Colombo Today Local News

සහරාන් හෂීම් සහ යහපාලන රජයේ දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර තිබු සාකච්ඡාවක වීඩියෝවක්

යහපාලන රජය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක් 2015 වසරේ මහ මැතිවරණය ආසන්න කාලකදී සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ (11)දින අනාවරණය විය.

ඒ ඊට එක්වූ දේශපාලන නියෝජිතයෙකු කොමිසමේදී සාක්ෂි දුන් අවස්ථාවේදීය.

මේ අතර, පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදී මුස්ලිම් සංවිධාන හයක් තහනම් කරන ලෙසට රාජ්‍ය සහ යුද හමුදා බුද්ධි අංශ එවක ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නද ඒ අතරින් මේ වනවිට තහනම් කර ඇත්තේ සංවිධාන තුනක් පමණක් බව ජනාධිපති කොමිසමේදී හෙළිවිය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සිව්වන දිනටත් සාක්ෂි ලබාදීම සඳහා ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ පැමිණියේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදි සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ, ජාතික තව්හිද් ජමාත් සංවිධානය ලේ වැගිරීම් පවා කර තිබූ බවට ප්‍රහාරයට පෙර සිටම බුද්ධි අංශ වාර්තා කර තිබූ බැවින් එම සංවිධානය තහනම් කළ යුතු බවට නොහැඟුනේද යන්නය.

එවිට සිසිර මෙන්ඩිස් මහතා ” ප්‍රහාරයට පෙර නම් හිතුනෙ නැහැ. අපේ මුල් අරමුණ වුණේ සහරාන්ව අත්අඩංගුවට ගැනීම.” යනුවෙන් පැවසුවේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී යළිත් විමසා සිටියේ එම සංවිධාන තහනම් කිරීමට උත්තේජනයක් වූයේ පාස්කු ප්‍රහාරයද යන්නය.

එවිට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ” ඔව් ” යනුවෙන් පවසා තිබේ.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසුවේ ” සහරාන්ව අත්අඩංගුවට ගන්න පියවර ගැනීමට ඔබට ආරක්ෂක ලේකම් හමුවෙලා සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණද ? ” යන්නය.

එහිදී සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේ එය පොලිස්පති කළ යුතු වන නමුත් එය සිදු නොවූ බවය.

සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී සහ බුද්ධි සමාලෝචන රැස්වීම්වල අවස්ථා රැසකදී සාකච්ඡා කෙරුණ ද පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූ බව සිසිර මෙන්ඩිස් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

අනතුරුව ඊයේ රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ, 2015 දී යහපාලනය රජය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟුණු ” NFGG හෙවත් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ ” සංවිධානයෙන් 2015 වසරේදීම මහමැතිවරණයට ඉදිරිපත් ව පරාජය වූ අපේක්ෂකයකු වන මොහොමඩ් මුස්තෆා අබ්දුල් රහුමාන් නමැත්තාය.

මෙහිදී සාක්ෂිකරු සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී සිබිලි ෆාරුක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව දියත් කළ සහරාන් හෂීම් සමග සාකච්ඡාවක නිරතවන වීඩියෝ පටියක් කොමිසම හමුවේ දර්ශනය කෙරුණි.

මෙම වීඩියෝ පටයෙහි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී සිබිලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහුමාන් මෙලෙස රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ බෝම්බ පිපිරවූ සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහොමඩ් යන අය වේ.

මෙම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් ප්‍රදර්ශනය කළේය.

ඔවුන් අතර සිදුවන සාකච්ඡාව දමිළ බසින් සිදුවූවකි.

මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් විමසුවේ “ඇයි ඔබ සහ සිබිලි ෆාරුක් සහරාන් හෂීම්ව හමුවුණේ? ” යන්නය.

එවිට යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අපේක්ෂක අබ්දුල් රහුමාන් ” මේ සාකච්ඡාව පැවැත්වුණේ සහරාන්ගේ කාර්‍යාලයේ. මෙය දේශපාලන සාකච්ඡාවක්. 2015 මහමැතිවරණයට සතියකට පමණ ඉහතදී තමයි මෙම සාකච්ඡාව සිදුවුණේ.” යනුවෙන් පැවසීය.

Related posts

මුහුදු හක් බෙල්ලන් 3200ක් කල්පිටියේ නිවසකින් සොයා ගනී

Admin

මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය අවධානමේ PCR පරීක්ෂණ කරන්න – රෝහල් කාර්ය මණ්ඩලය කියයි

colombotoday

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ඇමති සාගලට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

colombotoday

“අනිත් හොරු අල්ලන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තනම් හොදයි” – රාජිත පියපුතුට එජාපයෙන් ප්‍රහාරයක්

colombotoday

රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්

colombotoday