Colombo Today Local News

වැටුපට අමතරව ‘කුඩු’ පැකට්ටුවක් දෙන සේදවත්තේ තේ කර්මාන්තශාලාව

දිනෙක වැටුපට අමතරව ‘කුඩු’ පැකට්ටුවක්ද ලබාදී වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක සේවය සඳහා කම්කරුවන් යොදවමින් සිටි ‘සිරිමුතු උයනේ නිම්මා’ නමැත්තා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෙරොයින් ග්‍රම් 40ක් හා මිලිග්‍රෑම් 419ක්ද සමගයි.

මෙම මත්ද්‍රව්‍ය එම කර්මාන්තශාලාවේ සේවය කරන කම්කරුවන්ට ලබාදීමට සැකකරු විසින් ගෙනැවිත් තිබූ ඒවා බව පොලිසිය සඳහන් කරයි.

ඊට අමතරව ‘කුඩු’ කිරා බලන කුඩා ඉලෙක්ට්‍රොනික් තරාදියක් හා ජංගම දුරකථන තුනක්ද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතා පවසසිටියේ වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි අදාළ තේ කර්මාන්තශාලාව අසල මත්කුඩු විකිණීමේ යෙදෙන පුද්ගලයකු සම්බන්ධව පොලිසියට ඔත්තුවක් ලැබුණු පසු ඒ අනුව සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ එම කර්මාන්ත ශාලාවට අවශ්‍ය කම්කරුවන් සැපයීම සිදුකරන්නේ මොහු විසින් බවයි.

එහෙත් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සේවය සඳහා කම්කරුවන්ගේ පැමිණීම තිබී ඇත්තේ දුර්වල මට්ටමකයි.

මේ බව තේරුම් ගත් මෙම පුද්ගලයා කර්මාන්තශාලාවේ සේවයට එන කම්කරුවන්ට දිනක වැටුපට අමතරව කුඩු පැකට් දෙකක්ද දිනපතා ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර මත්කුඩු පානයට ඇබ්බැහිවූවෝ වැටුප පසෙකලා මත්කුඩු පැකට් දෙක ලබාගැනීම සඳහා දිනපතා සේවයට වාර්තා කිරීම සිදුකර ඇත.

උදෑසන සේවය සඳහා එන කම්කරුවන්ට සේවයට කලින් මොහු විසින් මත්කුඩු පැකට්ටුවක් ලබාදීම සිදුකරන අතර මත්කුඩු පානය කිරීමෙන් පසු එම කම්කරුවා වෙහෙස මහන්සි වී සිය සේවය නිසි ලෙස ඉටුකිරීමද විශේෂත්වයකි.

සේවය නිමවා යද්දී සෑම කම්කරුවකුටම තවත් මත්කුඩු පැකට්ටුවක පානය සඳහා දෙනු ලබන අතර පසුව ඔවුන්ට හිමිවන වැටුප ලබා දෙන්නේ සපයන ලද කුඩු පැකට්ටුවේ අලාභය මොහු විසින් අයකර ගැනීමෙන් පසුව බව පොලිසිය පවසයි.

කර්මාන්තශාලාවේ පිටුපස කම්කරුවන්ට විවේක ගැනීම සඳහා කාමර 4ක් වෙන්කර දී එම කාමර හතරෙන් එකක් අගුලු දා ඇති අතර එය ප්‍රයෝජනයට ගන්නේ කම්කරුවන්ට මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මත්කුඩුවලට ඇබ්බැහිවූවෝ මේ ක්‍රමය නිසා මෙම කර්මාන්තශාලාවට නොකඩවා පැමිණෙන අතර සමහර දිනවලට සේවකයන්ගේ අතිරික්තයක්ද දක්නට ඇති බව පොලිසිය පවසයි.

කොරෝනා වසංගතය පැතිරයන කාලයක වෙනත් ආයතනවලට අවශ්‍ය සේවකයන් නොපැමිණෙන වාතාවරණයක් යටතේ මෙම තේ කර්මාන්තශාලාවට කම්කරුවන් නිසි පරිදි සැපයීම සම්බන්ධයෙන් සැකකරුට අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් විශේෂ මුදලක් ගෙවා තිබෙන අතර එම සමාගමෙන් කම්කරුවන් සඳහා ගෙවනු ලබන වැටුපෙන් මෙන්ම කම්කරුවන්ට මත්කුඩු ලබාදීමෙන් මෙම සැකකරු මුදලක් උපයා ගන්නා බව පොලිසිය පවසයි.

අත්ඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රුපියල් 54,500ක්ද ,මොහු සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති ජංගම දුරකථන තුනක විශ්ලේෂණ වාර්තා ලබාගැනීමටද පොලිසිය අදහස් කරයි.

ඒ එම ජංගම දුරකථන මාර්ගයෙන් මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන ආකාරය සොයා ගැනීමටයි

කම්කරුවන්ට අවශ්‍ය මත්කුඩු මොහුට ලබාදෙන පුද්ගලයා සොයා ගැනීමටත් මොහුගේ මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීමටත් සැකකරු දින හතක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

Related posts

මාර්ග අංක 187 – 188 බස් වර්ජනයක්

Admin

ශිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් කෙරේ

colombotoday

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

එළැඹෙන දීර්ඝ සති අන්තයේ ප්‍රවේසම්වන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday