Colombo Today Local News

සිල් රෙදි නඩුව: අභියාචනයේ තීන්දුව නොවැම්බර් මස 13 වෙනිදා.

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පිළිබඳ තීන්දුව නොවැම්බර් මස 13 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම අභියාචනා පෙත්සම් අද (23)දින කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.

එම අභියාචනාවලට අදාළ වාචික දේශන ඉදිරිපත්කිරීම ඉකුත්දා අවසන් කෙරුණු අතර ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන සඳුදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පිළිබඳව තීන්දුව නොවැම්බර් මස 13 වනදා ප්‍රකාශයට පත් කළ බව ද විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයැයි චෝදනාකරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබීය.

තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්කරන ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරන ලදි.

Related posts

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන්න ඉල්ලා TNA මඩකලපුව ගිනි තබන්න යයි !

colombotoday

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු අත්අඩංගුවට

colombotoday

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

Admin