Colombo Today Local News

වියදම් දරන බලය ජනපති සතුය-පී. බී.‌ගෙන් මංගලට පිළිතුරු

පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවේ විසර්ජන පනතක් සම්මත වී නැත්නම් නව පාර්ලිමේන්තුව රැස්වී මාස තුනක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් වියදම් දැරීමේ බලය ජනාධිපතිවරයාට ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරට ලිපියක් යවමින් කියා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය මගින් ජනාධිපතිට එම බලය පැවැරී ඇති බවත් එහි සඳහන් වේ.

මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයා විසින් පසුගිය 28 වැනි දින ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලිපියක් යවමින් ආචාර්ය පී. බී. ජයසුන්දර මේ බව කියා සිටී.

මංගල සමරවීරගේ ලිපියේ වැරදි තොරතුරු රැසක් ගොනුවී ඇතැයිද එවැනි ලිපියක් යොමු කිරීම කනගාටුවට කරුණක් බවද පවසමින් ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

ඔබ විසින් ජනාධිපති වෙත අමතන ලද ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනය කිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමටද සිදුවිය.

1. ඔබ දන්නා පරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2015 වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූ පරිසරයක් තුළ බව සඳහන් නොවීම.

2. 2015 සිට 2019 දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමැතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑම වර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුව විසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබෙන බව.

3. 2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය ඇස්තමේන්තු තිබියදීත් නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182ක් වූ අතර ඒ හිඟ මුදල් පොහොර, ඖෂධ, වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරීම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තිබුණ බව සඳහන් නොවීම,

4. රු.බි. 211 ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණ ද රාජ්‍ය ගිණුම් වලට ඇතුළත් නොකර ඇති බව,

5. ජාතික ආදායමේ වර්ධනය සියයට 5ක සිට සියයට 2.5 දක්වා වාර්ෂිකව දුර්වලවීම, රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් ඇමැතිවරයා වශයෙන් පැහැදිලි කිරීම් ලිපියේ ඇතුළත් කර නොතිබීම,

6. හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද, එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද, ETI වැනි මූල්‍ය සමාගම් කඩාවැටී තැන්පත්කරුවන් අසරණභාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව.

ජනාධිපතිවරණයෙන් පසු රජයක් පිහිටු වීමෙන් පසු ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඇතිව අගමැතිවරයා විසින් ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයද ඇතුළත්ව ගෙවීමට තිබූ රු.බි. 182ක ප්‍රමාණයක හිඟ බිල්පත් හා රු.බි 211 ප්‍රමාණයක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට නීතිපතිතුමාගේ අනුමැතියද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම මගින් ජනාධිපතිවරණයේදී බහුතර ජනතාවගේ ජනවරම නොසලකා හැරීමද කනගාටුවට කරුණක් බව ජනාධිපතිවරයා ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත.

එය 2015 දී පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව සිටි සුළුතර රජයට විපක්ෂය සහාය දුන් ආකාරයට බෙහෙවින් පටහැනිය.

මේ සියල්ලටම වඩා නව ලිබරල්වාදී සමාජ හා ආර්ථික දර්ශනයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයි ද යන්න පිළිබඳ ජනාධිපති කනස්සල්ල පළ කරන බවද දැන්වීමට කැමැත්තෙමි.

Related posts

ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ තීරණයක්

colombotoday

විදුලිය ඉතිරි කරන්න රවීගෙන් යෝජනා තුනක්… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

ලක්ෂ 6යේ පුටුව ගැන විමල්ගෙන් හදුන්නෙත්තිට පිළිතුරු !

colombotoday

හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල් රාජපක්‍ෂ

colombotoday

චෝදනා ඔප්පු කර පෙන්වනු.. නැතිනම් සමාව ගනු – සරත් විජේසූරියට ඇවන්ගාඩ් අභියෝගයක් (Video)

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday