Colombo Today Local News

හිත හොඳ ගෑණු පාර්ලිමේන්තුවට පටිසෝතගාමී වීම – 1 කොටස

1948 දී නිදහස නොලැබූ සිංහල බෞද්‌ධයා

රටේ දේශපාලකයින් (නිලධාරීන්, නඩුකාරයින්, ගුරුවරුන්, නීතීඥයින්, දොස්තරලා, ග්‍රාම සේවකලා, බස් කොන්‌දොස්තරලා යනාදී හැම දෙනාම) යනු බුදුදහමේ දක්‌වන, ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධම නොවේදැයි සිතීමට මා යොමුවුනේ 2012 මැයි මස පිහිටුවන ලද බොදුබල සේනාවේ ඥානසාර හිමිඳුන්ගේ කතා අසාය. කෝට්ටේ දොන් ජුවන් ධර්‌මපාල, 1551 දී ලංකාවේ ප්‍රථම හා එකම කතෝලික රජු වූවාට පසු කාලයේ (ඔහුගේ ප්‍රථම රාජකාරිය කෝට්ටේ රජමහා විහාර ඉඩමේ පල්ලියක් සැදීමය!), ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කල යුත්තේ පන්සල හා පාලකයින් (සුද්දන් හා කළු සුද්දන්) අතරවූ නිරන්තර ගැටුමේ කතාන්තරය ලෙස නොවේද යන අදහසක් මට පහලවූයේද මේ කතා නිසාය. ඊට අමතරව රංජන්ලා, මංගලලා, චන්ද්‍රිකාලාගේ සිවුරු දඩයම හා <නිර්‍වස්ත්‍රම් පරමං සුඛම් වීම, හා රෝසි සේනානායකලාට හා විග්නේෂ්වරන්ලාට බුදු පිළිම අරහංවීම, තවදුරටත් මේ අදහස තීව්‍ර කලේය. දේශපාලකයින්ට කොඩි උසුලාගෙන පෙරහැරේ ගිය අපට අන්තිමේදී ඉතුරුවුණේ කොඩිවල පොලු පමණක් යයි යන ඇල්ලේ ගුණවංශ හිමිඳුන්ගේ කියමනට වඩා දුර ගොසින්, සිංහල බෞද්‌ධයින්ට හරියාකාර නායකයෙක් රටේ නැත යන්න පෙන්‌වා දීමට ඥානසාර හිමියන් ක්‍රියාකලේය.

ආණ්ඩුව සරණං ගච්චාමී

භික්‍ෂූ පුහුණු ආයතනයක් හදන්නට අනුග්‍රහය දෙනවා යයි කියමින් තම චන්ද ව්‍යාපාරයට හාමුදුරුවන්ගේ උදව් ලබාගෙන පසුව, අගමැතිවූ විට, අනේ හාමුදුරුවනේ, ආණ්ඩුව සරණං ගච්චාමි කියා ශික්‍ෂා පදයක් නෑ නොවැයි ඩී. ඇස්. සේනානායක විසින් හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්ට අවඥා සහගත ලෙස කල ප්‍රකාශය අනුව විමසමින් රටේ පන්සල-පාලක ඉතිහාසය දෙස බලන විට, 2019 ගෝඨාභය <රජ> වන තුරුම, සිංහල බෞද්‌ධයයි කියා ගන්නා, රටේ පාලක කළුසුද්දන් විසින් සිංහල බෞද්‌ධයාට කර ඇත්තේ, ඔවුන්‌ව, හිත හොඳ ගෑණුන්සේ සැළකීම නොවේද, යන කාරණය මට ප්‍රත්‍යක්‍ෂ විය. ඥානසාර හිමිඳුන්ට පාර්ලිමේන්තුවට යෑමට ඉඩක් ලැබීම වයා අවුරුදු 19 දී, 1994 සිට උන්වහන්සේ ඇරඹූ දුෂ්කර ක්‍රියාවක් නොවේද කියා සිතෙන්නේ අන්තිම මොහොතේත් එය වළක්වන්නට ත්‍රස්තවාදියෙකුගේ මෙන් රැවුල හා කොණ්ඩය වවාගත් මාර දූතයෙක්, ලේකම් භික්‍ෂුවක් ගොදුරක් වී සිටීමය. මේ භික්‍ෂුවගේ උඩුරැවුලම ඔහු පක්‍ෂයක ලේකම් කමකට නුසුදුස්සෙක් නොවේද යන ප්‍රශ්ණය මතුකරයි. මුස්ලිම් නිකායේ වටරැක විජිතලා වැන්නන් ගේ ඇතුලේම සිට ඇත.

හාමුදුරුවරු සෙකියුරිටි ගාඩ් ලා නොව රටේ මුර දේවතාවුන්‌ය

ගංගොඩවිල සෝම හාමුදුරුවන් විසින් බණ මඩුවේ සිට කල දේශනා බීර අලියන්ට වීණා ගැයීමක් වුවත් ඒ මඟින් ගොඩ නැඟුණ සිංහල බෞද්‌ධ ප්‍රභොධය නමැති දෑවැද්ද මහින්ද රාජපක්‍ෂට අත්‌විය. එහෙත් සීහල උරුමය, හෙල ජාතික උරුමය යන ව්‍යාපාර පෘතග්ජන පංචස්කන්‌ධ විසින් විනාශකර ගත්තේය. ඒවා ඇතුලේම සිටි ජාති ද්‍රෝහි ඔත්තු කරුවන් ඒවා විනාශ කලේය. නීති විද්‍යාල ශිෂ්‍යයෙකු වශයෙන් සිටි කාලය ගැන යම් සැකයක් තිබූ මාක්ස්වාදී ඩිව් ගුණසේකර වෙනුවට වි.ජ.මු. ලොකුබණ්ඩාරව කතානායක කිරීමෙන් චන්ද්‍රිකාව යම් දුරකට බකල් කිරීම, හා පසුව මාවිල් ආරු සටනට ජනාධිපති මහින්දව බලෙන් ඇදගැණීම හැර, මේ අය රටට කල දෙයක් නැත. එහෙත් මෙහිදීත්, අපේ හැසිරීම අප දන්නා සත්‍ය තොරතුරු ප්‍රමාණය මත රඳා සිටිනවා නොවේද යන්නට හොඳම උදාහරණයක් වන්නේ විජමු ගැන උපුල් ශාන්ත සන්නස්ගල කල යූටියුබ් සාකච්චාවය. ඒ අනුව විජමු යනු ඩිව් වෙනුවට කල ඉඟුරු දී මිරිස් ගැණීමකි; ඔහු හොඳ සිංහල බෞද්‌ධයෙක් තියා, මූණවත් නොබැලිය යුතු ගනයේ හීතල හොරෙකි.

පල්ලි නිකාය හා මුස්ලිම් නිකාය

වේදිකාවේ සිට ජරා කතාකියූ දඹරාවේ අමිල හිමි හෝ ඊට කලින් මතුවී නැතිවී ගිය මුස්ලිම් අවතාරයක් වුණ වටරැක විජිත හිමි මෙන් නොව වෙනත් නොයෙක් හාමුදුරුවරු දේශ-පාලනයට හවුල් විය. වයෝවෘධ කාලයේදී ඇමෙරිකන් තානාපතිනියගේ අටපිරිකරට රැවටුණ මාදුළුවාවේ සෝභිත හිමියන්ව ද සෝම හිමියන් මෙන්ම අපවත් කලාද කියා සැක පහල වන්නේ එවැනි නම් ලැයිස්තුවක්ම ඇති නිසාය. වැලිවිට සංඝරාජ හිමියන් පවා ඝාතනයට කොළඹින් දූතයින් ගියේය. මේ නිසා ඥානසාර හිමියන්ගේ මස් රාත්තලම ඉල්ලන පිරිසක් රටේ බිහිවීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් මෙහිදී ඇති විශේෂත්‌වය නම් රටේ දේශපාලකයින් හැම දෙනාම වාගේ එයට සහභාගීවීමය. එපමණක් නොව, රටේ ඩොනමෝර් බෞද්‌ධයින්, ඕල්කොට් බෞද්‌ධයින්, ඕ මයි ගෝඩ් බෞද්‌ධයින් හා පිරිත් නූල් බෞද්‌ධයින්ද අඩු වැඩි වශයෙන් ඊට සම්මාදම් වුණේය. අරුම පුදුම ලෙස ඒ වන විට 19 අවුරුද්දක බරපතල වැඩ සහිත හිර දඬුවමක් විඳිමින් සිටි ඥානසාර හිමිඳුන්‌ව ඉන් ගැලවූයේ සහරාන් විසින් තවත් පංචස්කන්‌ධ 300 ක් පමණ මරා දමා කන්‍යාවන් හතක් ලබාගන්නට දිව්‍ය ලෝකයට යාම මඟින්‌ය!

මුද්දරයේ ඉන්නා ඕල්කොට්තුමා බෝධි සත්‌වයෙක්ද?

1840 ස් ගණන් වල, බුද්‌ධාගම කියන්නේ බොරුවක්, තව දශක දෙකකින් පමණ බුද්‌ධාගම රටෙන් අතුගෑවී යනවා යන කතා කී කාලයේ සිට 1873 දී පානදුරා මහා වාදය වනතුරුම, පහතරට පන්සල්වල හාමුදුරුවරු කාටවත් යටත් නොවී රට-ජාතිය-ආගම රැක ගත්තේය. එහෙත් 1880 දී ඕල්කොට් ආගමනයත් සමඟ හාමුදුරුවරු පිළිකන්නට දැමීමක් ආරම්භවූයේ ඇඟට නොදැණීමය. අනාගාරික ධර්‌මපාල තුමා හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට, ඕල්කොට්ට විරුද්‌ධවීමට කල් නොගියත්, හික්කඩුවේ සුමංගල හිමියන්ට එය වැටහුණේ නැත. ඕල්කොට් විසින් ආනන්දය නම් ප්‍රථම නූතන ඉංග්‍රීසි බෞද්‌ධ විද්‍යාලයට ගෙනා ලෙඩ්බටර්, විශ්‍රාම ගෙන ලන්ඩන් ගියපසු, තම පරණ පාදිලි රස්සාවටම යෑම, ඩඩ්ලි සේනානායක විසින් ආර් ප්‍රේමදාසට වුඩ්ලන්ඩ්ස් ඉඩමේම කෑල්ලක් ලියාදීම වැනිම මට තේරුම් ගත නොහැකි අහිංසක හෝ අද්භූතජනක මිනිස් හැසිරීමකි. හෘදයාභාධයෙන් රෝහල් ඇඳේ සිටි ඩඩ්ලිව මරා ගත්තේ ප්‍රේමදාස යයි ඔහුට මිණිය බලන්නට නොදෙන තරමේ විරෝධයක් මතුවූ බව අප දනිතත්, ලෙඩ්බටර්ලා සුදු විදේශ ඒජන්තලා වුනාද යන්න ගැන දැණුමක් රටට නැත.

1940 ගණන් වල කන්නන්ගර මහතා මධ්‍යමහා විද්‍යාල පිහිටුවන තෙක්, පිරිවෙන් පස්සට ගොස්, ඕල්කොට් තෙම්පරාදු බෞද්‌ධයින් (හදිසි අන්තරාවකදී බුදු අම්මෝ වෙනුවට ඕ මයි ගෝඩ් යයි කියවෙන බෞද්‌ධයින්) බෞද්‌ධ අධ්‍යපනයේ මුරකාරයින් විය. 1930 ස් ගණන් වලදී ධර්‌මපාල දර්‍ශණය අනුව යමින්, කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමිඳුන් විසින් ආරම්භකල දීප ව්‍යාප්ත අපරාධ මර්‌දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හැර සැළකිය යුතු කිසිවක් සිදු නොවිය. ඩී.බී. ජයතිලක, ඩී.ඇස්. සේනානායක (හා වක්‍රව බණ්ඩාරනායක) යන ඇමතිවරු හාමුදුරුවන්ව රැවටුවේය. සුදු හා කළු සුදු නිලධාරීන් එම සාර්‌ථක වැඩ සටහන කඩාකප්පල් කලේය.

කණුවේ බැන්ඳ හරකා වැට කඩාගෙන යාම

1946 දි විද්‍යාලංකාර ප්‍රකාශණය හා භික්‍ෂුවකගේ උරුමය යන වල්පොල රාහුල හිමියන්ගේ පොත හා යක්කඩුවේ ප්‍රඥාරාම හිමිඳුන් ඩී.ඇස්ට කල අභියෝගය තුලින් මා දකින්නේ කළු සුද්දන් විසින් හාමුදුරුවරුන්ට ඉඩදුන්නේ කළු සුදු පාලන ක්‍රම රාමුව තුල <දඟලන්නට> පමණය යන්නය. මේ වනාහි ගොනාට ලණුවේ දුරට කොටුව ඇතුලේ තණකොළ කන්නට ඉඩදීමය. බොදු බල සේනාව 2012 මැයි 6 දා සිට ඇරඹුවේ මීට වෙනස් දෙයකි. සිංහල බෞද්‌ධයා විසින් තමන්ගේ වත්ත ශුද්‌ධ කරගත යුතු බවත්, ඔවුන්ට ඇති ප්‍රශ්ණ සාකච්චා කර ගත යුතු බවත්, සුද්දගේ නීතිය වෙනස් කල යුතු බවත් දේශපාලකයාට කියා සිටිමුත් ඉන් ප්‍රයෝජනයක් නොලැබෙන බව ඥානසාර හිමියන්ට පෙනී ගියේය. මේ නිසා, රටේ සමහර මහානායක හිමිවරුද කරනවා මෙන්, බෙන්ස්කාර්‍වල සිට වැට ඇතුලේ සිට තණකොළ කණවා වෙනුවට වැට කඩාගෙන පිටට පැනීමට ඥානසාර හිමියන් තීරණය කළේය. එය පටිසෝතගාමී, උඩු ගං බලා පීනීමක් විය. එය ගාන්‌ධිගේ හෝ ඇමෙරිකාවේ මාටින් ලූතර් කිංගේ හැසිරීමට සමානය. ඒ හැමටම වඩා එය පන්සිය පනස් ජාතක පොතේ එන, මැහැළිය ලිප් බොක්කේ සිටි බෝධි ස‌ත්‌ව නාගයාට, ඒ ඉන්නේ ගැරඬ්යෙක් යයි සිතා ගහන්නට දර පොල්ලක් ගත් විට, නාගයා කල පෙණය පිප්පීම වැනිය. දැන් කාලයේ මීට කියන්නේ මිලිටන්ට් බුඩිසම් යනුය. විනය, කැපවීම හා අධිෂ්ඨානයය. එය ගණනාත් ඔබේසේකරලා කියන ප්‍රොටෙස්ටන්ට් බුඩිසම් ගනයේ ඇල්මැරීමක් නොවේ.

වයස අවුරුදු 11 දී මහණවී, වයස 19 දී (1994) ජාතික සංඝ සම්මේලනයේ ආරම්භක ලේකම් ලෙසත්, 2004 දී ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු චන්ද අපේක්‍ෂකයෙකු ලෙසත්, මත ගැටුමක් නිසා පසුව යූ.ඇන්.පී යට සම්බන්‌ධවී එහි එක්සත් භික්‍ෂු පෙරමුණට නායකත්‌වය දීමට නම් පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් පැවිදි භික්‍ෂූන් සඳහා කෝටාවක් දිය යුතුයයි කොන්දේසියක් දැම්මේත්, ඥානසාර හිමියන්, සෙසු භික්‍ෂූන්ගෙන් වෙනස් චරිතයක් වූ නිසාය. එතුමා හිත හොඳ ගෑණුන් වෙනුවෙන් පාර්ලිමේන්තු බලය අවශ්‍ය බව වටහා ගත් භික්‍ෂුවකි. 1940 ස් ගණන් වල කළුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමියන් වත, 1946 න් පසු වල්පොල රාහුල හිමියන්වත් මෙසේ නොසිතුවේය. 2020 චන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය හා පත්කල අය රැසක්ම. ඥානසාර හිමියන් මෙන් මෙසේ හිත හොඳ ගෑණුන් වෙනුවෙන් පෙනී සිටිනා අය යයි සිතේ. එකම වෙනස නම් එතුමා කොල-රතු-නිල්-පොහොට්ටු දේශපාලන පක්‍ෂයකට කොටුවී නොමැති වීමය.

ඥානසාර හිමිඳුන්ගේ මෙම වැටකඩාගෙන යෑම නිසා පිරිත් නූල් බෞද්‌ධයින්ගේ නිරුවත එලිවන්නට විය. ඔවුන් ගලේ පැහැරූ බළලුන් බවට පත්‌විය. සමස්ත කළු සුදු පාලන තන්ත්‍රයම දෙදරා ගියේය. හාමුදුරුවන් විසින් නිර්‌දය ලෙස කල විවේචනයට හසු නොවූ දේශපාලකයෙක් නැති තරම්‌ය. හාමුදුරුවන්ට නොයෙක් අන්දමේ අපහාස කල අය කලේ පණිවුඩ කරුවාට වෙඩි තැබීමය. එසේ කල ඇමතිලාට පවා සිදුවූයේ ලුණු ඇඹුල් ඇතිව ප්‍රති උත්තර ගිල ගැනීමටය. <ධර්‌මපාල න්‍යාය> අනුව යමින් හාමුදුරුවන් එල්ලකල වාග් ප්‍රහාරය කෙතරම්ද යත්, ලඟදීම අපි බලු සේනාව, බලු කූඩුවේ දමනවා යයි චන්ද්‍රිකා මුස්ලිම් රැස්වීමකදී වහසි බස් දෙඩවූවාය. ඒ පරිදිම බොරු නඩුවක්ද දමන ලදී (මේ නඩු තීන්දුවේ වැරදි ගැන සවිස්තර ලිපි දෙකක්ම මා විසින් ලියා ඇත). දැන් මේ වන විට සිදුව ඇත්තේ නොයෙක් භාධක ජයගෙන ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට යාමය. ගෝඨාභය ජනාධිපතිවීම නතර කිරීමට අන්තිම තුරුම්පුවක් ගසන්නට සිතා වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත උසාවි ගියා මෙන්, යම් සතුරු හස්තයක් එය ප්‍රමාදකරන්නට අන්තිම මොහොතේ ක්‍රියාකරමින් සිටී.

දියසේන කුමාරයා

රතන හිමියන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය නම් අකමැත්තෙන් වුවත් යුුෙන්පී එකට ආවඩමින් සිට ඉන් ඉවත්‌වී උපවාසයක් කිරීමය. උන්වහන්සේ දැන් කල යුතු හොඳම දේ නම් ඥානසාර මන්ත්‍රී උන්නාන්සේගේ (රජයෙන් පඩිගෙවන) ලේකම් තනතුරට පත්‌වී, ඒ මඟින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඇතුල්වීමේ අවකාශය ලබාගැනීමය. මේ මඟින් මන්ත්‍රී ආසනයේ ඉඳ ගැනීම හැර අනිත් සෑම බලයක්ම එතුමාට ලැබෙන්නේය. රත් වුණ තැටියෙන් රොටි පුච්චන්නට සිතූ මාදුළුවාවේ සෝභිත හිමියන් ද අතරමංව, අපවත්‌වී ගියේය. මීට වෙනස් ඉරණමක් ඥානසාර හිමියන්ට උදාවී ඇත. 1840 ස් ගණන්වල සිටම සිංහල බෞද්‌ධයා පතමින් සිටි දියසේන කුමාරයා ගෝඨාභය ජනාධිපති නම් ඒ සඳහා ඔහුට උපකාර විය හැකි හොඳම උපදේශකයා නම් ඥානසාර හිමිඳුන්‌ය. රනිල්ගේ බොරු ලිච්චවි, දශරාජ ධ‌ර්‌ම කතා වලින් කළකිරී සිටින ජනයාට, ඒ සංකල්ප වල අගය ක්‍රියාවෙන් පෙන්‌වා දීමට හැක්කේ ධර්‌මපාල අවතාරයක් වැනි ඥානසාර හිමියන්ගේ දේශ-පාලන, රාජ්‍යපාලන වටිනාකම උකහා ගැනීමෙන්‌ය.

ජනාධිපතිවරයා විසින් මාසිකව පවත්‌වන හාමුදුරුවරුන්ගේ උපදේශක සභාවට ඥානසාර හිමිඳුන්ට ආරාධනා නොකරන්නේ, ඒ ප්‍රසිද්‌ධ හාමුදුරුවරු ඊට විරුද්‌ධ නිසාය යන දූෂමාණ ආරංචියක් රටේ පවතී. මේ උපදේශක හාමුදුරුවරුන්ට බිම් මට්ටමින් රටේ දැවෙන ප්‍රශ්ණ ගැන දැණුමක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන. එහෙත් මේ කිසිවෙක්, රණවිරු දඩයමට විරුද්‌ධව හෝ අයුතු අන්‍යාගමීකරණයට විරුද්‌ධව හෝ ශාරියාවාදයට විරුද්‌ධව පාරට බැස්සේ නැත. මංගල සමරවීරලා සුදු නෙළුම් පෙලපාලි යමින් හා සර්වෝදයේ අය කොළඹට සීමාවී සාම පෙළපාලි යන විට, කුමාර් රූපසිංහලා රැස්වීම් පවත්‌වමින් යුද භටයින්ගේ මනස බිඳවට්ටන කාලයේ සිවුර පසෙක තබා සටන් කලේ ඥානසාර හාමුදුරුවෝය. ඒ කාලයේ කවුරුන්වත් උන්වහන්සේට නෝර්වේ ඒජන්ට් කෙනෙක් යයි කිව්වේ නැත! ඥානසාර හිමියන්‌ගේ මතවාදයට තමන් එකඟවනවා යයි කී මහානායක හාමුදුරුවරුන්ට, එම මතවාදය දැන් ජනාධිපති ඉදිරියේ සාකච්චාවට එනවාට විරුද්‌ධ විය හැකිද? එසේ නම් එය ලිච්චවි සංකල්පයට පටහැනි මෙන්ම, රනිල්ගේ ලිච්චවි යහපාලනයට සමානය.

කෙසේ වෙතත්, බෞද්‌ධ උපදේශක සභාවක් හරහා ජනාධිපතිතුමාගෙන් කුඩම්මාගේ සැළකිලි ලබන ඥානසාර හිමියන්ව, යම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් රැක බලාගෙන ඇත. ඒ බලවත් පුදුම අන්දමේ දුක් ගැහැට හා අභියෝග මැදය. රටේ රාජ්‍ය හා පුද්ගලික ටීවී නාලිකා පමණක් නොව ඇමෙරිකාවේ මුහුණු පොත පවා උන්වහන්සේට ද්‍රෝහී විය. කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල යන වැඩියෙන්ම චන්ද ලැබී ජාතික මට්ටමින් ආසන දෙකක්වත් ලබාගත හැකි නාම යෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප වුණේ/කලේ යම් කුමන්ත්‍රණයක් නිසාදැයි දැන් සිතෙන්නේ රැවුල් වවාගත් භික්‍ෂුවගේ සැඟවී යාම නිසාය. ඒ භික්‍ෂුව තමන්ව වළගම්බා, දුටුගැමුණු රජුන් සැඟවී සිටීම හා සමාන කර කතා කිරීමම ඔහුගේ මානසික ව්‍යාධීභාවය එලිදර්ව් නොකරන්නේද? ඇත්තවශයෙන්ම සිදුවන්නට යන්නේ උපදේශක සභාවට නොගත් ඥානසාර හිමිඳුන් දැන් ස්වාධීනව ජයගෙන පාර්ලිමේන්තුවට යාම, ජනාධිපති ගෝඨාභයට ලැබුණ ජයග්‍රහණයක්ද නොවේද? ජනාධිපතිට කෙළින්ම කල නොහැකි දියවන්නා හෝටලයේ මන්ත්‍රී දමණය ඉබේම එහි සිටින ඥානසාර මන්ත්‍රී උන්නාන්සේගෙන් සිදුවෙන නිසාය. පාර්ලිමේන්තුවට නොපැමිණීම ජාතික අපරාධයකි. පැමිණ නම ලකුණු කර ඉස්තරම් කෑමවේලක් ලාභෙට කා, නිදාගෙන හෝ නොගෙන, පාසැල් ළමුන් හොරෙන් පැන යනවා මෙන් පිටවී ගොස් දවසේ දීමනාව ලබාගැනීම තම දරුවන්ට පවා පඩිසන් දෙන පාප කර්‌මයකි. ඥානසාර හිමියන් මේ පාසැලේ මොනිටර් වශයෙන් සිටිමින් මේ අය ගැන රටට එලිකරනවා නිසැකය. එය කිරීමට ශක්තිය ඇති මන්ත්‍රී ප්‍රාණයක් මේතාක්ම බිහිවී නැත්තේ හැමෝගේම කිල්ලෝට වල කුණු ඇති නිසා නොවේද?

කඹ වැනි පිරිත් නූල් බැඳගත් පාර්ලිමේන්තුවේ සිටි පිරිත් නූල් බෞද්ධයින් වෙනුවට, 20 ක් පමණවත් නියම සිංහලේ රටක් සඳහා පෙනී සිටිනා මන්ත්‍රී පිරිසක් දැන් එහි සිටී. ඒ කෙසේ වෙතත් ඥානසාර හිමියන්ට ඇති කාරිය හරියට රත්‌වූ පිහියකින් බටර් කපනවා වැන්නකි. මින් ඉදිරියට බලු කතා, වල් කතා, ගොන් කතා කියමින් මන්ත්‍රණ සභාව පින් බත් කඩයක් සේ සළකා ක්‍රියා කරන්නට එකී නොකී, සිංහල, දෙමළ, මුස්ලිම් මන්ත්‍රී ප්‍රාණ වලට ඉඩක් නොලැබෙනු ඇත. දෙමළ ඊළම, ශාරියා ගර්‌භාශ යුද්‌ධ මතවාදයෙන් පැරදීම පාර්ලිමේන්තුව තුලින් ආරම්භ වෙනු නිසැකය. වාරියපොළ සුමංගල (1815 මාර්තු 2 ඉංග්‍රීසි කොඩිය බිම දැමූ, 1818 දන්ත ධාතුව කැප්පෙට්ටිපොල නිලමේට ගෙන ගොස් දී යාපනේ හිරගෙදරදී අපවත්‌වූ), කුඩාපොළ උන්නාන්සේ (1848 අගෝස්තු 26 ටොරින්ටන් විසින් සිවුර පිටින්ම වෙඩිතබා ඝාතනයවූ), හා වැලිවිට සරණාංකර යන හිමිවරුන්ගේ හා අනාගාරික ධ‌ර්‌මපාලතුමාගේ අවතාරයක් ලෙස පෙනී සිටීමට උන්වහන්සේ පිටුපස සිටීම අප හැමගේ යුතුකමය.

හොරහිත් ඇති පංචස්කන්‌ධ

මීට කලින් සීහල උරුමය, හෙල ජාතික උරුමයට වූ අන්දමටම, අපේ ජන බලවේගය පක්‍ෂය තුලද හොරුන්, ඔත්තුකාරයින් සිටිය හැකි බව දැන් සඟවී සිටින ලේකම් භික්‍ෂුවගේ ලැජ්ජා සහගත හැසිරීමෙන් ඔප්පුවිය. මෙය සහරාන්ගේ ප්‍රහාරය මෙන්ම වෙස් වලාගත් භාග්‍යයකි. මේ අය විසින් ඩොලර් වලට යටවී ඥානසාර හිමියන් ඝාතනය කිරීමට වුවද ඉඩ තිබුණි. කුරුණෑගල නාම යෝජනා දීමේදීද යම් කුමණ්ත්‍රනයක් වුනා යයි සිතෙන්නේ එහි දිසාපතිගේ ඒකාධිපති හැසිරීම නිසාය. ජාතික ලැයිස්තු සම්බන්‌ධයෙන් හැම පක්‍ෂවලම ඇතිව ඇති අර්බුධ වලින් පෙනී යන්නේ මේ රට හදන්නට එනවා කියන මේ ප්‍රාණ මොනතරම් හොරුද යන්න නොවේද? ඒ අතින් රනිල් වාසනාවන්තය. ඔහු චන්‌දෙන් දිණුවා නම් පාර්ලිමේන්තුවට ඒම යනු ඒ එන සෑම දිනයක් පාසාම නොමරා මැරෙන පැය ගණනකට ඔහු ලක් වන නිසාය. මේ නිසා හැම නරකකම හොඳක්ද ඇත. ඔහුට දැන් ගෙදරට වී ඉංග්‍රීසි, ඇමෙරිකන් හා ප්‍රංශ චිත්‍රපටි බලමින් කාලය ගෙවිය හැකිය.

මේ ලිපියේ දෙවන කොටස, 2012 මැයි 6 දා බොදු බල සේනාව පිහිටවූ දා සිට එය සම්බන්‌ධයෙන් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් මා ලියූ අන්තර්‌ජාලයෙන් මට සොයාගත හැකිවූ ලිපි 26 ක් පමණ ගැන කරණ ආවර්‍ජනයකි. බොදු බල සේනාවේ ක්‍රියාකලාපය ගැන 90% ක පමණ මා එකඟවූ නිසා එයට විරුද්‌‌ධව කතාකල, ක්‍රියාකල හා ලියූ අයට පිළිතුරු සැපයීම ජාතික වගකීමක් යයි ඒ කාලයේදීටත් වඩා මේ කාලයේදී මට සිතේ. මෙම පසුබිම දැන ගැනීම හැම දෙනාටම, අළුත් මන්ත්‍රීන්ට හා අපේ ජන බල පක්‍ෂයටමද වැදගත් වනු ඇත්තේ, කුහක දේශපාලකයින්, එන්ජිිෝ ඩොලර් කාක්කන්, දයාන් ජයතිලක වැන්නන් පමණක් නොව ශාන්තුවරයෙක් වැනි රජීව විජේසිංහ පවා නිරපරාදේ ඥානසාර හිමියන්ට අපහාස කල නිසාය.

අසාත් සාලි, හිස්බුල්ලා, මුජිබර් රහමන්, රාවුෆ් හකීම්ලා පවා ඥානසාර හිමිඳුන් හිරගෙදරින් නිදහස් කල යුතුයයි කියද්දී චන්ද්‍රිකා නිහඬව සිටියේ ඇයිද යන්න මට සිහිපත් කරන්නේ, අනුර වෙනුවට චන්ද්‍රිකාට පක්‍ෂය භාර දීමට මිසිස් බණ්ඩාරනායක කල යෝජනාවට ඇගේ ලඟින්ම සිටි අයෙක් ඊට විරුද්‌ධව ඇයට කී දෙයය. <චන්ද්‍රිකා ජාති ද්‍රෝහී අදහස් ඇති අයෙක්> යයි ඔහු කියා සිටියේය. මේ උපදේශය නිසා මිසිස් බී ඔහු හා අමනාප විය. මේ පුද්ගලයා තාමත් ජීවතුන් අතර සිටින නිසා ඔහුගේ නම එලිනොකරණ ලෙස මට දැණුම්දී තිබේ. එහෙත් පසු කලෙක, මේ මිසිස් බී විසින්, <චන්ද්‍රිකා පිස්සු කෙළිනවා> යයි තමන්ට කී බව, අගමැතිණි මිසිස් බී ගේ පුද්ගලික ලේකම්ව සිටි සුදත් ගුණසේකර නම් පරිපාලන නිලධාරියා විසින් ලියා තිබුණා මා දැක ඇත. ලංකාවේ දේශපාලනය මොන තරම්දුෂ්ටද? මුග්‌ධද? ජාති ද්‍රෝහිද? ආත්මාර්‌ථකාමීද?

ලංකාවේ නිදහස් දින සැමරුමකට චාල්ස් කුමාරයාව ගෙන්‌වා ගත් විට ඔහු කලායයි කියන ප්‍රකාශයක් නම් ලංකාව අරුම පුදුම රටක් යන්නය. ඒ රටේ <අගමැති ඉන්නේ රෝද පුටුවකය, රටේ ජනාධිපතිගේ එක් ඇහැක් නැත. හමුදාපති ඇවිදින්නේ හැරමිටියක් ආධාරයෙනි> මෙවැනි රටක් ලෝකයේ වෙන කොහේවත් නැත. මේ රට වැටුණු ලිඳෙන්, ලිංකටෙන්ම ගොඩට ගත යුතුය. ඒ සඳහා ජනාධිපති ගෝඨාභයට සෑහෙන සේනාවක් හා යුද හමුදාවක් සිටී. බොදු බල සේනාව ගමක්-නගරයක් පාසාම සිටින ජන බල සේනාවක් වශයෙන් වැදගත් වන්නේ සියළු සත්‌වයෝ (මිනිසුන් පමණක් නොව, සතා-සීපාවා-ගස්-ගල් පවා) නිදුක්-නිරෝගී-සුවපත් වෙත්‌වා යයි කියන, බෝධි ස‌ත්ව නාගයා සිය ලාංචනය කරගත් දේශපාලක ධාරාවක් ලෝකයේ වෙන කොහේවත් නැති නිසාය.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

Related posts

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගැන ජවිපෙන් ඉගියක්

colombotoday

“හැමදේම කළේ අගමැති රනිල්ගේ කීමටයි.. ඔහුව ගෙනත් ප්‍රශ්න කරන්න” – බැදුම්කර මාමා කොමිසමට කියයි

colombotoday

“ඕස්ට්‍රේලියා අල්ලස් චෝදනාව ගැන මෛත්‍රීව විවේචනය කරන්න එපා.. ඒ වේදනාව මම දන්නවා” – මහින්ද

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday