Colombo Today Local News

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

පසුගිය ආණ්ඩුව විසින් අත්හිටුවන ලද බැංකු ණයවර ලිපි යළි ක්‍රියාත්මක කර මිනිස් ආහාරයට නුසුදුසු සහල් තොගයක් මෙරටට ආනයනය කොට හොර රහසේම විනාශ කර දැමීම මඟින් ලංකා සතොස රටට රුපියල් කෝටි 600ක අලාභයක් සිදුකර තිබෙන බව අපි සැප්තැම්බර් 30 ඉරිදා ‘මව්බිම’ ප්‍රධාන පුවතින් අනාවරණය කළෙමු.

ලංකා සතොසේ පසුගිය ආණ්ඩුව කාලයේ හිටපු සභාපතිවරයා විසින් එම සහල් ගෙන්වීමට අදාළ ණයවර ලිපිය අත්හිටුවා තිබූ අතර යළි එය ක්‍රියාවට නංවා මිනිස් ආහාරයට නුසුදුසු සහල් තොගය මෙරටට ගෙන්වූයේ 2015 වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පත් කළ සතොස සභාපති විසින් බවද යථොක්ත ප්‍රවෘත්තියේ සඳහන් විය.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන ලංකා සතොස නඩු විභාගයේදී ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු සතොස සභාපතිගේ ලේකම්වරිය මෙම කරුණු හෙළිකර තිබිණි.

මෙම ප්‍රකාශයන් සම්බන්ධව චෝදනාව එල්ල වන 2015 වසරේ පත්වූ සතොස සභාපතිවරයා වූ කිරාන් අතපත්තු මහතා සමඟ සෘජු සාකච්ඡාවක් කරන්නට අපි තීරණය කළෙමු.

මේ හිටපු සතොස සභාපති කිරාන් අතපත්තු මහතා සමඟ කරන ලද සම්පූර්ණ සාකච්ඡාවයි.

ඔබ ලංකා සතොස ආයතනයේ සභාපති තනතුරට පත්වූයේ කවදාද?

2018 ජනවාරි 28

ඒ කියන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ධුරයේ දිවුරුම් දී දින 20ක් තුළ ඔබට සභාපති ධුරයක් ලැබුණා. ඔබ එතුමාගේ ප්‍රබල ආධාරකරුවෙක්ද?

ඔව්. ජනාධිපතිතුමා බලයට ගේන්න මම පෞද්ගලිකව විශාල කැපවීමක් කළා. කෙටියෙන් පැහැදිලි කරනවා නම් මම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී මුල සිටම එතුමා සමඟ සිටියේ මමයි. බොහෝ දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙමින් මා එතුමා සමඟ සිටියා. මාතර උයන්වත්තේ පැවැති පළමු රැස්වීමට ගියෙත් මගේ වාහනේ. පැල්මඬුල්ලේ රැලියට ගල් ගසා හානි කරන්න උත්සාහ කරද්දිත් අපි ඊට මුහුණ දුන්නා. එදා රාත්‍රියේ බදුල්ලේ හෙවන්ස් එජ් හෝටලේ එතුමා රැය ගත කළේත් මා සමඟ. ජනවාරි 8 එතුමා ඡන්දය දමන්න පොළොන්නරු ගියෙත් ජනාධිපති ධුරයේ දිනුම භාර ගන්න කොළඹ මැතිවරණ කාර්යාලයට පැමිණියේත් මා සමඟයි.

ඔබට ලංකා සතොස සභාපති තනතුර ලැබුණේ ඒ සඳහා කෘතවේදීත්වය පළ කිරීමක් හැටියටද?

නැහැ. ලංකා සතොස අයත්වන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට. එහි ඇමැතිවරයා රිෂාඩ් බදියුදීන් මහතා තමයි මාව සභාපති තනතුරට පත් කළේ. ඊට හේතුව මා වෙළෙඳ ක්ෂේත්‍රයේ සම්මාන දිනූ කීර්තිමත් පුද්ගලයෙක් වීමයි.

කිරාන් අතපත්තු මහතා කොපමණ කල් ලංකා සතොස සභාපති තනතුරේ කටයුතු කළාද?

මාස 6යි. 2015 ජනවාරි 29 සිට ජූලි 30 දක්වා.

ඇයි ඔබ සතොසෙන් අයින් වුණේ.

මම අයින් වුණේ නැහැ. 2015 ජූලි 31 මා අසනීප වුණා. මා රෝහල්ගතව දැඩි සත්කාර අංශයේ සිටියදී ඇමැති රිෂාඩ් මා ඉවත් කර වෙනත් අයකු සභාපති ධුරයට පත් කර තිබුණා.

කෝටි 600ක මූල්‍යමය පාඩුවක් සිදුවුණා කියන්නෙ බරපතළ කාරණයක්. මොකක්ද මේ සිදුවීම. කොහොමද ඔබ මේකට සම්බන්ධ වුණේ?

මුලින්ම කියන්න ඕන. මේකට මගේ සම්බන්ධයක් හෝ දායකත්වයක් නැහැ. මේක ඒ උදවියගේ යම් යම් ප්‍රශ්න වහගන්න හිතාමතාම මාව මේකට පටලවන්න කරන අසාර්ථක උත්සාහයක්. ඇත්තටම රට දැනගන්න ඕන මෙතැන මොකක්ද සිද්ධ වුණේ කියලා.

ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ.

ලංකා සතොස මට පෙර හිටපු සභාපති යටතේ ලංකා සතොස සහල් ටොන් ලක්ෂයක් ගෙන්වීමට යෝජනා කරනවා. නාඩු සහල් ටොන් 50,000ක් සහ පොන්නි සම්බා සහල් ටොන් 50,000ක් ඊට අයත් වෙනවා. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් දැනුවත් කරන්නේ 2014 ඔක්තෝබර් 10 වැනිදා. මුදල් අමාත්‍යාංශයට අදාළ ලංකා බැංකුව විසින් ණයවර ලිපි දෙකක් නිකුත් කිරීමට අවසර දෙනවා. ඒ අනුව 2014-10-17 මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ඇටිගල්ල ලිඛිත අනුමැතිය දී තිබෙනවා.

මේ සහල් ආනයනය කිරීම සිදුවන්නේ කවර රටකින්ද?

ඉන්දියාවෙන්. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්වල ඒඛ්ර්ථී ධ්දඤභඵබපඪඥඵ ඹ්ඊච් සමාගම මඟින්. 2014 ඔක්තෝබර් මාසයේ ඒ සඳහා ඇ.ඩො. 44,800,000ක ණයවර ලිපි නිකුත් කර තිබුණා. එහි අංක වන්නේ ර්ර්ණී 635537 පොන්නි සම්බා මෙ.ටොන් 50,000 ර්ර්ණී 635519 නාඩු සහල් මෙ. ටොන් 50,000යි.

මෙම සහල් තොග ලංකාවට ගෙන එන නිශ්චිත කාලසීමාවක් පිළිබඳ එකඟතාවක් අදාළ සමාගම සමඟ සතොස බලධාරීන් ඇති කරගෙන තිබුණාද?

ඔව්. ඒඛ්ර්ථී සමාගම ලිඛිත එකඟතාවකට පැමිණ තිබෙනවා 2014 නොවැම්බර් 7 වැනිදා සහල් ආනයනය කිරීම ආරම්භ කර 2015 ජනවාරි 24 වන විට සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයම ලංකාවට ලබාදී අවසන් කරන බවට. අවස්ථා 12කදී සහල් ආනයනය කරන ඩිලිවරි ෂෙඩියුල් එකක් සමාගම ලබාදී තිබෙනවා.

ඔබ දන්නා විදියට මේ ඩිලිවරි ෂෙඩුල් එක අනුව සහල් තොග ලංකාවට ගෙනාවාද? අදාළ ගිවිසුම සැපයුම්කරු විසින් කඩකර ඇති නිසා එය අවලංගු කළ යුතුව තිබුණා.

අනිවාර්යයෙන් අවලංගු කළ යුතුයි. මොකද ගිවිසුමේ හැටියට සමාගම 2014 නොවැම්බර් 28 වන විට පොන්නි සම්බා සහල් ටොන් 8,000ක් සහ නාඩු සහල් ටොන් 13,500ක් ඩිලිවරි කළ යුතුව තිබුණා. නමුත් සහල් ඇටයක්වත් ලංකාවට ඇවිත් තිබුණේ නැහැ. ඔවුන්ගේ එකඟතාව තිබුණේ දෙසැම්බර් 27 වන විට පොන්නි සහල් ටොන් 25,000ක් සහ නාඩු සහල් 30,000කුත් සැපයීමට. නමුත් ඒවා ලැබුණේ නැහැ. මගේ ප්‍රශ්නය ගිවිසුම උල්ලංඝනය කර තිබියදී ඇයි බලා සිටියේ. ඔවුන් නින්දේ සිටි බවද කියන්නේ.

ආන්ද්‍රා ප්‍රදේශ් ඒඛ්ර්ථී සහල් ගිවිසුම තමා අවලංගු කළ බව ඔබට පෙර හිටපු සතොස සභාපති ප්‍රකාශ කර තිබෙනවා.

ඒක පිළිගන්න බැහැ. ඇයි එය අලුත් ආණ්ඩුව බලයට එනතෙක් හිටියේ ලිපිය නිකුත් කරන්න. නින්දේ සිටි බවද කියන්නේ. ටොන් ලක්ෂයක් බානවා කියලා 9,000ක් බාලා හරියනවද. එයා මේක වරදක් බව දැනගත්තේ 2015 ජනවාරි මාසයේද. මේක හිතාමතාම කරන බොරුවක්.

එල්.සී. එකක් ණයවර ලිපියක් එසේ අවලංගු කළ හැකිද?

බැහැ. ඒ සඳහා පිළිගත් ජාත්‍යන්තර නියමයන් තියෙනවා. ඒඛ්ර්ථී 500 ජාත්‍යන්තර වෙළෙඳ රෙගුලාසි අනුව ණයවර ලිපි අවලංගු කරන්න දෙපාර්ශ්වයේම එකඟතාව තිබිය යුතුයි. ඒකපාර්ශ්වික දැනුම් දීමකින් අවලංගු වීමක් සිදුවන්නේ නැහැ.

අපි අවලංගු කළා. නව සභාපති ඇවිත් ඒක නැවත දීර්ඝ කළා යැයි හිටපු සභාපති කරන චෝදනාව එල්ල වන්නේ ඔබට. ඔබ ඊට පිළිතුරු දිය යුතුයි.

මම සතොස භාර ගත්තේ 2015 ජනවාරි 29. පෙබරවාරි 12 තමයි මම මේ එල්.සී. එක ගැන දැනුවත් වෙන්නේ. එතකොට මා තේරුම් ගත්තා නියමිත කාලයට සහල් ලැබී නැති බව. ඩිලිවරි ෂෙඩුල් එකේ තිබුණා 2014-12-27 වන විට නාඩු සහල් ටොන් 30,000ක් සහ පොන්නි සම්බා ටොන් 25,000ක් ගෙනෙන බව. නමුත් ගෙනැවිත් නෑ. ඒ ගැන මතක් වෙන්න එදා හිටපු සභාපතිට මෙච්චර කල් ගතවුණේ ඇයි කියන එක ප්‍රහේලිකාවක්.

ඔබ මොකද කළේ එල්. සී. එක කැන්සල් කළාද?

ඒක හොඳ ප්‍රශ්නයක්. මාව සතොසෙන් අයින් කරන්න බලපාන ප්‍රශ්න මතුවෙන්නෙත් මෙතැනදී තමයි. 2015 පෙබරවාරි 12 කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ නිල කාර්යාලෙ මේ සහල් ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අතිරේක ලේකම් ඩී. ජීවානන්දන්, සමුපකාර තොග වෙළෙ¼ද සංස්ථාවේ සභාපති ආර්.එම්.කේ. රත්නායක, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්, ලංකා සතොස සභාපති හැටියට මමත් ඊට සහභාගි වුණා.

කුමක්ද එහිදී ගනු ලැබූ තීරණය.

මම පෙන්වා දුන්නා තවදුරටත් නාඩු සහල් ආනයනය නොකළ යුතු බව. නාඩු සහල් ලංකවේ වගා කරනවා. අපි අපේ ගොවියා ආරක්ෂා කළ යුතුයි. ඇණවුම් කළ ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් ලැබී ඇති බවත් කිව්වා. නමුත් ඇමැතිතුමාගේ තීරණය වුණේ නාඩු එපා නම් ඒ මුදලටත් පොන්නි සම්බා ගෙන්විය යුතු බව. ඒ සඳහා ණයවර ලිපියත් දීර්ඝ කරන්න ඇමැති උපදෙස් දුන්නා. භාණ්ඩාගාරය දැනුවත් කරන්නත් කිව්වා.

ඉදිරි කාලයේ සහල් හිඟයක් එන බව ඇමැතිතුමා කීවා. ආහාර සුරක්‍ෂිතතාව හා ජීවන වියදම පිළිබඳ කැබිනට් අනු කමිටුවේදී මේ සම්බන්ධ අදහස් ඉදිරිපත් වූ බව එතුමා සඳහන් කළා. ඒ අනුව ඇමැතිතුමා මේ තීරණයට ආවා යැයි මා හිතනවා.

ඔබ මේ වන විට නව සභාපති හැටියට බැංකු කටයුතු ආරම්භ කර තිබුණාද?

ඔව්. අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මියනවල විසින් ලංකා බැංකුවට මගේ අස්සන් භාර දුන්නේ 2015-02-09.

එහෙම නම් ඔබ සහල් ගෙන්වීමේ කටයුතුවලට මැදිහත්ව තිබෙනවා.

ඒක එහෙම වුණේ නැහැ. 2015-02-13 දින ර්ර්ණී 63519 සහ ර්ර්ණී 63537 දරන ණයවර ලිපි සංශෝධනය කර නීතිගත කර ඇත්තේ මගේ කිසිම අනුමැතියක් නැතිව. අඩුම තරමින් මා දැනුවත් කළේවත් නැහැ. රහසිගතවයි ණයවර ලිපි දීර්ඝ කළේ.

මට වඩා උසස් නිලධාරියෙක් වූ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා ලංකා සතොස අධ්‍යක්ෂවරයකු වූ ‍ෙදාරේසාමි ජීවානන්දන් මහතාගේ අස්සනින් සහ ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) ආසිරි ප්‍රනාන්දු මහතාගේ අස්සනින් එම ලිපි නිකුත් කර තිබෙනවා. ඊට හරියටම දින 6කට පසු 2015-02-19 දින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුදල් මගේ අනුමැතියට ලිපියක් එවනවා මේ ණයවර ලිපි දෙක දීර්ඝ කරන්න කියා. මා එය භාරගත්තේ නැහැ. ඇමැතිවරයා එවැනි තීරණයක් නොගත් බව මා සටහනක් දැම්මා.

මෙතරම් විශාල සහල් තොගයක් අවසානයේ නරක් වී අපද්‍රව්‍යවලට විකිණීම ගැන ඔබ මොකද කියන්නේ?

මගේ වගකීම මේ සහල් තොග වරායෙන් නිදහස් කිරීම. මම එය ආරම්භ කරන්නේ 2015 මාර්තු 15. සහල් තොග වරායට ලැබෙන පිළිවෙළට මම ඒවා නිදහස් කළා. මේ තියෙන්නේ මා සහල් තොග ක්ලියර් කරපු ආකාරය.

2015 මාර්තු 15 මෙ.ටො. 4,770යි, අප්‍රේල් 15 මෙ.ටො. 39,786යි. මැයි 15 මෙ.ටො. 38,470යි. ජුනි 15 මෙ.ටො. 2,982යි. ජූලි 15 මෙ.ටො. 132යි. මේ සහල් අපේ ගබඩාවලින් රට පුරා බෙදා හැරියා.

මේ අතර මා හදිසියේ රෝගාතුර වී රෝහල්ගත වුණා. මා නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටියදී ඇමැතිතුමා මාව ලංකා සතොස සභාපති ධුරයෙන් ඉවත් කර තිබුණා. රෝහලෙන් ගෙදර පැමිණි විටයි මා ඉවත් කළ බව දන්වා එවා තිබූ ලිපිය දුටුවේ.

මට පසුව සභාපතිවරු තුන්දෙනෙක් ලංකා සතොසට පත් කර තිබුණා. එස්.එස්. මියනවල, ආචාර්ය ආර්.එම්. රත්නායක සහ ආචාර්ය රොහාන්ත අතුකෝරල. ඔවුන් රජයේ වත්කමක් වූ මේ සහල් කන්ටේනර් නිෂ්කාශනයට කිසිම පියවරක් ගත්තේ නැහැ. මාස 8කටම ටොන් 1,377ක් පමණයි ක්ලියර් කළේ. සහල් කන්ටේනර් අව්වට කර වුණා.

වැස්සට තෙමුණා. සහල් නරක් වුණා. මට ආරංචි විදියට 2016 ජනවාරි මාසේ කන්ටේනර් 9ක තිබූ ගුල්ලන් ගැසූ හාල් හොඳ සහල් තිබූ ගබඩාවලටම ගෙනැවිත් දමා සහල් තොග සියල්ලම විනාශ වූ බව පෙන්නුවා. 2016-02-26 රස පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැලණිය පෙතියගොඩ ගබඩාව නිරීක්ෂණය කළා.

සහල් පරිභෝජනයට නුසුදුසු බව ප්‍රකාශ වුණා. නමුත් 2016-02-24 සහල් කිලෝ ලක්ෂයක් අපි ජනතාවට බෙදාහැර තිබුණා. පැය 48ක් තුළ සහල් ගබඩාවම නරක් වූ බවට කරන ප්‍රකාශය විශ්වාස කරන්න අමාරුයි. මේ වන විට විශාල පාඩුවක් සහිතව නරක් වූ සහල් තොග ලෙස පෙන්නා ටොන් 70,000ක් විකුණා හමාරයි.

කෙසේ නමුත් මේ හාල් මගඩිය නිසා මහජන මුදල් කෝටි ගණනක් රටට අහිමි වුණා නේද?

මෙතැන ලොකුම දූෂණය වුණේ සහල් ටොන් 20,000ක් විතර නොසැලකිල්ල නිසා නරක් වීම. ඒ නරක් වූ සහල් සමඟ හොඳ තත්ත්වයේ තිබූ සහල් ටොන් 50,000කුත් එක්ක සහල් ටොන් 70,000ක්ම සත්ත්ව ආහාර ලෙස පෞද්ගලික සමාගම්වලට දීම. ඒකට කැබිනට් අනුමැතියකුත් ගත්තා.

නමුත් පෞද්ගලික කුකුළු ගොවිපළවලට ගර්හිත සහල් ලෙස අලෙවි කළ සහල්වල වැඩි කොටස නිසි ප්‍රමිතියෙන් යුතු හොඳ හාල්. හාල් ටොන් 70,000ක් විකුණුවේ කිලෝව රුපියල් 38 ගාණේ. අපි කිලෝවට රුපි. 70 ගාණේ මිල ගෙවලායි තිබුණේ. මෙතැන සමස්ත පාඩුව රුපියල් බිලියන 2යි කෝටි 24ක්. මේක තමයි අපරාධය.

මේ සහල් තොග මිලට ගත්තු කුකුළු ෆාම් සමාගම් හතර ඒවා මෝල්වලට දාලා පොලිෂ් කරලා බිලියන ගණනක ලාභයක් උපයා ගත්තා.

මේක අපරාධයක්. මෙතැනදී සැකයක් මතු වෙනවා මේ සහල් නිෂ්කාශනය නොකර වරායේ අව්වට වේළෙන්න ඇරියේ වැස්සට තෙමෙන්න ඇරියේ හිතාමතාමද කියලා. මොකද ඒ නරක් වූ ප්‍රමාණය දඩමීමා කරගෙන හාල් ටොන් 70,000කට වැඩේ දුන්නා. හාල් නරක් වුණා කියලා මාධ්‍ය සන්දර්ශන දැම්මේ මේකට තමයි.

Mawubima

Related posts

සුව විරුවන් රූපවාහිනියට පමණක්ද? දීමනා කප්පාදුවට එරෙහිව හෙද නිලධාරීන් නිහඬ විරෝධතාවක

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

colombotoday

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday

අද රටේ බුද්ධි අංශ අඩපණ වෙලා.. ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇතිවිය හැකියි – මේජර් ජනරාල් කමල් ගුණරත්න

colombotoday

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin