Colombo Today Local News

ලංකාවේ සිට එංගලන්තයේ පරිගණක පද්ධති නවත්තපු හැකර්

එක්සත් රාජධානිය ප‍්‍රමුඛ රටවල් කිහිපයකට අයත් ආයතන එකසිය අනූ එකකට පරිගණක මෘදුකාංග නිෂ්පාදනය කර බෙදා හරින හා සේවා සපයන ත‍්‍රිකුණාමලයේ පිහිටි පෞද්ගලික ආයතනයක පරිගණක පද්ධතියට හොර රහසේ ඇතුළු වී එහි මුරපදය වෙනස්  කර, එය නිවැරැදි කිරීමට ආයතන හිමිකරුගෙන් රුපියල් ලක්ෂ පනහක කප්පමක් ඉල්ලූ‍ විශ්වවිද්‍යාල සිසුවකු ඇතුළු තිදෙනකු පසුගියදා ත‍්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙම පිරිස ඉතාමත් සූක්ෂම අන්දමින් අදාළ ආයතනයේ පරිගණක පද්ධතියට ඇතුළු වී පැය පහක පමණ කාලයක් එම පද්ධතිය වැරදි ලෙස හැසිරවීමෙන් අදාළ ආයතනයට සිදුකර ඇති පාඩුව  රුපියල් එක්කෝටි අනූතුන් ලක්ෂයක් පමණ වන බව එම ආයතනයේ හිමිකරු වන කේ. බාලකුමාර් පොලීසියට ප‍්‍රකාශ කර තිබේ.

ඔයිස්ලෑන්ඞ් නමැති අදාළ ආයතනය ත‍්‍රිකුණාමලය  ඕර්ස්හීල් ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර, එහි හිමිකරු වන බාලකුමාර් ලංකාවේ හා එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසි භාවය හිමිකර ගත් අයෙකි. වසර තිස් පහකට වැඩි කාලයක් ඔහුගේ ස්ථීර පදිංචිය එක්සත් රාජධානියේ වුවද, ඔහුගේ උපන්ගම ත‍්‍රිකුණාමලයයි. එසේම ඔහු පරිගණක පිළිබඳ මහ දැනුම් සම්භාරයක්ද ඇත්තෙකි.

ඔයිස්ලෑන්ඞ් ආයතනයේ තිහක පමණ පිරිසක් සේවය කරති. එක්සත් රාජධානිය, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ ආයතන එකසිය අනූ එකකට මෘදුකාංග සැපයීමට අමතරව ඔවුන්, එම ආයතනයන්හි පරිගණක පද්ධති මෙහෙයුම් කටයුතු ද සිදු කරති. එක්සත් රාජධානියේ පිහිටි ඉන්ධන හල් හා සුපිරි වෙළෙඳ සල් බොහොමයක පරිගණක පද්ධති මෙහෙයුම් කටයුතු සිදුකර ඇත්තේ, ත‍්‍රිකුණාමලයේ පිහිටි මෙම ඔයිස්ලෑන්ඞ් ආයතනයයි.

ඉකුත් මාර්තු මස 13 වන දින පෙරවරුවේ ඔයිස්ලෑන්ඞ් ආයතනයට මුහුණ දීමට සිදුවන්නේ, කිසිසේත් නොසිතු ගැටලූවකටය. එනම්, ඔයිස්ලෑන්ඞ් ආයතනයේ පරිගණක පද්ධතියට යම් කිසිවකු හොර රහසේ අතුළු වී එය “හැක්”  කර තිබීමයි. ඔයිස්ලෑන්ඞ් ආයතනයේ පරිගණක පද්ධතියට හොර රහසේ ඇතුළු වු අයෙකු එහි මුර පදය වෙනස් කර තිබීම හේතුවෙන්, එකී ආයතනයෙන් සේවා ලබන එක්සත් රාජධානියේ පිහිටි ආයතන තිස් හතකම පරිගණක පද්ධති ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබුණි. මේ ආයතන අතරින් වැඩි ප‍්‍රමාණයක් ඉන්ධනහල් හා සුපිරි වෙළෙද සංකීර්ණවීම තත්ත්වය වඩාත් බරපතළ කළේය.

ඔයිස්ලෑන්ඞ් ආයතනයේ කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලය පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී, ආයතන හිමිකරුට නිර්නාමික දුරකථන ඇමතුමක් දෙමින් යම් අයකු කියා සිටින්නේ, ඔයිස්ලෑන්ඞ් ආයතනයේ පරිගණක පද්ධතිය හැක් කර ඇති බවත්, එය යථා තත්ත්වයට පත් කිරීමට නම්, රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් ලබා දෙන ලෙසත්ය.

මේ වන විට පැය පහක පමණ කාලයක් අදාළ පරිගණක පද්ධතිය හැක් කිරීම හේතුවෙන් ඔයිස්ලෑන්ඞ් ආයතනයෙන් සේවා ලබන ආයතන 37 ට සිදුව ඇති පාඩුව රුපියල් එක්කෝටි අනූතුන් ලක්ෂය ඉක්මවා තිබූ බැවින්, ආයතන හිමිකරුට ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව තිබුණි. එනම්, රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදල ලබා දී නව මුරපදය ලබා ගෙන හැකි ඉක්මනින් පද්ධතිය සියතට ගැනීම හෝ මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමය.

ආයතනයේ හිමිකරු වන බාලකුමාර් කළේ මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කිරීමයි. මෙම පැමිණිල්ලත් සමගම ති‍්‍රකුණාමල පොලීසියේ පොලිස් පරීක්‍ෂක ලලිත් කුමාර ඇතුළු කණ්ඩායම බාලකුමාර්ට  දුරකථන ඇමතුම් ලබා දුන් දුරකථන අංක විශ්ලේෂණය කර බලද්දී, මේ සඳහා සිම් කාඞ් පත් තුනක් භාවිත කර ඇති බවත්, ඉන් දෙකක් ද්විත්ව සිම් සහිත ජංගම දුරකථනයටත්, අනික් සිම් පත ඔවුන් මේ සඳහා භාවිත කළ ලැප්ටොප් වර්ගයේ පරිගණකයේ ඩොන්ගලයට යොදා ගෙන ඇති බවත් හෙළි වේ.

එහිදී විවිධ තාක්ෂණික උපක‍්‍රම ඔස්සේ, අදාළ ඇමතුම උපයෝගි කර ගනිමින්  සිදුකළ පරීක්ෂණයේදී මෙහි මහ මොළකරු වන ත‍්‍රිකුණාමලය  ඕර්ස්හීල් පදිංචි විශ්වවිද්‍යාල සිසුවකු වන තනකරාසා සංජීව් නමැති 22 හැවිරිදි අය හඳුනා ගත්තේය.

සැකකරුගේ පියා ත‍්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය ඉදිරිපිට සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන්නකු වන අතර, වැඩිමහල් සොහොයුරා හැක් කිරීමට ලක් වූ ඔයිස්ලෑන්ඞ් ආයතනයේ පරිගණක ක‍්‍රියාකරුවකු ලෙස සේවය කරන්නකු බවද පොලීසිය විසින් සොයා ගත්තේය.

අදාළ සැකකරු කට උත්තරක් ලබා ගැනීමට ඇති බව කියමින් පොලීසියට ගෙන්වා ගෙන දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී, මෙම පරිගණක අපරාධය තමා විසින් මෙහෙයවූ බව පිළිගත්තේය. සැකකාර සිසුවා තොරතුරු තාක්ෂණ විෂය ධාරාව යටතේ 2017 වසරේ දී අපොස උසස් පෙළ විභාගයෙන් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රථමයා බවට පත් වී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි.

සැකකරුගේ වැඩිමහල් සොහොයුරා එම ආයතනයේ සේවය කරන්නකු බවත්, ඔහු මගින් අදාළ පරිගණක පද්ධතියේ මුරපදය ලබා ගෙන මෙම පරිගණක අපරාධය සිදුකළ බවත් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකාර සිසුවා පාපොච්චාරණය කර ඇත. තම අධ්‍යාපන කටයුතු සඳහා වැය වෙන මුදල් සිය සොහොයුරා විසින් ලබා දෙන බවත්, ඔහුට ප‍්‍රමාණවත් වැටුපක් අදාළ ආයතනය මගින් නොගෙවන බැවින් මෙම වංචාව සිදු කිරීමට පෙලඹුණු බවත් හෙතෙම ප‍්‍රකාශ කර තිබේ.

මේ සඳහා තම සොහොයුරා හැරෙන්නට තම මිතුරන්  දෙදෙනකු ද සම්බන්ධ කර ගැනීමට සැකකාර සිසුවා කටයුතු කර තිබේ. මින් එක් සැකකරුවකු තව දුරටත් පොලීසියට කට්ටි පනිමින් සිටින අතර, ඔහු ආයතන හිමිකරුට ඉංග‍්‍රීසි බසින් ඇමතීම සඳහා සම්බන්ධ කර ගෙන ඇත. පරිගණක පද්ධතිය හැක් කිරීම සිදුකරන දිනද සැකකාර සිසුවාගේ සහෝදරයා වන ප‍්‍රදීප් එහි රාත‍්‍රී වැඩ මුරයේ යෙදී සිට ඇත. ඔහුගේ රාජකාරි කාලය වී ඇත්තේ, සවස 6 සිට පසුවදා පෙරවරු 6 දක්වා වන අතර, 13 වන දින අලූ‍යම 04 ට පමණ සැකකාර සිසුවා එක් මිතුරෙකු සමග ඔවුනට අයත්  කන්නියා ප‍්‍රදේශයේ පිහිටි ගොවිපළකට ගොස් ලැප්ටොප් පරිගණකයක් හරහා මෙම හැක් කිරීම සිදු කොට ඇත.

අනතුරුව පෙරවරු 9.00 ට පමණ සැකකාර සිසුවා ඉංග‍්‍රීසි හොඳින් කතා කළ හැකි මිතුරා ලවා අදාළ කප්පම් මුදල ඉල්ලා  ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන  හිමිකරුගේ සොහොයුරියකටද අනතුරුව  ආයතනයේ කළමනාකරුට අවසානයේ හිමිකරු වූ බාලකුමාරන්ටද  දුරකථන ඇමතුම් ලබා දී තිබේ.

ඔරිස්ලෑන්ඞ් ආයතනයෙන් තමාට රුපියල් 13000 ක පමණ ඉතා අඩු වැටුපක් ගෙවූ  බවට සැකකාර සිසුවාගේ සොහොයුරා වන තනක රාසා ප‍්‍රදීප් (25) නැමැත්තා   සිය නිවැසියන්ට ප‍්‍රකාශ කර ඇතත්, ආයතන හිමිකරු කියන්නේ, රුපියල් 35000ට වඩා වැඩි වැටුපක් තම ආයතනයෙන් අදාළ සැකකරුට ගෙවූ බවයි. තමා ලද උපාධියට සරිලන  වැටුපක් නොලැබීම හා ආයතනයේ කළමනාකරු තමා නොසලකා හැරීම යන කාරණා හේතුවෙන්  අදාළ සැකකරු දැඩි කලකිරීමට පත්ව සිටි අයකු බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

තම අධ්‍යාපන කටයුතු සඳහා දිගින් දිගටම සොහොයුරාගෙන් මුදල් ඉල්ලා කරදර කරද්දී, අදාළ ආයතන පරිගණක පද්ධතියේ මුර පදය ලබා දී, මේ මගින් මුදල් ලබා ගැනීමට හැකි ක‍්‍රමයක් ඇද්දැයි සොයා බලන ලෙස සොහොයුරා දැනුම් දුන් බැවින් මේ සඳහා තමා පෙලඹුණු බව සැකකාර සිසුවා පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත. ඔහු ඊට තම සොහොයුරාට අමතරව සිය මිතුරන් දෙදෙනකු සම්බන්ධ කරගෙන ඇත.

සැකකාර සිසුවා ඇතුළු පිරිස ඉකුත් මාර්තු 29 වන දින ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, මේ මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇති අතර, පොලීසියට කට්ටි පනිමින් සිටින ඉතිරි සැකකරුද වහා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත.

ත‍්‍රිකුණාමලය මූලස්ථාන පොලීසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, ත‍්‍රිකුණාලය මූලස්ථාන පොලීසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.එස්. ලලිත් කුමාරගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දොලවත්ත හා පොලිස් කොස්තාපල් 75769, ජයතුංග මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

colombotoday

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

colombotoday

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Admin

නිරෝධායන නීති බල්ලට දැමූ සූදු පොලක 7ක් මාට්ටු

colombotoday

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin