Colombo Today Local Newsfeatured

වනාතවිල්ලූවේ ගොඩනගන් නට ගිය වහාබ් මිටියාවත, ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි…!

  • ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි.
  • අන්තවාදීන් පුහුණු කිරීම්.
  • පුපුරණ ද්‍රව්‍ය සාමාජික නම් ලැයිස්තු නවීන තාක්ෂණික උපකරණ රහසිගත මෙහෙයුමකටද?
wanatha villuwa

“අබු ෂුරාහ් සිලානි” හෝ “මොහොමඞ් මුෂින් ෆර්හාස් නිලාම්” යන නම් දෙකම මේ වනවිට බොහෝ දෙනකුගේ මතකයෙන් ඈත්ව ඇති බව නිසැකය. අප කියන්නට යන කතාවට පෙර ඒ ගැන නැවත සිහිපත් කිරීම අතිශය වැදගත්ය.

ශ‍්‍රී ලංකාවේ ගලේවෙල උපන් ‘‘මොහොමඞ් මුෂින් ෆර්හාස් නිලාම්’’ අයි.එස්.අයි.එස්. (I.S.I.S.) ත‍්‍රස්තවාදියකු බවට පත්වූ වග ජාත්‍යන්තරව ප‍්‍රකාශයට පත් වූයේ අයි.එස්.අයි.එස්. සංවිධානය විසින්ම ප‍්‍රකාශයට පත්කරනු ලැබූ ‘ඩබික්’ (Dabic) සඟරාවේ හතරවැනි කලාපයේය. ඒ 2015 නොවැම්බර් මාසයේදීය. එහි තිබූ ලිපියක සඳහන්ව තිබුණේ මුෂින් ෆර්හාස් නිලාම් සමග තවත් 21 දෙනෙකු අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයට බැඳීම සඳහා සිරියාවට පැමිණ ඇති බවය. ඔවුන් අතර මුෂින්ගේ පවුලේ උදවියද සිටි බව එහි සඳහන්ය.

wanathavilluwa2

 ‘මුෂින්’ නමැති ගහල අයි.එස්. ත‍්‍රස්තවාදියාට එම අන්තවාදී සංවිධානය විසින් ලබාදී ඇති නම වූයේ අප ඉහත සඳහන් කළ ‘අබු ෂුරාහ් සිලානි’ ය. ‘මුෂින්’ නොහොත් ‘අබු ෂුරාහ්’ ගැන තොරතුරු ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශ සෙවීම ආරම්භ කරන විට (එනම් 2016 වර්ෂයේදී, බුද්ධි අංශ ක‍්‍රියාවලිය උදාසීන කර තිබූ අවධිය වන විට) ලෙබනනයේ හා ජාත්‍යන්තර පොලිසියේ බුද්ධි අංශ ඔහු ගැන බොහෝ තොරතුරු සොයාගෙන අවසන් කර තිබිණි. එම කාලවකවානුව වනවිට ඉන්දියාවේ ත‍්‍රස්ත මර්දන බළකායද අවධාරණය කර තිබුණේ ශ‍්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. ඒජන්තවරයකු සිටිය හැකි බවය. එම දිනවල ඉන්දීය ත‍්‍රස්ත මර්දන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගත් අයි. ඕ.සී. තෙල් සමාගමේ විධායක නිලධාරියකු වූ මොහොමඞ් සීරාජුඞීන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ යැයි සැක කෙරෙන ඉන්දියාවේ පූනේ නගරයේ 16 හැවිරිදි පාසල් සිසුවියක ගැනත් ශ‍්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත ඒජන්තයා ගැනත් තොරතුරු හෙළිවී තිබිණි. මේ සියලූ සිදුවීම් මේ රටේ වගකිවයුතු අය බරපතළ ලෙස ගණන් ගන්නේ නැත. ඒවා හුදු හුදකලා සිදුවීම් පමණක් බවට පත් වී තිබිණි.

එම නොතකා හැරීම බරපතළ කාරණයක් බවට පත්ව ඇත්තේ දැන්ය. මේ ඒ කතාවය. අප පූර්වාපර සන්ධි ගළපාගත යුත්තේ මේ කතාවද සමගිනි.

වර්තමාන කතාව

පසුගිය ජනවාරි 16 වැනිදා පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේදී සැකකටයුතු තරුණ පිරිසක් අත්අඩංගුවට ගන්නේ පුපුරන ද්‍රව්‍ය තොගයක්ද සමගිනි. මෙය බිය උපදවන කතාවක් හැටියට සැලකිය යුතු වන්නේ යුද්ධයෙන් පසු අපේ රටේදී මෑතකදී හමුවූ වැඩිම පුපරන ද්‍රව්‍ය තොගය එය වීම නිසාය. මේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ අහම්බයකිනි. පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා මාවනැල්ලේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියේදී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබූ ප‍්‍රධාන සැකකරුවකු මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ද ප‍්‍රදේශයෙන් අතුරුදන්ව තිබිණි. කෙසේ හෝ කුරුණෑගල පොතුහැර ප‍්‍රදේශයේදී ද බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම පුද්ගලයන්ද මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව කියැවේ. කෙසේ හෝ මෙම පුද්ගලයන් දෙදෙනා පොලිසියට ප‍්‍රකාශ කර තිබුණේ බුදු පිළිමවලට හානි කිරීම සඳහා තමන්ව මෙහෙයවූයේ ශ‍්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය නමින් යුත් සංවිධානයක සාමාජිකයකු යැයි කියන ‘සහීඞ්’ නමැත්තකු බවය.

එම අන්තවාදී ක‍්‍රියාව සඳහා තමන්ට උපදෙස් ලබාදුන්නේද, බුදු පිළිමවලට හානි කිරීම සඳහා කපන කටු, මිටි මෙන්ම යතුරු පැදිය ලබාදුන්නේද ‘සාහීඞ්’ නමැත්තා බව ඔවුහු කියා තිබිණි.

 මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු පුත්තලම ප‍්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් මත, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ නියෝග මත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීමෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පුත්තලම බලා පැමිණෙන්නේය. එම විමර්ශන කණ්ඩායමට තවත් තොරතුරක් වාර්තා වී තිබිණි. ඒ පුත්තලම වනාතවිල්ලූවේ, පුබුදුගම, ලැක්ටෝ හවුස් පොල්වත්තේ සැක සහිත පිරිසක් රැඳී සිටින බවය. ලැක්ටෝ හවුස් පොල්වත්ත අක්කර අසූවක් පමණ විශාලය. එම ඉඩමේ හිමිකරු අබූ හනීෆා නමැත්තෙකි. ඔහු මේ වනවිට මියගොස් ඇති බවත් එම ඉඩමේ වත්මන් පාලනය අබූ හනිෆාගේ දියණියන් දෙදෙනකු සහ පුතු සතු විය. 16 වැනිදා රාත‍්‍රියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු එකතු වී එම ඉඩමේ පවත්වාගෙන ගිය කුකුළු ගොවිපළක් වැටලූහ. එහෙත් එම ඉඩමේ අදාළ සැකකරුවන් සිටියේ නැත. එහෙත් මොහොමඞ් මුජීස්, මොහොමඞ් පස්රීන්, මොහොමඞ් පොවීන්, මොහොමඞ් හමාස් යන පිරිස් එහි වූහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහුද එම පිරිසගෙන් ප‍්‍රශ්න කරමින් සිටින අතරවාරයේ අදාළ ඉඩමේ කුඩා මුරපොළක් වැනි ස්ථානයක වළදමා තිබූ නිල්පැහැති ප්ලාස්ටික් බැරල් තුනක් දක්නට ලැබිණි.

නිලධාරීන් පිරිස වහා එම බැරල් ගොඩට ගෙන පරීක්ෂාවට ලක් කළේය. පුදුමයකි, ඒවා තුළ වූයේ පොටෑසියම් නයිටේ‍්‍රට් වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 75 ක්, නයිටේ‍්‍රට් ඇසිඞ් ලීටර් 120 ක්, ඩෙටනේටර් සියයක්, පතොරම් තුවක්කුවක්, පතොරොම් තොගයක්, ඉලෙක්ට්‍රොනික පරිපථ දෙකක්, රසදිය ග‍්‍රෑම් 50 ක්, වයර් අඩි 120 ක්, කඳවුරු බැඳීමට ගන්නා ටෙන්ට් රෙදි දෙකක්, නැව් බඳින කඹ අඩි 170 ක්, බැටරි, ලැප්ටොප්, මල්ටිමීටරයක්, රවුටරයක්, අරාබි බසින් ලියැවුණු පොත් 20 ක්, ජංගම දුරකතන හතරකි.

අදාළ පොල් වත්තෙහි ගල් කොරි නැත. ඒ අනුව මේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබෙන්නට ඇත්තේ ගල් බෝර දැමීමට නොවන බව පැහැදිලිය. එම වත්තෙහි අදාළ ස්ථානයේ කුකුළු ගොවිපළක් පවත්වාගෙන ගොස් තිබේ.

 කුකුළු කෑම සඳහා හෝ කුකුළන් මරා දැමීමට පුපුරන ද්‍රව්‍ය භාවිත කරන්නේද නැත. මාළු මැරීම සඳහාද පුපුරන ද්‍රව්‍ය භාවිත කරන නමුත් මේ වනවිටත් මේ පුද්ගලයන් එවැනි කටයුත්තක යෙදුණු බවට සාක්‍ෂියකුදු නැත. එම සැක සංකා වඩාත් තීව‍්‍ර කරන සිදුවීමක් ඊට නුදුරු දිනෙකම සිදුවීම තරමක් බරපතළ ලෙස සිතන්නට යමක් ඇති බව ඒත්තු ගන්වයි.

 මාවනැල්ලෙනුත් පුපුරන ද්‍රව්‍ය

 මාවනැල්ල සහ ඒ අවට ප‍්‍රදේශවල බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සොහොයුරන් දෙදෙනාගේ පියාගේ මාවනැල්ලේ පිහිටි නිවස පසුගිය 21 වැනිදා හදිසි සෝදිසියකට ලක් කරන ලදී. ඒ කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතය. එම සෝදිසි කිරීමේදී ද එහි සඟවා තිබී මෙතෙක් හඳුනා නොගත් පුපුරන ද්‍රව්‍ය වර්ගයක්, පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර (මොටරෝලා) දෙකක්, කුළුගෙඩියක්, වක් පිහියක්, වායු රයිෆලයක් එම උණ්ඩ පිරවූ ටින් තුනක්, කළු පැහැති මුහුණු ආවරණ 02 ක්, අත් වැසුම් කට්ටල තුනක්, ඉස්කුරුප්පු නියන් කට්ටලයක්, සංයුක්ත තැටි (සී.ඞී.) 240 ක්, ලැප්ටොප් පරිගණක 02 ක්, නවීන පන්නයේ දුරකතන දෙකක්, පෙන් ඩ‍්‍රයිව් පහක් සහ වීඩියෝ කැමරාවක් ද හමුවී තිබේ. මීට අමතරව 13 දෙනකුගේ නම් ඇතුළත් නාම ලේඛනයක් ද හමුවී තිබේ. එම නාමලේඛනයේ සඳහන් නම් 13 න් හත්දෙනකු බුදුපිළිම හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන පුද්ගලයෝ වෙති. ඉතිරි හයදෙනා සම්බන්ධයෙන් ද මේ වන විට පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට සොයන සොහොයුරන් දෙදෙනා අන්තවාදී ආගමික කල්ලියකට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇති බවද පොලිසිය සඳහන් කර තිබේ.

 දිය කොරහෙත් කිඹුලන් සිටිය හැකිය

බොහෝ සිදුවීම් සංහිඳියාවටත්, සාමයටත් බාධාවක් වේ යැයි සිතා තීන්දු තීරණ ගැනීමට යෑමේදී බොහෝ දේ සිදුවී අවසන් වන්නට ඇති ඉඩකඩ වැඩිය. පුත්තලමෙන් පමණක් නොව මාවනැල්ලෙන්ද ‘‘පුපුරණ ද්‍රව්‍ය’’ මතුවීම සරල සිදුවීම් හැටියට ලඝු කිරීම එතරම් නුවණක්කාර දෙයක් නොවේ.

අප මුලින් කීවාක් මෙන් මේ කිසිදු සිදුවීමක් හුදෙකලා සිදුවීම් නොවේ. තිස් වසරක යුද්ධයක් අවසන් කරන්නට සමත් ආරක්ෂක හමුදාවක් සිටින රටකට විශිෂ්ට ගණයේ බුද්ධි අංශ ජාලයක් (තිබුණු) රටකට තැනින් තැන හමුවන පුපුරන ද්‍රව්‍ය තොගද ක‍්‍රම ක‍්‍රමයෙන් ව්‍යාප්ත වන අන්තවාදය ගැනද නිවැරැදි තොරතුරු නොලැබීම ගැන ජනතාව තුළ සැක සංකා පහළවීම අරුමයක් නොවේ.

 එතරම්ම සූක්‍ෂම ලෙස පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ රැස් කිරීම, ගබඩා කිරීම, ප‍්‍රබල මැදිහත්වීමකින් තොරව කළ හැක්කක්ද නොවේ. ඇත්තම කතාව නම් ඉස්ලාම් මූලධර්මවාදය රහසිගතව මේ රටේ කි‍්‍රයාත්මක වන බවය. එමෙන්ම අන්තවාදය වෙනුවෙන් මුසල්මානුවන් පුහුණු කිරීමද ඉතා සූක්‍ෂ්මව සිදු කෙරේ. ‘‘නම් ලැයිස්තු’’ පවත්වාගෙන යමින් පුපුරන ද්‍රව්‍ය එකතු කිරීම කළේ රතිඤ්ඤා කර්මාන්ත ශාලා වෙනුවෙන් යැයි කවුරුන් හෝ නුදුරේදීම කියන්නට බැරිය. මාවනැල්ල සිදුවීමේදී ‘‘අදාළ සැකකරුවන් පොලිසියට භාර දෙන්නෙමි’’ යැයි කී දේශපාලනඥයා ඇතුළු තවත් බොහෝ උදවිය මේ මෙහෙයුම් කටයුතු පිටුපස සිටින බවට සැකයක් නැත.

 අප තේරුම්ගත යුතු සත්‍යය වන්නේ මුස්ලිම් රටවලට මෙන්ම මුස්ලිම් නොවන රටවලටද මේ වනවිට ඉස්ලාමීය ත‍්‍රස්තවාදය හා අන්තවාදය බරපතළ අර්බුදයක් වී ඇති බවය. මේ රටේ කි‍්‍රයාත්මක වෙමින් තිබී විනාශ කර දැමුණු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් හැරුණු විට ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදීන් ලෙස සැලකෙන්නේ අයි.එස්.අයි.එස්., අල්කයිඩා, ජිහාඞ්, හමාස්, වහබ්වාදීන් වැනි අන්තවාදී කණ්ඩායම්ය. අන්තවාදය එකහෙළා අනුමත කරන බොහෝ මැදපෙරදිග රටවල් (විශේෂයෙන් කටාරය) මේ ත‍්‍රස්තවාදීන්ට නොමසුරුව සහාය ලබා දේ. මෙවැනි අනාවැකි මත පළකරන විට සමහර අය ඉක්මනින් කලබලයට පත්වීම අප දැක ඇති සුපුරුදු ස්වභාවයයි.

අබු සයිලානි ගලේවෙලින් කටුනායකටත්, එතැනින් සිරියාවටත් ගොස් අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තයන් සමග සම්බන්ධ වන තෙක්ම සයිලානිගේ අල්ලපු ගෙදර උදවිය තබා රටේ බුද්ධි අංශවලටද ඔහු හමු නොවන්නේ නැවත අන්තවාදයක් ත‍්‍රස්තවාදයක් එන්නේ නැතැයි කී මෝඩයන්ට පිං සිදුවන්නටය. ‘‘දිවයින’’ පත‍්‍රයේ පළවූ ලිපියකින්ම මීට පෙරද මේ ගැන අපි කියා ඇත්තෙමු. 2015 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 28 වැනිදා ‘‘දිවයින’’ පුවත්පතෙහිම ප‍්‍රධාන පුවතෙන් දැක්වුණේ ශ‍්‍රී ලංකාවේ පවුල් 9 කට අයත් 45 දෙනකු අයි.එස්.අයි.එස්. සංවිධානයට බැඳීම සඳහා සිරියාවට ගොස් ඇති බවය. එසේම ශ‍්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. සංවිධානයට හිතවත් ‘‘ත‍්‍රස්ත සානුකම්පිත’’ පිරිස වර්ධනය වන බවද එකල බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, රහස් ලේඛනයක් මගින් දැනුම්දී තිබිණි. ත‍්‍රස්තවාදයේ මුහුණුවර දැන් වෙනස් ආකාරයක් ගෙන තිබේ. එයට විවිධ රටවල මූලධර්මවාදීන්, අන්තවාදීන් සිය ජාලයට එක්කර ගැනීමේ හැකියාවක්ද තිබේ. මෙවැනි අන්තවාදී කි‍්‍රයාකාරකම් වේගයෙන් ලොව පුරා පැතිර යන වේගයට සමාන්තරව ඒ ගැන තොරතුරුද ලොව පුරා හුවමාරු වෙමින් තිබේ. ලොවපුරා බුද්ධි අංශ මෙම තොරතුරු පාදක කර ගනිමින් එම ත‍්‍රස්ත අන්තවාදී කි‍්‍රයා විමර්ශනය කිරීමේ ඒකක (උදාහරණයක් ලෙස (I.S.I.S. DESK) ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ. මේ මොහොත වනවිට ශ‍්‍රී ලංකාවද එවැනි ඒකකයක් පිහිටුවීමේ තද වුවමනාවක් ඇති තැනක සිටින බව කිව යුතුය. එසේ නම් පවුල් පිටින් සිරියාවට ගොස් ‘‘ජිහාඞ් ජෝන්ලා’’ වන්නට පෙරම එහි සුලමුල සොයා ගන්නට හැකිව තිබිණි. වනාතවිල්ලූවෙත්, මාවනැල්ලෙත් පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන්නට මෙන්ම ඒවා සොයා ගන්නටද හැකිව තිබිණි.

මේ කියන දෑ ‘‘දිය කොරහේ කිඹුලන් නොව ඇනකොණ්ඩාවන්’’ දැකීමක් යැයි සමච්චලයට ලක්කරන සාම මහත්වරු සිටිය හැකිය.

ඒ අයට කියන්නට ඇත්තේ ත‍්‍රස්තවාදය නැවත අපේ රටට එන්නේ එල්.ටී.ටී.ඊ. වේෂයෙන්ම පමණක් නොවන බවය. ඒ නිසා මුහුදට හත් ගව්වක් තිබියදීම අමුඩය හැඳ සිටීම නුවණට හුරුය.

– Divaina –

Related posts

ලොව සුපිරිතම ඇමරිකානු හමුදා යානයක් මත්තලට ඇවිත් ගිහින් (Photo)

colombotoday

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

“මට වට්ස්අප් කරන්න, මාසෙකින් අනුමැතිය දෙන්නම්“ ඇමති සුජීව හා විදුලි දුම්රිය ආයෝජකයන් අතර සාකච්ඡා වීඩියෝව එළියට..

colombotoday

දිවයින පුරා තැපැල් සේවකයින් අදත් සංකේත වැඩවර්ජනයක..

Admin