ArticlesColombo Today Local NewsWorld

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

අවුරුදු අනූ හතක්‌ යනු මහා කාල පරාසයක්‌. ජෝර්ඡ් ලී මැලෝරි (George Leigh Mellory) නමැති ගවේෂකයා ඉන්දියාවේ පිහිටි හිමාල කඳු සිඛරය (Everest) තරණය කොට දැනට අවුරුදු අනූ හතක්‌ ගතවී තිබේ. මැලෝරි හිමගිර තරණය කොට මේසා කාලයක්‌ ගතවී ඇතත් ඇත්ත වශයෙන්ම ඔහුට හිමගිරි තරණය කිරීමට පුළුවන් වුණාද? නැද්ද යන්නත් ඉන් පසු ඔහුට සිදු වූයේ කුමක්‌ද යන්නත් තවමත් අභිරහසක්‌ව පවතියි. කෙසේ වෙතත් මේ ඊයේ පෙරේදා යළිත් වරක්‌ අභිරහසක්‌ බවට පත්වී ඇති මෙම ප්‍රශ්නය ගැන කතා කිරීමට ඉන්දියාවේ ගවේෂකයන් පිරිසක්‌ ඉදිරිපත් වී සිටින බව පෙනේ.

හිමගිරි තරණය සඳහා මුලින්ම ඉදිරිපත් වූ ගවේශකයා මැලෝරි බව ඉන්දියානු ගවේෂකයන් පිරිසක්‌ කියා සිටිති. එහෙත් තවත් පිරිසක්‌ කියා සිටින්නේ මුලින්ම හිමගිර තරණය කළ පුද්ගලයා එඩ්මන්ඩ් හිලරි බවය. ටෙන් සිං නෝගේ ද ඔහුට සහය වූ බවයි. ජෝරඡ් මැලෝරි හිමගිරි තරණය සඳහා මුලින්ම ගමන් ආරම්භ කර ඇත්තේ 1921 දී බව “ඉන්ඩියා ටුඩේ” නමැති සඟරාවේ පළවූ ලිපියකින් කියවෙයි. 1924 ජුනි මස 8 වැනිදා හිමිදිරි පාන්දර ඔහු හිමගිර තරණය අවසන් කළ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙය මැලෝරි තනිපංගලමේ ගිය ගමණක්‌ නොවේ. හිමගිර තරණය සඳහා ඔහු තවත් බ්‍රිතාන්‍ය ගවේෂකයකුගේ සහය ලබාගෙන ඇත. ඒ ඇන්ඩෲ අර්වින් (Andrew Irvine) නමැති ගවේෂකයා ගේය. ජෝරඡ් ලී මැලෝරි, හිමගිර තරණය හේතුකොට ගෙන අද කල්පිතයක්‌ බවට පත්වී සිටියි.බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ඡ් ලී මැලෝරි නමැති ගවේෂකයාට ඔහුගේ සගයා, සමග ඇත්ත වශයෙන්ම හිමගිරි තරණය කිරීමට පුළුවන් වුණාද? හිමගිරි මුදුනට ගොස්‌ ඔවුන්ගේ ගවේෂණ කටයුතු අවසන් කිරීමට අවස්‌ථාවක්‌ ලැබුණාද? නැද්ද? හිමගිර තරණයේදී ඇත්ත වශයෙන්ම ඔවුන් දෙදෙනාට සිදු වූයේ කුමක්‌ද යන්න ගැන සොයා බැලීම සඳහා පසුගියදා යළිත් පරීක්‍ෂණයක්‌ ඇරඹිණි. දශක නවයක්‌ පමණ යටවී ගොස්‌ බොහෝ දෙනෙකුට අමතකවී තිබුන මෙම ගවේෂකයන් දෙදෙනාගේ “හිමාලයේ අභිරහස්‌’ පිළිබඳ තොරතුරු මෙම පරීක්‍ෂණයේදී බොහෝ දුරට අනාවරණය කර ගැනීමට පුළුවන් වූ බව ඉන්ඩියා ටුඩේ සඟරාවේ විඡේජුන්ග් තාපා නමැති ලේඛකයා කියා සිටියි.

හිමගිර මුලින්ම තරණය කරන ලද්දේ ජෝරඡ් මැලෝරි විසින්ද එසේත් නැත්නම් වෙනත් කෙනකු විසින්ද යන්න තවමත් මත ගැටුම්වලට තුඩුදී ඇති ප්‍ර්‍රශ්නයකි. එඩ්මන්ඩ් හිලරි (Edmund Hillary) සහ ටෙන්සිං නෝගේ (Tenzing Norgay) මුලින්ම හිමගිරට පා තැබූ ගවේෂකයන් දෙදෙනා බව එක්‌ මතයක්‌ කියන අතර වැඩි දෙනෙකු කියා සිටින්නේ ජෝර්ඡ් මැලෝරි සහ ඔහුගේ සගයා වන ඇන්ඩෲ අයිවන් හිමගිරට මුලින්ම පාතැබූ ගවේෂකයන් දෙදෙනා බවයි. කෙසේ වෙතත් මෙම ගවේෂකයන් දෙදෙනාගේ පාගමනය මේ දක්‌වා සිදුවී ඇති බැවින් ප්‍රථම වතාවට හිමගිර තරණය කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න තවමත් හරියකට හෙළිවී නැති අභිරහසක්‌ බවට පත්වී ඇති බව පිරිසක්‌ කියා සිටිති.මේ අතර කලින් හිමගිර තරණය සිදුවී අවුරුදු අසූවකට පසු ඇන්ග්ලෝ ඇමෙරිකන් ගවේෂකයන් පිරිසක්‌ යලිත් වරක්‌ හිමාලයේ අභිරහස සොයා ගැනීම සඳහා හිමගිර තරණය කළ බව “ඉන්ඩියා ටුඩේ” සඟරාව සඳහන් කරයි.මෙම තරණයේදී ඔවුන්ට පුදුම දෙයක්‌ සොයා ගැනීමට පුළුවන් විය. මෙම පුදුම දෙය නම් හිමාලයේ එවරස්‌ට්‌ කඳුවැටියේ අඩි විසිපන්දහසකට පහළින් වූ බෑවුමකට වැටී අයිස්‌ නිසා කුණු නොවී ජීවමානව තිබූ ජෝර්ඡ් මැලෝරිගේ මළ සිරුරයි. මැලෝරිගේ මළ සිරුර සොයා ගැනීමෙන් පසු තවත් ප්‍රශ්න කීපයක්‌ම පැන නැගිණි. මැලෝරි මේ සා විශාල ප්‍රපාතයකට ඇද වැටී ඇත්තේ හිමගිර තරණය කොට ආපසු එමින් සිටිද්දීද? එසේත් නැතිනම් හිමගිර තරණය කරමින් සිටිද්දීද? එසේ නම් ඔහු සමග ගිය අනිත් ගවේෂකයාට සිදු වූයේ කුමක්‌ද? මැලෝරිගේ මළ සිරුර සොයා ගැනීමෙන් පසු ඔව්හු අයිවන් ගැනත් ඔවුන් ගෙන ගිය කැමරා ආම්පන්න ගැනත් සෙවීමට පටන් ගත් බව මෙම පරීක්‍ෂක කණ්‌ඩායමේ නායකයා වන එරික්‌ සයිමන්සන් කියා සිටියේය.

මෙම පරීක්‍ෂණය වැඩිදුරටත් කරගෙන යද්දී ඔවුනට අයිවන් විසින් පාවිච්චි කරන ලද හිම කෙටේරියත් මැලෝරි විසින් එක්‌ කකුලකට දමන ලද පැරණි වර්ගයේ කඳු නගින සපත්තුවකුත් සොයා ගැනීමට හැකිවූ බව සයිමන්සන් වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර චීන කඳු නගින්නෙකු වන වෑන්ග් හොං බෝ 1975 දී හිමගිර තරණයට ගොස්‌ අතර මගදී ආපසු පැමිණි බව කියන එරික්‌ සයිමන්සන් මෙම ගමනේදී ඔහුට හිමෙන් වැසී ගිය මළ සිරුරක්‌ හමුවී ඇතත් ඒ කාගෙ දැයි නොසොයා ආපසු පැමිණ ඇති බවත් කියා සිටියේය. මළ මිනිය දැකීමෙන් තැති ගැනීම නිසා හොංබෝ ඒ ගැන නොසොයා ආපසු පැමිණෙන්නට ඇතැයිද සයිමන්සන් වැඩිදුරටත් සඳහන්කර ඇත. මෙම සිද්ධිය හොංබෝ සයිමන්සන්ට පවසා ඇත්තේ 1979 දීය. මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා සයිමන්ස්‌ ඇතුළු කණ්‌ඩායම හොංබෝ හමුවීම ට යද්දී ඔහු හදිසි අනතුරකින් මිය ගිය බව ඔවුනට දැන ගන්නට ලැබී ඇත. ඔහු මිය ගොස්‌ ඇත්තේ හිමධාවයක්‌ ඇඟට කඩා වැටීමෙන් බවද පසුව හෙළිවිය.එරික්‌ සයිමන්සන්ගේ ගවේෂණ කණ්‌ඩායමට භූ විද්‍යාඥයෙක්‌ එවරස්‌ට්‌ කඳුවැටිය ගැන දන්නා ඉතිහාසඥයෙක්‌ සහ කඳු නගින්නන් කීපදෙනෙක්‌ ඇතුළත්ය. මොවුන් මේ ගමන සඳහා ලෝහ ආවරණයක්‌ද (Metal Detector) ග්ලෝබල් පොසියනිං සිස්‌ටම් (Global Positioning System) නමැති රිසීවරයක්‌ද ගෙන ගියහ.මේ අතර හිමකඳු බෑවුමක තිබී සොයා ගන්නා ලද “ඉංග්‍රීසි කාරයාගේ” ගල්වූ මිනිය මුලින්ම කාගේ දැයි හ\ඳුනා ගැනීමට තමන්ට නොහැකිවූ බව ගවේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු වන ඩේව් හන් කියා සිටියේය. බොහෝ කලක්‌ හිමෙන් වැසී තිබීම නිසා මෙම මළ සිරුර සුදු පැහැගැන්වී තිබුණු බව ඩේව් කියයි. හඳුනා ගැනීමට බැරි තරමට මුහුණ වෙනස්‌ වී විකෘති තිබුණු බැවින් එය මැලෝරිගේද නැත්නම් අයිවන්ගේද යන්න සොයා ගැනීම තරමක්‌ දුෂ්කර කටයුත්තක්‌ වූ බව ඩේව් වැඩිදුරටත් කියා සිටියේය. ඉහළ තැනක සිට පහළට ඇද වැටීම නිසා ඔහුගේ කෙන්ඩයේ කුඩා ඇටය බිඳී තිබිණි. කැමරන් හිම කෙටේරියත්, ඔක්‌සිජන් බෑගයත් ඔහු අසල නොතිබිණි. අන්තිමට මෙම පුද්ගලයා මැලෝරිද අයිවන්ද යන්න සොයා ගැනීම සඳහා ඔහු ඇඳ සිටි ඇඳුම් කට්‌ටලය (සීතලට ඔරොත්තුදීම සඳහා ඔහු ඇඳුම් කට්‌ටල දහයක්‌ ඇඳ තිබිණි) එකින් එක කපා (මෙම ඇඳුම් ද ශරීරයට ගල්වී තිබිණි) ඉවත් කිරීමට සිදුවූ බව කී ඩේව් අන්තිමට ඔහුගේ යට ඇඳුමේ සටහන් කර තිබුන අකුරු සටහන්වලින් මෙම මිනිය මැලෝරිගේ බව හඳුනා ගත් බව කියා සිටියේය. යට ඇඳුමේ සාක්‌කුවක ගල්ගැසී තිබුන අව් කණ්‌ණාඩි කුට්‌ටම මැලෝරිගේ බව ඔහුගේ බිරිඳ රූත් විසින් හඳුනාගෙන ඇත. මේ අතර ගවේෂකයන් සඳහා 1924 දී හිමගිර පවුලට ගිය භූ විද්‍යාඥයකු වන නොයෙල් ඔඩෙල් (Neal Odeal) ප්‍රකාශයක්‌ කරමින් හිමගිරේ මුදුනටම නගිමින් සිටින පුද්ගලයන් දෙදෙනකුගේ කළු ඡායා දෙකක්‌ තමන්ට දැක ගන්නට ලැබුනු බව කියා සිටියේය. විනාඩි පහක්‌ තුළදී මෙම ඡායා දෙක නැතිවී ගිය බවද ඔඩෙල් වැඩිදුරටත් සඳහන් කළේය. මේ වන විට මෙම පුද්ගලයන් දෙදෙනා හිමගිරේ අඩි 900 ක්‌ තරණය කර තිබූ බවද ඔහු කියා සිටියේය.

මැලෝරිගේ මිනිය සොයා ගත් එරික්‌ සයිමන්සන් ඇතුළු ගවේශක කණ්‌ඩායම ඉන්පසු ඇන්ඩෲ අයිවන්ගේ සිරුර සොයා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක්‌ දැරූහ. එහෙත් ඔවුනට අයිවන් හෝ ඔහුගේ කැමරාව හෝ මැලෝරිගේ අනිකුත් ආම්පන්න හෝ සොයා ගැනීමට නොහැකි විය.අයිවන් විශාල හිම කුට්‌ටියකට යටවීම නිසා ඔහුගේ මළ සිරුර අද දක්‌වාම සොයා ගැනීමට නොහැකිවී ඇත. අවුරුදු ගණනාවක්‌ ගෙවී ඇතත් අයිවන්ගේ සිරුර හිම පතලකට වැටී හිමෙන් වැසී තවමත් නොදිරා ගල්ගැසී ඇතැයි සයිමන්සන් කියා සිටියි.නව ගවේෂනයන් නිසා අලුත් ප්‍රශ්න කීපයක්‌ම මතුවී ඇතැයි දිනක්‌ රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් එඩ්මන්ඩ් හිලරි ප්‍රකාශ කර සිටියේය. “මැලෝරි හිමගිර තරණය කළා යෑයි ඔප්පු කිරීමට කිසිවෙකුට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම මං ඒ ගැන සන්තෝෂයට පත්වෙනවා.” 1965 දී කපිතාන් එම්. එස්‌. කොහොලිද ගවේෂකයන් පිරිසක්‌ සමග හිමගිර තරණය කිරීමට ගියේය. ඔහුටද හිමගිර තරණය කර ගැනීමට නොහැකි විය. ඔහු ඒ ගැන මෙසේ කියා තිබිණි.

“මැලෝරිට හිමගිර තරණය කරන්න බැරි වුණා කියල මං විශ්වාස කරනවා. නමුත් ඔහුගේ ආත්මය කඳු නගින්නන්ට කිසියම් බලපෑමක්‌ කරන බව මට හොඳමට විශ්වාසයි. එම ආත්මය අවුරුදු ගණනාවක්‌ ගවේෂකයන්ට බලපාන්න පුළුවන්” කපිතාන් කොහොලි කියා සිටියි.අලුත් ගවේෂකයන් පිරිස තවමත් මහන්සි ගන්නේ හිමගිර තරණය කළ ප්‍රථම පුද්ගලයා සොයා ගැනීමටය. එඩ්මන්ට්‌ හිලරි හිමගිර තරණය කළ ප්‍රථම ගවේෂකයා හැටියට ප්‍රසිද්ධ වී ඇතත් ඔහුට ප්‍රථම මැලෝරි සහ ඇන්ඩෲ හිමගිර තරණය කළ බව අලුත් ගවේෂකයෝ කියා සිටිති. එහෙත් එය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‍ෂි තවමත් ඔවුනට සොයා ගැනීමට නොහැකිවී ඇත.

ඩොන් ශ්‍යාම්

Related posts

නොදන්න දේ දන්නවා කියා පෙන්නන්නට හැදීමෙන් දන්න දේත් නොදන්නවා කියා හෙළි වුණා.. පා.ච. රණවක සමග මං එකගයි

colombotoday

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

Admin

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

colombotoday

එස්. බි. හා ඩිලාන්ට එරෙහිව නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday

(Video) ගැටඹේ නාහිමියන් ගෝඨාභයට කී ආන්දෝලනාත්මක කතාව

colombotoday