Colombo Today Local News

සජිත්ගෙ තාත්තා එල්.ටී.ටී.ඊ අපිට සල්ලි එක්ක රයිෆල් දුන්නා. UNP-JVP-LTTE අපි හැමෝම මිනී මැරුවා. දැන් සුදනො වෙන්න බෑ. – කරුණා අම්මාන්

සජිත්ගෙ තාත්තා එල්.ටී.ටී.ඊ අපිට සල්ලි, අනෙක් පහසුකම් එක්ක රයිෆල් 5000ක් දුන්නා. නෑ කියනවා නම් මම එනවා සාක්ෂි දෙන්න

යූ.එන්.පී – ජේ.වී.පී. – එල්.ටී.ටී.ඊ. අපි හැමෝම මිනී මැරුවා.. දැන් සුදනො වෙන්න බෑ… හැමෝම එකයි

එල්.ටී.ටී.ඊ. එකෙන් මාව ගැලෙව්වෙ රනිල් කියලා කියන කතාව අමූලික බොරුවක්

ද්‍රවිඩ ජාතික සභාවෙන් ඉල්ලන්නේ ටී.එන්.ඒ ඡන්ද කඩන්න ඕන නිසා.

ඡන්දෙ දිනුවට පස්සෙ අනිවාර්යයෙන් මම ඉන්නෙ මහින්ද මහත්තයා එක්ක

ත්‍රිවිධ හමුදාවෙ පන්දහසක් ඝාතනය කළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති මෙන්ම පසුගිය රජයේ නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් කළ ප්‍රකාශය පසුගිය දින කිහිපය තුළ රටම උණුසුම් කළේය. ඔහු මෙවර ද්‍රවිඩ මහජන සභා පක්ෂය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්යෙන් මහ මැතිවරණයට පිවිසෙන්නේය.

මේ තමන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හා ඔහුගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව කරුණා අම්මාන් වෙබ් අඩවියක් සමග කළ විශේෂ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – යුද සමයේ ත්‍රිවිධ හමුදාවේ දෙදහසක් තුන් දහසක් ඝාතනය කළ බවට ඔබ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. හිටි හැටියේ මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් ඔබ අපේක්ෂා කළේ කුමක් ද?

පිළිතුර – මම කිසිම දෙයක් අපේක්ෂා කළේ නෑ. මම කිව්වෙ ඇත්ත. කොරෝනාවට වඩා කරුණා භයානක බව ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් කියලා තිබුණා. ඔව්.ඇත්ත. මම එයාට කිව්වා යුද්ධ සමයේ අලිමංකඩ හා අනෙකුත් තැන්වල හමුදාවේ 2000ක් 3000ක් ඝාතනය කර තිබෙනවා කියලා. ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක් ද?. එහෙම දෙයක් සිදුවූ බව රහසක් නොවෙයි. එය ඔයත් දන්නවා. උතුරත් දන්නවා. දකුණත් දන්නවා. සඟවන්න දෙයක් නැහැ. මේ ගැන මීට ඉහත දී ඕන තරම් කතා වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – මේ ප්‍රකාශය නිසා ඔබව අත්අඩංගුවට ගන්නා ලෙස දකුණේ ඇතැම් පාර්ශව විසින් රජය දැඩිව බලපෑම් කරනවා.

පිළිතුර – ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගන්න නම් හිරගෙදරට දාන්න හරි වැරැද්දක් කරලා තියෙන්න ඕනෑ. මාව අත්අඩංගුවට ගන්න මා කළ වරද කුමක් ද?. වරදක් කරන්නෙ නැතිව කාටවත් මාව අත්අඩංගුවට ගන්න බෑ. මම කළ ප්‍රකාශයේ කිසිම වරදක් නැහැ කියා මම යළිත් කියනවා. එය අදටත් හෙටටත් මතු අනාගතයටත් එලෙසම තමයි. එල්.ටී.ටී.ඊ යටතේ එවැනි දේවල් සිදු වූ බව රහසක් නොවෙයි. නමුත් මෙතන මහා දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා.

ප්‍රශ්නය – මොකක් ද ඒ කුමන්ත්‍රණය.?

පිළිතුර – එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අද මා කළ ප්‍රකාශය ඉස්මතු කරමින් ඔවුන් දකුණේ ජනතාව කුපිත කර පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. එය වැරදියි. උතුරේ හො දකුණේ කවුරුන් හෝ එහෙම කරනවා නම් එය වැරදියි. අනෙක මෙය දකුණේ ජනතාවත් දන්න කාරණයක්. ඒ නිසා මම දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවන ලෙසයි.

ප්‍රශ්නය – රටේ වගකිවයුතු පුද්ගලයෙක් මේ වගේ ප්‍රකාශයක් කළ විට ඔබ ඔය කියන එක්සත් ජාතික පක්ෂය, සජිත් ප්‍රේමදාස ගේ සමග ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂවලට ඒ ගැන කතා කරන්න අයිතියක් තියනවා නේද?

පිළිතුර – ඔව්. කතා කරන්න අයිතියක් තියනවා. ඒ අයිතිය මටත් තිබෙනවා. නමුත් අපි කාටවත් බොරු කියලා ජනතාව මුලා කරන්නවත්, ජනතාව අවුස්සන්නවත්, ඔවුන් ප්‍රකෝප කරන්නවත් අයිතියක් නැහැ. අනෙක එල්.ටී.ටී.ඊ ය ශක්තිමත් වීම ගැනවත් ඝාතන ගැනවත් කතා කරන්න එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමක්ති පෙරමුණට කිසිම අයිතියක් නැහැ.

ප්‍රශ්නය – ඔවුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ. මේ රටේ ජනතාව දැනුවත් කිරීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඔබ ඒ අයිතියට අභියෝග කරනව ද?

පිළිතුර – කිසිසේත්ම නෑ, එදා එල්.ටී.ටී.ඊ.යෙ ඉඳලා අද මමත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගෙන ඇවිත් දේශපාලනයේ නිරතවී සිටිනවා. නමුත් මම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටින කාලේ වැරදි කළා. ඝාතන කළා. ඒ හ සමගම අද ප්‍රජාතන්ත්‍රවාදයේ ඉන්නවා කියන ඔය පක්ෂත් මිනිස් ඝාතන කළා. එහෙම කළේ නෑ කියලා ඔවුන්ට කියන්න බෑ. එහෙම කියනවා නම් ඔවුන් ඒවා කළ බවට මම සාක්ෂි දෙනවා.

ප්‍රශ්නය – ඔබ කියන දේ අපැහැදිලියි. මොනවද ඒ අය කළ ඝාතන කියලා පැහැදිලි කළ හැකි ද?

පිළිතුර- එල්.ටී.ටී.ඊ ය පෝෂණය කළේ කවුද?. ඕගොල්ලෝ මේවා දැනගන්න ඕන. අද ඔය කෑගහන, මාව අත්අඩංගුවට ගන්න කියන, මට විරුද්ධව පරීක්ෂණ කරන්න කියන සජිත් ප්‍රේමදාසගේ පියා ආර්.ප්‍රේමදාස රටේ නායකයා ලෙස එල්.ටී.ටී.ඊ ය ශක්තිමත් කළා. අපිට එදා අවි දුන්නා. මුදල් දුන්නා. වෙනත් දේවල් ලබා දුන්නා. එපමණක් නොවෙයි, රයිෆල් 5000ක් එල්.ටී.ටී.ඊයට ලබා දුන්නා. එහෙම දුන්නෙ නෑ කියලා අද ඒ අයට කියන්න බෑ. එහෙම කියනවා නම් මම ඒ ගැන සාක්ෂි දෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව 80,000ක් මරා දැමුවා. එය ඔවුන්ට නැහැ කියන්න බැහැ. ඔවුන් හමුදාවේ අය මැරුවෙ නැද්ද?. මැරුවා… දේශපාලන නායකයන් මැරුවෙ නැද්ද?. මැරුවා. අහිංසක ජනතාව මැරුවෙ නැද්ද?. මැරුවා. සිංහල දෙමළ මුස්ලිම් කියලා නෑ… හැම ජාතියකම මිනිස්සුන්ව මේ අය මැරුවා. මේව කළේ නෑ කියලා ජ.වි.පෙ. ට කියන්න පුලුවන් ද?.

ඒ නිසා මේක තේරුම් ගන්න. අපි කවුරුත් එකයි. හැමෝගෙන්ම වැරදි සිදුවෙලා තියනවා. ඒත් වැරදි නොකරන තැනට අපි දැන් ඇවිත් තියනවා. එහෙමනම් ඒ ගමන ඒ විදිහට යා යුතුයි. බොරු කියලා සුදනෝ වගේ ජනතාව මුලා කරන්න හොඳ නෑ.

ප්‍රශ්නය – ඔබ සිදුකළ ප්‍රකාශයෙන් පසුව දකුණෙ දේශපාලන නායකයින් ඔබට කතා කළේ නැද්ද.?. ඔය වැනි ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලීමක් කළේ නැද්ද?. එවැනි ඉල්ලීම් කළ බවට වාර්තා වෙලා තිබෙනවා. ඇත්තටම එහෙම බලපෑමක් කළා ද?

පිළිතුර – ඔව්… මට සමහර දේශපාලඥයො කතා කළා.

ප්‍රශ්නය – කවුද ඒ?

පිළිතුර – ගොඩක් අය මට කතා කළා. මේ ගැන ඇහුවා. ඉතින් ඒ හැමෝටම මම මා කියපු සත්‍ය ප්‍රකාශ කළා.

ප්‍රශ්නය – කොහොමද ඔබේ දේශපාලන ව්‍යාපාරයේ කටයුතු. සාර්ථක ද?

පිළිතුර – ඔව්. ඉතාම සාර්ථකයි. මෙවර ද්‍රවිඩ මහා සභාව වශයෙන් අපි නාම යෝජනා දුන්නා අපේ මැතිවරණ ව්‍යාපාරයට. මේ වනවිට අපි අපේ දේශපාලන කටයුතු ආරම්භකර තිබෙනවා. පසුගිය වතාවලට වඩා මෙවර වෙනස්. මොකද කොරෝනා වසංගතය එක්ක තමයි අපට මේ මැතිවරණය කරන්න වෙලා තියෙන්නෙ.

ප්‍රශ්නය – ඔබ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ හිටපු ප්‍රබල නියෝජ්‍ය ඇමතිවරයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙක්. මෙවර ඔවුන් සමග ඡන්දයට ඉදිරිපත් නොවී තනිව තරග වදින්න හිතුවෙ ඇයි.?.

පිළිතුර – ඒ අය සමග කිසිම ප්‍රශ්නයක් මට නෑ. මාව ජාතික ලයිස්තුවෙන් වුනත් දාන්න ඔවුන් සූදානම්. ඒත් අපිට ජනතාව සිටිනවා. අප අපේ ජනතාව අතරට යා යුතුයි. අම්පාර දිස්ත්‍රික්කය බලනවා නම් සිහංල, මුස්ලිම්, දෙමළ හැම කෙනෙක්ම මට ආදරෙයි. ඒ අය වෙනුවෙන් අපට වැඩක් කළ හැකියි.

ප්‍රශ්නය – ප්‍රභල දේශපාලන පක්ෂයකින් තරගයට පිවිසෙන්නෙ නැතිව ඔබ මහජන සාභාව යටතේ තරග කරන්න තීන්දු කළේ ඇයි?. ඊට යම් විශේෂ හේතුවක් තියනව ද?.

පිළිතුර – කිසිම විශේෂත්වයක් නැහැ. අපට අවශ්‍යව තිබෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ බලය අඩු කරන්න. ඒ සඳහා හොඳම ක්‍රමය මේ ආකාරයට මැතිවරණයට ඉදිරිපත් වීම බව අප තීරණය කළා.

ප්‍රශ්නය. ලබන අගෝස්තු පස් වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන කොපඹණ සංඛ්‍යාවක් ඔබේ පක්ෂයට ලබා ගන්න හැකි ද?

පිළිතුර – අඩුම වශයෙන් මන්ත්‍රී ආසන 04ක් අපි ලබා ගන්නවා. ඒක ෂුවර්

ප්‍රශ්නය – ඔබට මන්ත්‍රී ධූර එයි කියලා අනුමාන කරන දිස්ත්‍රික්ක මොනව ද?

පිළිතුර – අම්පාර, ත්‍රී කුණාමලය, වන්නි, මඩකලපුව, යන දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ධූරය බැගින් නියත වශයෙන්ම අපට ලබාගන්න පුලුවන්, අප ඉල්ලන පළමු වතාව නිසා එහෙම උනොත් ඒක ලොකු ජයග්‍රහණයක් ලෙස අප සලකනවා.

ප්‍රශ්නය – ඔය මන්ත්‍රීධූර හතර තියාගෙන විපක්ෂයේ ඉන්නව ද?. ආණ්ඩුවට යනවා ද?.

පිළිතුර – අනිවාර්යයෙන් මම මහින්ද මහත්තයා ළඟට යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ.

ප්‍රශ්නය – මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වේවි කියලා ඔබ විශ්වාස කරනව ද?

පිළිතුර – නියත වශයෙන්ම ඔව්. එතුමා අගමැති වෙනවා. ඒ ගැන සැකයක් නැහැ. එතුමා මේ රටෙ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. මටත් එතුමා උදව් කර තිබෙනවා. උතුරේ ජනතාවටත් එතුමා උදව් කර තිබෙනවා. එතුමාට අද දකුණේ අභියෝග කළ හැකි දේශපාලන බලයක් නැහැ.

ප්‍රශ්නය – ඔබට ඒ ආණ්ඩුවෙ ඇමතිකමක් දෙන්න පොරොන්දු වෙලා තිබෙනව ද?

පිළිතුර – මට ඇමතිකමක් ලැබෙයි. ඒකෙ සැකයක් නැහැ. මොකද උතුරේ ජනතාව වෙනුවෙන් අපට විශාල වැඩ කොටසක් තියනවා කරන්න. ඒ වැඩකොටස නිම කර දීම අප හැමෝගෙම අරමුණ වී තිබෙනවා.

ප්‍රශ්නය – උතුරේ හා නැගෙනහිර ජනතාව වෙනුවෙන් සිදු කිරීමට අපේක්ෂිත වැඩ කටයුතු මොනව ද?

පිළිතුර – උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ඒ ප්‍රදේශවල විශාල සංවර්ධනයක් කළ යුතුයි. ඒ ප්‍රදේශවල සංවර්ධනය මේ වනවිට අඩාල වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම සඳහා යෝධ වැඩපිළිවෙළක් දියත් කළා. කෘෂිකර්ම, ධීවර, වාරිමාර්ග, මං මාවත්, කර්මාන්ත ආදී අංශවල කිසිදු සංවර්ධනයක් පසුගිය කාලය තුළ සිදුවුනේ නැහැ. මේ තත්වය වහා වෙනස් කරමින් ඒ ප්‍රදේශවනල සැබෑ සංවර්ධනයයේ ප්‍රතිඵල අත්කර දිය යුතුයි. අනෙක උතුරු නැගෙනහිර තරුණ තරුණියන් විශාල පිරිසක් විරැකියාවෙන් පෙළෙනවා. ඔවුන් සම්බන්ධව වැඩි අවධානයක් ලක් කළ යුතුයි. ලබන 5 වැනිදායින් පසු එය ගොඩනගන්න අපට හැකියි කියා මා විශ්වාස කරනවා.

ප්‍රශ්නය – ඔබ එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළා. නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙක්ව සිටි ඔබ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙනාවේ ඔවුන් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා.

පිළිතුර – නැහැ. ඒක අමූලික බොරුවක්. මම දක්ෂයෙක් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉහළට එන්න මට හැකි උණා. මම ඒ සංවිධානයෙන් කඩලා ගත් බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා. ඒක අමූලික බොරුවක්. ඔබට මා එය අද ප්‍රකාශ කරනවා.

පුවත් මුලාශ්‍රය – Newsi , ලංකාසර වෙබ් අඩවිය

Related posts

පොලීසියෙන් නීතිය අකුරටම.. බදුල්ල නගරයේ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි !

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

ශ්‍රීලනිප 04ක්, ඒකාබද්ධයේ 51ක් අත්සන් තබයි.. අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

colombotoday

පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්

Admin

නවරජයේ ආයුෂ කෙටිවේ… ආරක්ෂක ලේකම් ධුරයෙන් කරුණාසේන හෙට්ටිඅරච්චිත් ඉවතට ?

colombotoday

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday