශාල පරිසර විනාශයක් සිදු වීමට ඉඩ ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙති. මේ සම්බන්ධව අදහස් දක්වන වයඹ පරිසර සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන් මහතා-

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ කාලසීමාව තුළ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවක් විශාල ලෙස පරිසරය හානි සිදුවුණා. ආනවිලූන්දාව අභය භූමිය තමයි පළමුවෙන්ම මෙම පරිසර හානිය අනාවරණය වුණේ. මාධ්‍ය මගින් මේ සම්බන්ධව රටටම හෙළි කළා. අපි අදාළ පරිසර හානිය සිදුවී ස්ථානය හොඳින් නිරීක්ෂණය කරලා මේ සම්බන්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්න කියා හඬක් නැගුවේ අපේ පරිසර සංවිධානය. රැම්සා අභය භූමියේ සංචාරක පක්ෂීන්ගේ ගිමන් හරින පරිසර පද්ධතියක් බවට මෙම විනාශය කරපු ප‍්‍රදේශය පරිසරවේදීන් විසින් හඳුනාගෙන තියෙනවා. දැනට ඩෝසර් කරලා තියෙන්නේ අක්කර එක හමාරක පමණ භූමි ප‍්‍රදේශයක්, හැබැයි මෙම ස්ථානයේ අක්කර 130ක 35 ක භූමි ප‍්‍රදේශයක් තමයි ඒ කාලේ පුද්ගලික සමාගමකට බදු දීලා තිබුණෙ. ඊට පස්සේ ප‍්‍රදේශයේ ජනතාව කලින් කලට මෙම ස්ථානයේ ටැංකි ඉදි කරලා ඉස්සන් වගා කරන්න පටන් ගත්තා. මෙම භූමි ප‍්‍රදේශය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වුණාට පස්සේ මෙහි කිසිම ඉදිකිරීමක් සිදු කරන්න නොහැකි වුණා. හැබැයි මූලාරම්භයේ මේ සම්බන්ධව සොයා බැලූවේ නැත්තං ඉදිරි කාලසීමාව තුළ මෙම අක්කර එකසිය තිස් ගානම ඩෝසර් කරන්ඩ බොහෝ විට ඉඩ තිබුණා. දේශපාලන හයිය අරගෙන සිදුකරන මේ විනාශ වත්මන් ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වෙලා මෙවැනි දේවල් සිදු නොකරන්න නීතිය තදින් ක‍්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඕන.

වයඹ හඬ පරිසර සංවිධානයේ සභාපති විල්පොත පේ‍්‍රමානන්ද හිමි-

මේ විනාශය සම්බන්ධව අපි ඉතාමත් කනගාටු වෙනවා. මොකද මෙම පරිසර පද්ධතිය අද ඊයේ ඇති වූවක් නොවෙයි වසර ගණනාවක් තිස්සේ ගහකොළ ඇළ දොල ක‍්‍රමයෙන් හැදී වැඞී ගොඩනැගිලි නිර්මාණය වෙන්නේ. හැබැයි මේ තරම් විනාශයක් වෙද්දි සභාපතිවරයාගේ සහෝදරයා ප‍්‍රදේශයේ ජනතා නියෝජිතයා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහත්තයා කියනවා මේක ඩෝසර් කෙරුවට පරිසර විනාශයක් වෙලා නෑ කියලා. ඒක සිදුකළ කළ පරිසර විනාශයට වඩා දරුණු ප‍්‍රකාශනයක්. ඇස් පනාපිට පෙනි පෙනීත් මේ වගේ ප‍්‍රකාශයක් කිරීම් හාස්‍යජනකයි. දැන් අදාළ පුද්ගලයාට නීතිය ක‍්‍රියාත්මක වෙලා තියෙනවා. අපි බලන් ඉන්නවා පරිසර සංවිධාන හැටියට කොයි ආකාරයෙන් ද මෙවැනි පුද්ගලයන්ට දෙන දඬුවම කියලා. මේ සංවේදි පරිසර පද්ධතිය පසුගිය කාලය තුළ විනාශ කළේ කිසිදු අයකු අනුමත නොකරන අයුරින්. නමුත් ඒ සඳහා පරිසරයට ආදරය කරන බොහෝ පිරිසක් එම පරිසර පද්ධතියට නැවත ජීවය දෙන්න අපිත් සමග කථා කරලා තියෙනවා. අපි එහි ප‍්‍රථම වැඩසටහන ලෙස මෙම ඩෝසර් කරන ලද ඉඩම ආසන්නයේ කඩොලාන සිටුවීමේ වැඩසටහනක් පසුගිය 19 පැවැත්වූවා. මෙම වැඩ වැඩසටහන අපි අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. හැබැයි මේ සිදුවූ විනාශය නම් මකන්න හම්බ වෙන්නේ නෑ.

Divaina

Related posts

යුධ අපරාධ කළෝ කවරහුද?

colombotoday

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday

රන් මාලයක් කොල්ලකෑ දෙදෙනෙක් පොලීසියෙන් වෙඩි කයි

colombotoday

අලුත් මහාධීකරණයක් හදා මහින්දට නඩු දානවා.. ප්‍රජා අයිතිය ජීවිතාන්තයටම අහෝසි කරනවා

colombotoday

බුදුපිළිමයක් පොළොවේ ගසා කුඩු කළ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

කොටි සුරතල් හමාරයි… උතුරේ මහවිරු සැමරුම් මෙවර නැහැ… මුලංකාවිල් කොටි සොහොන් බිම පාළුවට ගිහින්…

colombotoday