Colombo Today Sports News

සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම

ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ටම භාර දීමට ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (23 වැනිදා) පියවර ගෙන තිබේ. ඒ අනුව සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව එළබෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන එක්දින තරගාවලයේ සිට ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද චන්දිමාල්ට හිමිවනු ඇත.

දිගින් දිගටම නායකයකු ලෙස දැක්වූ අසාර්ථකත්වය හමුවේ මෙතෙක් කලක් සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කරමින් ක්‍රිකට් තේරීම් කමිටුව මෙම නව පත්කිරීම සිදුකර තිබේ.

මේ දක්වා එක්දින තරග 139 කට සහ විස්සයි20 තරග 53 කට ක්‍රීඩා කර ඇති දිනේෂ් චන්දිමාල් එහිදී පිළිවෙලින් ලකුණු 3433 ක් සහ 774 ක් රැස්කරගෙන සිටියි. එක්දින තරගයකදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 32.69 ක අගයක් ගන්නා අතර විස්සයි20 තරගයකදී එය සටහන් වන්නේ 18.42 ක් ලෙසිනි.

2013 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවැති එක්දින තරග 2 ක් මෙහෙවීම සඳහා නායකත්වයට පත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවූ ලාබාලතම නායකයා ලෙස වාර්තා පොතට එක්වීමේ අවස්ථාව චන්දිමාල්ට හිමිවිය. එම වසරේදීම ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා බවටද පත් වූ චන්දිමාල්, පසුව අවස්ථා කිහිපයකදීම එක්දින කණ්ඩායමේ නායකයා ලෙසත්, උප නායකයා ලෙසත් කටයුතු කළේය.

පසුගිය වසර 2 ක කාලය තුළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ සහභාගි වූ කිසිදු එක්දින තරගාවලියකින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී නැත. ඔහුගේ නායකත්වය යටතේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2016 වසරේ ජනවාරි මාසයේදී අයර්ලන්තයට එරෙහිවය. එතැන් මේ දක්වා (2018 සැප්තැම්බර්) ශ්‍රී ලංකා ජය ගෙන ඇත්තේ එක්දින තරගාවලි 2 ක් පමණක් වන අතර එම තරගවලි දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබ ඇත්තේ උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් විසිනි.

2016 වසරේ නොවැම්බර් මාසයේදී සිම්බාබ්වේහිදී ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ සිම්බාබ්වේ අතර පැවැති තුන් කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට තරංග සමත් වූ අතර 2018 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවැති තුන් කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වූයේ චන්දිමාල්ය.

2016 වසරේ ජනවාරි මාසයේදී අයර්ලන්තයට එරෙහිව ලැබූ 2-0 ක තරගාවලි ජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම, එම වසරේ ජූනි මාසයේදී නවසීලන්තය හමුවේ 3-0 ක් ලෙසද, අගෝස්තු මාසයේදී ඕස්ටේ්‍රලියාව හමුවේ 4-1 ක් ලෙසද පරාජයට පත්විය. එම තරගාවලි දෙකෙන් පසුව ආබාධ තත්වයක් හේතුවෙන් මැතිව්ස් කෙටි කලක් තරග බිමෙන් ඉවත්ව සිටි අතර නැවත ඔහු කණ්ඩායම එක් වූයේ 2017 වසරේ ජූනි මාසයේ එංගලන්තයේදී පැවැති අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීය.

මැතිව්ස්ගේ නායකත්වය යටතේ අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙරටදී පැවැති එක්දින තරගාවලියේදී 3-2 ක ලැජ්ජා සහගත පරාජයකට හිමිකම් කිවේය. එම පරාජයත් සමග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට මැත්ව්ස් පියවර ගත් අතර ඔහුගෙන් පසුව උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වූහ.

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත්වීමත් සමග නැවත වරක් මැතිව්ස් ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණ අතර දිගින් දිගටම ආබාධවලට ලක්වීම නිසා ඔහුට හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු එක්දින තරගාවලිය (ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන් කොන් තරගාවලිය) අහිමි විය.

පසුගිය අගෝස්තු මාසයේදී සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී යළිත් නායකත්වය දරමින් ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමට එක්වූ මැතිව්ස්, එහිදීද නායකයකු ලෙස අසාර්ථක වූයේ එම තරගාවලිය‍ෙන් ශ්‍රී ලංකාවට 3-2 ක පරාජයකට හිමිවීම හේතුවෙනි. අවසන් වරට පැවැති ආසියානු කුසලාන තරගාවලියටද මැතිව්ස්ගේ නායකත්වය යටතේ සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වී මූලික වටයෙන්ම ඉවතට විසිවිය.

Related posts

T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක තරගය අද

Admin

ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

colombotoday

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් සටන අද

Admin

භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී

colombotoday