Colombo Today Local News

සරලම තැනින් පටන් ගන්න. ෆයිල් එකේ තියෙන සැලසුම් බිමට ගේන්න : ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කළ හැකි බවත් ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10)දින ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතා පවසා සිටියා.

පසුගියදා ආරම්භ කළ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හා කාර්යභාරය සමාලෝචනය තව සති 03කින් පමණ අවසන් කළ හැකි වෙනු ඇති බව පැවසු ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් යයි සඳහන් කර සිටියා.

“ඔබටම පැහැදිළි ඇති මේ අමාත්‍යාංශවලින් කොපමණ වැඩ ප්‍රමාණයක් කළ හැකිද යන්න පොදු ප්‍රතිපත්තියක් මත ඇමතිවරයා සමග එකඟත්වයෙන් වැඩ කරන්න වගකීම භාර දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටුකිරීම අපේ යුතුකමක්. නිලධාරීනුත් හවුල්කරගෙන ඔබේ වගකීම ඉටුකරන්න” ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.

සැලැස්මක් ඇතිව ඉදිරි වැඩ කළයුතු බව කියා සිටි ජනාධිපති රාජපක්ෂ මහතා වසරින් වසර කළහැකි ප්‍රමාණය තක්සේරු කොට පස් අවුරුද්දටම සැලසුම් සකස් කරන්නැයි අවධාරණය කර සිටියා.

“හරි සර්, සියල්ල හරි කියා නිලධාරීන් කියන්න පිළිවන්, ඒ සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ. සැලසුම් ෆයිල් එකේ තියලා ඵලක් නැහැ. ඒවා බිමට ගේන්න ඕනෑ. ඒ තමයි රාජ්‍ය ඇමතිවරයාගේ වගකීම” ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

වෙනසක් කරන බවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිතුමා වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට සපථ කළේය. “ඒ වගකීම මට තිබෙනවා, ඔබටත් තිබෙනවා, ඊට අමතරව ඔබේ දේශපාලන ජීවිතය හැඩ ගස්වා ගැනීමටත් මෙය අවස්ථාවක්” බව කියා සිටියා.

ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් හමුවේ කළ කතාවේ දී අධ්‍යාපනය, කෘෂිකර්මය, තාක්ෂණික නවෝත්පාදන, නිවාස සම්පාදනය, ජල සැපයුම, නගර සංවර්ධනය, ජීවන වියදම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් දැක්වීය. නිදසුනක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීම ගැන සඳහන් කළ එතුමා කෘෂි සංවර්ධනය සඳහා රාජ්‍ය අමාත්‍යාංශ 03ක් ස්ථාපනය කළ බව කීයා සිටියා.

“සමහර කුඹුරු පුරන් වෙලා. ඒවායේ වී වගා කරන්න බැහැ. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අපි අනුමැතිය දුන්නා පුරන් කුඹුරුවල වෙනත් භෝග වගා කරන්න. ඒ ආකාරයට පොල් වගා කරන්නත් පිළිවන්” ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

මසකට වරක්වත් රාජ්‍ය ඇමතිවරු හමුවී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව කී ජනාධිපතිතුමා ඉදිරියට යන විට උද්ගතවන ප්‍රශ්න විසඳා ගැනීමට ඉන් අවස්ථාව ලැබෙනු ඇතැයි සඳහන් කර සිටියා.

Related posts

බැදුම්කර හොරුන් කිය අපට චෝදනා කළොත් ශ්‍රීලනිප ඇමතිලාගේ සියළු හොරකම් එළි කරනවා – එජාපය දන්වයි

colombotoday

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday

වෙහිකල් ලංකා සමාගම හරහා කෝටි ගණනක බදු වංචාවක් කරන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday