Colombo Today Local News

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

ශිෂ්‍යත්ව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ නිලධාරීන් මහජන මුදලින් ලබා ගත් ණය මුදල් නැවත අයකර ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට උසස් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බව රාවයට දැනගන්නට ලැබේ.

ශිෂ්‍යත්ව සඳහා ණය ලබාගෙන එම ණය නොගෙවා සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ නිලධාරීන්ගෙන් අයවිය යුතු මුදල් ඔවුන්ගේ අර්ථසාධක අරමුදල්වලින් අයකර ගැනීමට දැනට පවතින නීතිය අනුව ඔවුන්ගේ අවසරය ලබාගත යුතු වුවත්, එම ශිෂ්‍යත්ව සඳහා ණය ලබාගත් බොහෝ දෙනකු සම්බන්ධ කර ගැනීමේ අපහසුතා පවතින බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

මෙසේ ණය ලබාගෙන ණය නොගෙවා සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත් කළ අතර ඒ අනුව ණය නොලැබීම නිසා රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 813කට ආසන්න වේ.

485ක් වන මෙම ලැයිස්තුවේ ඇප නොමැතිව ණය නිකුත් කර ඇති සංඛ්‍යාව 34ක් වන අතර ඒ සියලුමදෙනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත්ය. පුද්ගලික ලිපිගොනු නොමැති සංඛ්‍යාව 4ක් වන අතර ඒ සියලුදෙනාම අයත්වන්නේ යාපනය විශ්වවිද්‍යාලයටය.

කෙසේ වෙතත් මෙම වාර්තාව 2017.12.31 දින වන විට ණය මුදල් ගෙවා නොමැති පිරිස වන අතර මේ අතරින් සුළු පිරිසක් මේ වනවිට අදාළ ණය මුදල් ගෙවා අවසන් කර ඇති බවද වාර්තා වේ.

ශිෂ්‍යත්ව සඳහා ණය ලබාගෙන එම මුදල් නැවත අයකර ගැනීමට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, ණය අයකර ගැනීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නොමැති බවත් ඒ පිළිබඳව ඒ ඒ විශ්වවිද්‍යාල කටයුතු කළ යුතු බවත්ය.

මේ වනවිට ඒ සම්බන්ධව විශ්වවිද්‍යාලවලට දැනුම් දී ඇති බවත්, ඇතැම් විශ්වවිද්‍යාල මේ වනවිටත් නඩු කටයුතු සඳහා යොමුවී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අප මේ සම්බන්ධව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් කළ විමසීමකදී සඳහන් කළේ මින් ඉදිරියට ශිෂ්‍යත්ව සඳහා මුදල් ලබාදීමේ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාලවලට ලබානොදෙන බවත්, එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පවරන බවත්ය.

Related posts

පොලිසිය පල්ලියට එන්න සිද්දකලේ ඔබේ ආගමේ අන්තවදියෝ 8 දෙනෙක්. හිස්බුල්ලාට සහ අසාද් සාලිට දුමින්ද පිළිතුරු දෙයි

colombotoday

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

colombotoday

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

Admin

ඉස්ලාම් ත්‍රස්තවාදය පරම්පරාගත ප්‍රශ්නයක් – එංගලන්තයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

colombotoday

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනී

colombotoday

හරීන් සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි?

colombotoday