Colombo Today Local News

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

පසුගිය ආණ්ඩුව සමයේදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සිදුවූ අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කරන බවත් අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (13දා) ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට එක්වෙමිනි.

“2009 දී අපි ඒ ත්‍රස්තවාදී සංවිධානය ලෙස පරාජය කළා. අපි ඒ ජයග්‍රහණය ලබනකම්ම හුඟක් අය කිව්වෙ ඕක කරන්න බැරි දෙයක් කියලා. ඒ කාලෙ මාව මුනගැහුණු විදේශීය ප්‍රභූවරුන් ගණනාවක්ම මට දීපු උපදෙස තමයි කරන්න බැරි දේවල් කරන්න උත්සාහ කරන්න එපා කියලා. අපේම යට ගියාවෙන් අපි ඉගෙනගතයුතු පාඩම තමයි තමන් ගැන ආත්මශක්තියක් නැතිනම්, අවදානමක් දැරීමට අකමැතිනම්, කිසිම ජයග්‍රහණයක් ලබාගන්න බැහැ කියන කාරණය.

2005 දී මම ජනාධිපති හැටියට පත්වුණාට පස්සෙ, අදාල කාර්යයට මම දැනගෙන හිටපු සුදුසුම පුද්ගලයා ආරක්‍ෂක ලේකම් හැටියට පත්කළා. ඔහුගේ නිර්දේශ මත මම වෙනත් සුදුසු නිලධාරීන් අවශ්‍ය තැන් වලට පත් කරල යුද්ධය දිනපු සන්නද්ධ හමුදා යාන්ත්‍රණය ගොඩනැගුව. අද එදා ඒ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඔබගේ ජනාධිපති හා සේනාධිනායකයා හැටියට ජනතාව විසින් අති විශිෂ්ඨ ජනවරමක් සහිතව පත්කරල තියෙනව.

අපි නැවත වතාවක් මේ රටේ නායකත්වය බාර ගන්නෙ අපේ ජාතික ස්වාධිපත්‍යයත්, ජාතික ආරක්‍ෂාවත් අනතුරේ වැටිල තියෙන අවස්ථාවකයි. කොටි සංවිධානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ 10 වන සංවත්සරය සමරන්න දින ගණනක් තිබියදී ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළා. ආසියාවේ වෙනත් රටවල් එක්ක සසඳනකොට අපේ රට කුඩා දූපතක්. නමුත් මෙහේ මොනම දෙයක්වත් කුඩා පරිමාණයෙන් සිද්ධ වෙන්නෙ නැහැ.

2008 දී මුම්බායි නගරයට එල්ලවුන ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයන් සහභාගී වෙලාහිටියෙ නැහැ. නමුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට විතරක් සීමා වෙච්ච තර්ජනයක් නෙවෙයි. මේ කළාපයේ වෙනත් රටවල උන්නතිය සඳහාත් මේ ත්‍රස්තවාදය මර්ධනය කළ යුතු වෙනවා. මේ අවුරුද්දෙ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බෝට්ටුවලින් ඉන්දියාවට ඇතුලුවෙන්න උත්සාහ කරමින් ඉන්නවය කියන තොරතුරක් නිසා ඉන්දියව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් තැබුවා.

අපට මේ උවදුර පාලනය කරගන්න බැරිවුණොත් ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය විතරක් නොවෙයි මියෙන්මාරය, තායිලන්තය හා මැලේසියාව වගේ එපිටින් තියෙන රටවල් වලටත් විශාල තර්ජනයක් එල්ල වෙනවා. ඒ නිසා මේ අලුත් ත්‍රස්තවාදී උවදුර ඒකාන්තයෙන්ම පරාජය කළ යුතුයි. අප අවට රටවල් සේරම මේ අවදානම හොදින් තේරුම් අරගෙන තිබෙන නිසා ඔවුන්ගෙන් මේ ත්‍රස්තවාදයට එරෙහිව අවශ්‍ය සහයෝගය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් අපට මෙහෙයුම් කරන්න සිද්ධවුණත්, මේ අලුත් ත්‍රස්තවාදී උවදුර සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නෙ බුද්ධි මෙහෙයුම්. නමුත් අවාසනාවකට, පහුගිය අවුරුදු පහ මුලුල්ලෙම රටේ බුද්ධි අංශ අකර්මන්‍ය කරලයි තිබුණෙ. පැවතුන ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරල, හිරිහැර කරල බොරු චෝදනා උඩ හිරේටත් දැම්මා. මේ තත්වයට මූහුණදෙන්න වුණේ බුද්ධි අංශවලට විතරක් නෙවෙයි. කොටි සංවිධානයට විරුද්ධව යුද්ධ කරපු සන්නද්ධ හමුදා ඉහළ තලයටම මේ දඩයමට මුහුණ දෙන්න වුණා. මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් දීල මේ ආරක්‍ෂක ප්‍රධානීන් පොලීසියට ගෙන්නල නොයෙක් චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුවා.

මේ විදියට යුද්ධ කාලෙ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් දෙදෙනෙකුත්, යුද හමුදාපතිවරුන් දෙදෙනෙකුත්, නාවුක හමුදාපතිවරුන් සිව්දෙනෙකුත්,ගුවන් හමුදාපතිවරුන් දෙදෙනෙකුත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියාවත් යුද හමුදාවේ පොලීසියේ, පොලිස් විශේෂකාර්ය බලකායේ, නාවුක හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් විශාල ගණනකුත් මේ විදියට හිරිහැරයටත් අවමානයටත් පත් කෙරුවා.

ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේම සන්නද්ධ හමුදා අවමානයට ලක් කරල නැහැ. සන්නද්ධ හමුදා කියන්නෙ ජාතියක ආරක්‍ෂකයෝයි. 2015 ජනවාරියේ ආණ්ඩු පෙරලියෙන් පස්සෙ මේ රටේ ඇතිවුණේ විදේශීය හතුරු බලවේගයක් විසින් ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගත්ත වගේ තත්වයක්. සන්නද්ධ හමුදා දඩයම් කරලා ඔවුන්ගේ ජීවගුණය බිඳ දමල, මහා සංඝරත්නය යටපත් කරල, මේ රටේ බහුතර ප්‍රජාව පාගල, දශක හතරක් පැවති සිවිල් යුද්ධයෙන් ලබාගන්න බැරිවුණු දේ ලබාගැනීමේ  උත්සාහයක් අපි පහුගිය අවුරුදු පහේදී අත්දැක්ක.

පහුගිය අවුරුදුපහ තුළදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විඳින්න සිද්ධවෙච්ච අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කොට අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමටත් කටයුතු කරන බවට මම මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙනවා. අපේ සන්නද්ධ හමුදා වලට ලැබිය යුතු ගරුත්වය ඔවුන්ට ලබාදීමට ජාත්‍යන්තර මට්ටමෙන් අපි පියවර ගන්නවා.

සෛවරී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න සන්නද්ධ හමුදා වලට අවශ්‍ය නායකත්වය දේශපාලන බලධාරීන් හැටියට අපි ලබාදෙනව. මේ රටේ සන්නද්ධ හමුදා වලටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් අපි දෙන ප්‍රතිඥාව එයයි.”

Related posts

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin

ජාවාරම්කරුවන් එක්ක හරක් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

‘තායි බාට්’ මෙරට විදේශ මුදල ලැයිස්තුවට ඇතුළත් කරයි

colombotoday

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ආපදා සහන සේවයේ (Photo)

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

කැබිනට් ප්‍රකාශක ධුරයෙන් රාජිත ඉවතට.. රාජිතගේ පුටුව මංගලට !

colombotoday